“මකරා නම් මිථ්‍යා චරිතයකි. මුළු පුරවරයක්ම අරක්ගන්නා මකරා බලි බිලි ගනිමින් මිනිසුන් බිය වද්දමින් සිතූ මනාපය අනුව කපටි ලෙසත් කෲර ලෙසත් එම පුරවරය පාලනය කරයි. මෙසේ වසර සිය ගණනක් ගෙවී යත්ම එම පුරවරයේ වැඩිදෙනා මඳින් මඳ මකරාට පුරුදු වෙති. ‘අපේම මකරෙක් ඉන්න තුරු වෙනත් මකරුන්ගෙන් අපිට හානියක් වෙන්නේ නැහැ’යි සිතීමට ඔවුහු පුරුදු වෙති. අවසානයේදි මකරාගෙන් එම පුරවරය මුදාගන්නේ නොදන්නා දුර කතරක සිට අහම්බෙන් එහි වදින ලන්ස්ලොට් නැමැත්තෙකි…..මකරා වේදිකාවට ගෙන ඒමේදී ඇති වන විශාලතම බාධකය නිෂ්පාදන දුෂ්කරතාවත් අධික වියදම්වත් නොවේ. නාට්‍යයේ එන නොයෙකුත් අවස්ථා, ඇතැම් වග වාසගම් ආදිය ඇතැමකුගේ සැකයට හා කෝපයට භාජනය වීමට ඇති පුළුවන්කමයි.… ඒ කෙසේ වෙතත් මකරා නම් නිෂ්පාදනය කළ යුතුම නාට්‍යයකි” (හෙන්රි ජයසේන, මකරා, ගොඩගේ 8වෙනි පිටුව)

ප්‍රවීණ නාට්‍යවේදී හෙන්රි ජයසේනයන් ‘මකරා’ වේදිකාගත කළ 1973 වසර වන විට අපේරටේ තරුණ නැඟිටීමක් සිදු වී දෙවසරකි. ඒ නිසාම ඔහු ‘මකරා’ නාට්‍ය වේදිකාගත කිරීමේදී බොහෝ ගැටලුවලට මුහුණදෙන්නට ඇතැයි සිතිය හැකිය. හෙන්රි ජයසේනයන්ට ‘මකරා’ නිර්මාණය කිරීමට අභිප්‍රේරණයක් ලැබෙන්නේ ඔහු නැගෙනහිර ජර්මනියේ කළ සංචාරයකදී මෙම නාට්‍ය නැරඹීමට අවස්ථාවක් ලැබීමෙනි. ‘මකරා’ ලෝකයේ සමාජවාදී රටවල්වල ඉතා ජනප්‍රිය නාට්‍යයක් විය. එහෙත් මකරාගේ නිජබිම වූ සෝවියට් දේශයේ එය එතරම් ජනප්‍රිය වූයේ නැත.
සෝවියට් දේශයේ උපන් ‘යෙව්ජිනි ෂ්වාට්ස්’ විසින් නිර්මාණය කළ ‘ද ඩ්‍රැගන්’ ක්‍රි.ව. 1944දී මොස්කව් නුවරත් ලෙනින්ග්‍රාඩ් නුවරත් මංගල දර්ශන 2ක් පවත්වා තිබුණත් ඉන් පසුව එරටේ වේදිකාගත වූ බවක් සඳහන් නොවේ ‘ද ඩ්‍රැගන්’ ලංකාවට ගැළපෙන සේ අනුවර්තනය කර වේදිකා නාට්‍යයක් බවට පත් කිරීමේ ලාලසාවෙන් පෙළුණු හෙන්රි ජයසේනයන් විසින් ‘මකරා’ වේදිකා නාට්‍යය 1973 අගෝස්තු මාසයේදී ලුම්බිණි රඟහලේදී ප්‍රථම වතාවට වේදිකාගත කෙරිණි. එය ප්‍රේක්ෂකයන්ගේ නොමඳ පැසසුමට ලක්විය. මෙම නාට්‍යයේ ප්‍රධාන චරිතය වන ලන්ස්ලොට්ගේ චරිතයට පණ පොවනු ලැබූවේ ධර්මසිරි බණ්ඩාරනායක විසිනි. එවකට ඔහු 24 වැනි වියේ පසු වූ නාඹර තරුණයෙකි. සුනිලා අබේසේකර, එලීසාගේ චරිතයට රංගනයෙන් දායක වූවාය.
මකරා- මකරාක්ෂයා වෙයි
ඊට වසර 10කට පමණ පසුව ‘මකරා’ නව නිෂ්පාදනයක් ලෙසින් නිර්මාණය කිරීමට ධර්මසිරි බණ්ඩාරනායකට අවශ්‍ය විය. හෙන්රි ජයසේනයන්ගේ අවසරය මුලදී ඊට ලැබිණු නමුත් පසුව අදිසි හේතුවක් නිසා ඒ කැමැත්ත ආපසු හැරිණි. කෙසේ හෝ ඉන් පසුබට නොවූ ධර්මසිරි බණ්ඩාරනායක, ‘ඩ්‍රැගන්’ රුසියානු නාට්‍ය පිටපත සිරිල් සී. පෙරේරා ලවා යළි සිංහලට පරිවර්තනය කොට නාට්‍ය ‘මකරාක්ෂයා’ නමින් නව නිෂ්පාදනයක් වේදිකාගත කළේය. මෙහි ලන්ස්ලොට්ගේ චරිතය ධර්මසිරි බණ්ඩාරනායක විසින්ම රඟ දැක්වුණු අතර එලීසාගේ චරිතයට ස්වර්ණා මල්ලවාරාච්චි විසින් පණ පෙවිණි. ඇගේ ඉවත්වීමෙන් පසු රමණී බර්තොලමියුස් ඊට දායක විය. ඇගේ හදිසි මරණයෙන් පසු තවත් කීපදෙනෙක් ඊට පණ පෙවූහ. ඉන් අනතුරුව යශෝධා විමලධර්ම එලීසාගේ චරිතයට රංගනයෙන් දායක වූවාය. ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘මකරාක්ෂයා’ දර්ශන වාර 700ක් ඉක්මවා වේදිකාගත වූ අතර යුද්ධය නිමාවීමත් සමඟ 2010දි නැවතත් කරළියට පැමිණියේය. යුද්ධයෙන් පීඩාවට පත්වී සිටි උතුරේ ජනතාව වෙනුවෙන් “මකරාක්ෂයා” උතුරකරයටද පියඹා ගියේ වරක් දෙවරක් නොවේ.

මේ අතරවාරයේදි හෙන්රි ජයසේනගේ ‘මකරා’ වේදිකා නාට්‍යය නව නිෂ්පාදනයක් ලෙසින් 2006 වර්ෂයේදි වේදිකාගත වූයේ ජයලත් මනෝරත්නගේ අධ්‍යක්ෂණයෙනි. 80 නාට්‍ය කණ්ඩායම ඊට සම්බන්ධ වූ අතර ලන්ස්ලොට්ගේ චරිතය සඳහා ජගත් චමිලත්, එලීසාගේ චරිතය සඳහා මාදනි මල්වත්තත් දායක වූහ. මීට අමතරව පරාක්‍රම නිරිඇල්ලයන්ගේ ‘ජන කරළිය’ද සිරිල් සී. පෙරේරාගේ පිටපතට අනුව ‘මකරාට’ යනුවෙන් මෙම නාට්‍යය නව නිර්මාණයක් ලෙස වේදිකාගත කළේය.
මකරාක්ෂයා ‘කොට්ටම්’ ලෙස උපදී
සත්‍ය සීලන්මේ ආකාරයට ‘මකරා’ දශක පහක් පුරා දකුණේ වේදිකාවේ නැවත නැවත ඉපදෙද්දී එහි දමිළ නිෂ්පාදනයක් මුල් වරට කරළියට පැමිණෙන්නේද පරාක්‍රම නිරිඇල්ලගේම අධීක්ෂණය යටතේය. එය නම් කෙරුණේ ‘කොට්ටම්’ යනුවෙනි. එහි අධ්‍යක්ෂවරයා වූයේ සත්‍ය සීලන් නම් තරුණ නාට්‍යවේදියාය. ‘මකරා’ ඔහුගේ හිසට අරක්ගත් අයුරු සත්‍ය සීලන් මෙසේ විස්තර කරයි:
“මම ධර්මසිරි බණ්ඩාරනායකගේ මකරාක්ෂයා වේදිකා නාට්‍යයත් පරාක්‍රම නිරිඇල්ලගේ ජන කරළිය කණ්ඩායමේ මකරා වේදිකා නාට්‍යයත් නරඹලා තියෙනවා. යුද්ධය ඉවරවුණාම ඒ නාට්‍ය යාපනයට ආවා. හැබැයි මගේ නාට්‍ය ජීවිතය පටන්ගන්නේ ඉස්කෝලේ යන කාලේ. මම ඒ කාලේ ගොඩක් ඇලුම් කළේ චිත්‍ර සහ සංගීතයට. මගේ ගම පලෙයි. ඒකාලේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් සෑම ගමකම සංස්කෘතික කණ්ඩායම් හැදුවා. ඒ කණ්ඩායම්වලින් එයාලා බලාපොරොත්තු වුණේ ඒඅයගේ පණිවිඩය සමාජගත කරන්න. ඒ වෙනුවෙන් වීදි නාට්‍ය, ගීත එහෙම නිර්මාණය කළා. මමත් අපේ ගමේ සංස්කෘතික කණ්ඩායමට සම්බන්ධ වෙලා හිටියා. ඊට පස්සේ 2004දී ප්‍රවීණ දමිළ නාට්‍යවේදියකු වන කුලන්තෙයි එම්. ෂන්මුගලිංගම්ගේ රංග ව්‍යාපාරය එක්ක සම්බන්ධ වෙන්න මට අවස්ථාවක් ලැබුණා. එතැන් සිට 2007 අවසාන වන තුරු මම එකදිගට ඔහු සමඟ වැඩ කළා. එතනදි මම රංගනය, අධ්‍යක්ෂණය, සංගීතය මෙහෙයවීම, ගීත රචනය ආදී හැමදෙයක්ම ඉගෙනගත්තා. යුද්ධයත් එක්ක අපේ ඒ කටයුතු නැවතුණා.”
පරාක්‍රම නිරිඇල්ලයුද්ධය නිමාවීමත් සමඟ සත්‍ය සීලන්ගේ නාට්‍ය කටයුතු නැවතුණා නොව නව මාවතකට අවතීර්ණ වූ බව සඳහන් කිරීම වඩාත් නිවැරදිය. ඊට හේතුව, උතුරේ නාට්‍යකරුවන් සමඟ දකුණේ නාට්‍යකරුවන් අත්වැල් බැඳගැනීමයි. ඒ උතුරු- දකුණු සංහිඳියාවේ පාලම ලෙස කටයුතු කළේ ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල බව විශේෂයෙන් සඳහන් කළ යුතුමය. මකරා උතුරෙන් බිහි වීමේ කතාවේ දකුණු අර්ධය, පරාක්‍රම නිරිඇල්ල මෙසේ ආවර්ජනය කරයි:
ජන කරළියේ ‘උත්තරාගමනය’
“යුද්ධය අවසන් වුණාට පස්සේ මට අවශ්‍ය වුණා කලාව උපයෝගි කරගෙන සංහිඳියාව වෙනුවෙන් වැඩ කරන්න. කලාව හරහා සිංහල-දෙමළ අය අතර විශ්වාසය ඇති කරන්න. ඒනිසා 2010දි ජන කරළිය ජංගම රඟහල අරගෙන අපේ කණ්ඩායම යාපනයේ ගියා. යාපනය විශ්වවිද්‍යාලයේ මගේ යාළුවො කීපදෙනෙකුත් මට මේ වැඩේට උදව් කළා. ඒ වගේම කුලන්තෙයි එම්. ෂන්මුගලිංගම් නාට්‍යකරු ප්‍රමුඛව දමිළ නාට්‍යකරුවන් අපට සහාය වුණා. අපි ජංගම රඟහල සවිකළේ නල්ලූර්වල. මම බලාපොරොත්තුවෙන් හිටියේ හවස නාට්‍ය පෙන්වන්න. ඒත් මගේ යාළුවෝ කිව්වා, හවස 4.00න් පස්සේ පාරවල්වල සෙනඟ ගැවසෙන්නේ නැති නිසා නාට්‍ය බලන්න කට්ටිය එන එකක් නැහැ කියලා. මොකද යුද්ධය තිබුණ කාලේ හවස 4.00න් පස්සේ ඇඳිරි නීතිය දාලා තිබුණ පුරුද්දට යුද්ධය ඉවරවුණත් එයාලා 4.00න් පස්සේ පාරේ යන්නේ නැහැලු.

ඊට පස්සෙ අපි අධ්‍යාපන කාර්‍යාලයේ ඉහළ නිලධාරින් මුණගැහිලා පාසල්වල නාට්‍ය ප්‍රදර්ශනයට අවසර ලබා ගත්තා. මම පාසල්වල නාට්‍ය පෙන්වපුවාම ඒ පණිවිඩය ගෙවල්වලට ගියා. එයින් පසුව තමයි මම හවස 6.30ට නාට්‍ය ප්‍රදර්ශනය කළේ. ඉස්සෙල්ලාම පෙන්නුවේ චරන්දාස්. නාට්‍ය නරඹන්න ප්‍රේක්ෂකයෝ ඉතිරිලා හිටියේ. අන්තිමට රෑ 10.00ටත් දර්ශන වාරයක් තියන්න සිද්ධවුණා. ජන කරළිය නාට්‍ය කණ්ඩායම සෙක්කුව, මැටි කරත්තය ඇතුළු නාට්‍ය කීපයක් සිංහල සහ දෙමළ භාෂා ද්විත්වයෙන්ම ප්‍රදර්ශනය කළා. අපි දෙමළ භාෂාවෙන් රඟදක්වපු නාට්‍ය නරඹලා යාපනයේ අය කිව්ව දෙයක් තමයි ඔවුන්ට දෙමළ භාෂාව හතර විදිහකට ඇහෙන බව. ඒ කියන්නේ යාපනයේ දෙමළ, මඩකළපුවේ දෙමළ, මලයාගම් දෙමළ සහ සිංහල අය කතා කරන දෙමළ.” යනුවෙන් ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල විස්තර කළේය.
ඔහු ජන කරළිය නාට්‍ය කණ්ඩායම රැගෙන යාපනයට ගොස් නාට්‍ය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව උතුරේ නාට්‍යකරුවන් සමඟ අන්‍යෝන්‍ය බැඳීම, මිත්‍රත්වය ගොඩනැගිණි. සත්‍ය සීලන්ට පරාක්‍රම නිරිඇල්ල සමඟ කටයුතු කිරීමට මඟ පෑදෙන්නේ එතැන් සිටය.
යාපනයේ නාට්‍ය ප්‍රබෝධයක්
“2010දි ඇති වුණ නාට්‍ය ප්‍රබෝධයත් සමඟ මම ‘සෙම් මුහම්’ කියලා නාට්‍ය කණ්ඩායමක් ආරම්භ කළා. 2011 ඉඳලා අද දක්වාම අපි දිගටම වැඩ කරනවා. ඒ හැර අපේ කණ්ඩායම වගේම තවත් නාට්‍ය කණ්ඩායම් යාපනයේ ඇති වුණා. 2010දි පරාක්‍රම නිරිඇල්ල ‘හුණුවටයේ කතාව’ වේදිකා නාට්‍ය පෙන්නුවා. එතකොට බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ The Caucasian Chalk Circle ෂන්මුගලිංගම් දෙමළ භාෂාවෙන් පරිවර්තනය කරලා තිබුණා. ඊට පස්සේ 2015දි පරාක්‍රම නිරිඇල්ල සමඟ ෂන්මුගලිංගම් එකතුවෙලා හුණුවටයේ කතාව දෙමළ නාට්‍යයක් හැටියට කළා..” සත්‍ය සීලන් පැවසුවේය. ‘හුණුවටයේ කතාව’ දමිළ නාට්‍යය හැඳින්වෙන්නේ ‘වෙන්කට්ටි වට්ටම්’ යනුවෙනි. ‘මකරාක්ෂයා’ දමිළ නාට්‍ය නිර්මාණය වන්නේ ඉන් අනතුරුවයි. පරාක්‍රම නිරිඇල්ලගේ අධීක්ෂණයෙන් බිහිවන ‘කොට්ටම්’ වේදිකා නාට්‍ය පිටපත පරාක්‍රම නිරිඇල්ල සිංහල බසින් පවසන විට දමිළ භාෂාවට පරිවර්තනය කරනු ලැබුවේ ටී. ශිවනේෂන් විසිනි. පැය 3කට ආසන්න කාලයක් රඟ දැක්වෙන ‘මකරාක්ෂයා’ වේදිකා නාට්‍ය පැය එකහමාරකට සංක්ෂිප්ත කළේ පරාක්‍රම නිරිඇල්ල ය. ‘කොට්ටම්’ වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂණය මෙන්ම ගීත රචනය සහ සංගීත අධ්‍යක්ෂණයද සත්‍ය සීලන් ගෙනි.

“මම මේ නාට්‍යයේ පොඩි වෙනස්කම් කීපයක් කළා. සිංහල නාට්‍යයේ මකරා නටන්නේ නැහැ. ඒත් කොට්ටම් වේදිකා නාට්‍යයේ මකරා සිංදු කියනවා, නටනවා. එතනදි කාත්තවරායන්, කුත්තු, වඩමෝඩි, තෙන්මෝඩි වැනි යාපනයේ සංස්කෘතියට බද්ධ වුණ නැටුම් මම නාට්‍යයට මිශ්‍ර කළා” යනුවෙන් සත්‍ය සීලන් සඳහන් කළේය.
‘කොට්ටම්’ වේදිකා නාට්‍යයට රංගනයෙන් දායක වන පිරිස 30කි. ඔවුහු සෙම් මුහම් නාට්‍ය කණ්ඩායමේ වේදිකා නාට්‍යවල, වීදි නාට්‍යවල රඟපෑ අත්දැකීම් සහිත පිරිසක් වෙති. 2024 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටයට පැමිණි ‘ක්ෂත්‍රිය ධර්මම් වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂ, එස්. මහාලිංගම්ද සෙම් මුහම් නාට්‍ය කණ්ඩායමේ අයෙකි. ඔහු ‘කොට්ටම්’ වේදිකා නාට්‍යයටද රංගනයෙන් දායක වී සිටියි.
“අපේ සෙම් මුහම් නාට්‍ය කණ්ඩායම වේදිකා නාට්‍ය වගේම කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, ළමා හිංසනය, පාරිසරික ගැටලු වගේ සමාජ කාරණා අළලා වීදි නාට්‍ය කරනවා. ඒ වගේ මොකක්හරි දෙයකට රංගනයෙන් සම්බන්ධ වෙලා ඉන්න අය තමයි කොට්ටම් වේදිකා නාට්‍යයේ රඟපාන්නේ. ඒනිසා මට ඔවුන් හසුරුවන්න ලොකු පරිශ්‍රමයක් දරන්න වුණේ නැහැ.” සත්‍ය සීලන් පැවසුවේය.
උතුරෙන් මතු වූ සිංහල නළුවා

‘කොට්ටම්’ වේදිකා නාට්‍යයට රංගනයෙන් දායක වන එකම සිංහල ජාතිකයා ඩී.එම්.එස්. ආරියරත්න ය. 90දශකයේ විකල්ප ධාරාවේ විවිධ පර්යේෂණාත්මක රංග කාර්යයන්හි නියැලි ඔහු දෙවරක්ම රාජ්‍ය සම්මාන දිනූ සාහිත්‍ය පරිවර්තකයෙකි, කවියෙකි. දශකයකට පමණ පෙර දකුණේ සමාජයෙන් අභිනිෂ්ක්‍රමණය කොට උතුරේ සමාජය හා බැඳුණු ඔහු දෙමළ බස ඉගෙනීමත්, සිංහල බව ඉගැන්වීමත් සිය ජීවිතය කර ගත්තේය. ඔහු මෙම නාට්‍යයේ නගර වැසියකුගේ චරිතය නිරූපණය කරන්නේ මනාව දමිළ බස හසුරුවමිනි. ‘කොට්ටම්’ වේදිකා නාට්‍යයේ ලන්ස්ලොට්ගේ චරිතයට සාරංගන් ශර්මා පණ පොවන අතර කුවේණිතා එලීසාගේ චරිතය නිරූපණය කරයි. ලන්ස්ලොට් සහ එලීසා සැබෑ ජීවිතයේදීද ජීවන සහකරුවෝ වෙති.
‘මකරාක්ෂයා’ ඇසුරින් බිහි වූ ‘කොට්ටම්’ වේදිකා නාට්‍යය මේ වන විට දර්ශන වාර 20ක් පමණ පවත්වා තිබේ. උතුරේ දිස්ත්‍රික්ක 5 තුළම වේදිකාගත වූ මෙම නාට්‍යය යාපනය සරසවිය, පේරාදෙණිය සරසවිය, සබරගමුව සරසවිය, කොළඹ සෞන්දර්යය විශ්වවිද්‍යාලය සහ රුහුණු විශ්වවිද්‍යාලයේදී ද වේදිකාගත කර ඇත .
සත්‍ය සීලන් මීට පෙර අධ්‍යක්ෂණය කළ ‘එලියාර් එන්ගෙ පෝනාර්’ සහ ‘එංගෙ එංගෙ කුඩෙයි එංගෙ’ යන ළමා නාට්‍ය ද්විත්වයට රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ පිළිවෙළින් සම්මාන 7ක් සහ සම්මාන 4ක් හිමි වී තිබේ. ‘කොට්ටම්‘ වේදිකා නාට්‍යය 2025 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටයට නිර්දේශ වී තිබීම සුවිශේෂ ජයග්‍රහණයකි.
‘කොට්ටම්’ වේදිකා නාට්‍යය අවසන් වන්නේ ‘මකරාක්ෂයා’ නාට්‍යයේ සඳහන් “හැම හදවතකම සැඟ වී සිටින මකරා විනාශ කළාට පසුව අපට පුළුවන් ප්‍රීතියෙන්, කිව නොහැකි තරම් ප්‍රීතියෙන් ජීවත්වෙන්න.” යන ප්‍රකාශයත් සමඟිනි.

“යක්ෂයන්, ප්‍රේතයන්, පිසාචයන්, බහිරවයන්, කළු කුමාරයන් හා මෝහිනියන්, බලි තොවිල්, යාගහෝමාදියෙන් මෙල්ල කිරීමට පුරුදු- පුහුණු වූ රටක අපි වෙසෙමු. මේ භූතයින්ගෙන් මිදෙන අප සිත් තුළ මකරෙක් ද නිදන්ගත වී නැතැයි කාට නම් කිව හැකිද? මකරා නාට්‍ය වේදිකාගත කිරීමෙන් ඌ ද අප සිත් තුළින් පළවා හරිනු හැකි නම් එය කොතරම් අගනේද?” (හෙන්රි ජයසේන, මකරා, ගොඩගේ. 2වෙනි පිටුව)

(සටහන | හර්ෂා සුගතදාස)
නිදහස් මාධ්‍යවේදිනී
harshasugathadasa@gmail.com





