ඉන්දියාව සහභාගි වන තරග ශ්‍රී ලංකාවේ හෝ ඩුබායි දේශයේ පවත්වන ලෙසට ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් (ICC) ඉල්ලා සිටිනු ඇතැයි වාර්තා වනවා.
ලබන වසරේ පෙබරවාරි සිට මාර්තු දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා සහභාගි වීමට ඉන්දියා කණ්ඩායම පාකිස්තානය ට නොයන බව ඉන්දියා ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් ඉන්දියාව හා පාකිස්තානය අතර තරගයක් ලාහෝර් නුවරදී ක්‍රීඩා කිරීම තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
2008 වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලියෙන් පසුව ඉන්දියාව කිසිම ක්‍රිකට් තරගාවලියක් පාකිස්තානයේ ක්‍රීඩා කර නැහැ. 2012 දෙසැම්බර් සිට 2013 ජනවාරි දක්වා කාලය තුළ ඉන්දියාවේ පැවති ද්විපාර්ශ්වික තරගමාලාව මේ දෙරට අතර අවසන් වතාවට පැවති ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගමාලාව යි. එතැන් සිට, මේ රටවල් දෙක තරග වැදී තිබෙන්නේ ICC තරගාවලියන් හා ආසියානු කුසලාන තරගාවලියේදී පමණයි.

ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින දේශපාලන විරසකය හේතුවෙන් චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ඉන්දියා සහභාගිත්වය පැවතියේ අවිනිශ්චිත තත්ත්වයක.
ඉන්දියා කණ්ඩායම සහභාගි වන සියළුම තරග එක් නගරයක පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය ඉන්දියාව ට යෝජනා කර තිබෙනවා. ඉන්දියා පිලේ සියළු තරග පවත්වන ස්ථානය ලෙස ලාහෝර් නුවර තෝරා ගෙන තිබූ බවට පැවසෙන්නේ එය ඉන්දු පාකිස්තාන දේශසීමාවට ආසන්නව පිහිටා තිබෙන නිසා.
කෙසේ වෙතත්, ඉන්දියා ක්‍රීඩකයන් පාකිස්තානයේ කරන සංචාරයක් පිළිබඳව ඉන්දියා ක්‍රිකට් මණ්ඩලයේ කැමැත්තක් නැහැ. එම තරග ශ්‍රී ලංකාවේ හෝ ඩුබායි දේශයේ පවත්වන ලෙසට ඔවුන් ICCයට කියා සිටින බව එම මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පවසනවා.
ඉන්දීය මධ්‍යම ආණ්ඩුව අවසර දුන්නොත් පමණක් ඉන්දියා කණ්ඩායම චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා පාකිස්තානය ට යවන බව ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපසභාපති රජීව් ෂුක්ලා පසුගිය මැයි මාසයේදී ප්‍රකාශ කර තිබුනා.
පසුගිය වසරේ පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන තරගාවලියේ ද මෙවැනි ම තත්ත්වයක් උද්ගත වුනා. කෙසේ වෙතත්, එම තරගාවලියට සත්කාරකත්වය දැක්වීමේදී පාකිස්තානය ට එරෙහි තරග ඇතුළුව ඉන්දියාවේ සියළුම තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට සිදුවුනා.
ඉන්දියාව ජයග්‍රහණය කළ එම තරගාවලියේ අවසාන මහා තරගය ක්‍රීඩා කෙරුනේ කොළඹ දී.
2017 වසරේදී අවසන් වතාවට එංගලන්තය හා වේල්සයේ පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ශූරයන් වූයේ පාකිස්තානය.
“විරාට් කෝලි පාකිස්තානෙට ආවොත්, එයාට ඉන්දියාවේ ආගන්තුක සත්කාරය අමතක වේවි” - ෂහිඩ් අෆ්රිඩි

ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරය නොකිරීමේ ආකල්පය හේතුවෙන් 2025 චැම්පියන්ස් කුසලාන තරගාවලිය තීරණයක් ගන්නා තෙක් අතරමැද තත්ත්වයකට පත්ව තිබීම මධ්‍යයේ, ඒ සම්බන්ධයෙන් වෙනත් ලෙසකින් සිතන ලෙසට හිටපු පාකිස්තාන නායක ෂහිඩ් අෆ්රිඩි ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා තිබෙනවා.
ඉන්දියාව පාකිස්තානයට පැමිණ ක්‍රීඩා කිරීමෙන් දෙරට අතර ක්‍රිකට් සබඳතා වර්ධනය වනවා පමණක් නොව එයින් තම රටේ ජනතාවට විරාට් කෝලි ක්‍රීඩා කරනු දැක ගැනීමේ අවස්ථාව ද උදාවන බව අෆ්රිඩි පවසනවා.
කෝලි පාකිස්තානයේ හැර ලෝකයේ අන් සෑම රටකම ක්‍රීඩා කර තිබෙනවා. කෝලිගේ ක්‍රීඩා ලෝලීන් දේශසීමාව හරහාත් බහුලව සිටින නිසා ඔහු පාකිස්තානයේ ක්‍රීඩා කිරීම සැමවිටම ඉතාමත් ප්‍රබෝධය ගෙන දෙන සිතුවිල්ලක් වී තිබෙනවා.
ඉන්දියාව අවසන් වතාවට 2006 වසරේදී පාකිස්තානයේ සංචාරය කළ අවස්ථාවේදී කෝලි කණ්ඩායමේ සිටියේ නැහැ. ඔහු ඉන්දියාව වෙනුවෙන් සිය මංගල තරගයට සහභාගි වූයේ ඊට දෙවසරකට පසුව. දැන් 25 වැනි වියේ පසුවන විරාට් කෝලි ට පාකිස්තාන භූමියේදී ඉන්දියාව නියෝජනය කිරීමට ලැබෙන අවසන් අවස්ථාව මෙය වීමට ඉඩ තිබෙනවා.
කෝලි දැනටමත් විස්සයි20 ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් සමුගෙන සිටින අතර ඔහු දැන් පිවිසෙන්නේ ඔහුගේ ක්‍රීඩා දිවියේ අවධානය ජාත්‍යන්තර එක්දින, ටෙස්ට් හා අයි.පී.එල්. තරගාවලියන් වෙනුවෙන් පමණක් යොමු කරන යුගයකට.
“මම ඉන්දියා කණ්ඩායම සාදරයෙන් පිළිගන්නවා. පාකිස්තානය එහෙ සංචාරය කළ අවස්ථාවේ අපට ඉන්දියාවෙන් ලොකු ගෞරවයක් සහ ආදරයක් ලැබුනා. ඉන්දියාව 2005-06දී පාකිස්තානයට ආවම, ඔවුන්ගේ ක්‍රීඩකයන් සියළු දෙනාම විනෝද වුනා. ඉන්දියාව හා පාකිස්තානය ඔවුනොවුන්ගේ රටවලට ගිහින් ක්‍රිකට් ක්‍රීඩා කරනවා හැරෙන්න වඩා හොඳ වෙනත් සාමයේ සම්ප්‍රාප්තියක් තවත් නැහැ. විරාට් කෝලි පාකිස්තානයට ආවොත්, ඔහුට ඉන්දියාවෙන් ලැබෙන ආදරය හා ආගන්තුක සත්කාරය අමතක වේවි” යනුවෙන් අෆ්රිඩි පවසනවා.
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම මෑතකදී ඕවර 50 ලෝක කුසලානය වෙනුවෙන් පසුගිය වසරේදී ඉන්දියාවේ සංචාරය කළා. ඒ උපකාරයට කරන ප්‍රතිඋපකාරයක් ලෙස ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය ට පැමිණෙනු ඇතැයි යන විශ්වාසය බොහෝ කලක් තිස්සේ පැවතුනා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



