BREAKING
Top Ad
ක්‍රීඩා

2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල අවිනිශ්චිතයි !

T

The Leader

July 18, 2023 • 3:43 AM

2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල අවිනිශ්චිතයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාපැදිකරුවන් 2022 වසරේදී එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී තරග වදින අයුරු
  •   එහෙත් අපේක්ෂිත පිරිවැය මේ වන විට තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව ත් එය රජයට දැරීමට නොහැකි ලෙස "මුළුමනින් ම ඉක්මවා ගොස්" ඇති බව ත් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිවරයා පැවසීය.
  •   පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සම්මේලනය පැවසුවේ, මෙම තීරණය සම්බන්ධයෙන් තමන් "දැඩි ලෙස කලකිරීමට" පත් වන බව ත් ඊට "විසඳුමක් සෙවීමට තමන් කැපවී" සිටින බව ත් ය.
  • තරගාවලිය සඳහා සහභාගී වීමට සුදුසුකම් ලැබීමට, තරගකරුවන් පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රාජ්‍යයන් 56 දෙනාට අයත් විය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඇස්තමේන්තුගත අයවැය ඉක්මවා යාම මත 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දැරීමේ සැලසුම් අවලංගු කිරීමට ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය කටයුතු කිරීම හේතුවෙන් 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල පැවැත්වීම පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.

ක්‍රීඩා උළෙළේ සත්කාරකත්වය දැරීමට 2022 අප්‍රේල් මාසයේදී වික්ටෝරියා ප්‍රාන්තය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට පෙර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සම්මේලනය ඒ සඳහා සත්කාරක නගරයක් සොයා ගැනීමට මහත් වෙහෙසක් දැරීය.

 

එහෙත් අපේක්ෂිත පිරිවැය මේ වන විට තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව ත් එය රජයට දැරීමට නොහැකි ලෙස "මුළුමනින් ම ඉක්මවා ගොස්" ඇති බව ත් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිවරයා පැවසීය.

 

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සම්මේලනය පැවසුවේ, මෙම තීරණය සම්බන්ධයෙන් තමන් "දැඩි ලෙස කලකිරීමට" පත් වන බව ත් ඊට "විසඳුමක් සෙවීමට තමන් කැපවී" සිටින බව ත් ය.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වසර හතරකට වරක් පැවැත්වෙන බහු ක්‍රීඩා තරගාවලියකි. එය මීට පෙර අවලංගු වී තිබුණේ, දෙවන ලෝක යුද්ධ සමයේදී පමණි.

තරගාවලිය සඳහා සහභාගී වීමට සුදුසුකම් ලැබීමට, තරගකරුවන් පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රාජ්‍යයන් 56 දෙනාට අයත් විය යුතුය. පොදු රාජ්‍ය මණ්ඩලයේ බොහෝ රටවල් කලක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් විය.

medium 2023 07 18 5af270b6de

වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් අඟහරුවාදා කියා සිටියේ, පසුගිය වසරේ සත්කාරකත්වය සඳහා ඉදිරිපත් වූ අවස්ථාවේ විට තම ප්‍රාන්තය "උදව් කිරීමට මහත් ඕනෑ කමකින් සිටි" නමුත් ඒ වෙනුවෙන් ඕනෑම පිරිවැයක් දැරීමට තමන්ට නොහැකි බව ය.

 

ජිලෝන්ග්, බෙන්ඩිගෝ සහ බැලරැට් යන නගර ද ඇතුළුව ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දැරීම සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 2.6ක මුදලක් (පවුම් බිලියන 1.4; ඩොලර් බිලියන 1.8) වැය වන බවට සංවිධායකයින් මුලදී ඇස්තමේන්තු කර තිබුණු අතර එය ඒ ඒ ප්‍රදේශවලට ආර්ථික වශයෙන් ඉතා ප්‍රයෝජනවත්, වාසිදායක අවස්ථාවක් ලෙස ප්‍රාන්ත රජය හුවා දක්වා තිබිණි.

 

නමුත් මේ වන විට දින 12ක මෙම තරගාවලිය පැවැත්වීම සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 6කට අධික මුදලක් වැය වනු ඇතැයි අපේක්ෂා කළ බව ඇන්ඩෲස් පැවසුවේ, එය වික්ටෝරියා ප්‍රාන්තය වෙත ගෙන එනු ඇති බවට "ඇස්තමේන්තුගත ආර්ථික ප්‍රතිලාභය මෙන් දෙගුණයකටත් වඩා වැඩි" මුදලක් වූ බව ද පවසමිනි.



"මේ තනතුරේ කටයුතු කරද්දී මම ගොඩාක් අමාරු තීරණ අරගෙන තියෙනවා. ගොඩක් අමාරු තීරණ. මේක එහෙම එකක් නෙවෙයි," ඔහු මාධ්‍ය හමුවකදී පැවසීය.

"ඒක වියදමක් විතරයි, කිසි ම ප්‍රතිලාභයක් නැති."

ක්‍රීඩා උළෙලට පැවැත්වීමට පෙර පොරොන්දු වූ පරිදි ක්‍රීඩාංගණ වැඩිදියුණු කිරීමේ කටයුතු සම්පූර්ණ කිරීම රජය තවදුරටත් සිදු කරගෙන යන අතර ම ඉතිරි වන මුදල් නිවාස හා සංචාරක ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් යොදවනු ඇත.

සිය තීරණය පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සම්මේලනය වෙත දැනුම් දීමට පෙර, ක්‍රීඩා උළෙල මෙල්බර්න් වෙත ගෙන යාම ඇතුළු "සියලු විකල්ප" පිළිබඳව රජය සලකා බැලූ බව ඇන්ඩෲ පැවසීය.

ගත වූ රාත්‍රියේ ලන්ඩන්හිදී "සුහදශීලී සහ ඵලදායී" සාකච්ඡා සිදු වූ බව ද ඔහු සඳහන් කළේ ය.

නමුත් අඟහරුවාදා ප්‍රකාශයක් නිකුත් කරමින් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සම්මේලනය කියා සිටියේ, මෙම තීරණයෙන් ඔවුන් කම්පනයට පත් වූ බව ය.

skynews commonwealth game melbourne 6221615

"[මේ තීරණය ගැන ප්‍රකාශයට පත් කරන්න] පැය 8කට කලින් අපිට දැනුම් දීපු එක ගැන ත් ඒකාබද්ධව විසඳුමක් හොයන්න තත්ත්වය ගැන සාකච්ඡා කරන්න කිසිදු සැලකිල්ලක් නොදැක්වීම ගැන ත් අපි කලකිරීමට පත් වෙනවා," යැයි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සම්මේලනය ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.

 

එම සම්මේලනය පැවසුවේ, ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 6ක ඇස්තමේන්තුව පසුගිය මාසයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී ඔවුන්ට දැනුම් දෙන ලද අගය මෙන් දෙගුණයක් බව ත් වික්ටෝරියා ප්‍රාන්තය ක්‍රීඩා උළෙල "එක් ප්‍රදේශයක් කේන්ද්‍ර කර නොගෙන කලාපයේ තව ත් ප්‍රදේශවල ද පැවැත්වීමට" තීරණය කිරීම හේතුවෙන් පිරිවැය ඉහළ ගිය බව ත් ය.

Ballaratgeneralpicture

 

බොහෝ අවස්ථාවලදී පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සම්මේලනය සහ එහි ඔස්ට්‍රේලියානු ශාඛාවේ උපදෙස්වලට පටහැනිව, තව ත් ක්‍රීඩා ඇතුළත් කිරීමට සහ ඒවා පැවැත් වෙන ස්ථාන වෙනස් කිරීමට රජය තීරණ ගත් අතර ඒ සියල්ල ම "සැලකිය යුතු වියදමක්" එක්ක කළ බව එම සම්මේලනය පැවසීය.

 

වික්ටෝරියා ප්‍රාන්ත විපක්ෂ නායක ජෝන් පෙසුටෝ පැවසුවේ, මෙම තීරණය ප්‍රාන්තයට "මහත් අවමානයක්" වන අතර ගෝලීය වශයෙන් වැදගත් අවස්ථාවලදී පෙරමුණ ගන්නා නායකයෙකු ලෙස එය එහි කීර්ති නාමයට "දැවැන්ත හානියක්" සිදු කරන බව ය.

dims.apnews
ඔස්ට්‍රේලියාව පස් වතාවක් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දරා තිබේ. 2018 වසරේදී ගෝල්ඩ් කෝස්ට් සහ 2006 වසරේදී වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් මෙන් ම, මේ වන විට සත්කාරකත්වය දැරිය හැකි නගර ලෙස හුවා දක්වන ඔස්ට්‍රේලියානු නගර වන සිඩ්නි ඇතුළු නගර ද ඒ අතර වෙයි.

නවසීලන්ත බලධාරීන් ද පවසන්නේ තමන්ට ද ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දැරීමට නොහැකි බවයි.

 

මෑත වසරවලදී ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා සුදුසු සත්කාරකයින් සොයා ගැනීමට සංවිධායකයින්ට විශාල දුෂ්කරතා ඇති විය. 2022 වසරේ ක්‍රීඩා උළෙල දකුණු අප්‍රිකානු නගරයක් වන ඩර්බන්හිදී මුලදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් මුදල් ගැටලුවලට මුහුණ දීම සහ ඒ සඳහා සූදානම් වීමේදී කාලසීමා මග හැරීම හේතුවෙන් 2017 වසරේදී එහි සත්කාරකවය ඉවත් කෙරිණි. ඉන් මාස නවයකට පසුව එංගලන්තයේ බර්මින්හැම් නගරය සත්කාරකත්වය ලබා දීමට එකඟ විය.

 

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සම්මේලනය 2019 වසරේදී 2026 වසර වෙනුවෙන් සත්කාරකත්වය දැරීමට රටක් නම් කිරීමට බලාපොරොත්තු වූ නමුත්, ඒ සඳහා ඉදිරිපත් වූ රටවල් කිහිපයක් වියදම් ගැටලු හේතුවෙන් තෝරා ගැනීමේ ක්‍රියාවලියෙන් ඉවත් වූ අතර, 2022 දක්වා සත්කාරකයෙකු ලෙස වික්ටෝරියා ප්‍රාන්තය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට එම සම්මේලනයට නොහැකි විය.


ටිෆනි ටර්න්බුල්
බීබීසී පුවත්, සිඩ්නි

(BBC සිංහල සේවය)


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...