BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

බල්සාක් කැෆේ : මචෝ ගොඩෝ ආවද ? | - (මංජුල වෙඩිවර්ධන)

T

The Leader

January 17, 2026 • 11:37 PM

බල්සාක් කැෆේ : මචෝ ගොඩෝ ආවද ? | - (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පියංකාරගේ බන්දුල ජයවීර කවියාගේ අභිනව කාව්‍ය කෘතියට මා අතිශය කැමති බව මුල්ම වැකිය ලෙස ලියා තබමි.
  • ඔහු සමකාලීන ජනකවියකු බව උපුටන සහිතව පෙන්වා දෙන්නට බැරි,  බැරියාවක් නැත.
  •  ඔහුගේ ජනකවි සියල්ලම ලිපිගොනු තැන්නෙන්  පැන නැඟෙන බව මගේ  පුද්ගලික නිරීක්ෂණය යි.
  • මට හැඟෙන්නේ ඔහුගේ මේ කවිතාව කට්ට කන  ජීවිතයෙන්ම පැන නගින බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):


සමකාලීන ජන සමාජයේ වෘත්තීය කැටගරිකරණය තුළ පියංකාරගේ ස්තානගත වන්නේ ලිපිගොනු තැනිතලාවක් මැද ගොනුකුර ගැටෙන හඬ ඇසෙන රාජ්‍ය සේවයේ වෘත්තීමය පරිශ්‍රය තුළ ය. ඔහු සමකාලීන ජනකවියකු බව උපුටන සහිතව පෙන්වා දෙන්නට බැරි,  බැරියාවක් නැත.  ඔහුගේ ජනකවි සියල්ලම ලිපිගොනු තැන්නෙන්  පැන නැඟෙන බව මගේ  පුද්ගලික නිරීක්ෂණය යි.

ජන කවියේ, ජන ව්‍යවහාරයේ, ජනප්‍රවාදයේ  ආභාෂය සමකාලීන දේශපාලන මොහොතට මෙතරම්ම ඈඳාගත් සමකාලීන කවි පොතක් මට හමුවී නැත. මට හැඟෙන්නේ ඔහුගේ මේ කවිතාව කට්ට කන  ජීවිතයෙන්ම පැන නගින බව ය. එනයින් එය ඔහුගේ ආත්මීයත්වය ම බව ය.

cvxsdg

ඔහු ටිමා ගැන ලීවත්, හෙට්ටියා ගැන ලීවත්,  අජ්ජා හෝ වෙඩ්ඩා ගැන ලීවත් ඒ වැවහර බස වැවහර අර්ථයෙන්ම පවතී. මේ බලන්න ඔහුගේ සමකාලීන ජනකවි.

‘’කළු කපුටා සුදු වෙනතුරු
මෝල් ගහේ දලු ලන තුරු
ශ්‍රී ලංකා ජනාධිපති
පෙරටුගාමියෙක් වනතුරු.....

 

‘’කළු කපුටා සුදු වෙලාය
මෝල් ගහෙත් දලු ඇවිත් ය
ජෙප්පෙක් ජනපත වෙලා ය
ඉන්දියාව බුදු.... සිරා ය"
 (ද්වීකෝටික කවි)

 

‘’හොරෙන් නෙතින්
නිති ගැහැණුන්
රෙදි ලිහනා
ඉඩක් ලදොත්
සැක නැත රමණය කරනා'’
(පිරිමි සහ ඇඳුම්)


භාවිත සුලභ 'තාක්ෂණික මෙවලම් ජනබස'  ජන කවියෙහි ඕජෝ ශක්තියෙහි රඳවා සමකාලීන මොහොතට සමාන්තරව ප්‍රතිනිර්මාණය කරන්නේ කෙසේද යන්න පියංකාරගේ බන්දුල විජේවීර කවියා අතිශය තීරණාත්මක ලෙස කූඨප්‍රාප්තියට නගයි. අතිශය රමනීය කාව්‍යමය බසකිනි.  මේ බලන්න!

"ඩිස්ප්ලේ ටච් අයි සී තුන් වරක් ගියා
රෙපෙයාර් එකට දාහේ කොළ අටක් ගියා
පත්තු වෙවී දුන් එළියත් නිවිලා ගියා
ඩිස්ප්ලේ ගියා ජංගමයා නිවන් ගියා"
(ජංගමයා නිවන් ගියා)

ස්මාර්ට් ෆෝන්ස් සහ සෝෂල් මීඩියාවලට අදාල සමකාලීන ප්‍රස්තුත සහ සමකාලීන දේශපාලන සමයේ අන්ජබජල්භාවය පියංකාරගේ බහුතර කවි සරසන ආත්මීය ප්‍රවේශයන් ය.

‘’වහල් ගිතය’’ මැයෙන් වන කවියේ ඔහු මෙසේ ලියයි.

මහින්ද සමඟ නැඟිටිමු ?
මහින්ද සමඟ දත්මැද…
මුහුණ කට සෝදා ගමු ?
මහින්ද සමඟ තේ බොමු ?
මහින්ද සමඟ බත් කමු ?
මහින්ද සමඟ ‘ඇඳ ගමු’ ?
මහින්ද සමඟ ගෙට එමු ?
මහින්ද සමඟ ‘නා ගමු’ ?

කෘති‍යේ නාමකරණය සහිත ‘අරවින්ද සහ ගොඩෝ’ කවිය ඔහු ලියන්නේ ද, එය ෆේස් බුක් තාප්පයේ අලවන්නේ ද හරියටම අරවින්ද නාමකරණය දරන චරිතය විධායක ජනාධිපති  තනතුරේ දිවුරුම් දුන් දිනට පසු දින ය. බොහෝ විට කවිය ලියන්නට පටන් ගන්නට ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති චාම් සරල ළගන්නාසුළු දිවුරුම් දීමේ උත්කර්ෂය අත්විඳිමින්ම වන්නට පිළිවන.

ෆේස් බුක් කවියේ පින්තූරය ලෙස කවියා යොදාගෙන තිබුණේ ජනපතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලියේ අනුර කුමාර දිසානායක සහෝදරයා වෙනුවෙන් භාවිත කළ පෝස්ටරයකි. එහි අරවින්ද අතක් වනාගෙන සිටියි. ඉංග්‍රිසීයෙන් ‘ඒකේඩී ඊරා කමිං සූන්’ යනුවෙන් ලියා ඇත. සිංහලෙන් වන්නේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා විසින් උස් හඬින් මාලිමාසක්ත හදවත් මත ලියා තැබූ සුප්‍රකට ‘නැගිටපල්ලා’ කවියයි.

පියංකාරගේ කවියා එදා ලියා තැබූ 'ගොඩෝ සහ අරවින්ද'  කවිය මෙබඳු ය.

දෙකක් පරපුරු
"ගොඩෝ එනකං!"
කැපවුණේ දිවි
පුදා මරු වෙත
ගොඩෝ යැයි
බෝ උන්ට රැවටී
බීඩි, සිගරැට්
උර උරා අපි...
පාරවල්වල
ගෙවා දිවියම
බලා උන්නෙමු
"ගොඩෝ එනකං!"
රෑ වැටුණු වළේ
දවල් වැටෙමින්!

 මේ පැමිණියේ
ගොඩෝම නූනත්???
මෙතෙක් රට කෑ
සොරෙකු නොවෙතැයි
කාලෙකට හරි
හිත හදාගෙන....

පැමිණි මොහුගෙන්
"ගොඩෝ කෙනෙකුන්"
තනාගන්නට
වෙහෙස වෙමු සකි???

පුදා ඡන්දය
බලා නොම සිට
සක්‍රීය ලෙස
වැඩට බහිමුද?

සංසාර චක්කරේ තරමට
කඳුළු ගෑස් ද
බැටන් පහර ද
රබර් උණ්ඩ ද
ජීව උණ්ඩ ද!
දිවි උරුම ලෙස
තව බොහෝ කල්
දරු මුණුපුරු
පරපුරක් වෙත
දායාද වෙන්නට නොදී
' දන්න කියනා එකෙකුගෙන්'
" ගොඩෝ කෙනෙකුන්"
තනාගමු අපි???

මෙ නමින් යුතු කෘතිය පළවන්නේ මෙ කව පළවී වසරක ඇවෑමෙනි. එහිදී නාමකරණය නො වෙනස්ව තිබුණ ද කවිය වෙනස් වී ඇත. කෘතියකට කවියක් ඇතුළත් කිරීමේදී මුලින් ලියූ කවිය සමඟ බොහෝ ඔට්ටු වීම මා අනුදත් කවි මඟයි. පළමුව පළවූ කවිය හැකිතාක් ඉසියුම් කිරීමට මා දරනා වෙහෙසත් මා ගන්නා කාලයත් මගේ ලිවීම ගැන දන්නා සමීප මිත්‍රත්වය දන්නා කරණකි. ඊට කියන්නේ අභ්‍යාසය නම්, එසේ පවසනු මැනවි. ඒ කෙසේ නමුත් කවර අභ්‍යාසයක් යටතේ වුව මුල් කවිය පිහිටවූ සන්දර්භය නොරිද්දවීම මගේ භාවිතයයි. වෙනත් කවියෙක් මගේ භාවිතයම ගත යුතු යැයි ඉන් කියැවෙන්නේ නැත. මා මෙම අභ්‍යාසමය ක්‍රියාවලිය ගැන පැවසුවේ පියංකාරගේ බන්දුල ජයවීර මිත්‍ර කවියාගේ අභ්‍යාසය කවරාකාරදැයි සලකුණු කිරීමට ය. මේ තාක් කවි පොත් හතක් පළ කර ඇති මා චිරකාලීන මිත්‍රයා පිළිබඳ අපට ඇති ‘දැනුම’ වන්නේ ඔහු ලියනා කවි එහෙම්ම ගෙඩිය පිටින්ම කෘතිවලට ඇතුළත් කරන බව යි. නැත. ඔහු අභ්‍යාසගත වෙයි. ඒවා සංස්කරණයට ලක් කරයි. කොටින්ම ඔහු සන්දර්භයන් පවා වෙනස් කරයි. ප්‍රස්තුත කවියට අදාලව ගතහොත් ඔහුගේ අන්තර් දෘෂ්ටිය සසල වී ඇති සෙයකි.

සාහිත්‍ය විචරයකු ලෙස සාධනීය මැදිහත්වීමක නිරත වෙමින් සිටින අප මිත්‍ර භූෂන් ප්‍රදීප් ‘ගොඩෝ සහ අරවින්ද’ ගැන ලියූ විචාරයේ සැමුවෙල් බෙකට්ගේ නාට්‍යමය ප්‍රයත්නය වෙත මෙසේ එළැඹෙයි.

05godot superJumbo

 ‘කාන්තියානු තේමාවකින් යුක්ත ගොඩෝ උන්නැහේ එනකං නාට්‍ය තුළ ව්ලැඩ්මීර් සහ ඊස්ට්‍රජන් පාළු පාරක සිටින්නේ අහම්බයකින් ද ? ඔවුන් දෙදෙනා සිටින තැන ඇත්තේ වියලී ගිය ගසක් වීමත් අහම්බයක් නොවේ’’

 
කෘතියේ කේන්ද්‍රීය කවිය කෙලෙසින් පැවතිය ද, මොල සෙනෙවිරත්න නම් රාජ්‍ය සම්මානලාභී කවර නිර්මාණකරුවා තමන්ගේ දේශපාලන ආස්ථානය මෙම කෘතියේ කවරය තුළ කේන්ද්‍රගත කරයි. බැලූ බැල්මට ම කවරය තුළ වන්නේ පියානෝවකි. ඔහු නාමකරණයේ වචන ඛන්ඩනය කර ඇත්තේ මූලික අරුත පවා ඛන්ඩනය වන ආකාරයට ය. නිදසුනක් ලෙස අරවින්ද යන වචනය, ‘අර’-‘වින්’-‘ද’ ලෙස බෙදා වෙන්කර තිබේ. එය කැමති ලෙස වර නඟා ගැනීමට ඉඩ දීමකි. පියානෝවේ, ‘නැචුරල්’ යතුරු නිරුපද්‍රිතව ඇත. ‘ෆ්ලැට්’ මෙන්ම ‘ෂාප්’ යතුරු නොහොත් පියානෝවේ කළුවට පෙනෙන යතුරු ලෙස නිරූපනය කර ඇත්තේ ගැහැණුන් සහ මිනිසුන් ය. රතුපාට වම් අතක් පියානෝ යතුරු පුවරුව වෙත එළඹෙමින් තිබේ. මේ අරවින්දගේ වම් අත නොවේ ද? මෙය අතිශය නිර්මාණාත්මක පිටකවරයකි. එමෙන්ම මොල සෙනෙවිරත්න කවියා අතිශය සවිඥානකව සිදුකළ නිර්මාණයකි. ගෝඩෝ ලෙස පැමිණි අරවින්දගේ රාජ්‍ය  පාලනය කවරකාර පියානෝ වාදනයක් වේද? කෘතියේ හිමිකාර කවියාට උසුලා ගත නොහෙන බරකින් කවරය වර නඟන්නට මොලා මෙහිදී උපක්‍රමිකව ක්‍රියා කර තිබේ. මොලා නොහොත් කවර නිර්මාණකාර කවියා පාඨකයාට නොපෙන්වා සිටින දෙයක් ඇත. එනම් පියානෝ වාදකයාගේ දකුණු අතයි. එය කවර වර්ණයක් ගනු ඇද්දැයි කිසිවකුත් දන්නේ නැත. එහි හැඩතල සහ වර්ණය මෙන්ම ඉන් උත්පාද වන්නට නියමිත ස්වර සන්ධ්වනි කවරකාර වේදැයි යන්න පරිකල්පනය පිණිස තබා ඇත්තේ කවරයට එපිටිනි.

සැමුවෙල් බෙකට් නම් මහා නාට්‍යවේදියා විකාරරූපී මාත්‍රාවෙන් ධ්වනිත කළ ගොඩෝ නම් නාඳුනන්නාගේ නො පැමිණීම නම් යථාර්ථය, පියංකාරගේ කවියා බිඳ දැමීමට යත්න දැමුවේ අරවින්ද නම් චරිතය ගොඩෝ බවට පත් කිරීම හරහා ය. ඒ වනාහී තමන්ගේම යුතෝපියානු සංස්කෘතික දේශපාලන විශ්වයේ විකාරරූපී නාට්‍යයක් බව තමන්ම තේරුම් ගනිමින් සිටින බව කාව්‍යමය ස්වරයෙන් පවසන්නේ අප නොවේ, ගොඩෝ සහ අරවින්ද එකිනෙකාට අබිමුඛ කළ නොඑසේනම් ඒකාබද්ධ කළ පියාංකාරගේ බන්දුල ජයවීර කවියා ම ය.  


ඔහු මුලින් ලියූ කවියේ දී පැහැදිලිවම ‘දන්න කියනා එකෙකුගෙන් ගොඩෝ කෙනෙකු තනා ගනිමු අපි’ යන්න ප්‍රශ්නාර්ථ තුනක් සමඟින්ම සහෘදයාට අබිමුඛ කරයි. නමුත් වසරක ඇවීමෙන් කෘතියට එනවිට කවියේ අවසානය මෙයාකාර රූපාන්තරණයකට ලක්ව පවතින්නේ වෙයි.

‘’පැතූ සිහිනය
සැබෑ කරනුව
නැඟී සිටිමුව !
මෙතෙක් සිත රැඳි
දිරිය සිදෙනුව
ඉඩ නොදී !!!

පියංකාරගේ කවියා වසරක ඇවෑමෙන් වෙනස් කර ඇත්තේ මෙකී කවියේ අවසානය පමණක් ම නොවේ. පළමුව ලියූ කවියේ අවසානයේ ඔහු තැබූ ප්‍රශ්නාර්ථ ලකුණු තුන වෙනුවට ඔහු, වෙනස් කළ කවියේ අවසානයට විශ්මායාර්ථ ලකුණු තුනක් ද තබා ඇත. මේවා අහම්බයන් ද?

අවසාන වශයෙන් තවත් එකම එක කවියක් පමණක් උපුටන්නට අවසර පතමි. කෙටි කවියකි. කවිය ලියා ඇත්තේ ද, මාතෘකාව තබා ඇත්තේ ද අප නොවේ,  ‘ගොඩෝ සහ අරවින්ද’ යන කවිය ලියා එම මාතෘකාව තැබූ සමකාලීන යුගයේ  මාතර කවියා ම ය.  

මේ කවියේ මාතෘකාව වන්නේ ‘හැම ආණ්ඩුවකටම ලියන කවිය’ යන්න ය. කවියා තමන්ගේ කේන්ද්‍රීය කවිය තමන් තුළම ප්‍රශ්න කෙරෙන්නට ඉඩ හරියි. මෙයාකාරයෙනි.  

‘විපක්ෂයේ දුටු…
ඔබ ම ද මේ ?
ඔබට ද මා…
අන්ධ වුණේ ???

dgsdgs

Manjula Wedi(සටහන | මංජුල වෙඩිවර්ධන)
Manjula Wediwardena
Journalist/Writer

www.wediwardena.com

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...