BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ලෙත්‍රොන්ජේ' : කැමූ නැවත කියවිය හැකි ද? | මංජුල වෙඩිවර්ධන

T

The Leader

January 23, 2026 • 5:34 AM

ලෙත්‍රොන්ජේ' : කැමූ නැවත කියවිය හැකි ද? | මංජුල වෙඩිවර්ධන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ෆ්‍රන්ස සිනමක්කාර ෆ්‍රොන්සුවා ඕසොන් ස්වකීය සිව්විසි සිනමා නිර්මාණය ලෙස සහෘදයන් අතරට පැමිණෙන්නේ අල්බබෙයා කැමූගේ 'ලෙත්‍රොන්ජේ' හෙවත් පිටස්තරයා කැටුව ය.
  • මේ දන්නා කියන මර්සෝ, ඕසොන් විසින් අර්ථකථනය කෙරී ඇත්තේ කවරාකාරවද?
  • සැබවින්ම ඔහුගේ අර්ථකථනය විශ්වාසනීය බව කිව යුතුය.
  • එහෙත්, නවකතාවේ සාරය නොකෙලෙසා, එහි අනුක්‍රමික ගලායාම නො නසා, සංවාද සංලාප පලින් පල ගවසා සහෘදයා රමණීය සිනමා සක්මනකට කැඳවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කැමූ ආසක්ත සාහිත්‍යකරුවකු වන මා ඕසොන්ගේ කළු සුදු ගැඹුරේ මර්සෝ සමග ඒකාත්මීය වන මොහොතේ මා තුළ පහළ වූ විඳීම් ද විඳවීම්ද බල්සාක් පරිශ්‍රයේ කෝපි උගුරක් තොලගානා අතරතුර සටහන් කර තැබිය යුතු යැයි ඒ මොහොතේදීම තීරණය කළෙන් මෙම කොළම ලියැවෙයි.  

 


සිංහලකරණය වූ කැමූගේ ' ලෙත්‍රොන්ජේ' මුල්වරට අප කියැවූයේ සෝමරත්න බාලසූරිය නම් වන විසල් සාහිත්‍යකරුවාගේ  බුද්ධිමය ශ්‍රමය හන්දා ය. මනරම් බසකින් සමන්විත වූ එය ළ ගන්නා සුළු අත්දැකීමක්ද හද මනසේ තැන්පත්ව තිබිණ. ඉක්බිති, 'අමුතුම මිනිහෙක්' මැයෙන් පියසිරි විජේසේකර විසින් 'ලෙත්‍රොන්ජේ' යළි අපට සිංහලෙන් අභිමුඛ කරන ලදි. එයද අමුතුම රමනීය පරිවර්තනයක් විය.

ඉනික්බිති මර්සෝ හමුවුණු වාර මතකයෙන් ගණනය කරන්නට බැරි තරම් ය. මේ දන්නා කියන මර්සෝ, ඕසොන් විසින් අර්ථකථනය කෙරී ඇත්තේ කවරාකාරවද? සැබවින්ම ඔහුගේ අර්ථකථනය විශ්වාසනීය බව කිව යුතුය. ඔහු ව්සින් මර්සෝ, අතිශය වැදගත් එමෙන්ම ඉසියුම් චලනයන්ට ලක් කෙරෙයි. එහෙත්, නවකතාවේ සාරය නොකෙලෙසා, එහි අනුක්‍රමික ගලායාම නො නසා, සංවාද සංලාප පලින් පල ගවසා සහෘදයා රමණීය සිනමා සක්මනකට කැඳවයි.

 

camuඅල්බබෙයා කැමූමෙකී ඉසියුම් චලනයන් කවරාකාරද? කැමූගේ සුප්‍රකට නොවෙල්ලාව කියවූ කිසිවෙකුටත් එහි සුප්‍රකට දරුණු ඇරඹුම් වැකියෙහි වරනැඟුණු අදහස  අමතක වන්නේ නැත.

''අම්ම අද අන්තරා වෙලා. බාගවිට ඊයෙ වෙන්නත් පුළුහන්. ෂුවර් නෑ."

 

'මර්සෝ මනස'ට පිවිසෙන්නට පාලම තැනෙන්නේ මෙකී නිශ්චිත වැකියෙනි. මව නේවාසිකව සිටි මඩමෙන් ඇය මළ බව සඳහන්කර අතට ලැබෙන ටෙලිග්‍රෑමයක් පුතෙකු තුළ කවරාකාර, තිගැස්මක්, කම්පනයක්, වේදනාවක්, සංවේගයක් ඇතිවේදැයි යන්න කෙරෙහි පූර්ව නිගමනයක් පොදුවේ සියල්ලන් තුළම පවතී. කැමූ ඇරඹුම් වැකියෙන් බෝම්බය හෙළන්නේ මෙකී පොදු අවිඥානයටය. ඕසොන් නම් සිනමාකාරයා සොලවා පෙන්වන්නේ මෙකී නිශ්චිත ඇරඹුම් ලක්ෂ්‍යයයි. ඔහු එය බරපතල දේශපාලන පරිවර්තනයකට ලක් කරයි.

ඔහු සිනමා කෘතිය අරඹන්නේ මෙසේ සලකුණු කරමිනි.

 

18 derfremde âfoz gaumont france2cinema macassarproductions fotoleonidasarvanitis.6038050
"මං අරබ්බෙක් මැරුවා"

සිනමාකරුවා මෙකී මැරුම්කන අරබ්බා සිනමා කෘතියේ කේන්ද්‍රයට කැඳවයි. එමෙන්ම ඔහු නොවෙල්ලාවේ නොවන, ඔහුගේ සහෝදරියක් සිනමා කෘතියට කැඳවයි.

මෙකී තීරණාත්මක සිනමානුකරණය පිළිබඳ පසුව පැවති සංවාදයකදී ෆ්‍රොන්සුවා ඕසොන් කීවේ ඔහු කැමූගේ කෘතිය පළ වූ වර්ෂය පාදක කරගනිමින්, ඊට සමකාලීන වූ සමාජ දේශපාලන සන්දර්භය  හැකිතාක් සංසිද්ධි මත පදනම්ව අධ්‍යනය කළ බවයි. අල්ජිරියානු යුද සමය සහ නිදහස අතැර 'පිටස්තරයා' කියවිය නොහැකි බව ඔහු විග්‍රහ කරයි. පිටස්තරයා ගැන සාහිත්‍යමය, දේශපාලනික මෙන්ම දාර්ශනිකව ලියවුණු විචාර විග්‍රහ සියල්ලක්ම පාහේ සිය අධ්‍යයනයට පාදක වුනු බව මෙහිදී  ඕසොන් කියයි.

 

letranger3
මේ සියලු අධ්‍යයනයන් අතිශය ඉසියුම්ව සිනමාපටය විසින් උරා ගනු ලැබ ඇති බව කියවා ගැනීම අපහසු නැත. මවගේ දෙණ අසල සිටියදී පවා ඇගේ වියෝව  ගැන නොව අධික රස්නය ගැන වධවෙන මර්සෝ අරබ්බාට වෙඩි තියන්නේ ද දෑස්මතත පතිත වන, ඉහලුම් නොදෙන සූර්ය රශ්මිය හන්දා ද? සිනමාපටයේ දී අරාබි තරුණයාගේ අත මත දිදුලන පිහිය මතින් මෙකී චන්ඩ සූර්ය තාපය පරාවර්තනය වී මර්සෝගේ දෑස් පිස්සු වට්ටවයි. එහෙත් අරබ්බාට වෙඩි තබන්නට එවන් හේතුවක් සෑහේද? ඕසොන් විසින් ඔහුගේ සහෝදරිය සිනමා කෘතිය වෙත කැඳවෙන්නේ ස්වකීය සහෝදරයා වෙනුවෙන් ම පමණ ද?  


මෙකී සහෝදරිය නාමකරණය නොකළද ඕසොන් විසින්, කැමූගේ කෘතියේ අරාබි ජාතිකයා ලෙස පමණක් සලකුණු වන චරිතයට මූසා හම්දානි ලෙස නාමකරණයක් පවා ලැබ දෙයි.

මේ සියල්ල සිදු කිරීමට ඕසොන්ට හැකිහැකි වන්නේ කැමූ විසින් මර්සෝ කෙරෙහි තැබුණු "උත්තම පුරුෂභාවය"  බිඳ දැමීම නිසා බව සිනමා පටයේ සෞන්දර්ය තුළ ප්‍රකාශමාන වේ. නොවෙල්ලාවේදී මර්සෝගේ නරඹන්නා මර්සෝම ය. සකල සංසිද්ධීන් පිළිගන්නට හෝ ඒවා ප්‍රතික්ෂේප කරන්නට පූර්ණ අයිතිය ඇත්තේ ඔහුටමය. උදාසීන වන්නේ කොතැනකදීද, සක්‍රීය වන්නේ කොතැනකදීද යන්න තීන්දු කරන්නේ ඔහු මය. නමුත් ඕසොන්ගේ සිනමා ප්‍රතිනිර්මාණයේදී බහුවිද දෘෂ්ටීන්ට අවනත වන්නට මර්සෝට සිදුවෙයි. ස්වයංකතනය දෙදරා යයි. කොටින්ම, සිනමා පටය පුරාම දැඩිව පවතින සූර්යාලෝකයට පවා අවනතවන්නට ඔහුට සිදුවේ.

 1200x680

නීතිය ඇතුළු සමස්ත සමාජ පද්ධතියට ගැටලුව වන්නේ අරබ්බෙකුට වෙඩි තිබීම නොව සිය මවගේ මරණය අභියස කඳුලක් හෝ නොසලා උදාසීනව සිටින තරුණයෙකුගේ චර්යාවයි. අරාබි ජාතිකයෙකු වෙඩි තබා මරා දමනා පළමුවැන්නා මර්සෝ නොවන බව පොදු පිළිගැනීමයි. තමන්ගේ මවගේ මරණය අබියස හැඟුම් පළ නොකරන එකම තැනැත්තා මර්සෝද?  මෙකී තර්කනය පිටුපස පැවති සහ අඛණ්ඩව පවතින සමාජ දේශපාලනය කුමක්දැයි තෝරා ගන්නා ලෙස ඕසොන් සහෘදයාට කළු සුදු වර්ණයෙන් යෝජනා කරයි. මට අනුව නම්, ෆ්‍රොන්සුවා ඕසොන්ගේ 'ලෙත්‍රොන්ජේ' ප්‍රතිනිර්මාණය විශිෂ්ට සිනමා වෑයමකි.  

letranger 4

අපි අප විසින්ම ගොඩනැගුණු, අපේ ම සිර මැදිරි තුළ අපේම ඉරණම විසඳෙන තීන්දුව එනතුරු බලා සිටින්නේ වෙමු. මෙකී ඉරණම, අහම්බයක්ද? පුද්ගලික උදාසීන භාවයේ ප්‍රතිඵලයක්ද? නැතහොත් පොදු කාර්යක්ෂමභාවයේ ප්‍රතිඵලයක්ද? තමන්ගේ 'ආගන්තුක' සිර කුටිය තුළම සිට සන්සුන්ව මේ ගැන සිතන්නට පුළුවන්නම් උත්තරය ලැබෙනු ඇත.


WhatsApp Image 2025 10 31 at 10.05.08 AM(සටහන | මංජුල වෙඩිවර්ධන)
Manjula Wediwardena
Journalist/Writer
www.wediwardena.com

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...