BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ෆ්‍රන්සක්කාරයෝ : ‘මල්’’යනු කවරක්දැයි බෝද්ලෙයාගෙන් අසමු | මංජුල වෙඩිවර්ධන

T

The Leader

April 12, 2026 • 4:29 AM

ෆ්‍රන්සක්කාරයෝ : ‘මල්’’යනු කවරක්දැයි බෝද්ලෙයාගෙන් අසමු | මංජුල වෙඩිවර්ධන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අටසිය පනස් හත ෆ්‍රන්ස සාහිත්‍යයට මෙන් ම ලෝක සාහිත්‍යයට අතිශය වැදගත් වසරක් වන හේතු දෙකක් ඇත.
  • එමා බොවාරිගේ ජීවන චාරිකාව සිංහලෙන් කියවූ සාහිත්‍ය සහෘද ප්‍රජාව මෙම සංසිද්ධිය කරුණක් ලෙස දැන සිටිනවා වන්නට පිළිවන.
  • නො එසේ නම් ඊට සමාන්තර තේරුම් ඇති දුෂ්ටත්වයයි; නපුර යි; අයහපත යි.
  • මෙම මහා ෆ්‍රන්ස කවියා - බෝද්ලෙයා - පොත අරින්නට පෙරම ධ්වනිත කරන්නේ ආගමිකත්වය සහ අධ්‍යාත්මිකත්වය සාහිත්‍යයික සහ දාර්ශනික ගැඹුරකින් ස්පර්ෂ කෙරෙන ප්‍රබන්ද ලෝකයකට ඇතුළු වන්නට කරන ඇරියුමක් බඳු හැඟුමකි.
අකුරු ප්‍රමාණය (Font Size):

2175පළමුවැන්න තාත්විකවාදී සාහිත්‍යයේ මහා පරාවර්ථනය වූ ‘මදාම් බොවාරි’ කැටුව ගුස්ටාව් ෆ්ලොබෙයා සම්ප්‍රාප්ත වීමයි. එමා බොවාරිගේ ජීවන චාරිකාව සිංහලෙන් කියවූ සාහිත්‍ය සහෘද ප්‍රජාව මෙම සංසිද්ධිය කරුණක් ලෙස දැන සිටිනවා වන්නට පිළිවන.

නමුත් නූතනවාදයේ ගැඹුරුතර සම්ප්‍රාප්තිය සලකුණු කරමින් Charles Baudelaire - ෂාල් බෝද්ලෙයා  Les Fleurs du Mal  - ලෙ ෆලර් දු මල් (අනර්ථයේ මල්) රැගෙන බර අඩි තියමින් පැමිණි අයුරු බහුතර සිංහල සහෘද ප්‍රජාව එතරමින් ම දැන නො ඉන්නට ඉඩ ඇත

ෆ්ලොබෙයාගේ සහ බෝද්ලෙයාගේ කෘති දෙකම සම්මත සදාචාර විශ්වය තුළ අශ්ලීලත්වය පිළිබඳ සාහිත්‍යමය පිරික්සුම් ය. එමා බොවාරි නවකතාවක හැඩතල ගනිමින්  කිසියම් ලිහිල් සාහිත්‍යයික පඨිතයක රැඳවුණු බැවින් එය විවිධ භාෂාවන්ට පරිවර්ථනය වෙමින් ලෝකය පුරා වඩාලාත් සංසරණය වීම සහේතුක ය.

බෝද්ලෙයාගේ ‘අශිෂ්ඨ’ කෘතිය ගැන පොදුවේ අධිනිෂ්චය වුණු අදහස මුලින් ලිව්ව යුතු ය.  ෆ්‍රන්සක්කාරී කවිය ගැඹුරින් හදාරන බුද්ධිමය සමාජය මෙකී ‘මල් සුවඳ’ විද ගන්නා ආකාර ය කිව්ව යුතු ය. ඔහු විසින්  මේ හරහා සිද්ද කෙරුණේ, ‘කාව්‍යමයත්වය’ යැයි සැළකිය හැකි, එහෙත් මා ‘කාව්‍යස්මිතාව’ යැයි හඳුන්වන්නට කැමති ‘’කවියක එහිම ආත්මීයත්වය’’, සංකීර්ණ සංවේදීතාවක් සහිත නූතනත්ව තේමාවන් කාව්‍යමය තාක්ෂණයේ ප්‍රතිභානයෙන්, සම්භාව්‍ය ව්‍යුහයක රඳවා සාහිත්‍ය ලෝකයට පිරිනෑමීම යි.

3210827753 1 2 byzehIvE

ෆ්‍රන්ස බසින්  ‘Mal - මල්’ යනු සිංහලෙන් මල් නොවේ,  අනර්ථයයි. නො එසේ නම් ඊට සමාන්තර තේරුම් ඇති දුෂ්ටත්වයයි; නපුර යි; අයහපත යි. අකුසලය යි. කොටින් ම ඒ වනාහී පාපය යි. කාව්‍යකරණයේ අටුවං බැස තිබි සම්භාව්‍යවාදී ප්‍රවනතාවන් හෝ රොමාන්තිකවාදී ප්‍රවනතාවන් තුළ විකසිත වන කුසුම් වහනය කරන හැඟුම්කාරක සමඟ අනර්ථය හෝ පාපය ගෙන දෙන හැඟුම්කාරකය බැලූ බැල්මට ම පෑහෙන්නේ නැත. යා දෙක නොරත රත සමඟ පෑහීමක් නැත බඳු ය. මෙකී ශීර්ෂකරණය ම,  පැවැත්ම සහ සෞන්දර්ය පිළිබඳ ප්‍රතිවිරෝධයකි. මෙම මහා ෆ්‍රන්ස කවියා - බෝද්ලෙයා - පොත අරින්නට පෙරම ධ්වනිත කරන්නේ ආගමිකත්වය සහ අධ්‍යාත්මිකත්වය සාහිත්‍යයික සහ දාර්ශනික ගැඹුරකින් ස්පර්ෂ කෙරෙන ප්‍රබන්ද ලෝකයකට ඇතුළු වන්නට කරන ඇරියුමක් බඳු හැඟුමකි.

සුන්දරත්වය සහ නපුර තනි රූපකයකට ගෙන ඒම හරහා බෝද්ලෙයා සිදුකරන්නේ  මතුපිට සුන්දරයත්වය විනිවිඳිමින් එහි පතුළත වන ගූඪ, අඳුරු දුෂ්ටකම සහ අප්‍රසන්නකම සංවාදයට ගැනීම ය. සාහිත්‍ය නූතනවාදය තුළ නො එසේ නම් මෙම කාව්‍ය සමුච්ඡයේ ඔහු අනුදත් කාව්‍ය නූතනත්වය තුළ ඔහු ගවේශනය කරන්නේ නූතත්වය විසින් හිමිකර දෙනු ලබන මනුෂ්‍ය ජීවිතය උත්ප්‍රාසාත්මකව විනිවිඳිමකි.

කෘතියේ ප්‍රකටම කවි වන ‘La Chevelure -  ලා ෂවර්ලර්’ (මුහුළස)

‘Hymne à la Beauté - ඉම් ආ ලා බිවුතේ’ (ගීතිකාවෙන් සුන්දරත්වය වෙත),‘Harmonie du Soir - ආමොනි දු සුවා’ (හැන්දෑ සංගතිය), ‘‘L’Invitation au Voyage - ලංවිටාස්යොං ඕ වොයාජ්’ ( සැරිසර ඇරියුම) බඳු ගැඹුරු නිර්මාණ එන්නේ ‘Spleen et Idéal - ස්ප්ලීන් එ ඊඩියාල් ‘(දොම්නස සහ පරමාදර්ශය)  ලෙස හඳුන්වා ඇති කොටසේ ය.

pariscwr

එම කොටසෙහි ම එන ‘Tableaux Parisiens - තබ්ලෝ පැරීසියෙන්’ (පැරිසියානු සිත්තම)  මුළුමනින්ම ජෝජ්-ඔජේන් උස්මාන්ගේ (Georges-Eugène Haussmann) පැරිසියේ නාගරිකරණ ව්‍යාපෘතිය වෙත ඔහු  තුළ වූ ප්‍රතිරෝධය නිර්භීතව හා නොවලහා ප්‍රකාශමාන වීමකි. එය සංක්‍රාන්තිකර සමයෙකි. සියල්ල කඩා බිඳ දමා, සුන්බුන් ගොඩ ගසා තබා, යළි ගොඩ නැඟෙන අවදියකි. ජීවිත වෙනුවට පෙනෙන්ට තිබුණෙ ඉදිවෙමින් පැවති  ‘බුල්වා’ නම් මහා වීදි, මං මාවත්,  ගොඩනැගිලි සහ ඒවා තැනීම වෙනුවෙන් තැන් තැන් වල ගොඩ ගැසූ පතරංග උපකරණ සහ ගොඩනැගිලි අමු ද්‍රවයයන් ය. ඒ වනාහී  අනාගතය විකසිත කරන්නට නියමිත විශ්මිත පැරිසිය නොහොත්  ‘ප්‍රේමයේ නගරය’, ‘නොනිදන නගරය’, ‘ආලෝකයේ නගරය’ සිහිනයක් ලෙස පමණක් පරිකල්පනය කළ හැකි කැත කුණු මඩ වගුරු ගහණ භූ චිත්‍රයකි.

‘අනර්ථයේ මල්’ කෘතියේ එන ‘Le Cygne - ලු සීඥය’ හෙවත් ‘හංසයා’ නම් කව වනාහී පැවති පරිසර පද්ධතිය මුළුමනින්ම විනාශ කරදැමීම බරපතළ ලෙස චිත්‍රනය කළ, මහා හඬ නැඟීමක් බඳු කවියකි. තමන්ගේ ම භූමිය තුළ හංසායාට පිටුවහලෙක් වන්නට සිදුවීම හරහා බොද්ලෙයා සංඛේතනය කරනුයේ,  භූමිය අන්සතුවීම නිසා පරාරෝපිතයකු වීමට සිදුවුණ පැරිසියානු පීඩිත අධ්‍යාත්මයයි. දියෙන් කිරි වෙන් කළ හැකි තරම් ඥානයක් සහිත හංසයා මතුවෙන්නේ දිය තටාකයකින් නොවේ; දුහුවිල්ලේ ඇතිල්ලෙමිනි. ස්වභාවිකත්වය වෙනුවට පවතින්නේ නාගරීකරණයේ නූතන අපවිත්‍රතාවයි.

හංසයා සඳහා වන වචනයේ ෆ්‍රන්ස උච්ඡාරණය මුළුමනින්ම පාහේ ‘නිමිත්ත’ හෝ ‘සංඥාව’ හඟවන ෆ්‍රන්ස වචනයේ උච්ඡාරණයට සමාන ය. මෙකී අර්ථ ඝට්ටනය බෝද්ලෙයාගේ අතිශය දැනුවත් ප්‍රවේශයකි.

 

ඔහු සියලු කවි හරහා ගොඩනඟන්නේ නූතනත්වය හිමිකර දෙන ආත්මීය පරිහානිය; ඉන්ද්‍රියයන් පිනවීම කේන්ද්‍රකරගත් සල්ලාලී වියවුල  නොහෝ විෂයාසක්තභාවය, මත්වීම කේන්ද්‍රකරගත් විෂම චක්‍රය ඈ වූ නූතනත්වය විසින් හිමි කර දෙනු ලැබූ මානව ජීවිතයේ අති සංකීර්ණ අත්දැකීම් සමුදායයයි.  කොටින් ම මෙම බරපතළ කෘතිය හරහා බෝදෙලියාගේ නූතනාවදී කවිය ගවේශනයෙහි යෙදෙන්නේ සුන්දරත්වය සහ අසුන්දත්වය අතර වන ආතතියයි.

බෝද්ලෙයා,  ‘මානභංග අනුරාගය’, ‘සාතන්වාදය’, මෙන්ම කලාවේශය පිණිස මත්ද්‍රව්‍ය භාවිතය සමාජය තුළ සාමාන්‍යකරණය කිරීමට මෙන්ම වඩාලාත් ප්‍රකාට කිරීමට සවිඥානිකව කටයුතු කළ කවියෙකි.

මෙකී නූතනවාදී කෘතියේ ඇතැම් කවි සෘජුවම මෙම තේමාත්මක කලාප ආවරණය වෙනුවෙන් යොදාගෙන ඇත. ඔහුගේ පුරෝගාමීත්වයෙන් මෙබඳු ‘පූජනයන්’  ඇති නොවුණ ද ඒවා, ජාත්‍යන්තර සාහිත්‍යයික කතිකාවට ඈඳාලීම හරහා බරපතළ ලෙස නූතනවාදී බුද්ධිමය වපසරිය තුළ සංකල්පීය හා භාෂාමය මුද්‍රාවක් තැබීමට බොද්ලයාට හැකිවිය. නමුත් මේ සියල්ල සිදුවූයේ පසුකාලීනව ය. ක්‍රමයෙනි; ක්‍රම ක්‍රමයෙනි. ඔහුගේ දුක්ඛදායක මරණයෙන් ඉක්බිතිව ය. ඔහුගේ කෙටිකාලීන දිවිසැරිය තුළ ඔහු කියවා ගත්තවුන් ඉතා අල්ප වූ අතර ඔහු තේරුම්ගත්තවුන් ඒ කියවූවන් අතරිනුත් ඉතාමත්ම අල්පයක් විය.

Baudelaire
 කෘතියෙහි ගැඹුර මෙයාකාරව නූතනත්වය දෙස විවේචනශීලිව බැලූවක් ලෙස අධිනිෂ්චය වූ අතර ඒ අනුව ෆ්‍රන්ස සන්දර්භය තුළ මෙන්ම නූතනත්වය තුළ මේ සියල්ල පිළිබඳ සංවාද කරන්නට හැකි ඉඩකඩක් පැවැතිණ.

නමුත්, ‘අනර්ථයේ මල්. හරහා සැබැවින්ම බෝද්ලෙයා යෝජනා කළේ එය ද?

කෘතිය විසින් යෝජනා කෙරන්නේ අප්‍රසන්නභාවය නොහොත් අනර්ථය ගැබ්කරගත් නූතනත්ව ව්‍යාපෘතියේ සුන්දරත්වය විඳගැනීම හෙවත් පැවැත්ම එයාකාරව බාර ගැනීමට යෝජනා කිරීම යැයි කෘතිය වඩාත් සමීපතමව කියවන්නට උත්සාහ කළ විචාරයකයන්ගේ මතයයි. ඒ වනාහි දුෂ්ටකමේ සෞන්දර්යය නොවේද?

ugyygguyn

 

19වැනි සියවසේ පහළ වූ බලපෑම් සහගතම ෆ්‍රන්ස කවියා බොද්ලෙයා බවත් නූතනවාදයේ අතිවිශාල ආනුභාවයක් සහිත කාව්‍ය අග්‍රකෘතිය ‘ලෙ ෆ්ල දු මල්’ බවත් පිළිගැනීම ඉතිහාසයට සාක්ෂි දැරීමකි.

මෙම අග්‍ර කෘතියෙහි එන ගද්‍ය කාව්‍යාවලියේ ‘’ Les paradis artificiels - ලෙ පරාදී ආතිෆිසියෙල්’’ (කෘත්‍රීමකර පරාදීස) කවියේ දී බෝද්ලෙයා මෙසේ කියයි.

‘’කිසියම් මනුෂ්‍යයෙක් තමන් කෙරෙහි බලපවත්නා ජීවන කොන්දේසි

ඒත්තු නොගන්නේ නම් ඔහු ස්වකීය ආත්මය විකුණා දමයි’’


manjula wediwardhana(සටහන | මංජුල වෙඩිවර්ධන)
Manjula Wediwardena
Journalist/Writer
wediwardena@gmail.com
man_wedi@yahoo.fr

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

සබැඳි ලිපි :

ෆ්‍රන්සක්කාරයෝ : කලා කෘතියක් යනු අතිශය සූක්ෂම ලෙස සැළසුම් කළ  අපරාධයකි | මංජුල වෙඩිවර්ධන

ෆ්‍රන්සක්කාරයෝ : කවියන් අතර කුමාරයා ; වෙර්ලෙන්ගේ දින 555 සිපිරි දිවිය | මංජුල වෙඩිවර්ධන

ෆ්‍රන්සක්කාරයෝ : රම්බෝට වෙඩි තැබූ රිවෝල්වරය යුරෝ 434,500කට විකිණෙයි | මංජුල වෙඩිවර්ධන

ෆ්‍රන්සක්කාරයෝ : බෝද්ලෙයානු මොහොතක මත්වීමේ ආදිනව - (මංජුල වෙඩිවර්ධන)

ෆ්‍රන්සක්කාරයෝ : රම්බෝ - වෙර්ලෙන් මධුරාදරේ කවි සමේ | මංජුල වෙඩිවර්ධන

ෆ්‍රන්සක්කාරයෝ : රම්බෝ ; ආතුරසහගත ප්‍රේමය දක්වා ජීවිතය | මංජුල වෙඩිවර්ධන

ෆ්‍රන්සක්කාරයෝ : සෝබර ය, වෙනසකුදු නැත දවස රැය සදිසිමය | මංජුල වෙඩිවර්ධන

ෆ්‍රන්සක්කාරයෝ : ඔන්ද්‍රෙ ෂෙනියේ පුරාවත | මංජුල වෙඩිවර්ධන

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...