BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ප්‍රංශ කලාගාරය හැඩ කළ 'අයිරාංගනී': අයිවන් පීරිස් නම් වූ ඒ අද්භූත සිත්තරාගේ අමරණීය කතාව !

T

The Leader

August 10, 2026 • 11:22 PM

ප්‍රංශ කලාගාරය හැඩ කළ 'අයිරාංගනී': අයිවන් පීරිස් නම් වූ ඒ අද්භූත සිත්තරාගේ අමරණීය කතාව !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහයන්ගේ සියවස් සැමරුම හමුවේ පැරිසියේ ප්‍රදර්ශනය වන 1950 දුර්ලභ සිතුවම යළි කරළියට
  • ඒ, ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ‘Muses de la Ville Paris’ නම් ප්‍රකට කලාගාරයේ නිත්‍ය ප්‍රදර්ශන කාණ්ඩයේ (Permanent Collection) තැන්පත් කර ඇති අතිශය දුර්ලභ සිතුවමකි.
  • 1950 වසරේදී නිර්මාණය කරන ලද මෙම සිතුවම නම් කර තිබුණේ “Irangani” ලෙසිනි.
  • ඇය සිය 99 වැනි උපන්දිනය පසුකරමින් සියවසේ සැතපුම් කණුව අබියසට පැමිණ සිටින මේ මොහොතේ, මෙම සිතුවම යළිත් කරළියට පැමිණීමත් සමඟම තවත් අපූරු චරිතයක් පිළිබඳවද සමාජය පුරා කතාබහක් ඇති විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සොහොයුරු සහ 43 කණ්ඩායමේ පුරෝගාමී සිත්තරා ලෝක තලයට ගෙන ගිය අපූර්ව චිත්‍ර කලා වින්දනය



මෑතකදී සමාජ මාධ්‍ය හරහා හමා ගිය එක්තරා ඡායාරූපයක් ශ්‍රී ලාංකේය කලා ලෝකයේ දැඩි කතාබහක් නිර්මාණය කළේය. ඒ, ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ‘Muses de la Ville Paris’ නම් ප්‍රකට කලාගාරයේ නිත්‍ය ප්‍රදර්ශන කාණ්ඩයේ (Permanent Collection) තැන්පත් කර ඇති අතිශය දුර්ලභ සිතුවමකි.

1950 වසරේදී නිර්මාණය කරන ලද මෙම සිතුවම නම් කර තිබුණේ “Irangani” ලෙසිනි. එහි සිටියේ අන් කවරෙකුවත් නොව, සියවසක අද්දැකීම් සම්භාරයක් සපිරි, අප සැමගේ ආදරයට පාත්‍ර වූ, ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මියයි.

ඇය සිය 99 වැනි උපන්දිනය පසුකරමින් සියවසේ සැතපුම් කණුව අබියසට පැමිණ සිටින මේ මොහොතේ, මෙම සිතුවම යළිත් කරළියට පැමිණීමත් සමඟම තවත් අපූරු චරිතයක් පිළිබඳවද සමාජය පුරා කතාබහක් ඇති විය.

ඒ මෙම විශිෂ්ට සිතුවමේ නිර්මාණකරුවා වන, ලාංකේය චිත්‍ර කලාව ලෝක තලයට ගෙන ගිය, එහෙත් අද වන විට බොහෝ දෙනෙකුට අමතක වී ගොස් ඇති අයිවන් පීරිස් නම් වූ ඒ අද්භූත සිත්තරා පිළිබඳවයි.

මිතුරුකමේ සිත්තම

ivanඅයිවන් පීරිස්
අයිරාංගනී මහත්මියගේ වයස අවුරුදු 23ක් පමණ වන විට නිර්මාණය වූ මෙම සිතුවම පසුපස ඇත්තේ අපූරු කතාවකි. අයිවන් පීරිස් යනු ඇයගේ පළමු විවාහක ස්වාමිපුරුෂයාගේ මහතාගේ සමීපතම මිතුරෙකි. මෙම සිතුවම නිම වන්නේ එම මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් වශයෙනි.

වඩාත් විශේෂත්වය වන්නේ, අයිවන් පීරිස්ගේ වැඩිමහල් සොහොයුරා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සුප්‍රකට “රේඛාව” චිත්‍රපටය හරහා ඇය රිදී තිරයට පිවිසීමටත් පෙර මෙම චිත්‍රය නිර්මාණය වී තිබීමයි. සිය රුව ඇතුළත් මෙම සිතුවම පැරිසියේ කලාගාරයක ඇති බව ඇය පවා දැනගන්නේ වසර ගණනාවකට පසුව වීම තවත් අපූරු සිදුවීමකි.

සෙවණැලි අතර සැඟවුණු චරිතය

අයිවන් පීරිස් යනු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බාල සොහොයුරාය. 1921 ජුනි 13 වැනිදා දෙහිවලදී උපත ලැබූ අයිවන්, කුඩා කල සිටම චිත්‍ර කලාවට දැඩි ඇල්මක් දැක්වීය. ඔහුගේ පියා වූ වෛද්‍ය ජේම්ස් ෆ්‍රැන්සිස් පීරිස් සිය පුතුන් දෙදෙනා ක්‍රිකට් ක්‍රීඩකයන් වනු දැකීමට සිහින මැවුවද, අයිවන්ගේ ලෝකය වූයේ වර්ණ සහ පින්සල් ය. සිය සොහොයුරාගේ ළමා කාලය පිළිබඳව ආචාර්ය ලෙස්ටර් වරක් මෙසේ මතකය අවදි කළේය:

“අයිවන් මල්ලී පාසලේ සිට ගෙදර පැමිණි පසු එයාගේ කාමරයට වී චිත්‍ර ඇන්දා. අපි දෙන්නගේ තිබුණේ සහෝදරකමකට වඩා මිත්‍රත්වයක්. අයිවන් හුදකලා වෙන්න කැමති චරිතයක්.”

තම පුතුගේ මෙම “කලා පිස්සුව” දුටු මව, “චිත්‍රකාරයකුට තියෙන අනාගතය මොකක්ද?” යැයි බැන වැදුණද, පියා ඒ දෙස බැලුවේ ඉතා උපේක්ෂාවෙනි. බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේදී ඔහුගේ චිත්‍ර ගුරුවරයා වූයේ අයිවන් දිනෙක අන්තර්ජාතික කීර්තියට පත්වනු ඇතැයි කල්තියාම දුටු අයෙකි.

’43 කණ්ඩායමේ’ පුරෝගාමියා

ලංකාවේ චිත්‍ර කලාව දෙස අලුත් මුහුණුවරකින් බැලූ, නූතන චින්තන විප්ලවයකට මුලපිරූ “43 කණ්ඩායම” බිහිවීමේ මූලික පුරෝගාමියෙකු ලෙස අයිවන් පීරිස් සැලකේ. ලයනල් වෙන්ඩ්ට්ගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම කණ්ඩායමට හැරී පීරිස්, ජෝර්ජ් කීට්, ජස්ටින් දැරණියගල, රිචඩ් ගේබ්‍රියල් වැනි දැවැන්තයෝ රැසක් ඇතුළත් වූහ.

මංජු ශ්‍රී නම් වූ මහා චිත්‍ර ශිල්පියා පවා පවසා ඇත්තේ 43 කණ්ඩායම ආරම්භ කිරීමට පළමු උත්සාහය ගත් පුද්ගලයා ලෙස අයිවන්ට විශාල ප්‍රශංසාවක් හිමිවිය යුතු බවයි.

වර්ණවලින් ලියූ කවි

peries ivan 1921 1988 sri lank figures by the shore
අයිවන් පීරිස්ගේ සිතුවම් ශෛලිය අතිශය සුවිශේෂී එකකි. ඔහු නිරන්තරයෙන්ම උත්සාහ කළේ ඇසට පෙනෙන භූමි දර්ශනය ඒ අයුරින්ම පිටපත් කිරීමට නොව, තම මනෝභාවයන්, චාම් හැඩතල සහ සීමිත වර්ණ පදාස උපයෝගී කරගනිමින් එයට නව අර්ථකථනයක් ලබා දීමටයි. නිහඬ බව සහ හුදෙකලා බව ඔහුගේ සිතුවම්වල නිරන්තරයෙන්ම දැකිය හැකි විය.

ඔහුගේ නග්න රූප රිද්මානුකූල වූ අතර, වර්ණ භාවිතය ඉතා විනීත විය. මේ පිළිබඳව අදහස් දක්වා ඇති මහාචාර්ය සේනක බණ්ඩාරනායකයන් සඳහන් කරන්නේ, “වර්ණ වින්දනයන්ගේ ගීත වැනි ඔහුගේ චිත්‍රවල අනුරාගී බව බුද්ධිය විසින් දමනය කර ඇත” යනුවෙනි. එංගලන්තයේ ලන්ඩන් නුවරට ගොස් චිත්‍ර කලාව හැදෑරූ අයිවන්, විදේශගතව සිටියද නිරන්තරයෙන්ම සිය සිතුවම්වලට වස්තු කර ගත්තේ ලාංකේය භූමි දර්ශන සහ ජන ජීවිතයයි.

ලොවක් මවිත කළ ‘ප්‍රේමයේ පිටුවහලා’

අයිවන් පීරිස්ගේ චිත්‍ර සඳහා ජාත්‍යන්තරයේ ලැබුණේ ඉහළම ප්‍රතිචාරයකි. ‘මැන්චෙස්ටර් ගාඩියන්’ පුවත්පත ඔහුව හැඳින්වූයේ “ආභාෂයන් ඵලදායී ලෙස උකහාගත්, තමාට ආවේණික වූ ප්‍රාණවත් ශෛලියක් ගොඩනගාගත්” ශිල්පියෙකු ලෙසිනි. එසේම ඇතැම් කලා විචාරකයින් ඔහුව ‘ප්‍රේමයේ පිටුවහලා’ (Romantic exile) යන නමින්ද හඳුන්වා ඇත.

 

peries ivan 1921 1988 sri lank poya ii Christies New York
ඔහුගේ ‘Centre (1943)’, ‘The Beach (1948)’, ‘The Bathers (1949)’, සහ ‘The Return (1956)’ වැනි සිතුවම් අදටත් ලෝකයේ ප්‍රකට කලාගාරවල ප්‍රදර්ශනය කෙරේ. 1955 දී ලන්ඩනයේදී වෙරෝනිකා ෆෙරී සමඟ විවාහ වූ ඔහු දරුවන් සිව්දෙනෙකුගේ පියෙකු විය. මුළු ජීවිත කාලයම චිත්‍ර කලාව වෙනුවෙන් කැප කළ මේ අපූර්ව සිත්තරා, ශ්‍රී ලංකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව සහ ප්‍රංශය ඇතුළු රටවල් රැසක කලාගාර හැඩ කරමින්, 1988 පෙබරවාරි 13 වැනිදා ලන්ඩන් නුවරදී මෙලොවින් සමුගත්තේය.

අයිරාංගනී සේරසිංහයන්ගේ සිතුවම හරහා හෝ යළිත් වරක් අයිවන් පීරිස් නම් වූ ඒ අද්විතීය කලාකරුවාගේ නාමය ලාංකේය සමාජය තුළ දෝංකාර දීම, ඔහු වෙනුවෙන් පිරිනැමෙන නිහඬ උපහාරයක් වැනිය.

| චමිඳු නිසල් ද සිල්වා
මූලාශ්‍ර: අන්තර්ජාලයේ ලිපි වාර්තා සහ කලා විචාරකයින්ගේ උපුටා දැක්වීම් ඇසුරෙනි.

උපුටා ගැනීම : lankalokaya.lk

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...