The Leader News
BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව

Nethmini

Nethmini

October 5, 2026 • 11:16 AM

'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිනමා භාෂාව ආගමක් සේ සලකමින් වියෝගයේ මුදුන් මුල් ස්පර්ශ කළ 'අහස තරම්' සිනමා සිත්තම පිළිබඳ නාට්‍යවේදී ධර්මජිත් පුණර්ජීව තබන ගැඹුරු විචාරාත්මක කියවීම.
  • තමා සිනමාකාරියක වීමට එළැඹෙන නිසා ම මේ කෘතිය තුළින් ඇය ඉවසීම, සංයමය මෙන්ම වගකීම් සහගත බව මොනවට විදහා දැක්විය යුතු බව සිතන්නී ය.
  • මෙයින් දැකුම්කලු සිනමාත්මක හැඟුම් සන්තතියක් ඇය විසින් බිහි කොට අප ඉදිරියේ තබා ඇත.
  • තමා ප්‍රේම කරන නිළිය ඉදිරියේ පිරිමියකු හැටියට මේ තරම් සුඛනම්‍යව හැසිරීමට හැකි ආකාරයෙන් සිටින්නේ සිනමා වෘත්තාන්තයක පමණක් මැදැයි සිතෙන පරිදි ඇය මේ පෙම්වතාගේ චරිතය වින්‍යාසගත කොට ඇත්තී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙය ඉතා අරපරිස්සමෙන් පබඳින ලද සිනමා සිත්තමකි. තමා සිනමාකාරියක වීමට එළැඹෙන නිසා ම මේ කෘතිය තුළින් ඇය ඉවසීම, සංයමය මෙන්ම වගකීම් සහගත බව මොනවට විදහා දැක්විය යුතු බව සිතන්නී ය. ඒ නිසාම සෑම සියලු රූප රාමුවකටම ඇය වගකීමෙන් බැඳී සිටියි. රූප තුනකින් පබඳින අදහසක් සේම එක චලිත රූපයක පවා උචිත සිනමා සෞන්දර්යය ඇය ආගමක් සේ පිළිපැද තිබේ. මෙයින් දැකුම්කලු සිනමාත්මක හැඟුම් සන්තතියක් ඇය විසින් බිහි කොට අප ඉදිරියේ තබා ඇත.

“අහස තරම්” ඒ සිනමා කෘතිය යි.
වියෝගයේ මුදුන් මුල් සොයා යෑම


සිතුවිලි, හැඟුම්, ආවේග සන්තති අප විසින් ම මඟහැර ගන්නා නිසා බිඳ බිඳ ඒවා අවේලාවේ අප පසුපස ම දිව එන අයුරු රූපයෙන් ඇය විද්‍යාමාන කරන අයුරු චමත්කාරජනක ය; සිනමාත්මක ය. මුතු මාලයක ඇමිණූ අනේක දිස්නයෙන් හා අනේක ප්‍රමාණයෙන් යුතු මුතු පබළු මෙන් අපේම හැඟුම්, වරෙක රෙම්බ්‍රාන්ට්ගේ (Rembrandt) සිතුවම් සිහිපත් කරමින් ද වරෙක ටර්නර්ගේ (J.M.W. Turner) සිතුවම්වලින් අප සිතේ අවුළුවන, කලඹන මහ මුහුදක් සේම ආදරයේ වියෝගයන් අප වෙත ගෙනහැර දක්වයි.

තමා සැබෑවට ම ආදරය කරන පෙම්වතාගේ ජාතක වියෝගයේ මුදුන් මුල් සොයා ගොස් ඒ වෙතට තම පෙම්වතා කැටුව යන්නට තරම් පරාර්ථකාමී නිළියන් මේ පොළොවේ සිටින්නේ සිනමා වෘත්තාන්තවල පමණක් මැදැයි සිතෙන පරිදි මේ සිනමා වෘත්තාන්තයේ කතා නායිකාව (අධ්‍යක්ෂිකාව) ඇගේ පන්හිඳෙන් රචනා කර ඇත. තමා ප්‍රේම කරන නිළිය ඉදිරියේ පිරිමියකු හැටියට මේ තරම් සුඛනම්‍යව හැසිරීමට හැකි ආකාරයෙන් සිටින්නේ සිනමා වෘත්තාන්තයක පමණක් මැදැයි සිතෙන පරිදි ඇය මේ පෙම්වතාගේ චරිතය වින්‍යාසගත කොට ඇත්තී ය.

එක්තරා කාලයක කලාපති ලෙස්ටර් “ගොළු හදවත” තුළින් ද, තවත් කාලයක සෙනෙෂ් බණ්ඩාර දිසානායක “ආදරණීය වස්සානය” තුළින් ද තැබූ මංසලකුණ සිනමාකාරිය විසින් “අහස තරම්” චිත්‍රපටයෙන් සලකුණු කරන බව මගේ විශ්වාසය යි.

රූපණයේ සියුම් බව සහ රශිපබාගේ විශිෂ්ටත්වය


ahasa tharam.jpg
මගේ ආදරණීය ආමන්ත්‍රණය 'ඩබල් ඩෙකර් ලව්' ලාබෙට අපට පෙන්වන චන්න දේශප්‍රියටයි; නිදි වරමින් එහා ලෝකයට සිනමා යකඩ බඩු ගෙනියන්නට දරණ තෘෂ්ණාබර අවිවේකී ඔබේ දෙනෙතට සහන් වික්‍රමාරච්චිගේ කැමරාකරණයේ (Cinematography) රස අඳුනින් නැගෙන සත්කාරය දෙන ලෙස කාරුණිකව ආයාචනා කර සිටිමි.

චරිත නිරූපණයේ දී රශිපබා සංදීපනීගේ රූපණය හරහා මට ඇයව සිහිපත් වූයේ වාසව බදුගේගේ “විසල් ආදරේ” චිත්‍රපටය යි. එහි දී මම ඇයගේ සාත්වික අභිනයේ කුසලතා මොනවට දුටුවෙමි. මෙහි දී ද ඇය සුපුරුදු පරිදි නිරායාසයෙන් තම චරිතය මැනවින් නිරූපණය කරන්නී ය. යම් අවස්ථාවල නිළියක හැටියට ඇය කල්පනාවට ගත යුත්තේ රූපණයේ දී හැඟීම් ප්‍රකට කිරීම පෙරහන්කඩකින් ලබාගන්නා පිරිසිදුභාවය මෙන්ම ඉතා සියුම්ව කළ යුත්තක් බවයි. ඒ සඳහා යොමුවීමේ දී අරපරිස්සම් වීම වැදගත් වන්නේ පෞද්ගලික ජීවිතයේ සුළු හෝ හැඟීමක් චරිතය සමඟ මිශ්‍ර වූවොත් එය අධිරංගනයකට හෝ සාත්වික අභින විරූප වීමකට පෙරළීමට තිබෙන ඉඩකඩ වැඩි බැවිනි. එවැනි ස්වල්පයක් වූ ඉඟි මේ චරිතයේ දී මගේ අවධානයට ලක් විය. එනමුදු සමස්තයක් හැටියට චරිත නිරූපණයෙන් මේ මොහොතේ ක්ෂේත්‍රයේ සිටින නිළියන් සියල්ල අභිබවන නිසා රශිපබා විශිෂ්ට බව ලියා තබමින් රිද්ම දෙසට හැරෙමි.


රිද්මගේ සමබර රංගනය හමුවේ මයුර කාංචන

රිද්ම ගායකයෙකු මිස නළුවෙකු නොවේ. කේවල ගායකයෙකු හැටියට ක්ෂේත්‍රයේ ඔහු නියත විවරණ ලබන්නේ චරිත අත්තලගේ ආදරණීය වෛරයක් නිසා ය. එබැවින් ඔහු චරිතට මේ ලැබෙන වරම් ගැන හදවතින්ම කෘතඥ විය යුතු ය. නළුවෙකු ලෙස ඔහුට ඇත්තේ සමාන්තර විෂයක සංවේදනා සමුච්චයකි. එහෙත් අධ්‍යක්ෂණයෙන් ලැබුණු උපදෙස් මත තමා-තමා වීම සහ කැමරාව ඉදිරියේ සාවධාන වීමට පොලඹවන ලද උපදෙස් මත තමන්ගේ චරිතය මැනවින් ප්‍රකට කරන්නට රිද්ම සමත් වෙයි. බැරිවෙලාවත් ඔහු එක් තැනක හෝ මේ චරිතය රඟපාන්නට පෙලඹුණේ වී නම් සිදුවන්නේ මහත් අබග්ගයකි. එහෙත් වාසනාවට එවැන්නක් සිදු නොවී තිබේ.

එසේම ප්‍රේම ජවනිකාවල දී රශිපබාගේ සුසංයෝගය රිද්මගේ චරිතයට සෑම පහසුකමක් ම සලසයි. සිත් ගත්තේ රිද්ම හැඟුම් කුළුගැන්වෙන දර්ශනවල දී කැමරාව ඉදිරියේ සමබරව තමාගේ ආවේශය පාලනය කරගනිමින් රූපණය කළ අන්දමයි. නාට්‍ය කලාවේ දීර්ඝ අත්දැකීම් ඇති මයුර කාංචන ඇදගෙන නාද්දී රිද්ම ඔහු පරයා රඟන අන්දම ප්‍රශස්ත ය (අංග රචනා ශිල්පියා ද මයුරව අමාරුවේ දමා ඇති සෙයකි). සංවේදී දර්ශන තිර නාටකයේ ලියා දී ඇති පසුබිමක ඔහු සිමෙන්ති කොට්ටයක් සේ හැසිරීම අදහාගත නොහැකි ය.

නිර්මාණාත්මක ශබ්ද රටාව සහ ප්‍රශස්ත සංගීතය

සංගීත කටයුතු සඳහා දක්ෂ ශ්‍රී ලාංකික සංගීත අධ්‍‍යක්ෂවරුන් සහ නිෂ්පාදකයින් කිහිප දෙනෙකු දායක වී ඇති අතර, ඊට විවිධ ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද ගීත ඇතුළත් වී තිබේ:

චිත්‍රපටයේ ප්‍රධාන සංගීත නිර්මාණය (Film score) සහ පසුබිම් සංගීතය සඳහා රචිත වාකිෂ්ඨ දායක වී ඇත.

රිද්ම වීරවර්ධන ගායනා කරන "වළාකුලක්" ගීතයේ සංගීත සංයෝජනය සහ නිෂ්පාදන කටයුතු රංග වීරසේකර සහ දිහාන් කුලරත්න විසින් සිදු කරනු ලැබ ඇත. "මේ තමයි ආදරේ යෝජනා" ගීත නිර්මාණය සහ සංගීත අධ්‍යක්ෂණය යසස් මැදගෙදර විසින් සිදු කර ඇත.

සෙනඟ දිසානායක ගායනා කරන "ප්‍රේමයක් තිබුණා" ගීතයේ සංගීත සංයෝජනය සහ නිෂ්පාදනය චතුරංගන ද සිල්වා විසින් සිදු කරනු ලැබ ඇත.


මේ සියලු දෙනා පැසසුම් කටයුතු ය.

සිනමාවේ ගැහැනු දැක්ම සහ තාක්ෂණික සාර්ථකත්වය

යළිත් කීමට ඇත්තේ සහන් වික්‍රමාරච්චිගේ සිනමා රූප විශිෂ්ට බවයි.

අනුෂාංගික විෂයන් සම්බන්ධයෙන් කීමට ඇත්තේ සංස්කරණය, කලා අධ්‍යක්ෂණය හා රූප රචනා සැලසුම ප්‍රශස්ත මට්ටමක පවතින බවයි. සැබැවින්ම මේ කෘතිය මේ තරම් ඉදිරියට ගෙනවිත් ඇත්තේ ගැහැනු හිතකින් බව මගේ කියවීමයි. ඒ නිසා වැඩි වැඩියෙන් තවත් ගැහැනුන්ට සිනමාවට ප්‍රවිෂ්ට විය හැකි පරිසරයක් පරාර්ථකාමී පිරිමින් මේ සිනමාව තුළ බිහිකරත්වා!
ahasa tharam 2.jpg


(සටහන - නාට්‍යවේදී ධර්මජිත් පුණර්ජීව)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...