මෙරට සිනමා විචාර කලාව තුළ මෙන්ම සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ද අනන්‍ය සලකුණක් තැබූ සම්භාවනීය ලේඛකයෙකි, ගුණසිරි සිල්වා... සිනමාවේ රූප රාමු අතරින් මනුෂ්‍ය පද්‍යයේ ගැඹුරු තැන් ස්පර්ශ කළ ඔහු, සිය පෑන නවකතාකරණය දෙසට යොමු කරමින් තිළිණ කළ "කෑම්ප් එක වත්ත" ප්‍රබන්ධයකට එහා ගිය ජීවන අත්දැකීම් සමුච්චයකි. 70 දශකයේ ආරම්භයේ සිට දශක හතරක දීර්ඝ කාල පරාසයක් පුරා දිවෙන මෙම ස්වයංචරිතාපදාන ලක්ෂණ සහිත නවකතාව, පාඨකයා කැඳවාගෙන යන්නේ කොළඹ නාගරික උප සංස්කෘතියේ අහුමුලු වෙත ය.
පරමාදර්ශී චරිතය
කතාවේ ප්‍රධාන කථානායකයා වන්නේ 'ගුණසෝම' ය. ගුණසෝමගේ ළමා විය සහ යොවුන් විය හැඩගැසෙන්නේ කිරුළපන පිහිටි "කෑම්ප් එක වත්ත" නම් නාගරික අඩු ආදායම්ලාභී කුඩා නිවාස පෙළ ඇසුරේ ය. සමස්ත කතාව පුරා ම කේන්ද්‍රීය පරමාදර්ශී චරිතය ලෙස සහ ප්‍රබල බලවේගය ලෙස මතුවන්නේ ගුණසෝම ගේ පියා ය. පියාගේ දැඩි නීතිරීති, පාලනය සහ සුරක්ෂිත ආරක්ෂාව මැද ගුණසෝම හැදී වැඩෙයි.
"වත්ත" යන වචනය ඇසූ පමණින් සමාජයේ බොහෝ දෙනෙකුගේ සිත් තුළ මැවෙන යම් යම් සදොස් ප්‍රතිරූපයන් ඇත. එහෙත්, කතුවරයා මෙම නවකතාව තුළින් 70 දශකයේ කෑම්ප් එක වත්තේ පැවැති සැබෑ සංස්කෘතිය, මිනිස් සබඳතාවල තිබූ ළෙන්ගතුකම සහ ජීවන අත්දැකීම් අතිශය තාත්වික ලෙස නිරූපණය කරයි. එය කියවන පාඨකයා තුළ අතීතකාමී හැඟීම් සමුදායක් ජනිත කිරීමට සමත් වේ. අදින් දශක හතරකට පෙර පැවැති එම පේළි ගෙවල් සංස්කෘතියේ ඇතැම් සමාජීය ලක්ෂණ, අදටත් (ඇතැම් පාරිසරික භූ දර්ශන හැර) කොළඹ නාගරික අඩු ආදායම්ලාභී වතු සංස්කෘතිය තුළ විද්‍යමාන වන ආකාරය දකින විට කතුවරයා ඉදිරිපත් කරන සමාජ කතිකාව කෙතරම් කාලීනදැයි වටහා ගත හැකි ය.
සේකර හමුව
ගුණසෝමගේ යොවුන් වියේ හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් වන්නේ අහම්බෙන් සිදු වූ අපූරු හමුවීමක් හරහා ය. එක් දිනක ගාලු පාරේ සමුද්‍රා හෝටලය අසලින් යද්දී එතැන පැවැති චිත්‍ර ප්‍රදර්ශනයක් දකින ඔහු, එය නැරඹීමට ඇතුළු වෙයි. එහි දී උස, කළු පුද්ගලයකු ඔහු වෙත පැමිණ, "ඔයා කැම්පස් එකේද, නැත්නම් හේවුඩ් එකේද?" යැයි විමසයි. ගුණසෝම "නෑ" යි කී විට, "එතකොට ප්‍රදර්ශනය බලන්න ආවේ මොකක් හිතිලද?" යි අමුත්තා නැවත අසයි. පසුව එම අමුත්තා වෙන කවුරුවත් නොව අසමසම කලාකරුවාණන් වන මහගමසේකර බව ගුණසෝම හඳුනා ගනියි.
මෙම අහම්බකාරී හමුවීම ගුණසෝම තුළ චිත්‍ර කලාව පිළිබඳ දැඩි ඇල්මක් සහ කුතුහලයක් දල්වයි. ප්‍රදර්ශනයේ තිබූ අඳුරු, ස්වභාවික නොවන මිනිස් සිරුරු සිතුවම් කර තිබූ ආකාරය ඔහුගේ සිත තදින්ම පැහැර ගත්තේ ය. ඉන්පසු ඔහු පොත්හල් පීරමින් ගොගෑන්, වෑන්ගෝ යනාදි ලෝකප්‍රකට චිත්‍ර ශිල්පීන්ගේ පොත්පත් හදාරන්නටත්, සීවලී ඉලංගසිංහ සහ කොල්වින් සෙයිටිනායක යනාදි දේශීය ශිල්පීන්ගේ ප්‍රදර්ශන නරඹන්නටත් පටන් ගනියි.
දැඩි වෙහෙසකින් හා ස්වයං අධ්‍යයනයකින් පසු තම අභ්‍යන්තරයේ සැඟවී සිටි කලාකරුවා එළියට ගන්නා ගුණසෝම, අවසානයේ පුවත්පත් කන්තෝරුවක චිත්‍ර ශිල්පියෙකු ලෙස ද පත්වීමක් ලබයි. අඳුරු රේඛා සිතුවම් සහ ජ්‍යාමිතික හැඩතල අතරින් ඔහු සෙව්වේ කලාව පමණක් නොව, තමාගේ ම ආධ්‍යාත්මික පැවැත්මයි.
මානසික හිස්තැනක අතරමං වූ ගැහැනිය
ගුණසෝම ගේ ජීවිතය තුළ ආදරය සහ කාන්තාව පිළිබඳ හැඟීම් විකාශනය වන්නේ ඔහුට මුණගැසෙන විවිධ කාන්තා චරිත හරහා ය. සමදරා, චිත්‍රා සහ අසෝකා ඔහුගේ යොවුන් වියේ ප්‍රේමයේ සහ ආකර්ෂණයේ විවිධ පැතිමාන නිරූපණය කරයි. එහෙත්, ඔහුගේ ජීවිතයට පසුව අහඹු ලෙසින් පැමිණෙන 'වත්සලා' යනු අමුතුම ආකාරයේ සංකීර්ණ කාන්තා චරිතයකි.
වත්සලා යනු තමන්ගේම කෝණයෙන් පමණක් ලෝකය දෙස බලන, ස්වාර්ථකාමීත්වයේ සහ මානසික හිස්තැනක අතරමං වූ ගැහැනියකි. ඇයගේ ඇත්ත චිත්ත සන්තානය සහ ඇය සමාජයට පෙන්වන ප්‍රතිරූපය අතර විශාල පරතරයක් ඇත. ගුණසෝම ඇය වෙතින් සෙව්වේ වෙනස්ම මානයකින් ලෝකය දකින, අසාමාන්‍ය සොඳුරු සිතක් ඇති ගැහැනියකි.
වත්සලාගේ එක් ප්‍රකාශයකින් ඇයගේ චරිතයේ ස්වභාවය මනාව පැහැදිලි වේ.
"පළමු හමුවෙන්ම මට ඔයාව දැනෙන්න ඕන..."
තමාට අනෙකාව දැනෙන්නේ නැත්නම් අතහැර දැමිය යුතුය යන හැඟීම ඇය තුළ තිබුණ ද, අනෙකාට දැනෙන පරිදි තමන් හැඩගැසිය යුතුය යන හැඟීම ඇය තුළ නොතිබුණි. සැබවින්ම ඇයට වුවමනා වූයේ තම සැමියා ගෙන් නොලැබුණු අවධානය සහ සෙනෙහස ගුණසෝම ලවා පියවා ගැනීමට ය. අවසානයේ ඇය ගැබ්බර වූ පසු, "මගේ පවුල කඩන්න එපා" යැයි පවසමින් ගුණසෝමව අමතක කර නැවතත් තම පවුල දෙසටම නැඹුරු වෙයි.
මෙම හැසිරීම ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ සම්භාවනීය "හංසවිලක්" චිත්‍රපටයේ එන 'මිරැන්ඩා'ගේ චරිත ලක්ෂණ මතක් කර දෙන්නකි. හංසවිලක් හි මිරැන්ඩා නිස්සංකට ළංවන්නේ සැබෑ ආදරයකට වඩා තමාගේ පාළුව සහ තනිකම මකා ගැනීමට ය. වත්සලා ද එම මිරැන්ඩාගේම සංකේතවත් නිරූපණයකි.
අතිශය තාත්වික, නොස්ටැල්ජික් සිත්තම
පියාගේ මරණයෙන් පසු ඉඩකඩම් සහ දේපළ වෙනුවෙන් සහෝදරියන් දෙදෙනා විරසක වෙද්දී, ගුණසෝම ඒ කිසිවකට ලොබ නොබැඳීම නවකතාවේ කැපී පෙනෙන සංවේදී අවස්ථාවකි. ඔහු දේපළ අතහැර පුවත්පත් චිත්‍ර ශිල්පියකු ලෙස අල්පේච්ඡ ජීවන රටාවකට අවතීර්ණය වෙයි. කථාවෙ අතිශය සංවේදී ම සහ දාර්ශනික ම කොටස හමුවන්නේ වසර හතළිහකට පසු ගුණසෝම නැවතත් සිය ළමාකල ජීවත් වූ 'කෑම්ප් එක වත්තට' පියමනින අවස්ථාවේ දී ය. එදා ඔහු සමග එකට සිටි මිතුරන් බොහෝ දෙනෙකු මියගොස් ය. ඇතැම් අය ප්‍රදේශය හැර ගොසිනි. එසේම කුඩා කල සිත බැඳි චිත්‍රා විවාහ වී දරු මල්ලන් ලබා වෙනස්ම ජීවිතයක් ගත කරයි. අතීතයේ තිබූ භෞතික පරිසරය මුළුමනින්ම වෙනස් වී තිබේ. එහෙත්, කාලයේ රළු වෙනස්කම් හමුවේ පවා නොසැලී පැවැති දෙයක් තිබුණි. ඒ, කුඩා කල තම මව තමා නෑවූ ළිඳ සහ නහවා ඉන්පසු සෙවණට තැබූ නුග ගස පමණි. (එම නුග ගස අදත් කිරුළපන හන්දිය පසුකර නුගේගොඩ දෙසට එනවිට හයිලෙවල් පාර අයිනේ ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණය ඉදිරියේ විරාජමානව පවතී ) කතුවරයා එම අවස්ථාව ඉදිරිපත් කරන්නෙ මෙලෙසිනි. එය ඉතා හැඟුම්බර අයුරකි.
"ගුණසෝම ළිඳ අයිනෙන් තිබුණ පටු පාර දිගේ යද්දී හයිලෙවල් පාරට වැටුණා. ගුණසෝම එතැන නැවතිලා වටපිට බැලුවා. හරි! මෙතන තමයි අම්මා මාව නාවලා තුවාය ඔළුවේ දාලා අම්මා නාලා එනකම් බස් ගණන් කරන්න කියලා තිබ්බ තැන..."
මෙම සංවේදී අවස්ථාවේදී කතුවරයා පාඨකයාගේ සිත තුළ මවන්නේ අතීතයේ පැවැති පැරණි කළු-සුදු චිත්‍රපටයක රූපරාමුවක් බඳු අතිශය තාත්වික, නොස්ටැල්ජික් සිත්තමකි. කුඩා ගුණසෝම අම්මා නාන තෙක් තුවාය හිසේ දමාගෙන අතීතයේ නිශ්චලව තිබූ හයිලෙවල් පාරේ ඉතා පහසුවෙන් ගණන් කළ හැකි තරම් අඩුවෙන් එහා මෙහා ගිය බස් රථ දෙස බලා සිටි ආකාරය පාඨකයාගේ මනසට අතිශය සජීවීව දැනෙයි.
පාඨක හදවත් තුළ නොමැකෙන මතක සටහන
එහෙත්, වසර හතළිහකට පසු අද වන විට එම නිහඬ පාර වෙනුවට අතිශය වේගවත්, පෝලිමට දුවන බස් රථ සහ වාහන තදබදයෙන් පිරි සඝෝෂකාරී නාගරික පරිසරයක් නිර්මාණය වී තිබේ. මෙතැන දී කතුවරයා 'ගුණසෝම' සහ 'නුග ගස' අතර ගොඩනගන සංකල්පීය සබඳතාව අතිශය ගැඹුරු දාර්ශනික මානයක් ගනී. කාලය විසින් සියල්ල වෙනස් කරද්දී, අත්හැරීම ප්‍රගුණ කළ ගුණසෝම ද, කාලයේ කුණාටු හමුවේ වෙනස් නොවී නිශ්චලව සිටින නුග ගස ද එකිනෙකට වෙනස් නැත. දෙදෙනාම කාලයේ සාක්ෂිකරුවන් ය.
මා සිතනා පරිදි "කෑම්ප් එක වත්ත" යනු අතීතය දෙස ආපසු හැරී බැලීමක් පමණක් නොවේ. එය මානව සබඳතාවල සංකීර්ණත්වය, නාගරික පහළ පන්තියේ සංස්කෘතික පැවැත්ම, ආදරයේ විවිධ ස්වරූපයන් සහ ජීවිතයේ අස්ථිරත්වය පිළිබඳව කෙරෙන ගැඹුරු සමාජ විද්‍යාත්මක හා දාර්ශනික ගවේෂණයකි. ගුණසිරි සිල්වා නම් පරිණත ලේඛකයා සිය පෑනෙන් සිංහල සාහිත්‍යයට එක් කළ මෙම කෘතිය, පාඨක හදවත් තුළ නොමැකෙන මතක සටහනක් තබනු නියත ය.
සටහන - ජගත් ප්‍රසන්න කුරුගම
jagathprasannakurugama@gmail.com



