The Leader News
BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

බුද්ධ පුත්‍රයකු ගේ සිනමා සංගීතාගමනය

Awara

Awara

October 12, 2026 • 3:34 PM

බුද්ධ පුත්‍රයකු ගේ සිනමා සංගීතාගමනය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • භික්ෂුවක් සංගීතවේදියකු මෙන්ම සිනමා සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ දුලබව දක්නට ලැබෙන කලාත්මක අනන්‍යතාවකි.
  • මේ වන විට ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී අනන්‍යතාවක් ගොඩනගාගෙන සිටින උන්වහන්සේ , අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ “ධාරා” චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරති.
  • පළමු ඇල්බමය ම රාජ්‍ය සම්මානයට පාත්‍රව… 1989 ඔක්තෝබර් 31 වැනිදා උපත ලැබූ මහානාම හිමියෝ වයස අවුරුදු දහයේ දී පැවිදි දිවියට ඇතුළත් වූහ.
  • ආධ්‍යාත්මික සන්සුන්භාවය සහ විවේකය අරමුණු කරගත් මෙම ඇල්බමය වෙනුවෙන් 2015 වසරේදී ශ්‍රී ලංකාවේ හොඳම සංගීත ඇල්බමය සඳහා වන රාජ්‍ය සංගීත සම්මානය හිමි කරගැනීමට උන්වහන්සේට හැකි විය.
අකුරු ප්‍රමාණය (Font Size):

භික්ෂුවක් සංගීතවේදියකු මෙන්ම සිනමා සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ දුලබව දක්නට ලැබෙන කලාත්මක අනන්‍යතාවකි. නමුත් බිබිලදෙණියේ මහානාම හිමියෝ එම වෙනස් ම මාවත ඔස්සේ සංගීත ක්ෂේත්‍රයේ නිර්මාණාත්මක දායකත්වයක් සපයන හිමිනමකි.

මේ වන විට ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී අනන්‍යතාවක් ගොඩනගාගෙන සිටින උන්වහන්සේ , අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ “ධාරා” චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරති. 2026 බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලට තේරී පත්වූ “ධාරා” චිත්‍රපටය ශ්‍රී ලංකාව සහ කැනඩාව එක්ව නිෂ්පාදනය කළ සිනමා නිර්මාණයකි. බූසාන් සිනමා උළෙල මේ වනවිට දකුණු කොරියාවේ බූසාන් නගරයේ පැවැත්වේ.


පළමු ඇල්බමය ම රාජ්‍ය සම්මානයට පාත්‍රව…



1989 ඔක්තෝබර් 31 වැනිදා උපත ලැබූ මහානාම හිමියෝ වයස අවුරුදු දහයේ දී පැවිදි දිවියට ඇතුළත් වූහ. බෞද්ධ දර්ශනය සහ ආධ්‍යාත්මික ජීවිතය සමග සංගීතය සම්බන්ධ කරගනිමින්, සාම්ප්‍රදායික සංගීත සීමාවෙන් ඔබ්බට ගිය නිර්මාණාත්මක අත්හදා බැලීම්වල නිරත වීම උන්වහන්සේගේ කලා දිවියේ විශේෂත්වයකි.

2014 වසරේදී නිකුත් කළ Share the Love සංගීත ඇල්බමය උන්වහන්සේගේ සංගීත ගමනේ වැදගත් සන්ධිස්ථානයකි. ආධ්‍යාත්මික සන්සුන්භාවය සහ විවේකය අරමුණු කරගත් මෙම ඇල්බමය වෙනුවෙන් 2015 වසරේදී ශ්‍රී ලංකාවේ හොඳම සංගීත ඇල්බමය සඳහා වන රාජ්‍ය සංගීත සම්මානය හිමි කරගැනීමට උන්වහන්සේට හැකි විය.

සිනමා සංගීත අධ්‍යක්ෂණයට…

2017 වසරේදී දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ “ගිරිවැසිපුර” චිත්‍රපටයෙන් සිනමා සංගීත අධ්‍යක්ෂණයට පිවිසි මහානාම හිමියෝ ඉන් අනතුරුව චිත්‍රපට, වාර්තා වැඩසටහන්, තේමා ගීත සහ විවිධ සංගීත නිර්මාණ සඳහා දායක වී ඇත.

සංගීතය නව නිර්මාණාත්මක මාධ්‍යයක් ලෙස භාවිත කරමින් Wallstory සහ Piece for Peace යන සංකල්පනාත්මක සංගීත කෙටි චිත්‍රපට නිර්මාණය කිරීම ද උන්වහන්සේගේ කලා දිවියේ කැපී පෙනෙන කාර්යයන් වේ.

සාමය සහ ආගමික සහජීවනය පිළිබඳ පණිවිඩය



2020 වසරේ එළිදැක්වූ Wallstory නිර්මාණයෙන් පසු 2021 වසරේ ලෝක සාම දිනය වෙනුවෙන් නිකුත් කළ Piece for Peace නිර්මාණය තුළින් සාමය සහ ආගමික සහජීවනය පිළිබඳ පණිවිඩයක් සමාජයට ගෙන යෑමට උන්වහන්සේ උත්සාහ කර ඇත.

මීට අමතරව, භික්ෂූන් වහන්සේලා 150කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැරණි ජාතක කතා දේශනා සම්ප්‍රදාය හඬ පටිගත කිරීම් ඔස්සේ සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියකට ද මහානාම හිමියෝ නායකත්වය ලබා දුන්හ. පැය 500කට අධික හඬ පටිගත කිරීම් ඇතුළත් වූ එම කාර්යය බෞද්ධ සාහිත්‍ය උරුමය අනාගත පරපුර වෙනුවෙන් සුරැකීමේ වැදගත් පියවරකි.


චීන ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයකට එක්ව…

ශ්‍රී ලංකාව සහ චීනය එක්ව නිෂ්පාදනය කළ You Are Always with Me ටෙලිනාට්‍යයේ ශ්‍රී ලංකා පාර්ශ්වයේ සංගීත අධ්‍යක්ෂවරයා ලෙස ද උන්වහන්සේ කටයුතු කර ඇත.

භික්ෂු දිවියේ ආධ්‍යාත්මික පදනම රැකගනිමින් නවීන සංගීත තාක්ෂණය හා නිර්මාණාත්මක අත්හදා බැලීම් ඔස්සේ සිය කලා ගමන මෙහෙයවන බිබිලදෙණියේ මහානාම හිමියන්ගේ සංගීත දායකත්වය, ජාත්‍යන්තර සිනමා උළෙලක අවධානයට ලක්වූ “ධාරා” චිත්‍රපටය හරහා ද ශ්‍රී ලාංකීය සිනමාවට එක්වී තිබීම විශේෂයෙන් අවධානය යොමු විය යුතු කරුණකි.

 
උපුටා ගත්තේ I cinema face book පිටුවෙන් 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...