The Leader News
BREAKING
පනාමුරේ කතාව (15 කොටස) : ඇත්ගාල සහ ගාල් නගරය | ඉන්දු පෙරේරා●ශ්‍රේෂ්ඨ රතු ඔක්තෝබරය සහ ලොව හෙල්ලූ දස දවස; පොතක් සහ අපේ දේශපාලන මතක●කාවන්තිස්ස කුඹුරක ඇදවැටෙයි: ඩ්‍රෝන නිරීක්ෂණ සැලසුම් අතර බිම්මට්ටමේ අර්බුදයක්●අපිට අපේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්න - ප්‍රංශ වැසියෝ සංක්‍රමණිකයන්ට එරෙහිව වීදි බසියි●අධිකරණ නියෝගයෙන් පසු ගාලුමුවදොර අට්ටාල ඉවත් කෙරේ●ක්‍රිෂ් නඩුව: නාමල්ගේ ඇප නියෝගය කල් යයි●විමර්ශනයකදී සියලු කාරණා අවධානයට ගත යුතුයි - බෙහෙත් නඩුවේදී නීතිඥ අමිත ආරියරත්න කියයි●වරාය නගරයේ පොරොන්දු සහ බිම් මට්ටමේ ඇත්ත●චේගවේරා ගේ 'ගරිල්ලා යුද ක්‍රමය'●ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රශංසා●
Top Ad
සාහිත්‍ය - කලා

ශ්‍රේෂ්ඨ රතු ඔක්තෝබරය සහ ලොව හෙල්ලූ දස දවස; පොතක් සහ අපේ දේශපාලන මතක

Awara

Awara

October 16, 2026 • 2:42 PM

ශ්‍රේෂ්ඨ රතු ඔක්තෝබරය සහ ලොව හෙල්ලූ දස දවස; පොතක් සහ අපේ දේශපාලන මතක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔක්තෝබර් මාසය එළඹෙන විට, ලෝක ඉතිහාසයේ දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යයක් වෙත අපේ මතකය නිතැතින්ම ආපසු හැරෙයි.
  • ඒ 1917 රුසියානු විප්ලවය යි.
  • විසිවන සියවස පුරා ලෝකයේ කම්කරු ව්‍යාපාර, විමුක්ති අරගල සහ දේශපාලන සිතුවිලි කෙරෙහි විශාල බලපෑමක් ඇති කළ සිදුවීමක් විය.
  • ඉතිහාසය වෙනස් කළ දේශපාලන අරගලයක ඇතුළාන්තය එකල රෝහණ විජේවීර සහෝදරයා රට පුරා ගමන් කරමින් "රතු ඔක්තෝබරයේ පාඩම්” යන මැයෙන් පැවැත්වූ දේශන මාලාව අදත් අතීත මතක අතරින් යළි මතු වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔක්තෝබර් මාසය එළඹෙන විට, ලෝක ඉතිහාසයේ දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යයක් වෙත අපේ මතකය නිතැතින්ම ආපසු හැරෙයි. ඒ 1917 රුසියානු විප්ලවය යි. එය දුරස්ථ රටක සිදුවූ දේශපාලන පෙරළියක් පමණක් නොවී ය. විසිවන සියවස පුරා ලෝකයේ කම්කරු ව්‍යාපාර, විමුක්ති අරගල සහ දේශපාලන සිතුවිලි කෙරෙහි විශාල බලපෑමක් ඇති කළ සිදුවීමක් විය.


ඉතිහාසය වෙනස් කළ දේශපාලන අරගලයක ඇතුළාන්තය

එකල රෝහණ විජේවීර සහෝදරයා රට පුරා ගමන් කරමින් "රතු ඔක්තෝබරයේ පාඩම්” යන මැයෙන් පැවැත්වූ දේශන මාලාව අදත් අතීත මතක අතරින් යළි මතු වෙයි. 1980 ඔක්තෝබර් මස දිනක මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ ශාලාවක පැවැත්වුණු එවන් එක් දේශනයකට අප ද සහභාගී වුණෙමු. ඒ, හුදෙක් අතීතයේ සිදුවූ විප්ලවයක කතාවක් අසා සිටීමක් නොව, ඉතිහාසය වෙනස් කළ දේශපාලන අරගලයක ඇතුළාන්තය විමසා බැලීමට ලැබුණු අවස්ථාවක් ද විය.

එම දේශන තුළින් ඔහු අප හමුවේ දිගහැරියේ රුසියානු විප්ලවයේ සිදුවීම් පෙළ පමණක් නොවේ. ලෙනින් ගේ දේශපාලන උපායමාර්ගය, බොල්ෂෙවික් පක්ෂයේ සංවිධාන ශක්තිය, එමෙන් ම ඉතිහාසයේ තීරණාත්මක මංසන්ධියක දී ජනතාව ඉටු කරන කාර්යභාරය පිළිබඳ ගැඹුරු විග්‍රහයක් ද ඒ තුළ අන්තර්ගත විය. විප්ලවයක් යනු හුදෙක් එක් දිනක සිදුවන දේශපාලන පෙරළියක් නොව, අදහස්, සංවිධානය සහ ජනතා ක්‍රියාකාරිත්වය එකිනෙක බැඳී ගොඩනැඟෙන ඓතිහාසික ක්‍රියාවලියක් බව ඒ දේශනයේදී ඔහු කියා සිටියේ ය.

මොස්කව්හි ලුමුම්බා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් රුසියානු සමාජයේ ජීවමාන ස්පන්දනය අත්විඳ තිබූ රෝහණ සහොදරයා, ලෙනින් ඇතුළු බොල්ෂෙවික් නායකයින් කෙරෙහි දැක්වූයේ හුදෙක් පොතපතෙන් උපන් පිළිගැනීමක් නොව, හෘදයාංගම ගෞරවයකි. ඒ ගෞරවය ඔහුගේ දේශනවල අදහස් තෝරාගැනීමේදීත්, ඒවා අප හමුවේ ඉදිරිපත් කළ ආකාරයේදීත් පිළිබිඹු වූ බව අද ආපසු හැරී බලන විට මතකයට නැගෙයි.

සෝවියට් සමාජවාදයේ පිරිහී යෑම

ඒ සමග බැඳුණු තවත් මතක කතාවක් තිබේ. වරක් ඔහු ප්‍රකට වෘත්තීය සමිති නායක බාලා තම්පෝ සහෝදරයා ගේ කාර්යාලයට පැමිණි මොහොතක, එතැන පිළිවෙළට පොත් රාක්කයක අසුරා තිබූ ලෙනින් ගේ සම්පූර්ණ කෘති එකතුව දැක සතුටට පත්ව මෙලෙස පවසා තිබිණි.

“තම්පෝ සහෝදරයා... මේ වෙලුම් ඔක්කොම මම ලෙනින් සහෝදරය ලියපු මව් භාෂාවෙන්ම කියවලා තියෙනවා!”

පසු අවස්ථාවක බාලා තම්පෝ ඒ බව පැවසුවේ රෝහණ විජේවීර පිළිබඳ සිය පැරණි මතකය සඳහන් කළ (පෝල් පීරිස් හා නන්දන වීරරත්න එක්ව නිෂ්පාදනය කල වාර්ථා චිත්‍රපටයක් සඳහා)  අවස්ථාවක ය.

එහි වැදගත්කම පැහැදිලිය. එය විජේවීර සහෝදරයා ගේ කියවීමේ පුරුද්ද, මාක්ස්වාදී සාහිත්‍යය පිළිබඳ ඔහු දැක්වූ උනන්දුව සහ ලෙනින්වාදී දේශපාලන සම්ප්‍රදාය සමග ඔහු ගොඩනගාගත් සම්බන්ධය පිළිබඳ කියැවෙන කතාවකි.

එහෙත් විප්ලවයක් පිළිබඳ ගෞරවය යනු එහි නාමය පමණක් මතක තබාගැනීම නොවේ. සෝවියට් ඉතිහාසයේ පසුකාලීන වෙනස්කම්ද ඔහු ප්‍රශ්න කළේ ය. සෝවියට් සමාජවාදයේ පිරිහී යෑම පිළිබඳ ඔහු අපූරුවට පැහැදිලි කළේය.

ස්ටාලින්ගෙන් පසු සෝවියට් දේශය තුළ හිස එසවූ සංශෝධනවාදී අනතුර ගැන එතරම් වේලාසනින් අනතුරු ඇඟවීමට තරම් රෝහණ සහෝදරයා ගේ දේශපාලන කියවීම තියුණු විය. සෝවියට් සංගමයේ දේශපාලන හා ආර්ථික ගමන්මග පිළිබඳ විවිධ මාක්ස්වාදී කණ්ඩායම් අතර පැවති විවේචන, ඒ කාලයේ දේශපාලන සංවාදයේ වැදගත් කොටසක් විය. විශේෂයෙන් සෝවියට් පද්ධතිය තුළ සමාජවාදී මූලධර්මවලින් බැහැරවීමක් සිදුවන බවට ඉදිරිපත් වූ විවේචන, එවකට ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ ද පැවති පුළුල් මතභේදයක කොටසක් විය.

"රතු ඔක්තෝබර් විප්ලවයේ ඒ රාජ්‍යය, අද වන විට පිරිහුණු කම්කරු රාජ්‍යයක් බවට පත්වෙමින් තිබෙනවා..."

ඔක්තෝබර් විප්ලවයට පෙම් කළ අපේ සිත් රෝහණ සහෝදරයාගේ ඒ වචන හමුවේ බර විය. එහෙත් ඔහු අපට කියා දුන්නේ සදාතනික සත්‍යයකි. යම් පාලන තන්ත්‍රයක අඩුපාඩුකම් පැවැති පමණින්, සමාජවාදයේ විද්‍යාත්මක පදනම හෝ ලෙනින්වාදී මඟපෙන්වීම අසත්‍ය වන්නේ නැත.


ඔක්තෝබර් විප්ලවය සහ ජෝන් රීඩ්

ඒ වකවානුවේම ඔක්තෝම්බර් විප්ලවය කෙරෙහි අපේ සිත් සතන් කුල්මත් කළ තවත් අසමසම කෘතියක් තිබුණි. ඒ, ඇමෙරිකානු මාධ්‍යවේදී ජෝන් රීඩ් ලියූ 'Ten Days That Shook the World' නම් පසුව රිචඩ් විජයසිරි විසින් සිංහලට නැගුණු 'ලොව හෙල්ලූ දස දවස' කෘතියයි. ජෝන් රීඩ් ගේ ලේඛනය යනු හුදෙක් දුරක සිට ලියන ලද ඉතිහාස වාර්තාවක් නොවේ. එය පෙට්‍රොග්‍රෑඩ්හි වීදිවල, කර්මාන්තශාලාවල, සහ ස්මෝල්නි මූලස්ථානයේ පියගැටපෙළ මත රෙදි කඩකින් වැසුණු තුවක්කු අතින් ගත් කම්කරුවන් ගේ හුස්ම වැටෙන හඬ අභියස සිට ලියූ සජීවී සටහන් පෙළකි. ඔහු සෙබළුන් සමග කතා කළේ ය. කම්කරුවන් ගේ හඬට සවන් දුන්නේ ය. වීදිවල බෙදාහැරුණු පත්‍රිකා, පුවත්පත් සහ දේශපාලන ප්‍රකාශ කියවී ය. විප්ලවය සිදුවන අතරතුර එහි මැද සිටිමින්, සිදුවීම්වල ගැටුම්කාරී ස්වභාවයත්, ජනතාව තුළ පැවති බලාපොරොත්තුත් සටහන් කළේ ය. ජෝන් රීඩ් ලෝකයට පෙන්වා දුන්නේ ලෙයින් සහ දහදියෙන් තෙත් වූ කම්කරුවන් ගේ සහ ගොවීන්ගේ බලාපොරොත්තුව යි. යුද පෙරමුණේ සෙබළුන් ගේ සාමයේ ඉල්ලීම යි. ඒ අතීතයේ දහස් වසරක පීඩනය එක තත්පරයකින් පුපුරා ගිය ජනතාව ගේ දේශපාලන බලය යි.

ජෝන් රීඩ්ගේ සටහන් පොතෙන් උපුටාගත් මේ අසමසම පද රිද්ම දෙස බලන්න.

“නොවැම්බර් 10 වෙනි සෙනසුරාදා……


පුරවැසියනි! විප්ලවවාදී විනය කිසි ලෙසකින්වත් උල්ලංඝනය කරනු ලැබීම විප්ලවකාරී යුද කොමිටිය නොඉවසන බව මින් ප්‍රකාශ කෙරේ. සොරකම්වලට, මංකොල්ලකෑම්වලට සහ පහරදීම්වලට තදබල දඬුවම් පමුණුවනු ලැබේ. පැරීස් කොමියුනයේ ආදර්ශය අනුව යමින්, තත් කොමිටිය ඕනෑම කොල්ලකරුවෙකු හෝ කලබල ඇති කිරීමට උසිගන්වන්නෙකු නිරනුකම්පිතව විනාශ කර දමනු ඇත.

පුරවරය නිහඬතාවයක ගිලී තිබුණි. එකදු කොල්ලකෑමක්, සොරකමක් හෝ බේබදු සණ්ඩුවක් සිදු වී නොමැත. රාත්‍රියේ නිසල වීදි ඔස්සේ ආයුධ සන්නද්ධ මුරභටයෝ සංචාරය කළහ. මංසන්ධිවල පුංචි ගිනි ගොඩවල් වටා වාඩිගෙන සිටි සෙබළුන් සහ රතු මුරභටයෝ සිනාසෙමින් ගී ගයමින් සිටියෝය. දිවා කාලයේ විසල් ජනපිරිස් පදික වේදිකාවල රැස් වී, සිසුන්, සෙබළුන්, වෙළෙන්දන් හා වැඩකරන ජනයා අතර ඇවිළුණු කෙළවරක් නැති උණුසුම් විවාදවලට සවන් දුන්හ.

මහමගදී එකිනෙකා හමුවූ පුරවැසියෝ නොසංසුන්ව කතාබහේ යෙදුණාහ.

‘කොසැක්වරු එනවද?’

‘නෑ…’

‘මොනවද අලුත්ම ආරංචි?’

'බොල්ෂෙවිකයන් ඇව්රෝරා යුද නැවට පැනලා ගිහින් කියන්නේ හැබෑද?'

'එහෙම ආරංචියි……'

ඇමරිකානු මාධ්‍යවේදී ජෝන් රීඩ්ගේ ඒ වාර්ථා ලෝක සාහිත්‍යයට එකතු වූයේ, පීඩිතයා ගේ අරගලය සජීවීව කැමරා කාචයකට හසුකර ගත්තාක් වැනි අසමසම සාහිත්‍යමය ප්‍රාතිහාර්යයක් ලෙසිනි.


පැවති යථාර්ථය විද්‍යාත්මකව තේරුම් ගැනීම

ජෝන් රීඩ් රුසියාවට යන විට එහි තිබුණේ පළමු ලෝක යුද්ධයෙන් වෙහෙසට පත් වූ ජන සමාජයකි. නගරවල පාන් පෝලිම් දිගු විය. කර්මාන්තශාලාවල සූරාකෑම දරුණු විය. ගම්මානවල ගොවීන්ට තමන් වගා කළ පස අහිමි විය. එය ප්‍රශ්න එක පිට ගිනි පුපුරු මෙන් දැල්වුණු මොහොතකි.

1917 පෙබරවාරියේ දී සාර් රජුගේ කිරුළ බිම වැටුණි. එහෙත්, බලයට පත් වූ කෙරෙන්සිගේ තාවකාලික ආණ්ඩුව ද ජනතාවට සාමය හෝ ඉඩම් ලබාදුන්නේ නැත.

ලෙනින් ගේ මඟපෙන්වීම සහ විප්ලවීය උපායමාර්ගය ඉතිහාසයට එකතු වෙන්නේ මෙහි දී ය. එය විප්ලවයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් විය. සාර් පාලනයේ මහා මර්දනය හමුවේ තාවකාලිකව රටින් බැහැරව සිටි ලෙනින් 1917 අප්‍රේල් මාසයේ දී නැවත රුසියාවට පැමිණියේය. ලෙනින් ඉදිරිපත් කළ ''අප්‍රේල් තේසීස්'' නම් ලේඛණය මගින්, කෙරෙන්සිගේ තාවකාලික ආණ්ඩුවට රැවටෙන්නේ නැතිව, සියලු බලය 'සෝවියට් සභා' (කම්කරු, ගොවි සහ සෙබළ කවුන්සිල) වෙත ලබාගත යුතු බව අවධාරණය කළේ ය.

කම්කරුවාට තමන් ගේ ජීවිතය ගැන තීන්දුවක් ගත නොහැකි ද? ගොවියාට ඉඩමේ අයිතිය හිමිවිය යුතු නැති ද? යුද්ධයේ මරණයට කැපව සිටි සෙබළාට සාමය ඉල්ලා සිටීමට අයිතියක් නැති ද? ඊට ලෙනින් ඇතුලු බොල්ෂෙවික් සහෝදරවරුන්ගේ මග පෙන්වීම වූයේ සමස්ත පද්ධතියම පෙරළා දමන විප්ලවීය උපායමාර්ගයකි! එය පැවති යථාර්ථය විද්‍යාත්මකව තේරුම් ගැනීමයි.


ඉතිහාසයේ මහත් ගාම්භීර ම සංඥාව

තීරණාත්මක මොහොතේ දී පසුනොබා බලය දෙසට ගමන් කළ යුතු බව ලෙනින් හඬ නගා මොස්කව්, පෙට්‍රොග්‍රෑඩ්හි වීදිවල කම්කරුවන්ට ගොවීන්ට සහ සෙබළුන්ට ජනහමු පවත්වමින් පැවසුවේ ය. ලියොන් ට්‍රොස්කි ඇතුලු වෙන්ව සිටි සෙසු වාමාංශිකයිනට ද විප්ලවයට එකතු වෙන්නැයි ලෙනින් සුවිශේෂ ඉල්ලීමක් ද කළේ ය.

1917 ඔක්තෝබර් 25 වෙනිදා අඳුරු රාත්‍රියේ, නෙවා නදියේ නිසල දියරැළි අතරින් පළමු වරට ඇව්රෝරා ප්‍රහාරක යුද නෞකාවේ නාවික සෙබළුන් විසින් වින්ටර් පැලැස් දෙසට එල්ල කරන ලද්දේ හුදෙක් එක හිස් වෙඩි පහරක් පමණක් නොවේ. එය පැරණි වැඩවසම්, ධනපති පාලනයේ අවසානයත්, විප්ලවයේ සන්නද්ධ නැඟිටීමේ ආරම්භයත් සලකුණු කළ ඉතිහාසයේ මහත් ගාම්භීර ම සංඥාවයි. එම වෙඩි පහර මාලිගය විනාශ කළ ප්‍රහාරයක් නොව, බලයේ සංඥාවක් විය. වින්ටර් මාලිගය අත්පත් කරගැනීම පසුකාලීන චිත්‍රපට සහ ජනප්‍රිය විස්තරවල පෙන්වන තරම් දැවැන්ත, අඛණ්ඩ සටනක් නොවීය. මාලිගය ආරක්ෂා කරමින් සිටි පිරිස්වලින් බොහෝ දෙනෙක් ඒ වන විට ඉවත්ව ගොස් සිටි අතර, ඉතිරිව සිටි තාවකාලික ආණ්ඩුවේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමෙන් මෙහෙයුම අවසන් විය.

එම රාත්‍රිය රුසියාවේ රාජ්‍ය බලය වෙනස් කළ තීරණාත්මක අවස්ථාවක් විය. එය, මිනිස් ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රමය වගුරුවන පීඩිතයා රාජ්‍ය බලයේ හිමිකරුවා බවට පත් වූ අසමසම මොහොතයි.


ඔක්තෝබර් විප්ලවය අපට කියා දෙන සදාතනික පාඩම

ඉතිහාසයේ විශාල වෙනස්කම් හැමවිටම දැවැන්ත වෙඩි හඬකින් හෝ අතිවිශාල සටන්වලින් පමණක් ම සිදු නොවේ. සමහර විට ඒවා සිදුවන්නේ රාජ්‍ය බලය දරන ආයතන එකින් එක අත්පත් කරගැනීමෙන්, තීරණාත්මක සංවිධානාත්මක ක්‍රියාමාර්ගවලින් සහ ජනතාව ගේ සහාය ලබාගැනීමේ අරගල තුළිනි.

ඔක්තෝබර් විප්ලවය අපට කියා දෙන සදාතනික පාඩම නම්, ඉතිහාසය යනු බලවතුන් කරන දේ දෙස බලා සිටින අසරණ මිනිසුන්ගේ කතාවක් නොවන බවයි. ඉතිහාසය යනු තමන්ගේ ඉරණම තමන් විසින් ම ලියන, සංවිධානාත්මක ජනතාව ගේ කතාවයි. පසුකාලීනව සෝවියට් සංගමය බිඳවැටුණ ද, ධනවාදය දහස් වරක් සමාජවාදයේ මරණය ප්‍රකාශ කළ ද, ඔක්තෝබර් විප්ලවය දැල්වූ ඒ අමරණීය ගිනිසිළුව නිවී ගොස් නැත. මන්ද යත්, ධනවාදයේ සූරාකෑම, අසමානතාවය සහ යුද්ධයේ බිහිසුණු බව පවතින තාක්, ඊට ඇති එකම විද්‍යාත්මක සහ මානුෂීය විකල්පය ලෙනින්වාදී සමාජවාදී කියවීම පමණක්ම වන බැවිනි.

ජෝන් රීඩ් එදා "ලොව හෙල්ලූ දස දවස" තුළ දුටු ජනතා බලයේ ප්‍රාතිහාර්යය, අදටත් අපට අනාගතය දෙස බලන්නට නව ආලෝකයක් සපයයි. සමාජවාදය යනු අතීතයේ මියගිය මතකයක් නොවේ. එය, පීඩිත මානව සංහතියේ සදාතනික හා ප්‍රභාස්වර හෙට දිනයයි!

ලේඛක - ගාමිණී මුතුකුමාරණ

gaminimuthu@gmail.com

උපුටා ගත්තේ Gamini Muthukumarana ගේ face book පිටුවෙන් 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...