The Leader News
BREAKING
පීඩිත මිනිසකු ගේ හෘද සාක්ෂියේ නාදය; සමෝරා මෂෙල්●ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට යයි●අතීතකාමී හැඟීම් සමුදායක පාඨකයා ගිල්වා තබන "මුවන්පැලැස්සේ හිඟන කොල්ලා"●කාවන්තිස්ස ඛේදවාචකය: කඳුළු සැලීමෙන් ඔබ්බට පද්ධතිය හදන සටන●බන්ධනාගාරගත හිමිවරුන්ගේ සිවුරු ප්‍රශ්නයට බෞද්ධ කොමසාරිස්ගේ අනුමැතිය පතයි●කාවන්තිස්සට වෙඩි තැබූ නිශ්චිත සාක්ෂි කෝ?●නව ත්‍රස්ත පනතට එරෙහිව SLWJA ශ්‍රේෂ්ඨාධිකරණයට●කොළඹ වරායේ ඩොලර් බිලියන ගනුදෙනුව අත්හැරියේ ඇයි?●විලාසිතා ලෝකයේ සදාචාරාත්මක පසුබෑම: අලුත් වාර්තාවකින් හෙළිදරව්වක්●වරාය නගරයේ අනුමැති ගැන පාර්ලිමේන්තු කාරක සභාවෙන් ප්‍රශ්න●
Top Ad
සාහිත්‍ය - කලා

අතීතකාමී හැඟීම් සමුදායක පාඨකයා ගිල්වා තබන "මුවන්පැලැස්සේ හිඟන කොල්ලා"

Nethmini

Nethmini

October 20, 2026 • 12:31 PM

අතීතකාමී හැඟීම් සමුදායක පාඨකයා ගිල්වා තබන "මුවන්පැලැස්සේ හිඟන කොල්ලා"

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙනස් ම ආකෘතියක් 'හිඟන කොල්ලා ' යන නාමය ශ්‍රී ලාංකීය පාඨක සමාජයට නගන්නේ ආගන්තුක හැඟීමක් නොවේ.
  • බය නැතුව මෙහාට එන්න,' කියනව වගේ මගේ දිහා බලාගෙන හිනාවෙවී හිටිය..." පිටුව 06 අතීතකාමී රස හැඟුම් දනවන අයුරින් රොහාන් එම කටවුට් දුටු ආකාරය කතුවරයා සටහන් කරන්නේ මෙලෙසිනි.
  • බහු-ආඛ්‍යාන රටාව කතාවේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත්වන්නේ ගාලු නගරයේ පිහිටි ' හැව්ලොක් හෝටලය ' යි.
  • මෙම කෘතියේ ඇති විශේෂ ම සාහිත්‍යමය ලක්ෂණය වන්නේ එහි යොදාගෙන ඇති ' බහු-ආඛ්‍යාන රටාවයි '.
අකුරු ප්‍රමාණය (Font Size):

වෙනස් ම ආකෘතියක්

'හිඟන කොල්ලා' යන නාමය ශ්‍රී ලාංකීය පාඨක සමාජයට නගන්නේ ආගන්තුක හැඟීමක් නොවේ. 1923 වසරේදී හෙළ නවකතාවේ පීතෘවරයකු බඳු ඩබ්. ඒ. සිල්වා සූරීන් අතින් රචනා වූ 'හිඟන කොල්ලා' අදටත් අපේ සාහිත්‍ය වංශයේ සදාතනික මතක සටහනකි. එහෙත් අද අපගේ අවධානය යොමුවන්නේ එම සම්භාව්‍ය කෘතිය වෙත නොව, ප්‍රකට ලේඛක ජයසිරි අල්වත්ත ගේ නූතන රචනාවක් වන "මුවන්පැලැස්සේ හිඟන කොල්ලා" නවකතාව දෙසට ය. සම්ප්‍රදායික ආඛ්‍යාන රටාවෙන් සම්පූර්ණයෙන් ම බැහැරව, අතිශය පෞද්ගලික මෙන් ම වෙනස් ම ආකෘතිකමය මගක් ගත් මෙම කෘතිය සත්තකින් ම, පාඨකයා හැත්තෑවේ දශකයේ අගභාගයේ ගාලු පුරවරයට කැඳවාගෙන යන අපූර්ව සාහිත්‍ය නිර්මාණයකි.

තදබල සිනමා ලෝලියා

නවකතාවේ කතා නායකයා වන්නේ දාහත් වියැති "රොහාන් යසසිරි" නමැති ගැටවරයා ය. අනාගතය පිළිබඳ පැහැදිලි නියමයක් නැතත්, රැකියාවක් සොයාගැනීමේ අරමුණින් තම නිවසින් පැන එන ඔහු ළඟාවන්නේ ගාල්ල නගරයට ය. ඔහු ගෙදරින් එන අතරමග දී ගෙන ආ පිත්තල තරාදි කඳ රුපියල් අසූවකට මහජන පොළෙහි වෙළෙන්දකුට අලෙවි කර, ගාලු වීදි දිගේ සැරිසරන මොහොතෙන් කතාව ආරම්භ වේ. එමෙන්ම රොහාන් යනු තදබල සිනමා ලෝලියෙකි.

හැත්තෑව දශකයේ අගභාගයේ ගාලු සංස්කෘතික පරිසරය සහ සිනමාහල් සංස්කෘතිය ලේඛකයා මනාව නිරූපණය කරයි. ගාල්ලේ ප්‍රකට 'සරසවි' සිනමාහලේ එ'දවස තිරගත වන්නේ 'මුවන්පැලැස්ස' චිත්‍රපටය යි. ඊට නුදුරින් වූ 'ක්වීන්ස්' සිනමාහලේ' ප්‍රදර්ශනය වන්නේ 'හිඟන කොල්ලා' චිත්‍රපටය යි. සිනමාහල් ඉදිරිපිට වූ යෝධ ප්‍රචාරක කටවුට්, එකල දකුණේ පැවැති නගරාශ්‍රිත පරිසරය සහ අතීතකාමී මතක සමුදායන් ලේඛකයා චිත්‍රණය කරන්නේ පාඨක සිත තුළ එකල සිනමාපටයක දර්ශනයක් මැවෙන අයුරිනි.

"හෝල් එකෙන් එළියට ආවට පස්සෙ හැරෙන්නේ කොයි පැත්තට ද කියලා හිතාගන්න බැරුව ටිකක් පාර දෙපැත්ත බලද්දි තමයි දැක්කෙ රෙක්ස් කොඩිප්පිලි ආයෙ වතාවක් මගේ දිහාට තුවක්කු එල්ල කරගෙන ඉන්නව. අපරාදෙ කියන්න බෑ ඒකටත් එක්ක මාලනි ෆොන්සේකා... 'එයා තුවක්කු එල්ල කරගෙන හිටියට ඔයාට වෙඩි තියන්නෙ නෑ... බය නැතුව මෙහාට එන්න,' කියනව වගේ මගේ දිහා බලාගෙන හිනාවෙවී හිටිය..."

පිටුව 06

අතීතකාමී රස හැඟුම් දනවන අයුරින් රොහාන් එම කටවුට් දුටු ආකාරය කතුවරයා සටහන් කරන්නේ මෙලෙසිනි. එසේම එය මෙම කටවුට් නොදුටු ඕනෑම කෙනෙකුට ද එහි හැඩය සිතෙන් මවාගත හැකි පරිද්දෙනි.

බහු-ආඛ්‍යාන රටාව

කතාවේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත්වන්නේ ගාලු නගරයේ පිහිටි 'හැව්ලොක් හෝටලය' යි. මෙය අද අප දකින සංචාරක තරු හෝටලයක් නොව, එකල නගරවල පැවැති සාමාන්‍ය ජනතාව ආහාරපාන ලබාගන්නා "හෝටලය සහ බේකරිය" ආකෘතියේ ස්ථානයකි. එහි රැකියාවක් සොයාගන්නා රොහාන් හට එකිනෙකට වෙනස්, ජීවිතයේ විවිධ පැති නියෝජනය කරන ආකර්ෂණීය චරිත ගණනාවක් මුණගැසේ. ටී මේකර් හෙවත් ජස්ටින්, හෝටල් හිමිකරු ක්වීන්ටස්, පෑන්ට්‍රි බාරකරු වඳුරඹ, රංජිත් නැමති වේටර්වරයා, රොටී බාස් හෙවත් ජිනේ අයියා සහ බතික් අන්කල් ඒ අතරින් කිහිපදෙනෙකි..

මෙම කෘතියේ ඇති විශේෂ ම සාහිත්‍යමය ලක්ෂණය වන්නේ එහි යොදාගෙන ඇති 'බහු-ආඛ්‍යාන රටාවයි'. කතාව උත්තම පුරුෂ ආඛ්‍යානයෙන් දිගහැරෙන අතර, ප්‍රධාන චරිතය වන රොහාන් පමණක් නොව, කතාවේ එන අනෙකුත් චරිත ද විටින් විට පැමිණ ස්වකීය කෝණයෙන් කතාව පාඨකයාට පවසති. එක ම සිදුවීම හෝ සමාජ වටපිටාව බහු චරිතවල දෘෂ්ටි කෝණයෙන් කියැවෙන මෙම ක්‍රමය නිසා පාඨකයා සෘජුවම කතාවේ සංවාදයකට මැදිහත් වන හැඟීමක් ජනිත වේ.

 දැඩි පරාර්ථකාමී සහ මානුෂීය බැඳීම

කතාවේ තීරණාත්මක හැරවුම් ලක්ෂය සනිටුහන් වන්නේ මෙම හෝටලයට තේ බීම සඳහා නිතර පැමිණෙන ජෙසිකා, කමලනී, විනීතා සහ රමණී යන වීදි ගණිකාවන් සිව්දෙනා සමඟ රොහාන් ඇතිකරගන්නා සබඳතාවයයි. සාමාන්‍ය සමාජය වෛරයෙන් හෝ පිළිකුලෙන් බලන මෙම චරිත සමඟ රොහාන් ඇතිකරගන්නා සබඳතාව කිසිසේත්ම ලෞකික හෝ ලිංගික ආශා මත පදනම් වූවක් නොවෙයි. එය එකිනෙකා කෙරෙහි ඇතිවූ දැඩි පරාර්ථකාමී සහ මානුෂීය බැඳීමකි. සමාජයෙන් අසරණ වූ ඒ ගැහැනුන්ගෙන් නගරයක තනිවී සිටින රොහාන් ලබන රැකවරණය සහ සෙනෙහස ඉතා සංවේදී ලෙස කතුවරයා ඉස්මතු කර දක්වයි. මෙය කියවනා විට මහා කවි මහගම සේකර ගේ ප්‍රකට කවි සංකල්පනාවක් මෙහිදී මගේ මතකයට නැගේ..,

"වීදිකොණේ මග රැකලා

පහන් කණුව යට ඉඳලා

ඇට ලේ මස් දං දීලා

කිරි අරගෙන එයි අම්මා..."

සේකර ගේ කවියේ මෙන්ම, ගාලු කොටුවේ ප්‍රදීපාගාරයේ පහස ලබමින් ඒ ආසන්නයේ අඳුරේ රැඳී සිටින මේ අසරණ ගැහැනුන් ගේ ජීවිත ද ප්‍රදීපාගාරයේ ආලෝකයට යටින් ඇති අඳුර මෙන්ම සංකීර්ණය. පහන් කණුව කොතරම් දුරට එළිය විහිදුව ද, එහි පාමුල ඇත්තේ බාගෙට එළිය, බාගෙට අඳුර මිශ්‍ර වූ නොපැහැදිලි පරිසරයකි. එකල රාත්‍රියේ ඒ අඳුර අතර ඔවුන් සිටි ආකාරය එක් තැනක රොහාන් ගේ මතකයෙන් කතුවරයා සටහන් කරන්නේ මෙලෙසිනි..

"ජෙසිකා, විනීතා එක්කම රමණිත් ඒ රෙද්ද වටේට වාඩිවෙලා හිටියා. මම මෙහෙම කියන්නෙ ඒ අය හරියට ම අඳුරගෙන එහෙම නෙවෙයි, අනුමානෙට. මොකද අවට පැතිරිලා තියෙන්නෙ එළියත් නැති, කළුවරත් නැති බාගෙට කළුවර, බාගෙට එළිය තියෙන පරිසරයක්."

පිටුව 72

එකී නොපැහැදිලි අඳුරු පරිසරය මෙන්ම, ඔවුන්ගේ අභ්‍යන්තර ජීවිතවල ඇති සැබෑ වේදනාව සහ මානුෂීය පැහැය ද පිටත සමාජයට නියමාකාරයෙන් නිරූපණය නොවෙන බව ලේඛකයා මනාව පෙන්වා දෙයි.

ගාලු කොටුවේ සුන්දර ස්ථාන

වත්මන් ගාලු කොටුවේ අද දක්නට නොමැති අතීත භෞතික සහ ඓතිහාසික පරිසරය පිළිබඳ තොරතුරු රැසක් ද මෙම කෘතියට ඇතුළත් වේ. කතාවේ එන එක් ගණිකාවක්, ගාලු කොටුවේ සුන්දර ස්ථාන පෙන්වීමට රොහාන් ව රැගෙන යයි. එහි දී, ගාලු කොටුවේ ඔරලෝසු කණුවේ සිට මුහුද දෙසට වන්නට පිහිටි විශාල ආවාටය බඳු කොටසට ඇතුළු වී පහළට බැස මුහුද අද්දරට යෑමට තිබූ බිංගෙය (අද වන විට මෙම ප්‍රවේශ මාර්ගය වසා දමා ඇත) යනාදි ස්ථාන පිළිබඳ තොරතුරු විස්තර කෙරේ. අද අතුරුදන් වී ඇති මෙවැනි ඓතිහාසික ස්ථාන රැසක් නැවත පාඨක මතකයට කැඳවීමට කතුවරයා සමත්ව ඇත.

ප්‍රාදේශීය උප භාෂා භාවිතය

තවත් ප්‍රමුඛ ලක්ෂණයක් වන්නේ සමස්ත කතාව ම දකුණේ ප්‍රාදේශීය උපභාෂාවෙන් ලියා තිබීමයි. මෙහි කොතැනකවත් පොදු ව්‍යවහාරයේ එන 'ඔබ', 'ඔයා' වැනි වචන භාවිත නොවන අතර, සියයට සියයක් ම දකුණු පළාතට ආවේණික වචන මාලා සහ භාෂා ශෛලිය යොදාගෙන ඇත. භාෂාවක් සහ සමාජයක් තුළ පවතින "ප්‍රාදේශීය උපභාෂා" සහ "සමාජීය උපභාෂා" පිළිබඳ හදාරන කෙනෙකු හට වුවද මෙය කදිම මූලාශ්‍රයකි.

"මුවන්පැලැස්සේ හිඟන කොල්ලා" යනු 70 දශකයේ අගභාගයේ දකුණු ලංකාවේ සමාජ, සංස්කෘතික සහ මානුෂීය සබඳතාවල සැබෑ ස්වරූපය නිරූපණය කරන කැඩපතකි. අතීතකාමී හැඟීම් සමුදායක පාඨකයා ගිල්වා තබන අතරම, සමාජයේ කොන්වූ මිනිසුන්ගේ හදවත්වල ඇති උතුම් මානුෂීය ගුණාංග මතුකර පෙන්වීමට ජයසිරි අලවත්ත දැරූ උත්සාහය අතිශයින්ම ප්‍රශංසනීය වේ. පාඨක සිත අතීතයට ගෙන යන මෙම නවකතාව වර්තමාන සිංහල සාහිත්‍යයට වටිනා කෘතියකි.

සටහන - ජගත් ප්‍රසන්න කුරුගම

jagathprasannakurugama@gmail.com

උපුටා ගත්තේ Jagath Prasanna Kurugama ගේ face book පිටුවෙනි 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#Muwanpalasse Hingana Kolla#Jayasiri Alawatta'#Galle#Jagath Prasanna Kurugama
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...