The Leader News
BREAKING
බැංකොක් ගුවන් තොටුපොළේ ගමන් මලු අර්බුදයට CCTV සාක්ෂි●සාහිත්‍යවේදියකු ගේ නික්ම යෑම…●නවසීලන්ත රැකියා සිහිනය පිටුපස සැඟවුණු ජාවාරමට තිත●අඩසියවසක බ්‍රිතාන්‍ය ජීවිතය බේරාගත් පැය විසිහතරක මාධ්‍ය මෙහෙයුම●නව ක්‍රිකට් පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් වැස්සක්●ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆෝල්ට්ස් කොටස් ගනුදෙනු අත්හිටුවීමේ දැඩි අවදානමක●සුමුදු ගුරුගේ වෙතින් නවතම යෝජනාවක් සහ ආරාධනයක්●ලොව වෙබ් අඩවිවලින් 70%ක් දැඩි අවදානමක: AI අනාවරණය කළ බරපතළ දෝෂය●නව ත්‍රස්ත පනතට එරෙහිව නීතිඥ සංගමයෙන් සහ ඇම්නෙස්ටි වෙතින් අනතුරු ඇඟවීමක්●LOLC පාකිස්තාන ජයග්‍රහණය: ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයට විසඳුමක්ද?●
Top Ad
සාහිත්‍ය - කලා

සාහිත්‍යවේදියකු ගේ නික්ම යෑම…

Nethmini

Nethmini

October 22, 2026 • 3:58 PM

සාහිත්‍යවේදියකු ගේ නික්ම යෑම…

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ බත් ටික ඔක්කොම කෑවෙ නැත්තන් සාහිත්‍යවේදියෙක් ඇවිත් අල්ලන් යයි… ඔන්න මං නම් දන්නෑ…” සැප්තැම්බර් මාසය ආසන්න වන විට අම්මා අපට තනිවම එළිපහළියේ ගැවසීම තහනම් කළා ය.
  • එය අපේ නිවසේ පමණක් පැවති නීතියක් නොව , අහළ පහළ සෑම නිවසක ම පාහේ දැඩිව ක්‍රියාත්මක වූ නීතියක් බව මගේ මතකයේ සටහන්ව තිබේ.
  • අවසන් බත් ඇටය දක්වා කෑ හේතුව සාහිත්‍යවේදීන් සම්බන්ධ මගේ බිය ආරම්භ වූයේ කෙසේදැයි නිශ්චිතව කිව නොහැකි වුවත් , ලිවීමට හෝ කියවීමට ඉගෙනගැනීමට පෙර වයසේ සිටම මා සාහිත්‍යවේදීන්ට බිය වූ බව මට මතක තිබේ.
  • කොටින්ම අම්මා කුඩා කාලයේ මට බත් කැව්වේ ද සාහිත්‍යවේදීන් ගැන පවසමින් බව මට මතකය.
අකුරු ප්‍රමාණය (Font Size):

“බත් ටික ඔක්කොම කෑවෙ නැත්තන් සාහිත්‍යවේදියෙක් ඇවිත් අල්ලන් යයි… ඔන්න මං නම් දන්නෑ…”

සැප්තැම්බර් මාසය ආසන්න වන විට අම්මා අපට තනිවම එළිපහළියේ ගැවසීම තහනම් කළා ය. පාසල් යන එන විට පවා කණ්ඩායම් වශයෙන් මිසක, තනිවම ගමන් යෑම තහනම් විය. එය අපේ නිවසේ පමණක් පැවති නීතියක් නොව, අහළ පහළ සෑම නිවසක ම පාහේ දැඩිව ක්‍රියාත්මක වූ නීතියක් බව මගේ මතකයේ සටහන්ව තිබේ. ඊට හේතුව වූයේ, වසර පුරා තැබෑරුම්වල, පොත් සාප්පුවල සහ කුඩා අඳුරු කාමරවල මුළුගැන්වී සිටි සාහිත්‍යවේදීන්, සැප්තැම්බර් මාසය ළඟා වන විට කෙමෙන් කෙමෙන් එළිබසින්නට පටන් ගැනීම ය.

අවසන් බත් ඇටය දක්වා කෑ හේතුව

සාහිත්‍යවේදීන් සම්බන්ධ මගේ බිය ආරම්භ වූයේ කෙසේදැයි නිශ්චිතව කිව නොහැකි වුවත්, ලිවීමට හෝ කියවීමට ඉගෙනගැනීමට පෙර වයසේ සිටම මා සාහිත්‍යවේදීන්ට බිය වූ බව මට මතක තිබේ. කොටින්ම අම්මා කුඩා කාලයේ මට බත් කැව්වේ ද සාහිත්‍යවේදීන් ගැන පවසමින් බව මට මතකය. මා බත් කෑමට අදිමදි කරන ඕනෑම විටෙක අම්මා සාහිත්‍යවේදීන් ගැන පවසා මා බියගැන්වීමට පුරුදු වී සිටි අතර, ඇගේ උත්සාහය කිසිම විටෙක අසාර්ථක නොවූයේ සාහිත්‍යවේදීන් කෙරෙහි පැවති බිය හේතුවෙන් මම පිඟානේ අවසාන බත් ඇටය දක්වාම කා අවසන් කළ බැවිනි.

අම්මාට අමතරව එම බිය වැඩිදියුණු කරවීම සඳහා නෑදෑ හිතමිතුරු අයියලා, අක්කලා ද සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබුණි. පවුලේ සියලු දෙනා එක්කාසු වන ඉඳහිටක පැමිණෙන උත්සව දවස්වල දී, නිවසේ කොහේ හෝ අඳුරු මුල්ලක ගුළිවන ඔවුන් සාහිත්‍යවේදීන් ගැන බිය ජනක කතාන්දර කීමට පටන් ගනී. පවුලේ කුඩා ම දරුවා වශයෙන් මම ද පසෙකට වී එම කතාන්දර අසා සිටියේ, බියජනක වූ නමුදු එම කතාවලට සවන්දීමේ සැබෑ කුතුහලයක් මට පැවති නිසා ය.

දිග පටියක් සහිත රෙදි බෑගය

ඔවුන් පැවසූ බොහෝ සාහිත්‍යවේදී කතාන්දර වැඩිහිටියන් ගේ කතාබහවලින් ඇසුණු ඒවා වූ අතර අනෙක් කතාන්දර පාසලේ දී මිතුරන්ගෙන් අසාගත් ඒවා විය. ඒ අතරින් ද වඩාත්ම බියජනක වූයේ සාහිත්‍යවේදීන් විසින් පැහැරගෙන යන ලද දරුවන් සම්බන්ධ කතාන්දරයි.

ළමා පිරිසේ සාමාජිකයින් අතුරින් සාහිත්‍යවේදියෙකුව සමීපයෙන් ම දැක ඇති පුද්ගලයා වූයේ, නිට්ටඹුවේ සුදු අයියා යි. එම නිසා නිතැතින්ම සුදු අයියාට ළමා පිරිස අතර හිමිවූයේ ගෞරවයකි. සාහිත්‍යවේදී කතාන්දර කියැවෙන ඕනෑම තැනක සුදු අයියා මුලසුනෙහි හිඳ සිටි අතර, ඔහු කතාකරන විට කිසිවෙකු හෝ ‘හුම්’ හඬක්වත් නැගුවේ නැත.

“දැකලා තියෙනවාද අර දිග පටියක් තියෙන රෙදි බෑග්… සාහිත්‍යකාරයො ඒවා එල්ලන් එන්නෙ… වම් පැත්තෙ හරි දකුණු පැත්තෙ හරි එක උරහිසක… ඒකෙ තමා ඌගෙ පොතුයි, පෑනුයි, අරවායි, මේවායි ඔක්කොම තියෙන්නෙ… පොඩි ළමයෙක් තනියෙන් ඉන්නවා දැක්කොත් එහෙම පටස් ගාලා අල්ලගෙන ඔබාගන්නවා බෑග් එකේ…”

කොපමණ වාර ගණනක් අසා තිබුණත්, සුදු අයියා කතාවේ මෙම කොටසට එන හැම වාරයක දී ම මගේ හදගැස්ම වේගවත් වේ. කොඳුඇට පෙළ දිගේ අමුතු සීතලක් දිව යන අතර හුස්ම ගැනීමේ අපහසුවක් දැනේ. දැන් මෙතනින් නැගිට යා යුතුයැයි සිතුණත්, කතාවේ ඉතිරි කොටස අසාගැනීමට ඇති කුතුහලය ඊට වඩා බලවත් වේ.

“ඊටපස්සෙ ඌ ළමයාව අරන් යනවා, ඌගෙ බෝඩිම් කාමරේට... උන් සාමාන්‍යයෙන් ඉන්නෙ බෝඩිම්වල තමා… ඒකත් කුණු ගොඩක්… අස්කරලා නෑ… ගඳේ බෑ… ඊටපස්සෙ ළමයාව වාඩි කොරෝනවා ඌගෙ ලියන මේසෙ ගාව දිරච්චි පුටුවක… ඊටපස්සෙ ඌ ළමයාට ඇහෙන්න හෙන ලොකු, පරණ සෝවියට් පොතක් කියෝනවා…”

ළමා පිරිස භීතියෙන් ඇස් අයාගෙන, ඉහළට ගත් හුස්ම පහළ හෙළන්නට පවා අමතකව සුදු අයියා දෙස බලා හිඳී. දුර්වල සිතක් ඇති කෙල්ලකගේ ඇසකින් කුඩා කඳුළු බිඳුවක් කඩා හැලෙයි. සාහිත්‍යවේදියාගේ බිඳෙන සුළු ගුප්ත කටහඬින් සෝවියට් පොතක් අසා සිටින්නට සිදු වූ නන්නාඳුනන ළමයා ගැන අනුකම්පාවෙන් මගේ හදවත බර වී යයි. කවදා හෝ දිනයක මට ද එවැනි අත්දැකීමක් විඳින්නට සිදු වේ යැයි යන භීතිය නැවත වතාවක් මගේ සිත තුළ නැඟී එයි. මම ආයාසයෙන් එය යටපත් කරගනිමි.

සාහිත්‍යවේදියකු ගේ පළමු හමුව

පළමු වතාවට සාහිත්‍යවේදියෙකු දකින විට මගේ වයස අවුරුදු 7ක් පමණ වන්නට ඇත. එදින අම්මාට අවශ්‍ය රෙදි වගයක් සෙවීමට නගරය පුරා වට කිහිපයක් ඇවිදීමට සිදුවීම හේතුවෙන් අප දෙදෙනා ම සිටියේ අතිශයින් වෙහෙසට පත්වයි. ඒ නිසා ම පාර අද්දර තිබූ කුඩා තේ කඩයකට ගොඩ වූ අම්මා, අප දෙදෙනා වෙනුවෙන් සිසිල් බීම සහ කෙටි ආහාර කිහිපයක් ඇණවුම් කළා ය. අම්මාට මුහුණලා විරුද්ධ පස පුටුවේ මා හිඳගත් අතර, අපට මේස දෙකක් පමණ එහායින් හිඳ සිටි සාහිත්‍යවේදියා පළමු වතාවට මගේ ඇසේ ගැටුණේ එවිටයි.

සාහිත්‍යවේදියා ගේ කොණ්ඩය සහ රැවුල ඉතා දිගුව වැඩී තිබුණු අතර, නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා තරමක හැඩපළු ගැසී තිබුණි. ඔහු හැඳ සිටි ශරීර ප්‍රමාණයට වඩා විශාල ලිනන් කමිසය කිලිටි වී තැළී පොඩි වී ගොස් තිබූ අතර, එය කිසිදාක ඉස්තිරික්කයක පහසක් ලබා නොමැති බව කුඩා වයසේ දී පවා මට තේරුම් ගැනීමට හැකි විය. සුදු අයියා කී කතාව සිහිපත් වූ මම ඔහුගේ මේසය පුරා ඇස් යවමින්, උරහිසේ එල්ලාගෙන යන රෙදි බෑගය සෙවීමට උත්සාහ කළ නමුත්, ඔහු සතුව එවැනි බෑගයක් නොමැති වීම මට මහත් අස්වැසිල්ලක් විය.

රෙදි බෑගය නොමැති වුවත් සුදු අයියා කී ආකාරයේ හම් කවරයක් සහිත දැවැන්ත පොතක් ඔහුගේ මේසය මත තබා තිබුණි. එය සෝවියට් පොතක් විය හැකි බවට වූ සිතුවිල්ලක් එකවරම මගේ මනස හරහා ඇදී ගිය අතර, සුදු අයියා කී කතාවේ සිටි ළමයා සිහිවීමෙන්, නැවත වරක් මගේ හදවත භීතිය මුසු ශෝකයකින් බරව ගියේ ය. එම විශාල පොත මත තබා තිබුණේ ඝනකම් රාමුවක් සහිත සාහිත්‍යවේදියා ගේ කළු පැහැති කණ්ණාඩි කුට්ටමයි. කණ්ණාඩි භාවිත කරන්නේ පෙනීමේ දුර්වලතා ඇත්තන් බව එවකට මා සිතා සිටියත්, සාහිත්‍යවේදීන් කිසිදු හේතුවකින් තොරව එවැනි කණ්ණාඩි කුට්ටම් භාවිත කරන බව පසුකාලීනව මා උගත්තේ ය.

අම්මා ගේ නිරන්තර අධීක්ෂණය

පොතට එහා පසින් තවමත් දුම් දමන කුඩා කෝපි කෝප්පයක් තබා තිබූ අතර සාහිත්‍යවේදියා ගේ අතේ වූයේ, අඩක් දැල්වුණු දුම්වැටියකි. නමුත් කෝපි කෝප්පය හා දුම්වැටිය සම්පූර්ණයෙන්ම නොසලකා හැර සිටි සාහිත්‍යවේදියා, ඇස්වල වූ හිස් බැල්මෙන් යුතුව කඩයේ වහලය දෙස බලා සිටියේ ය. මෙසේ හිස් බැල්මෙන් ඈත බලා සිටීම සාහිත්‍යවේදීන් චාරිත්‍රයක් වශයෙන් සිදුකරන්නක් බව සුදු අයියා වරක් කියූ බව මගේ මතකයට නැගුණි.

මගේ දෑස් යොමුව ඇති දිසාව දෙස හැරී බැලූ අම්මා, සාහිත්‍යවේදියාව පළමු වතාවට දැකගත්තේ ඒ මොහොතෙහි දී ය. ඒ වේලෙහි අම්මාගේ මුහුණෙන් මතු වූ බියජනක බැල්ම මට අදටත් කිසිදු අපහසුවකින් තොරව මතකයට නගාගත හැකි ය. වහාම මගේ අතකින් ඇදගත් අම්මා, තේ කඩයෙන් පිටවී ආවේ ලබාගත් කෑමවල බිල ගෙවන්නට හෝ මඳක්වත් ප්‍රමාද නොවෙමිනි.

එතැන් පටන් අම්මා ගේ විමසුම් සහගත බැල්ම නිරන්තරයෙන්ම මා වෙතම එල්ල වී පැවති බව මට මතක ය. මා පොතක් පතක් අල්ලන ආකාරයේ සිට, තේ කෝප්පය අල්ලන ආකාරය දක්වා ද, කිසිවක් නොකර නිකන් කල්පනා කරන ආකාරය දක්වා ද සියල්ල අම්මා ගේ නිරන්තර අධීක්ෂණය යටතේ සිදු විය. ඈ වුවමනාවටත් වැඩියෙන් ගේ දොර අස්පස් කිරීමේ කටයුතුවලට මා සහභාගී කරවාගත් අතර, හදිසියේ බඩේ අමාරුවක් හැදුණු දිනයක හෝ කෝපි උගුරක් මා හට සාදා නොදීමට ප්‍රවේශම් වූවා ය.

සුදු අයියාට හිමිව තිබූ තත්ත්වය මා වෙත…

අම්මාගේ හැසිරීම එසේ වුවත්, සාහිත්‍යවේදියා සම්මුඛ වීම මගේ ජීවිතයට බලපා තිබුණේ වෙනස් ම ආකාරයකිනි. එතුවක් පන්තියේ කිසිදු විශේෂත්වයක් නොමැති සිසුවකු වූ මම, එක්වරම පන්තියේ වැදගත්ම සිසුන් අතරින් අයෙකු බවට පත්වීමි. පන්තියේ අන් කිසිදු සිසුවකු ඒ තරම් සමීපයෙන් සාහිත්‍යවේදියකු දැක නොතිබූ අතර, මා දුටු සාහිත්‍යවේදියා ගැන විස්තර අසාගැනීමට ඔවුන් සියලු දෙනා සිටියේ නොසන්සිඳෙන කුතුහලයකින් යුතුවය.

ඒ දිනවල මට දැනුණේ, එදවස සුදු අයියාට අප අතර හිමිව තිබූ තත්ත්වය එක්වරම මට හිමි වී ඇති බවකි. එබැවින් සුදු අයියා මෙන් හැකිතරම් රසවත් කොට, සාහිත්‍යවේදියා ගේ විස්තරය ඔවුන්ට කියා දීමට මා උත්සාහ කළ බව මට මතක ඇත. නමුත් මා හා සාහිත්‍යවේදියා අතර සම්මුඛ වීම අඩි කිහිපයක් දුරින්, තත්පර කිහිපයකට පමණක් සිදුවූවක් බැවින් ඔවුන් සමග කීමට වැඩිමනත් විස්තරයක් මා සතු වූයේ නැත. එබැවින් සුදු අයියා ගෙන් අසාගත් සමහර කොටස් මගේ කතාවට එක්කරන්නටත්, තවත් සමහර කොටස් මා විසින්ම සිතා කතාවට එක්කරන්නටත් මට සිදු විය. එකම කතාව නැවත නැවත කියනා විට එය අසා සිටින ළමයින්ට නීරස වන බැවින්, සෑම වතාවකම කතාවට අලුත් යමක් එක්කරන්නට මා කටයුතු කළේ ය.

මාගේ ඒ උත්සාහය කිසිසේත්ම අපතේ නොගිය අතර, ඉතා කෙටි කලකින් මට පන්තියේ ජනප්‍රියම සිසුවා වීමට හැකි වූවා පමණක් නොව, නිදහස් කාලච්ඡේදයක් හිමිවන සෑම විටක ම සාහිත්‍යවේදියා ගැන කතා ඇසීමට පන්තියේ ළමුන් මා වටා රැස්වීම පුරුද්දක් කර ගත්තේ ය. එවන් එක් දිනයක මගේ කතාවක් අසා සිටි කෙල්ලක කී වචන පෙළක් තවමත් මගේ දෙසවන් තුළ රැව් දෙමින් තිබේ.

“ඔයා ෂෝක් එකට කතන්දර කියනවා… දවසක ඔයත් ලොකු වෙලා කතා පොත් ලියයි…”

කිසිවක් දැකගත නොහැකි දැඩි අන්ධකාරය

සිහිනය දැකීම ආරම්භ වන විට මට වයස 10ක් පමණ වන්නට ඇත. එය හැමවිට ම එක ම ආකාරයෙන් අවසන් වූව ද, ආරම්භය සෑම විටෙක එකිනෙකට වෙනස් විය. එබැවින් සිහිනය ආරම්භ වන්නේ මේ ආකාරයෙන් යැයි නිසැකවම කිව හැකි මතකයක් මා සතුව නොමැති වුවත්, ඒ සෑම ආරම්භයක් ම මග පාදා දෙන්නේ සාහිත්‍යවේදියා විසින් මාව පැහැර ගැනීම වෙත බව මට පැහැදිලිවම කිව හැකි ය.

සමහර දිනවල මා පාසල් ඇරී එන අතරමග ඔහු මාව පැහැරගත් අතර, තවත් සමහර දිනවල නිවසේ කිසිවෙකුත් නැති අවස්ථාවක ඔහු නිවසට කඩා වැදී මා පැහැරගෙන ගියේ ය. කුමන ආකාරයකින් සිහිනය ආරම්භ වූවත්, පැහැරගත් පසුව හැමවිට ම ඔහු සිදුකළේ, උරහිසේ එල්ලාගෙන සිටි රෙදි බෑගය තුළට මාව ඔබාගැනීමයි.

එම රෙදි බෑගය තෙත පුස් ගඳින් යුක්ත වූ බව මට මතක ඇත. එමෙන්ම ඒ තුළ වූයේ කිසිවක් දැකගත නොහැකි දැඩි අන්ධකාරයයි. සිහිනය තුළ දී මා කෑගසන්නට උත්සාහ කළ බවක් මට මතක නැත. ඒ වෙනුවට මා සිදුකළේ එහා මෙහා අතපත ගාමින් අතට හසුවන දේ හඳුනාගැනීමට උත්සාහ කිරීමයි. 

කාන්තා ලේන්සුව

එදා තේ කඩයේ දී මා දුටු හම් කවරයක් සහිත දැවැන්ත පොත හඳුනාගැනීම මට අපහසු වූයේ නැත. උල් කෙළවරක් සහිත හතරැස් යමක් මගේ පිටෙහි ඇනෙමින් තිබූ අතර, පසුපසට අත යැවූ මම අපහසුවෙන් එය පිටතට ඇදගත්තෙමි. එවිට මට දැකගත හැකි වූයේ එය දුම්වැටි රහිත හිස් සිගරට් පෙට්ටියක් බවයි. පුස් ගඳට අමතරව බෑගය තුළින් දැනෙමින් තිබූ අනෙක් ගඳ, දුම්කොළ ගඳ විය යුතු බව මට වැටහුණේ එය පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ය. තවදුරටත් පරීක්ෂා කරන විට, කොළ කඩාදැමීමට මිස කිසිවක් ලිවීම සඳහා කිසිදාක භාවිත නොකරන ලද සටහන් පොතක් හා තීන්ත ගල් වී තිබූ මිල අධික වර්ගයක පෑනක් ද බෑගය තුළින් සොයා ගත හැකි විය. ඊට අමතරව මගේ කම්මුලේ වැදෙමින් පැවති සීතල රවුම් කිහිපය මාරු කාසි බවත්, මගේ කකුල්වලට පොඩිවෙමින් පැවති කඩදාසි ගුළි කිහිපය අතීතයේ කිසියම් දිනෙක බස් ටිකට්පත් හා දුම්රිය ටිකට්පත් ලෙස පැවති බවත් හඳුනා ගැනීම අසීරු නොවූ නමුත්, බෑගයේ කෙළවරක වූ කිළිටි පුස් ගඳින් යුතු රෙදි කැබැල්ල කාන්තා ලේන්සුවක් බව හඳුනාගැනීමට නම් මට බොහෝ වේලාවක් ගත විය.

බිඳවැටුණු බලාපොරොත්තුව

බෑගයේ පැවති දේවලට අවධානය යොමුව තිබීම නිසා පැහැරගැනීම සම්බන්ධ මගේ බිය බොහෝ දුරට පහව ගොස් තිබුණි. එමෙන්ම සාහිත්‍යවේදියා මාව රැගෙන යන්නේ කොහාටද යන්න පිළිබඳව සිතා බැලීම ද මට අමතක වී තිබුණි. නැවතත් මා පියවි සිහියට පත් වූයේ සාහිත්‍යවේදියා තම කිළිටි බෝඩිම් කාමරයේ පොළොව මතට මා සිටි රෙදි බෑගය අතහැරි මොහොතෙහි දී ය. තවමත් මා මල්ල තුළ අන්ධකාරයේ ගුළි වී සිටි නමුත්, එය සාහිත්‍යවේදියා ගේ කාමරය බව මම සිහිනය තුළ දී දැන සිටියෙමි.

එවිට මට නැවතත් සුදු අයියා කී කතාව සිහිපත් විය. සාහිත්‍යවේදියා මා පුටුවක තබා ගැටගසා මට ඇසෙන්නට දැවැන්ත සෝවියට් සාහිත්‍ය කෘතියක් කියවනු ඇතැයි මට සිතුණි. සමහරවිට මේ වන විටත් මගේ ඇඟේ ඇතිල්ලෙමින් බෑගය තුළ තිබෙන්නේ එම සෝවියට් කෘතිය විය හැකි ය. එම සිතුවිල්ලෙන් යුතුව මම හෙමි හෙමින් රෙදි බෑගයෙන් හිස පිටතට දැමුවෙමි.

නමුදු එහි වූයේ මා බලාපොරොත්තු වූ ආකාරයේ වටපිටාවක් නොවේ. මා සිටි රෙදි බෑගය විශාල ශාලාවක් වැනි ගොඩනැගිල්ලක් මැද තබා තිබුණි. මා ඉදිරියේම තිබූ පුටුවක් මත මාව පැහැරගෙන පැමිණි සාහිත්‍යවේදියා හිඳ සිටියේය. දුම්වැටිය ඔහුගේ අතේ දැල්වෙමින් පැවති අතර ඔහු සිටියේ එදා මෙන්ම දෑස ඉවත රඳවාගෙන කුමක් හෝ කල්පනා කරන ස්වභාවයකිනි.

සාහිත්‍ය සංවාදයක් මැද…

සාහිත්‍යවේදියාට එහා පස පුටුවේ හිඳ සිටියේ විශිෂ්ටතම පරිවර්තකයා ය. ඔහුගේ පෙනුම සහ ස්වභාවය ද මාව පැහැරගෙන පැමිණි සාහිත්‍යවේදියා ගෙන් වෙනස් නොවූ අතර, කුමන හෝ ක්‍රමයකින් මගේ සිහිනය තුළ දී ඔහු පරිවර්තකයෙකු බව මම දැන සිටියෙමි. ඊටත් එහා පසින් මානවවාදී කවියා හිඳ සිටි අතර, ඔහුට එහා පසින් ප්‍රවීණ පුවත්පත් කලාවේදියා ද, සම්මානිත නවකතාකරුවා ද, ජ්‍යේෂ්ඨ විචාරකයා ද, තවත් මා නොහදුනන සාහිත්‍යවේදීන් කිහිපදෙනෙක් ද හිඳ සිටියහ. ඔවුන් සියලු දෙනා මා වට කර කවයක් ආකාරයට හිඳ සිටිය නමුත් කිසිවකු ගේ අවධානය මා වෙතට යොමු වී නොතිබුණි. ඒ වෙනුවට ඔවුන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම යොමු වී තිබුණේ හිස් අවකාශය වෙත හෝ තමන්ගේ අතේ තිබූ සාහිත්‍ය කෘති වෙතය. සාහිත්‍යවේදියා මාව ගෙනැවිත් දමා තිබුණේ ඔහුගේ කිළිටි බෝඩිම් කාමරය මැදට නොව, සාහිත්‍ය සංවාදයක් මැදට බව ඒ මොහොතේ මා වටහාගත්තෙමි.

සංවාදයක් වූ නමුත්, එහි සිටි කිසිවෙකුත් එකිනෙකා සමඟ කිසිදු ආකාරයක කතාබහක යෙදුණේ නැත. ඔවුන් හිස් බැල්මෙන් එකිනෙකා දෙස බලමින් නිහඬව සිටීමේ චාරිත්‍රය පැය ගණනක් (සමහරවිට දවස් ගණනක්) පැවති අතර මට කළ හැකි එකම දෙය වූයේ, සංවාද කවය මැදට වී නිහඬව ඔවුන්ගේ මුහුණු දෙස බලා හිඳීම පමණි.

 එක තැන කැරකෙන දුම්රිය

අවසානයේ මගේ නොයිවසිල්ල එහි උපරිම සීමාවට ළඟා වෙමින් පැවති යම් මොහොතක, එහි සිටි එක් සාහිත්‍යවේදියකු තම අතේ වූ පොත බිම තබා පුටුවෙන් නැගී සිටියේ ය. ඉන්පසු අනෙක් සාහිත්‍යවේදීන් ද ඔහු අනුව යමින් තම පුටුවලින් නැගී සිටි අතර, හමුදා ආචාර පෙළපාලියක් මෙන් ඔවුන් සියලු දෙනා ම එකම මොහොතක දකුණු පසට හැරුණේ, එකිනෙකාට පිටුපා කවයක් නිර්මාණය වන ආකාරයෙනි. ඉන්පසුව ඔවුන් එකා පසුපස එකා වශයෙන් තමන් ඉදිරියේ සිටි සාහිත්‍යවේදියා ගේ උරහිස මතින් තම දෑත් තැබීය. මෙය මට සිහිපත් කළේ අප කුඩා කාලයේ සිදුකළ සෙල්ලම් කෝච්චි ක්‍රීඩාවයි. එම ක්‍රීඩාවේ මෙන්ම සාහිත්‍යවේදීන් එකිනෙකාගේ උරහිස් මත අත් තබමින් කෝච්චියක් සකස් කර තිබූ නමුත්, එම කෝච්චියට එක තැන කැරකීමට මිස ඉදිරියට යෑමට කිසිදු හැකියාවක් නොවූයේ, ඔවුන් සම්පූර්ණ කවයක් සෑදෙන ආකාරයෙන් එකිනෙකා මත අත් තබාගෙන සිටි නිසාවෙනි.

පිට කැසීමෙන් ඉක්බිති…

මුලින්ම මානවවාදී කවියා තම අත් දෙක පහළට ගෙන ඉදිරියෙන් සිටි සම්මානිත නවකතාකරුවා ගේ පිට කැසීම ආරම්භ කළේ ය. සම්මානිත නවකතාකරුවා ද තමාගේ ඉදිරියෙන් සිටි විශිෂ්ටතම පරිවර්තකයාගේ පිට කැසීම ආරම්භ කළ අතර, විශිෂ්ටතම පරිවර්තකයා තමා ඉදිරියේ සිටි සාහිත්‍යවේදියාගේ පිට කැසීම ආරම්භ කළේ ය.

මොහොතකින් සාහිත්‍යවේදීන් සියලු දෙනාම ඉතා දරුණු ලෙස එකිනෙකාගේ පිටවල් කසමින් සිටි අතර, මොහොතින් මොහොත එම පිට කැසීම වඩ වඩා දරුණු අතට හැරෙමින් පැවතුණි. මුලින්ම ඔවුන් හැඳ සිටි ශරීර ප්‍රමාණයට වඩා විශාල ලිනන් කමිසවල පිටවල් ඉරී ගිය අතර, ඉන්පසු ඔවුන්ගේ පිටවල් නියපොතු පහරවලින් සීරි ලේ ගලන්නට විය. නමුදු කිසිවකුට හෝ කිසිම ආකාරයක වේදනාවක් දැනෙන බවක් පෙනෙන්නට නොතිබුණු අතර, වඩ වඩාත් ලේ ගලන විට ඔවුන් පිට කැසීම තව තවත් වේගවත් කළහ.

තවත් මිනිත්තු කිහිපයක් ගතවන විට ඔවුන්ගේ පිටවල්වල මස් ඉරී, නියපොතුවල පැටලී මස් වැදලි එල්ලෙන්නට වූ අතර, කුඩා මට එය තවදුරටත් දරාගත හැකි යමක් වූයේ නැත. මම කවය මැදට වී මහා හඬින් කෑ මොර දී හඬන්නට පටන් ගත්තෙමි. නමුත් මාගේ කෑ ගැසීම සාහිත්‍යවේදීන්ට ඇසුණු බවක් හෝ, ඇසුණත් ඔවුන් එය මායිම් කළ බවක් පෙනෙන්නට නොතිබුණි. මේ වන විටත් ඔවුන්ගේ පිටවල්වල සිදුරු සෑරී අභ්‍යන්තර අවයව හා අස්ථි කොටස් පවා පිටතට මතුවෙමින් පැවතියේ ය.

සිහිනයෙන් ද සාහිත්‍යවේදියා දැකීම

මුලින්ම බිම ඇද වැටුණේ ප්‍රවීණ පුවත්පත් කලාවේදියා ය. දෙවනුව මානවවාදී කවියා බිම ඇද වැටුණු අතර, කිහිප වතාවක් පොළොව මත දැඟලීමෙන් අනතුරුව ඔවුන් ගේ සිරුරු නිශ්චල වූයෙන්, ඔවුන් මියගිය බව මම වටහාගත්තෙමි. ඒ සමග ම මගේ හැඬීම තවතවත් තීව්‍ර වූ අතර, ඒ හැමවිටකම මා නැවත අවදි වූයේ අම්මාගේ කෑ ගැසීමත් සමගිනි.

වසර කිහිපයක් ගතවන තුරු අවම වශයෙන් සතියකට වතාවක් හෝ එම සිහිනය දැකීමෙන් මා බියපත් වූ අතර, අවසානයේ දී කපු මහතෙකු කැඳවා ශාන්තිකර්මයක් සිදුකිරීමට අම්මා තීරණය කළේ තවදුරටත් එම තත්ත්වය සඟවා තබාගත නොහැකි වූ නිසා විය යුතුය. මෙතුවක් කාලයක් හෝ ඇය එය රහසක් වශයෙන් තබාගත්තේ, ‘සන්ධ්‍යාගෙ කොල්ලට හීනෙන් සාහිත්‍යවේදියො පේනවලු’ වැනි කටකතා අසල්වැසි කාන්තාවන්ගෙන් අසාගැනීමට ඇති බිය නිසාවෙන් බව මම එවකට ද දැන සිටියෙමි.

නිවසෙන් නෙරපා දැමීම

අවසාන වතාවට මා අම්මාව දුටුවේ, මගේ පළමු කෙටිකතා සංග්‍රහය නිකුත් වූ දිනයේ දී ය. ඉන්පෙර අවස්ථා කිහිපයක දී ම මා ලියූ කෙටිකතා සඟරා සහ පුවත්පත්වල පළ වී තිබූ නමුත්, ඒ සෑම විටෙක ම මගේ සැබෑ නම වෙනුවට අන්වර්ථ නාම භාවිත කිරීමට මම ප්‍රවේශම් සහගත වීමි. නමුත් කෙටිකතා සංග්‍රහය එළිදක්වන විට මගේ සැබෑ නම භාවිත කිරීමට අවසානයේ දී මා තීරණය කළේ, මගේ නිර්මාණ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර වෙනත් නම් වෙත ගලා යෑම තවදුරටත් ඉවසිය නොහැකි වූ තැන ය.

එදින අම්මාගේ දෑස්වල තිබූ වේදනාව මට තවමත් හොඳින්ම මතක තිබේ.

“මං දැනන් හිටියා… මං දැනන් හිටියා උඹ සාහිත්‍යකාරයෙක් වෙනවා කියලා… එදා… එදා සීයාගෙ පිටේ වාත තෙල් ගාන්න දීපු දවසේ… තෝ පිටේ තෙල් ගෑවෙ නෑ… තෝ සීයා ගෙ පිට කැසුවා… එදා මං දැනගත්තා… තෝ යන්නෙ සාහිත්‍යකාරයන් ගෙ ආරෙට තමා කියලා… තෝ ආයෙ මේ ගෙදර පස් පාගන්න එපා… මළගමකටවත් එපා… මට අනිත් ළමයි හදාගන්න ඕනෙ…”

මහ ගෙදරින් පිටමං ව…

එදින මා සදහටම නිවසින් පිට වී ආ නමුත්, කිසිදිනෙක සාහිත්‍යවේදියකු බවට පත්නොවූ බව මට සහතික කර කිව හැකි ය. මා කිසිදාක ශරීර ප්‍රමාණයට වඩා විශාල ලිනන් ෂර්ට් පැලඳියේ නැති අතර, ලෙදර් සෙරෙප්පු හෝ රෙදි බෑග් භාවිත කළේ නැත. මසකට වතාවක් මා අනිවාර්‍යෙන්ම කොණ්ඩය කැපූ අතර, රැවුල සම්පූර්ණයෙන්ම මුඩුකර දැමීය. කිසිම විටෙක ප්‍රමාණයෙන් විශාල පැරණි පොතපත රැගෙන ගමන් යෑමෙන් හෝ කිසිවෙකුට නොතේරෙන සාහිත්‍යමය වචන යොදා කතාකිරීමෙන් මම වැළකී සිටියෙමි. කුඩා දරුවකුට වුව තේරුම් ගත හැකි සරල භාෂාවකින් කතාබහ කිරීම සඳහා මා වෙනම ම පුහුණු වූ බව විශේෂයෙන් සඳහන් කළ යුතු ය. සාහිත්‍යවේදීන් නිරන්තරයෙන් ගැවසුණු අවන්හල්, පුස්තකාල සහ සංවාද මණ්ඩප මා හැකි සෑම විටක ම මගහැර ගිය අතර කිසිදිනෙක මත්පැන් සහ දුම්වැටි භාවිතය මා අතින් සිදු වූයේ නැත. සාහිත්‍යවේදියෙකු සහ මා අතර වූ එකම සමානතාවය වූයේ අප දෙපාර්ශවය ම ‘පොත්’ රචනා කිරීම පමණි. (මා රචනා කරන පොත් ‘සාහිත්‍ය කෘති’ යනුවෙන් හැඳින්වීමෙන් මම තදින්ම වැළකී සිටිමි.) සැබැවින්ම බොහෝ ප්‍රසිද්ධ සාහිත්‍යවේදීන් සමග සසඳන කළ මම ඔවුන්ට වඩා වැඩි පොත් ප්‍රමාණයක් රචනා කර ඇත.

අම්මා මා සම්බන්ධයෙන් කුමක් සිතා සිටිය ද, මා සාහිත්‍යවේදියකු නොවන බව මම තදින්ම විශ්වාස කළෙමි. කිසිවකු මා සාහිත්‍යවේදියකු වශයෙන් හඳුන්වන්නේ නැති බැවින්, ඇයට මා සම්බන්ධයෙන් ලැජ්ජාවට පත්වීමට කිසිදු හේතුවක් නොමැති බව මම සිතා සිටියෙමි. අම්මා ගේ කේන්තිය අඩුව ගිය යම් දිනයක නැවත මට මහ ගෙදරට යන්නට හැකිවනු ඇතැයි මා තදින්ම ඇදහුයෙමි. නමුදු ඒ ඊයේ සන්ධ්‍යාව වන තුරු පමණි.

මා විසින් අවසාන වතාවට රචනා කරන ලද ‘හිස්කම’ නමැති නවකතාව සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශ වී ඇති බවට වන ලිපිය ඊයේ සන්ධ්‍යාවේ දී මා අතට පත්විය.

සියදිවි නසාගගත් සාහිත්‍යවේදියා

ප්‍රවීණ සාහිත්‍යවේදී xxxx xxxxxxxx මහතා තම ජීවන පරිච්ඡේදය නිමා කර ඇත. සිය නවාතැනේ ගෙලවැලලාගෙන සිටිය දී ඔහුගේ ප්‍රාණය නිරුද්ධ සිරුර පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, පොලීසිය අනුමාන කරන්නේ එය සියදිවි නසාගැනීමක් විය යුතු බවයි.

මිය යන විට 33 වැනි වියෙහි පසු වූ xxxx xxxxxxxx මහතා කෙටිකතා සංග්‍රහ තුනක් සහ නවකතා දෙකක් රචනා කර ඇති අතර, ඔහු විසින් ගිය වසරේ රචනා කරන ලද ‘හිස්කම’ කෘතිය පසුගිය දා පැවති සාහිත්‍ය සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටතම සාහිත්‍ය කෘතිය ලෙස සම්මානයට පාත්‍ර විය. කෙසේ වෙතත් සම්මානය පිළිගැනීම සඳහා ඒ මහතා සහභාගී නොවූ අතර, හිතමිතුරන් විසින් ඔහුව සම්බන්ධ කරගැනීමට ගත් සියලුම උත්සාහයන් ව්‍යාර්ථ වී තිබේ. අවසානයේ පොලීසියේ සහය ද ඇතිව ඔහුගේ නවාතැනේ දොර කඩා දැමූ විටයි, නවාතැන තුළ ගෙලවැලලාගෙන සිටිය දී මෙසේ ඔහුගේ සිරුරල් හමු වී ඇත්තේ.

මෙම මරණයත් සමග මුළුමහත් සාහිත්‍ය ලෝකය ම දැඩි සේ කම්පනයට පත්ව ඇති අතර, ජීවිතයෙන් සමුගත්ත ද xxxx xxxxxxxx මහතා විශිෂ්ට සාහිත්‍යවේදියෙකු ලෙස පාඨක මනසේ සදාකල් රැඳී සිටිනු නොඅනුමානය.

සචින්ත ප්‍රමෝද් නාඔටුන්න

උපුටා ගත්තේ Zachintha Promod Naotunna ගේ face book පිටුවෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...