තමිල් ලේඛක ප්රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති වචන හේතුවෙන්, එය නිදහස් කිරීමට නම් ආරක්ෂක අමාත්යංශයේ අවසරය අවශ්ය බව යාපනය රේගු අංශයෙන් ලේඛකයාට දැනුම් දී ඇත.
මතු පළ වන්නේ ලේඛකයා විසින් ඒ සම්බන්ධයෙන් ඊයේ (23) සමාජ මාධ්ය තුළ පළ කරන ලද සටහනකි.
"ශ්රී ලංකා රේගුව මගේ 'තෝරෛ' නවකතාව නවතා ඇත. ආරක්ෂක අමාත්යාංශයේ අවසරයෙන් පසුව පමණක් පොත් ලබා දිය හැකි බව පවසා ඇත. තමිල්නාඩුවේ කාලචුවඩු ප්රකාශන ආයතනයෙන් එවන ලද ශ්රී ලංකාව සඳහා වන නවකතා පිටපත් ලබා ගැනීම සඳහා යාපනය තැපැල් කාර්යාලයේ පිහිටි රේගු අංශයට ගොස් සිටියෙමි. හැඳුනුම්පත් ලබා දී බලා සිටියෙමි. මීට පෙර 2022 දී එම ස්ථානයේ දී ම 'නකුලාත්තෛ' නවකතාව ලබාගෙන ඇත්තෙමි.
කම්කරුවන් ගේ පවා විහිළුවට ලක්ව…
සුළු වේලාවකට පසු කතා කළේ ය; එහි එක් සිංහල කාන්තාවක සහ නිලධාරීන් දෙතුන් දෙනෙකු ද කම්කරුවෝ ද සිටියහ. ලියකියවිලි පරීක්ෂා කර බලා 'තෝරෛ' නවකතාව සඳහා වූ පාර්සලය ගෙන කම්කරුවකු ලවා ගෙන ආවේ ය. ඇතුළේ ඇත්තේ කුමක්දැයි ඇසූ විට, "පොත්" යැයි කීමි. පාර්සලය කම්කරු විසින් කපා විවෘත කරන ලදී. එහි සිටි නිලධාරීන් එකිනෙකා පොත බැගින් ගත්හ. "කාගේ පොතක්ද? කුමක් ලියා තිබේද? කවරක් ගැන ලියා තිබේද?" යැයි ඇසූහ. මගේ පිළිතුර ලැබීමට පෙර පොත විවෘත කළ දෙමළ නිලධාරියා කුමක් හෝ සොයාගෙන අනෙකාට ඇසින් පෙන්වා දුන්නේය. එහි 'ෆීල්ඩ් බයික්', 'ආමිකාරර් (යුධ හමුදා)' යනාදි වචන වැඩිදුරටත් පිරික්සා වෙනත් වචනද සොයා ගත්තේ ය. එම සිංහල කාන්තාවට සොයාගත් දේ පෙන්වූහ. වෙනත් කාමරයකින් තවත් දෙමළ නිලධාරියෙක් කැඳවාගෙන ආවේ ය. විහිළුවට මෙන් එහි සිටි කම්කරුවෝ පවා පොත් විවෘත කර පෙරළා වචන සොයා ගැනීමට පටන් ගත්හ. පැමිණි නිලධාරියාට පෙන්වූහ. ඔහු, "මෙවැනි වචන තිබේ; මේ පොත්වලට ආරක්ෂක අමාත්යාංශයේ අවසරය ලැබුණොත් පමණක් ලබා දෙමු" යැයි පැවසී ය.
එක් හෝ තවත් වචනයක දෙකක එල්ලීම
මම ඔවුන් සමඟ තර්ක කර බැලුවෙමි. එහි ජාතිවාදය උද්දීපනය කිරීමක් හෝ සංවිධාන (ව්යාපාර) ආරම්භ කිරීමක් හෝ කිසිවක් නැතැයි කීමි. අවශ්ය නම් මම බලා සිටින්නම්, පරිච්ඡේද දෙක තුනක් කියවා බලන්නැයි කීමි. එහෙත් ඔවුහු තමන් සොයාගත් වචනවල ම එල්ලී සිටියහ.
ඔවුන්ගේ යම් යම් වචනවලින් ම, ඔවුන් සමග සාහිත්යය ගැන හෝ මගේ මූලික අයිතිවාසිකම් ගැන හෝ කතාබහක් කළ නොහැකි බව වැටහුණි. තමන්ගේ රැකියාවට යම් කරදරයක් වී යයි යන බියත් සාමාන්ය මිනිසුන් ගේ මෝඩකමත් හැර ඔවුන් සතුව වෙන කිසිවක් නැත. එහි ඔවුන් දෙමළ ජාතිකයෝ හෝ සිංහලයෝ නොවෙති; ඔවුන් හුදු ලිපිකරුවෝ පමණි. ඔවුන් මට වඩා උජාරුවෙන් හැසිරෙමින් සිටියහ. ඒ, මට පොත් ලිවීමේ වරද තේරුම් කර දීමට උත්සාහ කරන්නාක් මෙනි. කලකිරීම හා කෝපය වැඩි විය.
ලේඛකයා ම කොළඹට ගොස් ඇසිය යුතු ද…?
මට ඉදිරියෙන් නව පොත්වල සුවඳ සමග නවකතාව විහිදී තිබුණි. එකක් අතට ගෙන බැලුවෙමි. එය දැන් නැවතත් එහි තබා පැමිණිය යුතු ය. 'හරි, දැන් කුමක් කරන්නේද, මින් පසු ක්රියා පටිපාටිය කුමක්දැයි ඔවුන්ගෙන් ඇසූවෙමි.' ඔවුන් ආරක්ෂක අමාත්යාංශයට පිටපත් දෙකක් යවන බව පැවසූහ. 'හරි, දින කීයකින් ඔවුන් පිළිතුරු දෙනු ඇත්ද?' යැයි ඇසූ විට, 'මෙසේ මීට පෙරත් පොත් යවා ඇත්තෙමු. ඒ හැර කිසිදු පිළිතුරක් ලැබෙන්නේ නැත.' යැයි ඉතා සාමාන්ය ලෙස පැවසූහ. අනතුරුව 'ඔබලා ම කොළඹට ගොස් ඇසිය යුතුය.' යැයි කීහ. 'අපට එතැනින් අවසරය ලැබුණහොත් පමණක් පොත් නිදහස් කරන්න පුළුවන්' යැයි ස්ථිරව ම පවසා මම වෙනුවෙන් රිසිට්පත සකස් කිරීමට පටන් ගත්හ. කම්කරුවෝ පිටපත් දෙක යැවීම සඳහා තබාගෙන, ඉතිරි 'තෝරෛ' පොත් ප්ලාස්ටික් බෑගයක දමා ගැට ගසා රැගෙන ගියහ. රිසිට්පත ලබාගෙන එළියට පැමිණියෙමි. අහස කළුවෙමින් තිබුණි. මෝසම් සමය (වැසි සමය) එහි වැසි ස්වභාවයට ළඟා වෙමින් තිබුණි.
කියවීමකින් තොරව වැළැක්වීම
මෙය පළමු වතාව නොවේ; ටික දිනකට පෙර සෝබාශක්ති, දීපසෙල්වන් යන අය ගේ පිටපත් නැවැත්වූ විට විරෝධතා දක්වා ගියෙමු. තවමත් ඒවා නිදහස් කර නැත. මෙහි දී මෙම ගැටලුව සම්බන්ධයෙන් සමහර කරුණු එකතු කර පැවසිය යුතු ය.
මෙහි පවතින විශාලම පරස්පරතාව, කිසිදු පිටපතක් කියවීමකින් තොරව වැළැක්වීමයි. පිටපත් අතින් අතට හෝ පොත් අලෙවිකරුවන්ගේ නැව් පාර්සලයකින් පැමිණෙන විට රටේ පාඨකයින් හැර ඒවා කිසිවකු ගණන් ගන්නේ පවා නැත. එහි කුමක් ලියා ඇත්ද යන්න කිසිවකු සලකා බැලීමක් හෝ තහනම් කිරීමක් සිදු නොකරයි. හැරත් අද දින විද්යුත් පොත්වල යුගයේ, අන්තර්ජාලයේ යුගයේ ශ්රී ලංකාව වැනි රටක් පොතක් තහනම් කිරීම හෝ මග හරවා තැබීම කෙතරම් විශාල විහිළුවක්ද?
රාජ්යයේ නිහඬතාව

පාස්කු ප්රහාරයෙන් පසු ආගමික අන්තවාදී අදහස් සහ ග්රන්ථ ආනයනය කිරීම් පමණක් රජය අවධානය යොමු කරයි. මෙම රේගු සේවකයන්ට උපදෙස් දී ඇති කරුණ එය පමණි. ජාතිවාදය, රටේ කීර්තිය, ජාතික ආරක්ෂාව යනාදි කරුණු මත අපකීර්තියක් හෝ ගැටලුවක් ඇති කරන ග්රන්ථ කියවීම හෝ ඒවා සඳහා වන ජාත්යන්තර හා ජාතික නීති ක්රම අනුගමනය කිරීම සඳහා විනයක් සහ සංවිධාන ක්රමයක් රජය සකස් කළ යුතු ය යනුවෙන් අඛණ්ඩව ඉල්ලීම් කරමින් සිටිමු. අදහස් ප්රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් අකුරු කියවන රේගු නිලධාරියා වෙත පවරා රජය කටවසාගෙන හිඳියි.
මෙයම අඛණ්ඩව සිදුවනු ඇතැයි සිතේ. ඉන්දියාවේ ප්රකාශන ආයතනයෙන් පොත මිලදී ගෙන ගමන් වියදම් ගෙවා පොත ලබා ගනිමු - අපගේ ම වියදමින්. මට එක වතාවකට වඩා කොළඹට ගොස් පැහැදිලි කිරීම් ලබා දීම හැර වෙනත් කිසිවක් කළ හැකි යැයි නොසිතේ. කෙසේ වෙතත් මෙය ඇදගෙන යනු ඇත. පොතේ වියදමට වඩා බොහෝ ගුණයකින් වියදම් වේ. දැනටමත් මේ සඳහා පාරට බැස විරෝධය ද පා ඇත.
මුග්ධත්වයෙන් පිරි සාහිත්ය ලෝකය
හැරත් ශ්රී ලංකාවේ සාහිත්ය පරිසරයේ බහුතර පාර්ශ්වය රජයේ සේවකයෝ ය; ඔවුන් කටක්වත් හරවන්නේ නැත. මෙම වසරේ මුල් භාගයේ පොත් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතා දැක්වූයෙමු. ඇඟිලිවලින් ගණන් කළ හැකි පිරිසක් පමණක් පැමිණ සිටියහ. වසර අවසානයේ දී මෙම රජය වෙත ගොස් ඔවුන් ගේ පොත් සඳහා සම්මාන රැගෙන පැමිණ සිටිති. සාහිත්ය පරිසරය ම මහත් මෝඩකමකින් යුක්තව පවතින විට, මම රේගු දෙපාර්තමේන්තු සේවකයන් කුමන මුහුණක් තබාගෙන ඇසුරු කළ හැකිද?
මට දැන් මහන්සියි
ජනතාව විසින් පන්නා දැමූ පෙර රජයේ දී ය 'නකුලාත්තෛ' එළිදැක්වුණේ; එය රේගුවේ දී වැළැක්වූයේ නැත. එහි ද යුද පසුබිම මත පදනම් වූ කථා ම ඇත. 'තෝරෛ' පිළිබඳව දෙමළ නිලධාරීන් ගෙන් විස්තර ඇසූ කාන්තාව මා වෙත හැරී, "මෙහි කුමක් ගැන ලියා ඇද්ද?" යැයි ඇසුවා ය. මම, "තරුණ මවක් ගැන ලියා ඇත්තෙමි; සජීවී ගැටලු (නෑකම් ගැටලු) ගැන ලියා ඇත." යැයි කීමි. ඇය වටා සිටි සේවකයෝ ම'දෙස උපහාසාත්මක සිනහවකින් බැලූහ. මවක් ගැන ලියන්නා ඇයි හමුදාකාරයන්, සංවිධානය යන්න ආදී වශයෙන් ලිවිය යුත්තේ යන්නයි ඔවුන්ගේ තර්කය. මම පොත රැගෙන යාමට ඔවුන්ට බොරු කියමි; එය ඔවුන්ට කෙසේ තේරුම් කර දෙන්නේද? ඉතිහාසය පුරා රජවරු, ආගමික සංවිධාන, අන්තවාදී සංවිධාන පොත් තහනම් කරමින්ම සිටිති. එහෙත් මෙහි පවතින විස්මිත කාරණය, රජය පොත් කියවා ම නැත යන්නයි.
මහන්සියි; මට එතරම් වියදම් කර කොළඹට ගොස් ඇදී යාමට නොහැකි ය. මගේ ස්වල්ප මිතුරන් කිහිප දෙනෙකු, සැබෑ ලේඛකයන් කිහිප දෙනෙකු සහ පාඨකයින් හැර දෙමළ සාහිත්ය පරිසරය හෝ සංස්කෘතික පරිසරය මා සමඟ නොසිටිනු ඇත. මීට පෙර ද මෙම ගැටලුවට මුහුණ දුන් කිසිවකු සමග එය සිටියේ නැත.

අතින් ගෙන එනු ලබන පොත් හෝ නැව් පාර්සල් පැමිණියහොත් පාඨකයන්ට දන්වන්නෙමි. දැනටමත් තිස් දෙනෙකුට වැඩි පිරිසක් පෙර ඇණවුම් කර තිබුණි. සමහරුන් කීම ඇසීමෙන් තොරව මුදල් වෙනත් ගිණුමකට බැංකුගත කර ඇත. දිනපතාම "පැමිණ තිබේ ද, පැමිණ තිබේ ද?" යන විමසීම්ය . පොත් ලැබුණහොත් දන්වන්නෙමි. මෝඩකම මෙම ශතවර්ෂයේ විශාල ම අසාධාරණයන්ගෙන් එකක් බවට පත්ව තිබේ. මර්දනයට එරෙහිව සිටගත හැකිය; දැනටමත් මගේ පුරෝගාමීහු සිට ඇත. එහෙත් මෝඩකමට ඉතිහාසයේ පළමු වතාවට මුහුණ දෙමින් සිටින්නේ යැ යැයි සිතමි."
ප්රදීප් ගුණරත්නම්
උපුටා ගත්තේ Chandana Sirimalwatte ගේ face book පිටුවෙන්



