The Leader News
BREAKING
ප්‍රාග්ධන වියදම් මන්දගාමී වෙද්දී නව ප්‍රසම්පාදන නීතිය කරළියට●ශ්‍රී ලංකාවේ පොත් රඳවා තබා ගැනීම: ලේඛකයින් ගේ ඒකාබද්ධ ප්‍රකාශය●පරිපාලන සෙල්ලමෙන් වැනසෙන ලාංකීය මළල ක්‍රීඩාවේ හෙට දවස●මිනිසා ගේ පළමු පෞද්ගලික දේපළ වූයේ ස්ත්‍රිය ද…?●යටිතල පහසුකම් අර්බුදයට පෞද්ගලික මුදල්: අවදානම ජනතාවට ද?●කඩා වැටීම් මැදින් නැගී සිටි රශිප්‍රභාගේ ජීවිත පාඩම●ඉරාන නාවිකයන් 40ක් ගාල්ලෙන් ගොඩබිමට: ජාත්‍යන්තර මානුෂීය වගකීම●හෝමාගම පොලිස් අත්අඩංගුවේ තරුණ පියෙකුගේ මරණය ගැන විශේෂ විමර්ශනයක්●ලූලාගේ සිව්වන ආගමනයට කොළඹින් ගිය සටන්කාමී සුබපැතුම●විදුලි වාහන රැල්ල හමුවේ මතු වන බැටරි අර්බුදය●
Top Ad
සාහිත්‍ය - කලා

ශ්‍රී ලංකාවේ පොත් රඳවා තබා ගැනීම: ලේඛකයින් ගේ ඒකාබද්ධ ප්‍රකාශය

Nethmini

Nethmini

October 26, 2026 • 1:42 PM

ශ්‍රී ලංකාවේ පොත් රඳවා තබා ගැනීම: ලේඛකයින් ගේ ඒකාබද්ධ ප්‍රකාශය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊළම් දෙමළ ලේඛකයින් විසින් රචිත පොත් අඩංගු තැපැල් පාර්සල ශ්‍රී ලංකාවට එවනු ලබන විට , ඒවායින් ඇතැම් පොත් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් රඳවා තබා ගනු ලැබේ.
  • එම පොත්වල අඩංගු ඇතැම් වචන හෝ පොත් කවරවල ඇති අංග දේශපාලන කැලඹීම් ඇති කිරීමට ඉඩ ඇති සංවේදී කරුණු ලෙස සලකනු ලබන බව රේගු නිලධාරීහු දක්වති.
  • පොත් නිදහස් කර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය අවශ්‍ය බව පොත් ලබා ගන්නාට දැනුම් දෙන ඔවුහු , අදාළ පොත් ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කරති.
  • එහි ප්‍රතිඵලයක් ලෙස , රඳවා තබා ගත් පොත් ඒවායේ නීත්‍යනුකූල හිමිකරුවන් වෙත කිසිදා ආපසු ලබා නොදේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊළම් දෙමළ ලේඛකයින් විසින් රචිත පොත් අඩංගු තැපැල් පාර්සල ශ්‍රී ලංකාවට එවනු ලබන විට, ඒවායින් ඇතැම් පොත් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් රඳවා තබා ගනු ලැබේ. එම පොත්වල අඩංගු ඇතැම් වචන හෝ පොත් කවරවල ඇති අංග දේශපාලන කැලඹීම් ඇති කිරීමට ඉඩ ඇති සංවේදී කරුණු ලෙස සලකනු ලබන බව රේගු නිලධාරීහු දක්වති. පොත් නිදහස් කර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය අවශ්‍ය බව පොත් ලබා ගන්නාට දැනුම් දෙන ඔවුහු, අදාළ පොත් ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කරති. එහෙත් එසේ යොමු කරනු ලබන පොත් කිසිදු නිශ්චිත ක්‍රියාමාර්ගයක් ගනු නොලැබ, දින නියමයක් නොමැතිව රඳවා ගැනීමට ලක් වේ. ආරක්ෂක අමාත්‍යාංශය පරීක්ෂණ කටයුතු අවසන් කර තීරණයක් දැනුම් දෙන්නේ හෝ වෙනත් කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් ගන්නේ හෝ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස, රඳවා තබා ගත් පොත් ඒවායේ නීත්‍යනුකූල හිමිකරුවන් වෙත කිසිදා ආපසු ලබා නොදේ.

පැහැදිලි ක්‍රියාපටිපාටියක් අවශ්‍ය යි 

රාජ්‍ය යාන්ත්‍රණයේ මෙම අසාධාරණ සහ විනිවිදභාවයෙන් තොර ක්‍රියාපිළිවෙතට එරෙහිව අවස්ථා ගණනාවක දී ඉල්ලීම් ඉදිරිපත් කරමින් මහජන අවධානය යොමු කිරීමට උත්සාහ කළද, රජය විසින් වගවීම පිළිබිඹු කරන කිසිදු ප්‍රතිචාරයක් ලබා දී නොමැත. පොත් තවදුරටත් රඳවා තබාගෙන සිටින අතර, ඒවා නිදහස් කර ගැනීම සඳහා පැහැදිලි ක්‍රියාපටිපාටියක් ද මෙතෙක් සකස් කර නොමැත. 

මේ දක්වා රඳවා තබාගෙන ඇති පොත් අතර දීපචෙල්වන් විසින් රචිත එලුත්තාල් නාන් යුත්තම් සෙයිගිරේන් (මම ලිවීමෙන් යුද්ධ කරමි) සහ ඉප්පෝදුම් ඉංගේ ඉරන්ඩු දේසංගල් තාන් (තවමත් මෙහි ජාතීන් දෙකකි) යන කෘති ද, ශෝබාශක්ති විසින් රචිත 1990: ලෛඩන් තීව් – මන්ඩතීව් පඩුකෝලෛගලුම් පුදෛකුලිගලුම් (1990: ලෛඩන් තීව් සහ මණ්ඩතිව්හි සමූල ඝාතන සහ සමූහ මිනීවළවල්) යන කෘතිය ද, දිලුක්ෂන් මෝහන්ගේ පඩුපච්චි කෘතිය ද, රයාකරන්ගේ අරසියල් අනාදෛගල් (දේශපාලනික අනාථයෝ) කෘතිය ද වේ. මෑතකදී, යදාර්තන් නම් ලේඛකයා විසින් රචිත තෝරෛ නමැති නවකතාව ද රේගු දෙපාර්තමේන්තුව විසින් රඳවා තබාගෙන ඇත. 

ප්‍රකාශන නිදහසට සහ සාහිත්‍ය නිදහසට සෘජු ප්‍රහාරයක්

දීපචෙල්වන්

තම පොත් නිදහස් කර ගැනීම සඳහා දීපචෙල්වන්ට මාස හතක් පුරා නිරන්තර නිලධාරිවාදී ක්‍රියාපටිපාටිවලට මුහුණ දීමට සිදුව තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද එම පොත් නිදහස් කරන ලෙස නිර්දේශ කර ඇත. එසේ වුව ද, රජය මෙතෙක් පැහැදිලි ප්‍රතිචාරයක් ලබා දී නොමැති අතර, පොත් තවදුරටත් රඳවා තබාගෙන සිටී. 

යාපනය රේගු කාර්යාලයේ දී දේශපාලනික කරුණු සම්බන්ධ පොත් විශේෂයෙන් පරීක්ෂාවට ලක් කර රඳවා තබා ගන්නා බව පෙනෙන්නට තිබේ. “යුද්ධය”, “හමුදාව”, “තුවක්කුව”, “කොටි” සහ “සමූහ මිනීවළ” යනාදි වචන පොතක අඩංගු වීම පමණක් වුවද එය රඳවා තබා ගැනීමට හේතුවක් වන බව වාර්තා වේ. වචන කිහිපයක් හෝ පොත් කවරයක ඇති අංග කිහිපයක් පදනම් කරගෙන සම්පූර්ණ පොතක් රඳවා තබා ගැනීමෙන්, වගකීම්සහගතව ක්‍රියා කිරීමට රාජ්‍යය දක්වන අසමත්භාවයත්, ලේඛකයන්ට සිදු කරන අසාධාරණයත් හෙළිදරව් වේ. මෙවැනි අත්තනෝමතික සහ සාධාරණ හේතු දැක්වීමකින් තොර පොත් රඳවා තබා ගැනීම ප්‍රකාශන නිදහසට සහ සාහිත්‍ය නිදහසට එල්ල කරන සෘජු ප්‍රහාරයකි. 

දින නියමයක් නොමැතිව පොත් රඳවා තබාගෙන

යදාර්තන්

ප්‍රජාතන්ත්‍රවාදී රටක පොතක් තහනම් කිරීම අතිශය දුර්ලභ අවස්ථාවක් විය යුතු ය. රජයක් පොතක් තහනම් කරන්නේ නම්, එම තීරණයට අභියෝග කිරීම සඳහා දේශීය සහ ජාත්‍යන්තර නීතිමය යාන්ත්‍රණ පවතී. එවැනි තීරණයකින් බලපෑමට ලක්වන පුද්ගලයින්ට අභියාචනා ඉදිරිපත් කිරීමටත්, තහනමට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීමටත් හැකි පැහැදිලි ක්‍රියාපටිපාටි තිබිය යුතුය. 

එහෙත් වර්තමාන තත්ත්වය තුළ ආරක්ෂක අමාත්‍යාංශය වගවීමකින් තොරව සහ කිසිදු සැලකිල්ලක් නොදක්වමින් පොත් රඳවා තබාගෙන සිටී. තීරණ දින නියමයක් නොමැතිව කල් දැමීමෙන් සහ ලේඛකයින් නැවත නැවතත් නිලධාරිවාදී ප්‍රමාදවලට ලක් කිරීමෙන්, බලධාරීහු ඔවුන් මත මානසික පීඩන මෙන්ම ආර්ථික දුෂ්කරතා ද පටවති. 

අදාළ පොත් “ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එරෙහි” බව හෝ ඒවා “ත්‍රස්තවාදය උසිගන්වන” බව රජය හෝ ආරක්ෂක අමාත්‍යාංශය මේ දක්වා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නොමැත. එමෙන්ම, කිසිදු ආයතනයක් විසින් මෙම පොත් තහනම් කරමින් විධිමත් නිවේදනයක් නිකුත් කිරීම, එවැනි තහනමක් පැනවීමට හේතු පැහැදිලිව දැක්වීම හෝ ඒ සම්බන්ධයෙන් ගත් තීරණය පිළිබඳ පැහැදිලි කිරීමක් කිරීම හෝ කර නොමැත. එසේ තිබියදීත්, පොත් හිමිකරුවන්ට ඒවා නැවත ලබා ගැනීම සඳහා පැහැදිලි ක්‍රියාපටිපාටියක් නොදක්වමින්, එම පොත් දින නියමයක් නොමැතිව රඳවා තබාගෙන සිටී. 

වගකීම බාරගත යුත්තේ රජය යි

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පදනම වන්නේ සිතීමේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමට ඇති කැපවීමයි. අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමටත්, අසාධාරණ මැදිහත්වීම්වලින් තොරව ලේඛන ප්‍රකාශයට පත් කිරීමටත් හැකි පරිසරයක් නිර්මාණය කිරීම එවැනි රාජ්‍යයක මූලික වගකීමකි. හිමිකරුවන්ට එම පොත් නැවත ලබා ගැනීමට පැහැදිලි ක්‍රමවේදයක් ලබා නොදෙමින්, නොසැලකිල්ල සහ පරිපාලනමය අක්‍රමතා හේතුවෙන් පොත් දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීම රජයක් විසින් කිසිසේත් නොකළ යුතු ක්‍රියාවකි. 

මෙය හුදෙක් පරිපාලනමය අසමත්භාවයක් හෝ තනි නිලධාරීන් කිහිපදෙනකු වගකීම් විරහිතව ක්‍රියා කිරීම පිළිබඳ කාරණයක් පමණක් නොවේ. රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කරනු ලබන්නේ රාජ්‍යයේ ප්‍රතිපත්තිමය රාමුව තුළ සහ එහි උපදෙස් හා මග පෙන්වීම් අනුව ය. එබැවින් මෙම අසාධාරණ ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් රජය වගකීම භාරගත යුතුය. 

පහත අත්සන් තබන අපි, රඳවා තබාගෙන ඇති සියලුම පොත් නොපමාව නිදහස් කරන ලෙසත්, මෙවැනි අත්තනෝමතික රඳවා තබා ගැනීම් නැවත සිදුවීම වැළැක්වීම සඳහා විනිවිදභාවයෙන් යුත්, සාධාරණ සහ වගවීම සහතික කරන ක්‍රියාපටිපාටි ස්ථාපිත කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු. 

මෙම ඒකාබද්ධ ප්‍රකාශයේ පිටපත් පහත සඳහන් පාර්ශ්ව වෙත යොමු කරනු ලැබේ: 

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා 

ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය 

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 

ජනමාධ්‍ය 

සටහන - Kiri santh

උපුටා ගැනීම kirishanth.com වෙබ් අඩවියෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...