The Leader News
BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ජනක මහබෙල්ලනගේ 'සංගායනා': මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

Nethmini

Nethmini

October 29, 2026 • 1:20 PM

ජනක මහබෙල්ලනගේ 'සංගායනා': මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය.
  • පාරභෞතිකය ඉක්මවීමට යත්න දැරීම යනු සංකේතය හෝ රූපකය විරහිතව අදහස හෝ මතවාදය ඇතුළතින් ඉදිරියට ගමන් කිරීමකි.
  • නූතනවාදයෙහි එක් වැදගත් ලක්ෂණයක් වන්නේ ගතානුගතික බව ප්‍රශ්න කිරීමය.
  • එක් අතකින් ගතානුගතිකත්වය ආරක්ෂා කිරීමක්ද මේ සමගම සිදුවන අතර මෙහිදී සිදුවන අත්‍යන්ත සාමාජීය ක්‍රියාව වන්නේ ගතානුගතිකත්වය තුළ ගෙවී ගිය මිනිස් පැවැත්ම අභ්‍යන්තරිකව මෙන්ම බාහිරව දැක වෙනත් කියවීමක් සහිත ජීවිතයක් නවීනත්වය තුළ ඇතැයි යන්න සාධනය කිරීමය.
අකුරු ප්‍රමාණය (Font Size):

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා බැවින් මෙහි පළමු පියවර බෙහෙවින් ආගන්තුකය. එහෙත් දෘෂ්ටිය පසුකර දෘෂ්ටිවාදය ගමන් කරන ඉසව්වේදී මේ කියන මිතුරා හමුවිය හැකිය. සමහර විට නාඳුනන්නාම මිතුරා විය නොහැකි ද? යන සංශයත් මෙහිදී පැන නැගේ.

යම් දෙයක් සංකේතයක් හෝ රූපකයක් නොවී රසික මනසක පැවතිය හැකි විදිය අපූරු එකක් වීම කවර අත්දැකීමක්ද? පාරභෞතිකය ඉක්මවීමට යත්න දැරීම යනු සංකේතය හෝ රූපකය විරහිතව අදහස හෝ මතවාදය ඇතුළතින් ඉදිරියට ගමන් කිරීමකි.

නූතනවාදයෙහි එක් වැදගත් ලක්ෂණයක් වන්නේ ගතානුගතික බව ප්‍රශ්න කිරීමය. එක් අතකින් ගතානුගතිකත්වය ආරක්ෂා කිරීමක්ද මේ සමගම සිදුවන අතර මෙහිදී සිදුවන අත්‍යන්ත සාමාජීය ක්‍රියාව වන්නේ ගතානුගතිකත්වය තුළ ගෙවී ගිය මිනිස් පැවැත්ම අභ්‍යන්තරිකව මෙන්ම බාහිරව දැක වෙනත් කියවීමක් සහිත ජීවිතයක් නවීනත්වය තුළ ඇතැයි යන්න සාධනය කිරීමය.

සම්ප්‍රදාය සහ නවීනත්වයේ හුවමාරුව

මෙම ක්‍රියාවලියේදී කිසියම් සන්දර්භයක් කොට්ට උරයක් සේ කණපිට ගසනවාද නැතහොත් සන්දර්භයේ ආවේණිකතාවන් කිසියම් ප්‍රමාණයකට රැකගන්නවාද යන්න විවාදපන්න විය හැකිය. අපගේ මතය නම් ගතානුගතිකත්වය රැකගැනීම මෙන්ම බිඳීම එක්විටම කළ යුතුය යන්නය. එය බැලූ බැල්මට ව්‍යාකූල ප්‍රවේශයකි. එහෙත් පරිණාමය යනු ගතානුගතික ලෝකය හා නවීනත්වය අතර ලෝකයක් වෙත අන්තර් දෘෂ්ටියෙන් ළඟාවීම බැවින් ගතානුගතිකත්වය හා නවීනත්වය හුවමාරු බලයක් සහිත ප්‍රපංචමය ක්‍රියාවලියක් වීම වැදගත් යැයි සිතිය හැකිය.

මෙවැනි පූර්විකාවක් අවශ්‍ය යැයි හැඟුණේ ප්‍රවීණ කිවියර ජනක මහබෙල්ලන විසින් රචිත "සංගායනා" නම් වූ ගේය පද සරණිය පිළිබඳ පශ්චාත් විමසුමක් පිණිසය. මෙම සංගායනාව මුල්වරට ඇසුණේ ඉකුත් ඔක්තෝබර් 10 වැනිදා අවිස්සාවේල්ල පුරහලෙනි. යම් නිශ්චිත හඳුනාගැනීමක් බහු අරුත් ජනනය වන පරිදි තවත් ස්වරූපයක් හා ස්වරයකින් ඉදිරිපත් කිරීම මෙහිදී දක්නට ලැබුණි. එහිදී එකම අරුත වෙනත් හැඩයකින් ඉදිරිපත් කිරීම තුළ පැරණි නිශ්චිත අරුත ඊට අදාළ සහ ඊට හිමි ස්ථානයෙන් ඉවත් කර තිබුණේ නැත. එය පාදක තර්කණයෙන් ඉවත් කර තිබුණේ ද නැත. එහෙත් විකල්ප ආකාරයකින් රස නිෂ්පත්තිය නම් වූ ක්‍රියාවලියෙහි ව්‍යාවෘත වී තිබුණි.

සාහිත්‍ය සංධිස්ථාන තනි යායකට

අපට සම්ප්‍රදාය රකිමින් සම්ප්‍රදායට නව අරුත් විවිධ ක්‍රම මගින් සපයා දිය හැකිය. එහිදී පුළුල් වන්නේ පැරණි නිශ්චිතය පැතිරුණු අවකාශය නොව සමස්තය ඔස්සේ මතුවිය හැකි චින්තන ක්‍රියාවලියයි. නිර්මාණයකදී එය නව චින්තන ක්‍රියාවලියක් තුළ පමණක් ම සෑහීමකට පත් නොවී විශේෂයෙන්ම පැතිරුණු ආඛ්‍යානමය ක්‍රියාවලියක් බවටද පත්වෙයි. සමහරවිට මෙම ආඛ්‍යාන ක්‍රියාවලිය මහබෙල්ලන විසින් අප දන්නා එක් නිර්මාණයක් තුළින් ප්‍රේක්ෂාව දෙසට ප්‍රයානය කරන අතර ඇතැම් විටෙක ලංකාවේ මෙන්ම ලොව ප්‍රකට නිර්මාණ රැසක චින්තන හා ආඛ්‍යාන විලාසයන් ගුරුකොට ගෙන ඇති බව පසක් කෙරේ.

ඒ අනුව ගම්පෙරළියේ නන්දා, ගොළු හදවතේ සුගත් සහ දම්මි, විරාගයේ සරෝජනී සහ අරවින්ද වැනි චරිත මතු නොව හැම්ලට්, රුබයියාට් වැනි නිර්මාණ විෂයෙහි අලුත් විදියකින් දැකීමට නව කවුළු ගණනාවක් විවෘත කර ගැනීමක් හෙවත් ඔවුන් තනි යායකට කැඳවීමක් මෙම නිර්මාණ ප්‍රයුංජනය ඔස්සේ දැක්ක හැකි විය.


අනෙක් අතට නිශ්චිතව නිර්මාණයක් පාදක කර නොගත් ගේය පද රචනාවලදී ලොව ශ්‍රේෂ්ඨ නිර්මාණ රැසක ආභාසය ලැබීමට කතුවරයා තත්පර වී තිබේ. ඔමාර් ඛයියාම්, ෂේක්ස්පියර්, මිලාන් කුන්දේරා, ඇල්බෙයා කැමූ, ගාර්ෂියා මාර්කේස්, මාර්ටින් වික්‍රමසිංහගේ සිට රුසියානු මෙන්ම ලාංකික සාහිත්‍යයේ සංධිස්ථාන බවට පත් නිර්මාණයන්හි සුවිශේෂී චරිත එම නව නිර්මාණවලට තේමාත්මකව සන්දර්භ වී තිබුණි.

මේ එවැන්නකි. එය හුදු පද්‍යාවලියක් සේ පවනේ යා නොදී කිවියර මහබෙල්ලන මිනිසාගේ පූර්ණ නිදහස පිළිබඳ සංඥාර්ථයක් බවට නිර්මාණය පත් කරනු දිසේ.

අත්හැරීම සහ අත්‍යන්ත නිදහසේ මානයන්

මවෙක් පියෙක් එපා

ගෙයක් දොරක් එපා

බඩුත් මලුත් එපා

මේ කිසිවක් මට එපා!

මවත් පියත් සෙනෙහස් බැම්මෙන්

මා බැඳගෙන

ගෙයත් දොරත්

මට සීමා පනවාගෙන

.........................

මුහුදු සීයක් උඩින්

ග්‍රහලෝක චක්‍රාවාට පසු කරමින්

නීල නුවන් ගැබ අරා

හුළඟ එක්ක වළාකුළු එක්ක

අව්ව එක්ක වැස්ස එක්ක

පියාඹන්න තටු ගහලා ඉගිල්ලෙන්න

බැමි බිඳගෙන ඉගිල්ලෙන්න

සැහැල්ලුවෙන් පියාඹන්න

මට ඉඩ හරින්න

(ගායනය: ඉසුරු ගුණවර්ධන)

මේ සමස්ත ගීතය පුරා අත්හැරීම හා නිදහස අනුනාද වන අතර සිරි ගුණසිංහ 'හෙවණැල්ලෙන්' ගෙන එන නිදහසේ මානව ව්‍රතය, කැමූ 'පිටස්තරයා' තුළින් මතු කරන මිනිසාගේ පරත්වාරෝපණය, කුන්දේරාගේ 'පියාපතක් වන් ජීවිතයක්'හි ජීවිතය පිළිබඳ දාර්ශනික මග සලකුණු මතු නොව වික්‍රමසිංහගේ මඩොල්දූව පාදක චිත්‍රපටයේ සුනිල් ආරියරත්න ලියූ වික්ටර් ගැයූ 'කොහේද කොහේද අපේ ලොවක්' නමැති නිදහස සංකේතවත් කරන ගීතය පවා රසිකයාට සිහි කැඳවයි.

නිදහස යනු එකතැනක නැවතුණු දෙයක් නොවේ. එහි කෝෂ අර්ථයෙහි ඇති සංරචනා ගුණය මහබෙල්ලන මෙම ගීතයට අන්තර්ගත කර ඇති ආකාරය මෙන්ම එම ලකුණ නිසි පරිදි රසිකයා වෙතට ප්‍රයානය කිරීමට මෙම ගීතාවලියේ සංගීත අධ්‍යක්ෂවරයා වන තරුණ සංගීතවේදී මනුමිත් තොටලියනගේ දක්වා ඇති බුහුටි බව වෙසෙස්ය.

මෙම ප්‍රසංගය එවැනි නව ප්‍රවේශයක් ගත් නිර්මාණ දොළොසකින් සමන්විත වී තිබුණු අතර ඒ සෑම ගීතයක්ම ඊට අනන්‍ය අර්ධ නර්තනයකින් උපයුක්ත කොට තිබුණි. එය අර්ධ නර්තනයක් ලෙස හැඳින්වීමට සිදුවන්නේ තොරතුරු සහිත සහ රහිත ඉංගිත වලින් සමස්ත රංග කාර්යය සමන්විත වී තිබුණ නිසාය. හුදු නර්තනයක ප්‍රකාශනයක්ව නොතිබුණු එය තාත්වික හා අධිතාත්වික රංග සහිත නර්තනයකින් සමන්විතව තිබුණ බව කිව හැකිය.

මෙම අවසන් නොකෙරුණු පර්යේෂණාත්මක මැදිහත්වීම මගින් මහබෙල්ලන සහ තරුණ ශිල්පීන් සොයනුයේ නාඳුනන්නා පිටුපස සිටින මිතුරාය. අභ්‍යාසවෘද්ධ ඔවුහු අලුත් නිර්මාණය නම් නවීකාරක ගුණයෙන් පොහොසත් මිතුරකු සොයා ගනිති.

කළු කුමාරයාට ආදරණීය ඇමතුමක්

'කළු කුමාරයෝ....' නමැති ගීතය මෙම ගීතාවලියෙහිදී ඇසුණු තවත් වෙසෙස් ගීතයකි.
පෙනුනා මට ඔබ

ගොම්මං සිහිනෙක

කළු කුමාරයෝ

ඔය හිනාව හරි අහිංසකයි.....

(ගායනය: දුලන්‍යා සවිරුනී)

කළු කුමාරයා පිළිබඳ ප්‍රවාදය ගුරු කොට ගත් මෙම ගීතය ඔහු කෙරෙහි වන විෂයයික ද්වන්ද්ව තත්ත්වය ඉක්මවා ගිය නිර්මාණයකි.

සාමාන්‍යයෙන් කළු කුමාරයා යනු යෞවනියන් කිසියම් ආතුර භාවයකට පත් කරන්නකු ලෙස ප්‍රවාදගතව තිබුණත් මහබෙල්ලන මෙම රචනයේදී කළු කුමාරයා පිළිබඳ සමාජ දෘෂ්ටියේ අවරසිකය සුඛනම්‍ය මාවතකට හරවයි. ඔහු තරුණියන් ආතුර කරන්නකු නොව ඔවුන්ට ආදරය කරන්නකු හා පෙරළා ආදරය ප්‍රාර්ථනා කරන්නකු බවට පත්කර තිබීම කළු කුමාර ප්‍රවාදය ඔස්සේ නව්‍ය හා සුමට ආඛ්‍යානමය ප්‍රවේශයක් ගැනීමකි.


ජනවහරෙහි පවතින ස්ථාවර දෙයක් වෙනස් කිරීම ලෙහෙසි කාර්යයක් නොවේ. විශේෂයෙන් ජනවහරෙහි නපුරක් ලෙස වැඩුණු ප්‍රපංචයකට තුලනාත්මක අරුතක් දීමත් මතු නොව ශ්‍රාවකයා සහ ප්‍රේක්ෂකයා නව අරුත් සංහිඳියාව විශ්වාස කිරීම හා ඒ සමඟ බැඳීම තරම් ජයග්‍රහණයක් නිර්මාණකරුවකුට තවත් ලැබිය නොහැකිය. මහබෙල්ලන එම ජයග්‍රාහී ඉම පසු කරන අතර එම ගීතයට නිර්මිත ෆැන්ටසිමය රංග සම්පර්කය වර්ණිතය. කළු කුමාරයා පිළිබඳ භීම ප්‍රවේශය වෙනස් කරන රචකයා එහි ප්‍රතිපක්ෂ අදහස උච්චස්ථානයට නංවන්නේ කළු වෙනුවට අහිංසක බව සාධනය කරමිනි.

සැබැවින්ම නාඳුනන්නා පසුපස මිතුරකු සිටින බව මේ ප්‍රතිපක්ෂවාදී සූත්‍රය තුළ සිතෙන්නට ඇති අවකාශය වැඩිය.

කොන්ක්‍රීට් වනයේ නොවෙනස් ආදරය



ඉහත කී නාඳුනන්නා පිටුපසින් ප්‍රතික්ෂේප නොකළ හැකි නව පැවැත්මක් මිනිසාට සම්මුඛ වීම මහබෙල්ලන ඉදිරිපත් කරන ආකාරය ආකර්ෂණීයය. ස්ත්‍රිය සහ පුරුෂයා අතර ඇතිවන ආදරය නමැති පැන නැගීම කල්ප කාලයක් ගියත් වෙනස් නොවන එකකි. ඒ අනුව තුන්වැනි සියවසේ ආදරයත් විසි එක් වැනි සියවසේ ආදරයත් හැඟීම් පද්ධතියක් වශයෙන් නොවෙනස්ය. එහෙත් ඔවුන්ට සැරිසරන්නට සිදුවන පරිසරය මොහොතින් මොහොත වෙනස්කම් වලට භාජනය වෙයි.

කොන්ක්‍රීට් ගස මුදුනේ

ලයිට් මලක් පිපිලා

ඔබ සාලිය - මම මාලා

මේ සෝබන පුරවර සැරිසරනා

කොන්ක්‍රීට් ගස් මුදුනේ

නෙකවිධ මල් සුපිපී

තට්ටු ගෙවල් අතරේ

විහඟ ගීය වියැකුණා

නෙළාගන්න බෑ සොඳුරිය

සුපිපුණු ඒ රුදු මල්

.........................

(ගායනය: දුලන්‍යා සවිරුනී)



එහෙත් මිනිස් පැවැත්මේ පදනම රුදු මල් නෙලා ගැනීමය. පාරිභෝජනවාදී සමාජයක් ජනයාට අභ්‍යාස කරන්නේ විහඟ ගීය වියැකුණු නිසා දුක්ප්‍රාප්තියට පත්වීමට නොවේ. තම අනෙකා හා තරග කොට රුදු මල් නෙලා ගැනීමටය.

ගීතයේ නිෂ්පත්තිය, පැතිරීගිය රුදුරු සමාජ ආර්ථික යථාර්ථයට එරෙහිය. එහෙත් ස්වභාවික පරිසරය හා තදනුබද්ධ පිරිපුන් මානව සබඳතා සහිත සමාජයක් ඉන් අපේක්ෂිතය.

නොවැසූ දොර සහ සුගත්-දම්මි හමුවීම

'ගොළු හදවත' නවකතාවේ සුගත් සහ දම්මි ඇසුරින් රචිත ගීතය වෙනස්ම ආරකින් ඔවුන්ගේ ලෝකයට එබී බැලීමකි. එහිදී රචකයා කිසියම් විදිහක නාට්‍යමය ශෛලියක් අනුගමනය කරනු පෙනේ. ඒ තුළ ඇත්තේ සරල රංගයක් වුවත් එය කාලාවරෝධය පිළිබඳ යථාවක් ද පිළිබිඹු කරයි.


ටක්! ටක්! ටක්!

කවුදෝ ඇවිදින් දොරට තට්ටු කළා

සුගත් දොර ඇරියා

දම්මි එහි සිටියා

කෝපි මල් සිනාවෙන්

මුව සරසා ගත්

.............

දල රැවුල වවාගත්

පෙම්බර බැල්මෙන් දෑස් අයාගෙන

................

පුදුමයක් ඒ හමුවීම මායාවක්

නේද සුගත්? දම්මි විමසුවා

(ගායනය: දුලන්‍යා සවිරුනී)

ගොළු හදවතේ සුගත් සහ දම්මිගේ ආදර අන්දරය පාසැල් කාලය තුළම වියැකෙන්නක්ද? ඉන් එහා ගිය අනාගතයේ දවසක ඔවුන් යළි හමුවීද? එනම් ජීවන අරගලය තුළ අනාගතයේ දවසක ඔවුන් දෙදෙනා හමුවෙතොත් එකිනෙකා සමග බෙදා ගැනීමට කෙතරම් හැඟීම්බර දේවල් තිබෙනු ඇත්ද?

එසේ බලන විට අතීතය සුන්දර ද? වර්තමානය දුක්බරද? එසේ නැතහොත් අප ප්‍රාර්ථනා කළ යුත්තේ මේ දෙකෙහිම ඒ මොහොතට අදාළ සාපේක්ෂ තත්ත්වයක්ද?
මෙම ගීතයේ 'ටක්! ටක්! ටක්!' යනු කාලය විය යුතුය. දම්මිටත්, දෙදෙනාම නොවැසූ දොර විවර කර ගත යුතුය. සුගත්ටත් එසේමය. එහෙත් මුනිවත මන්ද යැයි ප්‍රශ්නයක් නැගෙනු ඇත. දිගුම කතාව කියන්නේ මුනිවත විසින් බැව් ශ්‍රාවකයාට හා ප්‍රේක්ෂකයාට කියන මොහොත එළඹෙන්නේ මේ අවස්ථාවේ යැයි අපට සිතිය නොහැකිද?

මෙම ගීතයට භාවිත රංගය තාත්වික රංගයේ රංග සිද්ධාන්ත වලින් සුසැදී ප්‍රවේශයක් ගනියි. එහෙත් එය සිදුවිය නොහැකි හමුවීමක් යන සංඥාවද රංගය තුළින්ම මතු කරයි. එසේ කරන්නේ ෆැන්ටසිමය රාමුවක දම්මි-සුගත් හමුවීම රඳවමිනි. මේ රංගය එක්තරා විදියක සිතුවමක් ලෙස වේදිකාව මත දකින්නට සැලැස්වීම තුළද එකී ෆැන්ටසිමය අරුත කුළු ගැන්වේ.

නන්දා, පියල් සහ සමාන්තර ප්‍රේමය

'ගම්පෙරළිය' නවකතාවේ නන්දාගේ ඇත්ත ආදරවන්තයා පියල් ද ජිනදාසද යනුවෙන් ප්‍රශ්නයක් මතු කෙරිණි. ඒ පිළිබඳ මහබෙල්ලන රචිත ගීතයේ මුල් පද මෙබඳුය.
නන්දා නන්දා

අමන්දානන්ද නන්දා

වින්දා වින්දා දුක් වින්දා ඇති

අග හිඟකම් හින්දා

...............

කාසි සොයාගෙන වෙළඳාමෙන් මං

ආපසු එනවා නන්දා

ඒ හින්දා ඔය කඳුළු මැදින්

හිනාවෙන්න නන්දා

(ගායනය: විමුක්ති බදුගොඩ)
නන්දාගේ අත ගන්නට පියල් එන්නේ එක්තරා විදියක පාරිභෝජනවාදී මනසකිනි. බිඳවැටෙන වැඩවසම් ක්‍රමය තුළ නව වෙළෙඳ පන්තියක ස්ථාපිතයද ඒ සමගම ප්‍රතීයමාන වෙයි. නන්දා ජිනදාසට මුළු හදින් ආදරය කරනවාද නැද්ද යන්න කෙසේ වෙතත් වික්ටෝරියානු ආචාර ධාර්මික සංස්ථාපිතය තුළම ජීවිතයේ අරුත දැකීමට තැත් කරන්නී නව වෙළෙඳ පන්තියේ පාරිභෝජනවාදී සංස්කෘතිය ප්‍රතික්ෂේප කරමිනි.

ඊට එක් ප්‍රධාන හේතුවක් වන්නේ බිඳ වැටෙන්නේ තම පිය පාර්ශ්වය වන විට පරිණාමිකව බලවත්ව සිටින්නේ වැඩවසම්වාදය පරාජය කළ පන්තිය වීම විය යුතුය. එවිට නන්දා ප්‍රේමවන්තයා තෝරාගන්නේ දේශපාලනිකව සමාන්තර භූමියකදී යැයි කිව හැකිය. අනෙක් අතට නන්දා දැඩි ආධිපත්‍යයකට නොරිසිය.

නන්දා තුළින් ම පන්තියේ සංස්ථාපිතය මෙන්ම බිඳවැටීම සහ ආදර ප්‍රහර්ෂය එකවර මතුකර දැක්වීම පහසු නැත. එහෙත් එක් චරිතයක් මගින් ඉහත කී සමස්ත ක්‍රියාවලියේම කාරකත්වය මෙම ගායන සහ රංගන සුසංයෝගය මගින් සාධනය කරන ආකාරය නිර්මාණාත්මකය. නන්දා නවතිනු රිසි දුක් ගිනි ගොඩක නොව උපේක්ෂාවෙහි බව ගීත රචක මහබෙල්ලන අපට පසක් කරයි. සැබැවින්ම එය වික්‍රමසිංහගේ නවකතා දර්ශනය අනුයෑමක් ලෙසද හැඳින්විය හැකිය.

හිස් බඳුන සහ අරුත්බර මිනිස් ලෝකය

සබඳ, නිල්වන් තණ බිම මතින්

ටිකිරි පා තබමින්

අමුත්තන් අතරට ගිහින්

හිස් බඳුන තිබෙන මා වෙනුවෙන්

......................

මුනින් අතට හරවන්!

(ගායනය: ළහිරු මාඩිවිල)

එම අවසාන ගීතය ලියා තිබෙන්නේ ඔබට යමක් දීමට මිස ප්‍රතිලාභ අපේක්ෂාවෙන් මම නොපැමිණියෙමි යන අර්ථයෙනි. තුලනාත්මකව ලෝකය දෙස බලන විට මිනිසා පිළිබඳ සත්‍ය වන්නේ එය නොවේද? භූමිය යනු මිනිසාගේ කෙටිකාලීන නවාතැනක්ය යන අදහස කුළුගන්වන මෙම ගීතය පුද්ගලයා සොයමින් නොවෙහෙසීම ප්‍රේක්ෂාවට අවධාරණය කරයි.

පුද්ගලයා වෙනුවට අපට අරුත් සෙවිය හැකිය. අරුත් සෙවීමට නම් අරුත්බර ලෝකයක් මිනිස් කාරකත්වය තුළ මාර්ග සිතියමක් ලෙස තිබිය යුතුය. ජනක මහබෙල්ලන ප්‍රමුඛ නිර්මාණකරුවෝ එම මෙහෙවරෙහි යෙදුණාහ යනුවෙන් අපට සැක හැර මෙහි සඳහන් කළ හැකිය.

ප්‍රියදර්ශන මැද්දවත්ත මෙම සමස්ත නිර්මාණයෙහි කලා අධ්‍යක්ෂණය මනා ලෙස සිදුකර තිබුණු අතර අර්ථපතිත්වය දරා තිබුණේ කේ.අයි.එස්. කටුගම්පල විසිනි. ශෙනුල්යා පෙරේරා සහ අමාශා ඉශාරි ගායනයෙන් සහභාගි වූ අතර වාද්‍ය වෘන්දය සුසර අවිශ්ක, දෙව්හාරා නෙතුකි, මුදිතා සෙව්වන්දි, ඉරේෂ් ලියනගේ, තරිඳු පැතුම් සහ මංජුල මදුසංක යන ශිල්පීන්ගෙන් සමන්විත වූහ. මෙහි අතිශය වැදගත් මෙහෙවරක් ඉටුකරන සංගායනා රංග වින්‍යාසය රවිඳු සම්පත් වික්‍රමසේකර විසිනි.
 
"සංගායනා" පිළිබඳ ප්‍රවීණ කිවියර ජනක මහබෙල්ලන ලීඩර් අප සමඟ කළ සංවාදය 
 
විමලනාත් වීරරත්න

නිදහස් මාධ්‍යවේදී

wimale.ravaya@gmail.com

View all stories by විමලනාත් වීරරත්න
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...