The Leader News
BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

තිස්ස ජනනායක සහ කේ. කේ. සමන් කුමාර; එකම ගඟක ඉවුරු දෙකක් ද…?

Awara

Awara

November 8, 2026 • 11:21 AM

තිස්ස ජනනායක සහ කේ. කේ. සමන් කුමාර; එකම ගඟක ඉවුරු දෙකක් ද…?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමන් කුමාර හෙවත් 'සර්පයා' යනු වත්මන් ශ්‍රී ලාංකීය චින්තනය තුළ පහසුවෙන් එකිනෙකට නොපෑහෙන ධාරා දෙකකි.
  • එනමුත් මම මේ දෙදෙනා දකින්නේ එකිනෙකට විරුද්ධ පැති දෙකක් ලෙස පමණක් නොවේ.
  • තිස්සට නොතරම් දෙය පසුගිය දිනක තිස්ස සර්පයාට දෂ්ඨ කළේ සර්පයාව හරිහැටි නොදැක, නොදැන බව මට හැඟුණි.
  • ඔහු ගේ ලේඛන ලෝකය කියවන්නට ගිය විට සාංදෘෂ්ටිකවාදය, අධියථාර්ථවාදය, මායා යථාර්ථවාදය, මාක්ස්වාදය, පශ්චාත් නූතනවාදය, සිහින කල්පිත සාහිත්‍යය ආදී එකිනෙකට වෙනස් බුද්ධිමය දනව් අතරින් ගමන් කිරීමට සිදුවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

තිස්ස ජනනායක සහ කේ. කේ. සමන් කුමාර හෙවත් 'සර්පයා' යනු වත්මන් ශ්‍රී ලාංකීය චින්තනය තුළ පහසුවෙන් එකිනෙකට නොපෑහෙන ධාරා දෙකකි. තිස්ස ගේ පැත්තේ අයට සර්පයා දිරවන්නේ නැත. සර්පයා ගේ පැත්තේ අයට තිස්සව දිරවන්නේත් නැත.

එනමුත් මම මේ දෙදෙනා දකින්නේ එකිනෙකට විරුද්ධ පැති දෙකක් ලෙස පමණක් නොවේ. මට ඔවුන් පෙනෙන්නේ එකම ගඟක ඉවුරු දෙකක් මෙනි.

අප මේ ධාරා දෙක දෙස බලන්නේ ඒ ඉවුරු දෙක අතරින් ගලා යන ගඟ දෙස බලන්නාක් මෙනි. ඉවුරු දෙකම පෙනෙන විට එක ඉවුරක් හොඳයි, අනෙක නරකයි කියා තීරණය කිරීම එතරම් පහසු නැත. ඒ දෙකම ගඟේ පැවැත්මට අයත් ය. එහෙත් ඉවුරු දෙකම නිවැරදි යැයි ඉන් අදහස් වන්නේ ද නැත.

තිස්සට නොතරම් දෙය

පසුගිය දිනක තිස්ස සර්පයාට දෂ්ඨ කළේ සර්පයාව හරිහැටි නොදැක, නොදැන බව මට හැඟුණි. සර්පයාගේ 'සර්පයකු හා සටන් වැද' කෘතිය පමණක් නොව, සර්පයාගේ නොවන 'බුදුන්ගේ රස්තියාදුව' පවා කියවා නොබලා ඔහුට දෂ්ඨ කිරීම තිස්ස වැන්නකුට නම් නොතරම් ය.

මක් නිසාද යත්, සර්පයා ගේ ලෝකය ලිංගිකත්වය පිළිබඳ ලියවිලිවලට පමණක් සීමා නොවන බැවිනි. ඔහු ගේ ලේඛන ලෝකය කියවන්නට ගිය විට සාංදෘෂ්ටිකවාදය, අධියථාර්ථවාදය, මායා යථාර්ථවාදය, මාක්ස්වාදය, පශ්චාත් නූතනවාදය, සිහින කල්පිත සාහිත්‍යය ආදී එකිනෙකට වෙනස් බුද්ධිමය දනව් අතරින් ගමන් කිරීමට සිදුවේ. ඒ ලෝකය තේරුම් ගැනීමට අපට ද බොහෝ කලක් ගත විය.

සර්පයා ගේ 'පයන්න' වත් කියවා තිබුණා නම්

අනෙක් අතට විද්‍යාවට ඉතිහාසය සහ දර්ශනය එන්නත් කරන්නට තිස්ස ගන්නා උත්සාහය දෙස ද අප බැලිය යුත්තේ මැදිහත් මනසකිනි. හුදු දේශපාලන කණ්ණාඩියෙන් පමණක් සියල්ල දකින්නට හුරු වී ඇති සමාජයක, විද්‍යාවට ඉතිහාසය හා දර්ශනය එක්කරමින් පුළුල් දැක්මක් ගොඩනැගීමට ඔහු දරන උත්සාහය ද නොසලකා හැරිය යුතු නැත.

තිස්ස කාවන්තිස්සලා ගේ ඝාතකයන්ට දෂ්ඨ කිරීම කාලෝචිත ය. එහෙත් තිස්ස සර්පයාට දෂ්ඨ කරන්නට කලින් අඩුම තරමින් සර්පයා ගේ 'පයන්න' වත් කියවා තිබුණා නම් හොඳ යැයි මට සිතේ. අනෙක් අතට අපට දැනෙන සර්පයා වෙනම ජීවියෙකි. ඌ දෂ්ඨ කරන්නාට දෂ්ඨ කරන එකෙක් නොවේ.

මට මේ මොහොතේ සිහිවන්නේ මිහිඳු හාමුදුරුවන්ගේ අඹ ප්‍රශ්නය ය.

“ඒ… කේ. කේ. ත්, මේ කේ. කේ. ත් හැර තවත් කේ. කේ. ලා සිටී ද?”

“එසේය… ස්වාමීනී, ඔවුන් සර්පයෝ නොවන්නාහු ය…”

සමහර විට අපට අවශ්‍ය වන්නේ අහක යන සර්පයාට දෂ්ඨ කිරීම නොව, සර්පයා කවුදැයි හඳුනා ගැනීම ය. කෙනෙකු විවේචනය කිරීමට පෙර ඔහුගේ ලෝකය කියවීමත්, එකඟ නොවීමට පෙර ඔහු සිතන ආකාරය තේරුම් ගැනීමත් බුද්ධිමය අවංකභාවයේ කොටසකි.

සාමන්ත තැන්නගේ ‍

උපුටා ගත්තේ Saamantha Tennege face book පිටුවෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...