The Leader News
BREAKING
Nvidia ප්‍රධානියාගේ පෞද්ගලික පැටලැවිල්ලක් ලෝක AI බල අරගලයකට  ●සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට රජයෙන් වැදගත් සංශෝධන කිහිපයක්●කවාජාගේ හෙළිදරව්ව සත්‍යයක්: ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පරීක්ෂණය වෝනර්ගෙන් විවේචනයට●ඉමාන් කලීෆ්: සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ බොක්සිං ක්‍රීඩිකාව නැවතත් තරග බිමට!●නදී වාසලමුදලිආරච්චිගේ 'කුවණ්ණා' ජනවාරි 1 සිට තිරයට●අයවැය පොරොන්දු ඉටුකිරීමේ වසර 8ක ඉහළම ප්‍රගතියක් - 'වෙරිටේ රිසර්ච්'●Diginote : විදේශ සංචිත ඩොලර් බිලියන 7.08ට: බැඳුම්කරවලින් විදේශිකයෝ පලායති●'හැමදාම එකම සෙට් එක': ටීනා සහ රෙබෙකාගෙන් ප්‍රබල හෙළිදරව්වක්●සයිමන් සහ සර්පයා●පිළිකාව නිට්ටාවට සුව කරන ඔසු ඇත්තටම තියෙනවද?●
Top Ad
සාහිත්‍ය - කලා

සයිමන් සහ සර්පයා

Awara

Awara

November 9, 2026 • 3:49 PM

සයිමන් සහ සර්පයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මම සයිමන් නවගත්තේගම නම් සාංසාරාරණ්‍යයේ ආධ්‍යාත්මික දඩයක්කාරයා සමීපව ඇසුරු කිරීමේ විරල භාග්‍යය ලද්දෙක්මි.
  • මා ලියූ කවකින් අමන්දානන්දයට පත්වූ විටෙක සර්පයා මා ඇමතුවේ අඩෝ උට්ටෝ කියමිනි.
  • ඔහු සමග මීවිත තොල ගාමින් රසාලිප්ත සම්භාෂණයෙහි කිඳෙමින් ඉපිලෙමින් සෞන්දර්යේ අප්‍රමාණ සක්වල තුළ මිලි මීටරයක් සෙන්ටිමීටරයක් සක්මන් කිරිමේ භාග්‍යය ලද්දෙක්මි.
අකුරු ප්‍රමාණය (Font Size):

මම සයිමන් නවගත්තේගම නම් සාංසාරාරණ්‍යයේ ආධ්‍යාත්මික දඩයක්කාරයා සමීපව ඇසුරු කිරීමේ විරල භාග්‍යය ලද්දෙක්මි.

ඔහු සමග මීවිත තොල ගාමින් රසාලිප්ත සම්භාෂණයෙහි කිඳෙමින් ඉපිලෙමින් සෞන්දර්යේ අප්‍රමාණ සක්වල තුළ මිලි මීටරයක් සෙන්ටිමීටරයක් සක්මන් කිරිමේ භාග්‍යය ලද්දෙක්මි. ඔහු සමග ගොස් හැඳල ප්‍රීතිපුර ළමා නිවාසය අසළ මූදු වෙරළ අසබඩ ගල් පරය දැකීමේ පරම භාග්‍යය ලද්දෙක්මි. සයිමන් සුබ සහ යස නාට්‍යය ලීවේ ඒ ගල්පරය මත හිඳගෙන ය.

එකල භීෂණ සමයේ මා සයිමන් ඇසුරෙහි සිටි කාල වකවානුවේ සර්පයා නොහොත් K. K. සමන් කුමාර නම් අපූර්ව සාංසාරික සගයා ද සයිමන් බලන්නට නිතරම ආවා මට අද මෙන් මතක ය. මා ලියූ කවකින් අමන්දානන්දයට පත්වූ විටෙක සර්පයා මා ඇමතුවේ අඩෝ උට්ටෝ කියමිනි.

කටේ සිට පුපට බඩවැල උගන්වන පුස්සන් සර්පයාට අවමන් කිරීමක් ද දුටිමි. එවන් මුග්ධයෝ කවදත් බහුලය. උන් නුවණෙහි දිග බඩවැලේ දිග ම පමණි.

අද මගේ " සයිමන් කවිය " අතිශය විරල ප්‍රතිභාවෙන් පිරිපුන් සර්පයා නම් අසම්මත අදීන බුවාට බොක්කෙන් ම පුදමි. ඒ සර්පයා යනු සයිමන්ගේ ම ආධ්‍යාත්මික කලලයක් යයි මා අදහන නිසා ය.

මගේ මතකය නිවැරැදි නම් මේ පහත විශද වන්නාවූ සයිමන් ගේ සේයාරුව ද සර්පයා විසින් ගත්තකි.

කවදාවත් කිසිම ගුණ ගායනයක් පයිසෙකට මායිම් නොකරන සර්පයාට ආවඩා ආයුබෝවේවා !!!

 

කුමාර වන්නි හත්පත්තුවේ පාරිසාරික කවිය නොහොත් සයිමන්

 

අලියා වැටුණ වැව සිටි හේරත් හාමී

සයිමන් ඊට වැඩි තිස් ගුණයක් දෑමී

බෝසත් පෙමින් පෝසත් හේ රසකාමී

පිටසක්වලින් ආ මිනිසෙකි සඳගාමී

 

සෙවණැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේ

ඉපනැලි මතක ඉකිලන ඇටසැකිලි පෙනේ

කටුමැටි පැලක කකියන හදවතක සෙනේ

නොකියන දුකක තතු කඩදාසියට ගෙනේ

 

යසෝදරා වත ගලනා දොළ වතුර

ළසෝ තැවුල් පැදකුණු කළ දිව මතුර

බිසෝ කොටුව උතුරන කඳුළක සුතුර

රසෝඝයක උල්පත උතුරයි මිතුර

 

තඹවන් වන්නි හත්පත්තුව පුත්තලම

රඹවන් මඩක මැඩියන් දඟ කස්තිරම

මීමුන් ලගින සැණකෙළියකි වක්කලම

සයිමන් වින්ද රුව ගුණ සුවඳක තරම

 

එරි එරි මඩේ ඇදෙනා බරකරත්තය

මුහුදක ගැඹුර නොසිඳෙන ලුණු පොලොත්තය

හිම කඳු සිහින දියවෙන දිය කඩිත්තය

අනිමිස සතුට උතුරන හද පෙරැත්තය

 

මුල්ලේගමින් තාමත් අහසට නගින

නොනිමෙන දුමකි නිලඹර සිතුවම් අඳින

විහඟෙකි සරන විනිවිද මේකුළු දැහැන

කිරලෙකි සීත රෑ සංකාවෙන් හඬන

 

සංසාරයේ ආරණ්‍යය අසබඩක

ඇදෙනා රුවකි පුරහඳ පායන රැයක

උරනා දුමක සහ මීරස මීවිතක

උනනා සිහිනයකි සැඟවී ගිය මතක

 

හඬනා රැහේ දාඩිය බේරෙන වැස්ස

දිලෙනා පබළු පිරි උඳුපියලිය බිස්ස

වැටිලා හිඳින්නට ඊතණ දඬුමැස්ස

සොබනා සිතින් එව යසලාලක තිස්ස

 

බේත් කොටන ගිනිකඳයෙකු කටහඬිනී

ඈත්වෙමින් සෙයිලම තුළ වන වැදුණී

මහත් ආනිසංසෙක මහ අනුහසිනී

රහත්වෙන්ට නුඹ යායුතු මග සැදුණී

 

කුමාර හෙට්ටිආරච්චි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...