The Leader News
BREAKING
නොපෙනෙන මිනිස් ජීවිතවල ගුප්ත ගංගාව●සාෆ් පාපන්දු ශූරතාවලියට අද සිට VAR ක්‍රමවේදය!●බහුපාර්ශ්විකවාදයෙන් ඔබ්බට ගෝලීය බලයේ නව නීති සහ ඉන්දියාවේ අභියෝග | මිලින්ද මොරගොඩ●‘කස්තුරි සුවඳ’ පිටුපස සැඟවුණ දුගඳ කතාවක්●අතීතයේ අපේ වගකීම පක්ෂය වුණාට දැන් අපේ වගකීම රටේ ජනතාවයි - ජනාධිපති අනුර කුමාර දිසානායක●70 වසරක නොලබපු ජයක් වමට දිනා දුන් රාජාංගනේ හිමිට දීප්තිගෙන් ප්‍රණාමය●බෙහෙත් කර්මාන්තශාලා හැදුවට ඩොලර් ඉතිරි වෙයිද? සැබෑ ආර්ථික කතාව මෙන්න●ආයෝජකයින් දිනාගැනීමට නම් 'නම' වෙනුවට 'ක්‍රමය' වෙනස් විය යුතුයි●ශ්‍රී ලාංකිකයන් පිරිසක් කැනඩා සිහිනයෙන් රැවටූ ජාවාරම්කරුවෙකු ඉන්දියාවේදී කොටුවෙයි●අයවැයෙන් වෙන් කළ ට්‍රිලියන 2 ජනතාව අතට යාවිද?●
Top Ad
සාහිත්‍ය - කලා

‘කස්තුරි සුවඳ’ පිටුපස සැඟවුණ දුගඳ කතාවක්

Nethmini

Nethmini

November 14, 2026 • 12:48 PM

‘කස්තුරි සුවඳ’ පිටුපස සැඟවුණ දුගඳ කතාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘ කස්තුරි සුවඳ’ කියන්නේ චිත්‍රපටයක් විතරක් නෙවෙයි.
  • එක කතාවක් සිදුවීමක් වෙන්නෙ ඇත්ත ජීවිතේ සාදයක දී.
  • සාදය - ඇත්ත ජීවිතේ ජවනිකාව ‘ කස්තුරි සුවඳ’ ෂූටින් පටන් ගන්න කලින් තිබුණු උත්සවය.
  • ඒ නිසා ඔහු ටීම් එක තෝරගත්තා , ඇත්ත කතාව පැත්තකට දැම්මා.
අකුරු ප්‍රමාණය (Font Size):

‘කස්තුරි සුවඳ’ කියන්නේ චිත්‍රපටයක් විතරක් නෙවෙයි. ඒක එකම කතාවක් දෙපාරක් කියවුණු අපේ සිනමා ලෝකයේ සංකේතීය තැනක්. එක කතාවක් සිදුවීමක් වෙන්නෙ ඇත්ත ජීවිතේ සාදයක දී. අනිත් කතාව තිරය මත 'මල් වයසේ මධු සිහිනේ' ගීතයේ දී.

සාදය - ඇත්ත ජීවිතේ ජවනිකාව

‘කස්තුරි සුවඳ’ ෂූටින් පටන් ගන්න කලින් තිබුණු උත්සවය. මේ සාදය වෙනකොට චිත්‍රපටයේ ගීත පටිගත කරලා ඉවරයි. එතන හිටියා හතර දෙනෙක්. ඒ: සේන සමරසිංහ - අධ්‍යක්ෂක, ගාමිණී ෆොන්සේකා - ප්‍රධාන නළුවා, මාලිනී ෆොන්සේකා - ප්‍රධාන නිළිය සහ ජෝතිපාල - පසුබිම් ගායකයා; ඒ වගේම ඒ කාලය වෙද්දී ගාමිණී ගේ ප්‍රධාන තිර ගායනා හඬ.

සේන සමරසිංහ

එතන දී සේන, මාලිනීට සමීප වෙන්න උත්සාහ කරනවා. (මේක සාමාන්‍ය සිදුවීමක් පමණයි) මාලිනී ඒකට කැමති වෙන්නේ නෑ. ඒක ඇයගේ “බැහැ” එක. අකමැත්ත තියෙනවා නම් ගැහැනියකට සමීපවෙන්න බැහැ නේ. ඒ “බැහැ” එකට මුලින්ම සවන් දුන්නේ සහ එය දැක්කේ ජෝති. ඔහු කියනවා, “මචං, මාලිනීට ඉන්න දීපන්, එයා උඹට කැමති නෑනේ” කියලා. සේන මේකට අමනාප වෙනවා. ගාමිණී, තමන්ගේ වෘත්තීය මට්ටමේ සහ මිත්‍ර ටීම් එක රැකගන්න, සේනගේ පැත්ත ගන්නවා. එතනින් කතාව ඉවරයි. ජෝති කියනවා, “මම නම් ආයෙත් උඹලාගේ වැඩවලට එන්නේ නෑ” කියලා. මාලිනීත් සේන ගේ මෙයින් පසු හැදුණු කිසිම චිත්‍රපටයකට එන්නේ නෑ. මේක සාදයක හබයක් විතරක් නෙවෙයි. මේක තමයි වෘත්තීය ගෞරවය vs බලය කියන ගැටුම. මාලිනී ඉල්ලුවේ ලොකු දෙයක් නෙවෙයි. “මම මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය, මට ඒ වැඩේට ගරු කරන්න” කියන එක විතරයි. ඒ වෙනකොට ඇය රටේ ජනප්‍රිය ම, ආකර්ෂණීය ම නිළිය. ඒත් ඒ ජනප්‍රියකමෙන් ඇයට ආරක්ෂාවක් ලැබුණේ නෑ. ජෝති දැක්කේ තනතුර නෙවෙයි, මනුස්සයෙක් අපහසුතාවක ඉන්නවා කියන එක. ඔහුට Star තත්ත්වයක් රැකගන්න අවශ්‍ය වුණේ නෑ. ඔහුට තිබුණේ තමන් ගේ අවංකකම විතරයි. ගාමිණී දැක්කේ මනුස්සයා නෙවෙයි, ටීම් එක. Star කෙනෙක් තමන් ගේ අධ්‍යක්ෂක මිතුරාට විරුද්ධ වුණොත්, තමන් ගේම Star තත්ත්වය කැඩෙනවා කියලා ඔහු දැනගෙන හිටියා. ඒ නිසා ඔහු ටීම් එක තෝරගත්තා, ඇත්ත කතාව පැත්තකට දැම්මා.

ගීතය - තිරය මත ජවනිකාව

'මල් වයසේ මධු සිහිනේ' ගීතයේ ජවනිකාව. මෙතනත් ඉන්නේ පිරිමි තුන්දෙනෙක්, එක තරුණියක් (මාලිනී) වටේ. ලයනල් දැරණියගල (එම්.එස්. ගේ හඬ) - කතාවට අනුව ඥාති සොහොයුරා, විලන්. ඔහු ගේ චරිතයට මුලින් යෝජනා වී තිබුණේ ජෝතිව (ජෝති මේ කාලයේ චිත්‍රපටවල රඟපෑවා) නමුත් ලයනල් චරිතයට පසුව ආපු කෙනා. ගීතයේ දී ඔහු කියනවා…

“බඹරෙකි කුසුමෙකි එක්ව ගී ගැයූවේ… මොණරෙකි උරගෙකි නෑ වෙලි රැඟූවේ

සඳවට පරයන පුංචි කැකුළු මල… එනු බොමු ජයපානේ”

බඹරා කියන්නේ මලට ඇවිත් රොන් උරලා යන කෙනා. “එනු බොමු” කියන්නේ ගැහැනියව තමන්ගේ වසඟයට ගන්න හදන එක. මේක තමයි ආශාව බලෙන් ලබාගන්න හදන පිරිමියෙකු ගේ සංකේතය.

මිල්ටන් ජයවර්ධන (වික්ටර් ගේ හඬ) - දෙවැනි පෙම්වතා. ඔහු කියනවා…

“මල් වයසේ මධු සිහිනේ... ආදර මාලිගයේ

පෙම් මදිරා ගඟ පිරිලා… උතුරා ගලා හැලේ

ජීවිතේ පුරා ආදරේ පෙරා…දැන් බොනු මැන ජය පානේ”

ගාමිණී ෆොන්සේකා (ජෝති ගේ හඬ) - අවසන් පෙම්වතා. ඔහු ජවනිකාවට එන්නේ අන්තිමට. ඔහු කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්…

“අදුරු ගැබේ කඳූ මුදුනේ පායන සඳ වැන්නේ… අඳුරු මගේ හද මුදුනේ අද පායාපන්නේ...

නුරා රැඟුම් ලොල් හදවත් සසලයි…ආදර හිත නිසලයි…”

මෙතන “බොමු” නෑ. “මදිරා” නෑ. තියෙන්නේ “සඳ, නිසල ආදරය”. මේක තමයි ඇයව, ආරක්ෂා කරන පෙම්වතා කියන සංකේතය. තුන්දෙනාම මාලිනී අසලට ඇවිත් ගයනවා, රඟනවා. අන්තිමට ඇයගේ හිත් ගත්තේ ගාමිණී.

සැබෑ ජිවිතය සහ රංගන ජීවිතය

සැබෑ ජීවිත සාදයේ දී: සේන මාලිනීට සමීප වෙන්න හදනවා, මාලිනී අසරණ වෙනවා, ජෝති ඒකට මාලිනී ගේ සහයට එනවා, ගාමිණී සේන ගේ පැත්ත ගන්නවා.

චිත්‍රපට ගීත සාදයේ දී: ලයනල්/මිල්ටන් ජයවර්ධන මාලිනීට සමීප වෙන්න හදනවා. ගාමිණී ඇය ගේ කැමැත්ත දිනා ගන්නවා. ගීතයේ ලයනල් ගෙන් ගීතවත් කරදයට පත්වෙන මාලිනීව ගාමිණී ගීතයෙන් බේරගන්නවා. තිරයේ ගාමිණී කරන්නේ, ඇත්ත ජීවිතේ ජෝති කරපු දේ. තිරයේ වීරයා වුණේ ගාමිණී. ඇත්ත ජීවිතේ වීරයා වුණේ ජෝති. ඒත් තිරයේ වීරයා ගේ වචන ගැයුවේත් ජෝති. “ආදර හිත නිසලයි” කියලා ගාමිණී ගේ මුවින් කියැවෙන්නේ ජෝති ගේ හඬින්. ඒ කියන්නේ ජෝති තමන් ගේ ම හඬින්, තමන් කරපු දේම, ගාමිණී කරපු දෙයක් විදිහට ගයනවා. මේකට වඩා ලොකු උත්ප්‍රාසයක් ලංකාවේ සිනමාවේ තවත් නෑ. අන්තිමට චිත්‍රපටයේ දී විලන් වුණු ලයනල් මාලිනීව පැහැරගෙන ගිහින් ඇයට අතවර කරනවා. ගාමිණී ඇයව බාරගන්නවා. විලන් තමන් කළ වැරදි දෙයින් පසුතැවිලි වෙලා පරාද වෙනවා. තිරයේ දී වැරදි කරපු කෙනා පසුතැවිලි වෙනවා. ඇත්ත ජීවිතේ සාදයේ දී එහෙම පසුතැවිල්ලක් වුණේ නෑ. ඒ වෙනුවට ජෝතිව සහ මාලිනීව ටීම් එකෙන් අයින් කළා. තිරයේ පෙන්නපු සදාචාරය, තිරයෙන් පිටිපස්සේ පිළිපැද්දේ නෑ. තිබුණේ නෑ.

ගාමිණී - ජෝති සිනමා සුසංයෝගයේ අවසානය

මේ අප්‍රසිද්ධ සාදය නිසා තමයි ගාමිණී - ජෝති සිනමා සුසංයෝගය බිඳුණේ. ජෝතිට තිබුණු විලන් චරිතයට ලයනල් ආවේ ඒ නිසයි. ගාමිණී වෙනුවෙන් මිල්ටන් ආවේ ඒ නිසයි. 'සැණකෙළිය', 'නිල්ල සොයා' ඉඳලා 'යළි හමුවෙන්නයි' දක්වා ම ගාමිණී - මිල්ටන් යුගයක් ආවේ ඒ නිසයි. සේනගේ “චිරාගත ජනප්‍රියත්ව රටාව” හැදුණේ ඒ නිසයි. ඒ වගේම ගාමිණී - මාලිනී තිර පෙම්වතුන් විදිහට ආයෙත් එකට ආවෙත් නෑ. ඒ දෙන්නා අනූ ගණන් වනතුරු චිත්‍රපට කරන්නේ නෑ. ඒ හිස්තැනට ආවේ විජය - මාලිනී යුගලය. විජය ආවේ දුරින් ඉන්න Star කෙනෙක් විදිහට නෙවෙයි, මිනිස්සුන්ට ලංවෙන Star කෙනෙක් විදිහට. ඒ නිසා විජය ගාමිණීව අභිභවනවා. කස්තුරි කියන්නේ ඇහැට පේන්නේ නැති, ඒත් සුවඳින් මුළු ලෝකයම හොල්ලන දෙයක්. ජෝති ගේ හඬත් ඒ වගේ. පේන්නේ නෑ, ඒත් නැතුව බෑ. සාදයේ දී ඒ සුවඳ නැති කළා. ගීතයේ දී ඒ සුවඳම තමයි වීරයාව මතු කළේ.

ජෝති ව්‍යුහයට විරුද්ධව…

ලංකාවේ 70 දශකයේ සිනමාවේ බලය හැදුණේ ත්‍රිත්ව සම්බන්ධයකින්. අධ්‍යක්ෂක - නිෂ්පාදක - තරු නළුවා (star) විදියට. මේ තුන්දෙනා තමයි ටීම් එක හදන්නේ. සේන - ගාමිණී කියන්නේ ඒ ටීම් එකේ හරය. ටීම් එකේ නීතිය තමයි: “ඇතුලේ මොන වැරැද්ද වුණත්, එළියට පෙන්නන්නේ එකමුතුකම.” කස්තුරි සුවඳ පාටියේ දී සේන මාලිනීට සමීප වෙන්න හදනකොට, ඒක තනිකරම පෞද්ගලික දෙයක් නෙවෙයි. ඒක තමයි බලය පෙන්වීම. “මම අධ්‍යක්ෂක, මට පුළුවන්” කියන පණිවිඩය. මාලිනී ඒක ප්‍රතික්ෂේප කරනකොට, ඇය ප්‍රතික්ෂේප කරන්නේ මිනිහෙක්ව නෙවෙයි, ඒ බල ව්‍යුහයම යි. ජෝති මැදිහත් වෙන්නේ ඒ බල ව්‍යුහයට විරුද්ධව. “මචං මාලිනීට ඉන්න දීපන්” කියන්නේ, බලවතාට “නවතින්න” කියන එක. ඒක තමයි බල ව්‍යුහයට දරාගන්න බැරිම දේ.

ගාමිණී සේනගේ පැත්ත ගන්නේ ඒ නිසයි. ඔහු දන්නවා, තමන් ජෝතිගේ පැත්ත ගත්තොත් තමන් ගේ Star බලයත් කඩාවැටෙනවා කියලා. බලය රැකගන්න, මේ වගේ දේවල් බිලි දෙනවා. ඒ නිසා ජෝති ව අයින් කරනවා, මාලිනී ව අයින් කරනවා, මිල්ටන් ව ගේනවා. බල ව්‍යුහය තමන්ට අභියෝග කරපු දෙන්න ම ඉවත් කරලා, තමන්ට අනුකූල කෙනෙක්ව දානවා. ඒක තමයි ඇත්ත බල දේශපාලනය. මේක මිනිස්සු තුන්දෙනෙකු ගේ මනසේ ගැටුමක් වගේ දෙයක්. ගාමිණි/මාලිනී/ජෝති කියන තුන්දෙනා මේ බල දේශපාලනයට හසුවන්නේ මේ නිසා.

ගාමිණී - අනන්‍යතාව නැතිවීමේ බිය

ගාමිණී ගේ මුල්කාලීන ජනප්‍රිය අනන්‍යතාව හැදිලා තිබුණේ කාරණා දෙකකින්: ඔහු ගේ මුහුණ + ජෝතිගේ හඬ. ඔහු දන්නවා තමන් තනියම සම්පූර්ණ නෑ කියලා. ඒක තමයි ඔහු ගේ ලොකුම අනාරක්ෂිත බව. ඒ නිසා ඔහුට ජෝතිව තමන්ට වඩා ඉහළට යන්න දෙන්න බෑ. ජෝතිව පිළිගත්තොත්, “ගාමිණී කියන්නේ ජෝති ගේ හඬ නැතුව බෑ” කියලා සමාජය දැනගනී කියලා ඔහු බය වුණා. ඒ බය තමයි “සමාජ තත්ත්වය නඩත්තු කිරීම” වෙනුවෙන් ගාමිණීව පොළඹවන්නේ.

ජෝතිපාල - අසම්පූර්ණ වූ පිළිගැනීමේ වේදනාව

ජෝතිපාල ගේ මනසේ තිබුණේ “මාව ඇහෙනවා, ඒත් මාව පේන්නේ නෑ” කියන වේදනාව. ඔහු ලක්ෂ සංඛ්‍යාත මිනිස්සුන් ගේ හදවතේ හිටියා, ඒත් පෝස්ටරේ ඔහු හිටියේ නෑ. ඒ හිස්කම පුරවන්න ඔහු කළේ මිනිස්සුන්ට බොක්කෙන්ම ළං වෙන එක. දුප්පතාටත්, පොහොසතාටත් එක විදිහට කතා කරන එක. ඒක තමයි ඔහු ගේ මනෝ ආරක්ෂාව. සාදයේ දී ඔහු මාලිනී වෙනුවෙන් කතා කළේ, තමන්ටත් ලැබුණේ නැති ගෞරවය වෙන කෙනෙකුටවත් අහිමි වෙන්න දෙන්න බෑ කියන හැඟීමෙන්.

මාලිනී - ශරීරය සහ ගෞරවය

මාලිනීගේ ශරීරය ඒ කාලේ සිනමාවේ ලොකුම “වස්තුවක්” වුණා. හැමෝටම ඕන වුණේ ඒක දකින්න. ඒත් ඇයට ඕන වුණේ තමන් ගේ ශරීරය නෙවෙයි, තමන්ගේ වෘත්තීය ගෞරවය පිළිගන්නවා ද කියන එක. ඇය “බැහැ” කිව්වේ ඒ නිසයි. ඒ “බැහැ” කියන එක තමයි ලංකාවේ කාන්තාවක් බල ව්‍යුහයට කියපු ලොකුම “No” එකක්.

ඊට පස්සේ ඇය විජය එක්ක ළං වෙන්නේ, ගාමිණී - සේන ටීම් එකේ තිබුණ බලය වෙනුවට, විජය ළඟ තිබුණ සුහදත්වය නිසා. සිනමාව කියන්නේ සංකේත භාෂාවක්. මේ තුන්දෙනා පවා සංකේතීයව ගොඩනැගෙන්නේ මේ වගේ. සිනමා ප්‍රතිරූප හැදුණේ මේ විදියට.

ගාමිණී ගේ මුහුණ = සංකේතය (නූතන, බලවත්, පිරිමි)

ජෝති ගේ හඬ = සංකේතය (හැඟීම, ආදරය, අවංකකම)

මාලිනී ගේ ශරීරය = සංකේතය (ආශාව, ලස්සන, ප්‍රෙක්ෂක ෆැන්ටසිය)

ඇත්ත ගැටුම දෙස බැලීමේ සමාජ බිය

‘කස්තුරි සුවඳ’ කියන නම ම සංකේතයක්. කස්තුරි කියන්නේ ඇහැට පේන්නේ නැති, ඒත් සුවඳින් මුළු ලෝකය ම හොල්ලන දෙයක්. ඒ වගේ තමයි ජෝතිගේ හඬ. පේන්නේ නෑ, ඒත් නැතුව බෑ. ජෝතිව අයින් කරලා මිල්ටන්ව ගෙනාවම, සංකේතය වෙනස් වුණා. මිල්ටන්ගේ හඬ තමයි “නැවුම්, තරුණ, වෙනස්” කියන සංකේතය. ඒක තමයි 'නිල්ල සොයා' එකේ දි වැඩ කළේ. ප්‍රේක්ෂකයාට දැනුණේ “ගාමිණී අලුත් වෙලා” කියලා. ඇත්තට ම අලුත් වුණේ ගාමිණී නෙවෙයි, ඔහු පිටිපස්සේ තිබුණු සංකේතය. විග් එක තවත් සංකේතයක්. “විග් දැම්මා නිසා හඬ මාරු වුණා” කියන කතාවෙන් සමාජය කිව්වේ, “පේන දේ වෙනස් වුණාම, ඇහෙන දේත් වෙනස් වෙන්න ඕන” කියලා. ඒක බොරු තර්කයක්. ඒත් සමාජය ඒක පිළිගත්තා, මොකද ඇත්ත ගැටුම දිහා බලන්න සමාජයට බය නිසා. නිල්ල සොයා එකේ ‘කෙල්ලේ මා ආදර කෙල්ලේ’ ගීතය ගාමිණි ගයන්නේ විග් ඒක නැති අනිත් චරිතයේ දී. ඒක ඇත්තටම ජෝති හඬ අවශ්‍ය මොහොතක්.

ගෝත්‍රිකත්වයේ උපරිම ය

ලංකාවේ ගම්වල තියෙනවා “යාලුකම / නෑකම” කියන සංකල්පය. සිනමාවේ ටීම් එක තමයි මේ කාලයේ දී නූතන නෑකම වුණේ. සේන - ගාමිණී කියන්නේ එකම “ගෝත්‍රයේ” අය. ජෝති, මාලිනී කියන්නේ ඒ ගෝත්‍රයට පිටින් හිටපු, ඒත් ගෝත්‍රයට නැතුවම බැරි වුණ අය. මානව විද්‍යාවේ කියන විදිහට, ගෝත්‍රයක් තමන්ගේ නීතිය කඩන කෙනෙක්ව “පිටුවහල්” කරනවා. ජෝති සහ මාලිනීව ඔවුන් පිටුවහල් කළේ ඒ විදිහට. ජෝති කියන්නේ “ආගන්තුකයා” (Insider-Outside) ඔහු සිනමාව ඇතුළෙ හිටියා, ඒත් සිනමාවේ බලයට ඔහු අයිති වුණේ නෑ. ඒ නිසා ඔහුට පුළුවන් වුණා ඇත්ත කතා කරන්න. ඒක තමයි ගෝත්‍රයට දරාගන්න බැරි වුණේ. ඒ වගේම මේක තමයි “බොක්ක” සංස්කෘතිය vs “තත්ත්වය” සංස්කෘතිය කියන ලංකාවේ සදාකාලික ගැටුම. ජෝති නියෝජනය කළේ “බොක්ක” සංස්කෘතිය. ගාමිණී නියෝජනය කළේ “තත්ත්වය” සංස්කෘතිය. ලංකාවේ මිනිස්සු “බොක්ක” එකට ආදරේ කළත්, අන්තිමට “තත්ත්වය” ඒකට ම යටත් වෙනවා.

විප්ලවීය පණිවුඩයේ අඳුරු පැතිකඩ

ඒ වගේම කස්තුරි සුවඳ චිත්‍රපටය අන්තිමට විලන් චරිතය කළ ලයනල් මාලිනීව පැහැරගෙන ගිහින් ඇයට අතවර කරනවා. ඊට පස්සේ ගාමිණී ඇයව බාරගන්නවා. මේක අදටත් ලංකාවේ තියෙන ලොකුම මානව විද්‍යාත්මක ප්‍රතිවිරෝධයක්. තරුණියකගේ වටිනාකම = ඇයගේ ශරීරයේ පිරිසිදුකම කියන එක. ඒ කාලේ සමාජය කිව්වේ, “දූෂණයට ලක්වුණු ගැහැනියක්ව කවුරුවත් බාරගන්නේ නෑ, ඇයව ඒ මිනිහාට ම අයිති වෙන්න ඕන” කියලා. ඇවරේජ් සිනමා කතිකාව වුණත් මේ මතය සමාජයේ ස්ථාපිත කළා. කස්තුරි සුවඳ ඒ මතයට විරුද්ධව තමයි අන්තිමට “ගාමිණී ඇයව බාරගන්නවා” කියලා පෙන්නන්නේ. ඒක ඒ කාලේ හැටියට ලොකු විප්ලවීය පණිවිඩයක්. ඒත් මෙතන තියෙන ගැටලුව මොකක්ද? ඇයව බාරගන්නේ ගාමිණී. ඒ කියන්නේ ඇයගේ වටිනාකම ආයෙත් තීරණය කරන්නේ පිරිමියෙක්. “මම බාරගන්න නිසා ඔයාට වටිනාකමක් තියෙනවා” කියන එක. ඇය තනියම තමන්ගේ වටිනාකම හදාගන්නේ නෑ. ඒක තමයි ඒ කාලේ පිරිමි බල ව්‍යුහය. ගැහැනිය ගේ ගෞරවය රැකෙන්නේ පිරිමියකු ගේ අනුමැතියෙන්. පාටියේදීත් වුණේ ඒකම යි. මාලිනීගේ “බැහැ” එකට වටිනාකමක් තිබුණේ ජෝති ඒකට සහය දුන් නිසා විතරයි. ගාමිණී සහ සේන ඒක පිළිගත්තේ නෑ.

උපුටා ගත්තේ Shiranjith Nishantha Gammudhuwattaගේ face book පිටුවෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...