කාලයක සිට මා සිතමින් සිටි, ප්‍රශ්න කරමින් සිටි අදහසක් මෙසේ සටහන් කරමි.
අප වේදිකා නාට්‍යයක් හෝ වෙනත් සජීවී ප්‍රසංගයක් නැරඹීමට ගොස් එය අවසන් වූ සැණින් ප්‍රේක්ෂකාගාරයෙන් නැගිට පිටව යන්නේ නැත. එයට සම්බන්ධ වූ ශිල්පීන් නැවත වේදිකාවට පැමිණෙන තුරු ප්‍රේක්ෂකාගාරයේ රැඳී සිටියි; අත්පොළසන් දෙයි; ඔල්වරසන් දෙයි; ඇතැම් විට විසිල් ගසමින් පවා අපේ සතුට ප්‍රකාශ කරයි. ඒ සියල්ල තුළ තිබෙන්නේ අපට රසවින්දනයක්, අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් කැපවුණු නිර්මාණකරුවන්ට සහ අනෙකුත් ශිල්පීන්ට දක්වන ගෞරවය සහ කෘතවේදීත්වයයි.
නමුත් ඇයි අපි සිනමා නිර්මාණයක් නරඹා අවසානයේ එසේ නොකරන්නේ…?
නොදකින ශිල්පීන් රැසක ගේ ශ්‍රමය
වේදිකා නාට්‍යයක දී හෝ වෙනත් සජීවී ප්‍රසංගයක දී මෙන්, චිත්‍රපටය නිර්මාණය කළ ශිල්පීන් අපේ අත්පොළසන් පිළිගැනීමට සිනමා ශාලාවේ නැති බව සැබෑ ය. නමුත් චිත්‍රපටය අවසානයේ නාමාවලිය සම්පූර්ණයෙන් තිරගත වී අවසන් වන තුරු සිනමා ශාලාවේ රැඳී සිටීම, ඒ නිර්මාණය වෙනුවෙන් කැපවුණු සියලු දෙනාට අපේ ගෞරවය සහ ඇගයීම ප්‍රකාශ කළ හැකි, සරල නමුත් අර්ථවත් ක්‍රියාවක් බව මගේ විස්වාසයයි.
මොකද චිත්‍රපටයක් යනු තනි පුද්ගලයෙකුගේ වික්‍රමයක් හෝ ජයග්‍රහණයක් නොවෙයි. විශේෂයෙන් අප තිරය මත දකින රංගන ශිල්පින් හෝ ප්‍රමුඛතාව ලබා දී අගය කරන අධ්‍යක්ෂකවරයා, නිෂ්පාදකවරයා, කලා අධ්‍යක්ෂකවරයා, සංගීත අධ්‍යක්ෂකවරයා යනාදි ප්‍රධාන භූමිකාවල දායකත්වයෙන් පමණක් නිර්මාණය කළ හැකි දෙයක් නොවෙයි. අප දකින සහ නොදකින ශිල්පීන් රැසක ගේ ශ්‍රමය, දක්ෂතාව, කැපවීම, සිහින සහ බලාපොරොත්තු එක්ව ගොඩනැගෙන සාමූහික නිර්මාණයකි. අප චිත්‍රපටයක් නරඹා අවසන් වූ පසු බොහෝ විට මතකයේ රඳවා ගන්නේ තිරය මත දුටු මුහුණු කිහිපයක් පමණයි. නමුත් එම මුහුණු, රූප සහ කතාව අප වෙත ගෙන ඒමට තිරයෙන් පිටුපස තවත් බොහෝ මිනිසුන් වැඩ කළ බව අමතක නොකළ යුතුයි.
නිර්මාණ කාර්යයේ කැමරාව පිටුපස කතා

ඒ ඒ චිත්‍රපට නිෂ්පාදනයේ වැඩ පරිමාව අනුව, විශාල ශිල්පින් ප්‍රමාණයක් තම දැනුම, ශ්‍රමය, කාලය යොදවයි. ඇතැම් විට එය පුද්ගලයන් 60 දෙනෙකු විය හැකියි. තවත් විටෙක එය පුද්ගලයන් 200 දෙනෙකුගේ හෝ ඊටත් වැඩි පිරිසකගේ දායකත්වය විය හැකියි. අසීමිතව කායිකව වෙහෙස වී වැඩ කළ දිගු දවස්, නිදි වර්ජිතව ගත කළ රාත්‍රීන්, මුහුණ දුන් අභියෝග, ජයග්‍රහණ, අනතුරු, ඇතැම් අවස්ථාවල පෞද්ගලික ජීවිතයෙන් කළ කැපකිරීම් පවා මේ නිර්මාණ කාර්යයේ කැමරාව පිටුපස කතාවලට අයිතියි. බොහෝ අවස්ථාවල ඒවා කිසිවකුගේ අවධානයට හෝ ඇගයීමට ලක් නොවූ කරුණුයි.
එමනිසා මම සිතන්නේ, චිත්‍රපටයක අවසාන නාමාවලිය යනු හුදෙක් නම් ලැයිස්තුවක් නොවෙයි. එය, ඒ නිර්මාණය යථාර්ථයක් බවට පත්කිරීමට දායක වූ මිනිසුන්ගේ ශ්‍රමයට සහ නිර්මාණාත්මක දායකත්වයට හිමිවන පිළිගැනීමක් සහ ඇගයීමක් බව මගේ අදහසයි.
ඉතින්, ඒ ශිල්පීන් වෙනුවෙන් අප ගේ කාලයෙන් තවත් විනාඩි කිහිපයක් වෙන් කර නාමාවලිය අවසන් වන තුරු සිනමා ශාලාවේ රැදී සිට, අත්පොළසන් නාදයකින් සතුට ප්‍රකාශ කිරීමට හැකි නම් කොතරම් අගනේදැයි මට සිතෙයි...




