2025 වසරේ ප්රකාශිත කෘති අතරින් ප්රශස්තම බෞද්ධ නවකතාව ලෙස අජන්ත සෙනෙවිරත්න ලියූ “පරපුරක ජීවක” කෘතිය බෞද්ධාලෝක සාහිත්ය උලෙළේදී සම්මානයට පාත්ර වී තිබේ.
මෙය බුදුන් වහන්සේටත් වෙදකම් කළ ජීවක කෝමාරභච්ච වෙදැදුරුතුමා ප්රස්තුත කරගත් නවකතාවකි. ද්විභාෂා ලේඛනයේ යෙදෙන සම්මානිත ලේඛක අජන්ත සෙනෙවිරත්න විසින් මෙම පොත “Buddha’s Physician” නමින් ඉංග්රීසියෙන් ද ලියා පළ කොට තිබේ. මෙම පොත් දෙක “රුසිරු ප්රකාශකයෝ” විසින් ප්රකාශයට පත් කරන ලදී.

ශාරීරික සුවය සහ අධ්යාත්මික පිබිදීම යා කළ පාලම
මහා ඉතිහාසයක් ඇති ආයුර්වේදය තුළ ජීවක කෝමාරභච්ච යනු යුග ගණනාවක් එකට යා කරන සවිමත් පුරුකකි. ජීවක චරිතය තුළින් විද්යමාන වන ආයුර්වේද වෙදකමේ මූලික සිද්ධාන්ත වර්තමානයට ගැළපීමට ඇති උවමනාවත්, ඔහු නිසා ආයුර්වේද වෛද්ය ක්රමයට ලැබෙන පූජනීය බවත් නිසාම එතුමන් වටා මෙම පොත ලියූ බව අජන්ත සෙනෙවිරත්න පවසයි.
ජීවක යනු හුදෙක් වෛද්යවරයෙක් පමණක්ම නොවේ; ඔහු ශාරීරික සුවය සහ අධ්යාත්මික පිබිදීම එකට යා කළ පාලමකි. වර්තමාන සමාජය තුළ “ජීවක” වෙදැදුරෙක් සොයා කෙරෙන ගවේෂණයක් ලෙසින් මෙම නවකතාව දිග හැරේ.

ලෝකයම වන්දනා කරන ‘වෛද්ය රජු’
සියවස් ගණනාවක් ගෙවී ගිය ද ජීවකගේ නම අද ද අප සිහිපත් කරනුයේ ආශ්චර්යවත් මිනිසෙකු ලෙසය. කටු චිකිත්සාව වැනි එකල ඉන්දියානුවන් නොදැන සිටි ප්රතිකාර ක්රම, වර්තමානයේදී සලකනුයේ මෙම ශ්රේෂ්ඨ වෛද්යවරයාගේ සොයා ගැනීමක් ලෙසිනි.
තායිලන්තයේ සම්බාහන චිකිත්සකයෝ ජීවක කෝමාරභච්චයන් තායි සම්බාහනයේ පියා ලෙස සලකති. චීන ජාතිකයන් ඔහුව සලකනු ලබන්නේ සියලු පුරාණ වෛද්යවරුන් අතරින් ශ්රේෂ්ඨතමයා ලෙසය. සංස්කෘත සහ ටිබෙට් අනුවාදයන්ට අනුව, ජීවක විසින් සිදු කළ වෛද්ය ප්රාතිහාර්යයන් හේතුවෙන් ඔහුව "වෛද්ය රජු" ලෙස තුන් වතාවක් එවකට රාජසභාව විසින් පිළිගෙන නම් කර තිබේ. එබැවින්, "තෙවරක් ඔටුනු පැළඳි වෛද්යවරයා" ලෙස ද ඔහුව හැඳින්වේ.
අජන්ත සෙනෙවිරත්නගේ සාහිත්ය චාරිකාව
අජන්ත සෙනෙවිරත්න ලියූ බොහෝ පොත් අතර ‘රාහුලයෙක් උපන්නා’, ‘පුත් පෙමෙන්’, ‘අරහත් තෙරණි කවිතා’, ‘සිත මනස සහ නොමියෙන මම’, ‘කෘත්රිම බුද්ධියෙන් නිවන් දැකීම’ ආදී බෞද්ධ සාහිත්ය කෘති පෙළක්ම තිබේ.




