BREAKING
Top Ad
පුවත්

BMICH ‘යුද සාහිත්‍ය කුටිය’: ගිනි අවි ප්‍රදර්ශනය හා යුද කෘති ප්‍රශ්නසහගත ද?

T

The Leader

October 4, 2024 • 10:40 AM

BMICH ‘යුද සාහිත්‍ය කුටිය’: ගිනි අවි ප්‍රදර්ශනය හා යුද කෘති ප්‍රශ්නසහගත ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව වසර 30කට අධික කාලයක් සිවිල් යුද්ධයකින් පීඩා විඳි රටකි. එවැනි රටක යුද සාහිත්‍යයක් නිර්මාණය වීම සාමාන්‍ය තත්ත්වයකි.
  • එම ශානරය යටතට, යුද්ධය, සොල්දාදුවන්, ප්‍රතිපාර්ශවය මෙන් ම යුද්ධය නිසා ඇති වන බලපෑම් පිළිබඳව ලියැවුණු කෘති අයත් වේ.
  • මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව ‘යුද සාහිත්‍යය’ යන ලේබලයෙන් යුත් කුටියක් කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී ඇති බව දක්නට ලැබේ.
  • එම කුටිය අවට තබා ඇති තුවක්කු ආකෘති ආදිය නිසා යුද්ධය පිළිබඳ ආවර්ජනයක් ද සිදු කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):


යුද සාහිත්‍යය යනු සාහිත්‍යමය ශානරයක් ලෙස පිළිගැනේ. එම ශානරය යටතට, යුද්ධය, සොල්දාදුවන්, ප්‍රතිපාර්ශවය මෙන් ම යුද්ධය නිසා ඇති වන බලපෑම් පිළිබඳව ලියැවුණු කෘති අයත් වේ.

ශ්‍රී ලංකාවේ ද යුද්ධය සම්බන්ධයෙන් ග්‍රන්ථ රැසක් රචනා වී තිබේ.

මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව ‘යුද සාහිත්‍යය’ යන ලේබලයෙන් යුත් කුටියක් කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී ඇති බව දක්නට ලැබේ.

එම කුටිය අවට තබා ඇති තුවක්කු ආකෘති ආදිය නිසා යුද්ධය පිළිබඳ ආවර්ජනයක් ද සිදු කෙරේ.

මේ පිළිබඳව විවිධ අදහස් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබිණි.


jgyweue4

AWE43

SE545

මොකක් ද මේ ‘යුද සාහිත්‍යය’ කුටිය?

මෙය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට අයත් කුටියක් නොවන බව පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් දිනේෂ් කුලතුංග බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව වෙන ම කුටියක එම පොත් අලෙවි සල පවත්වාගෙන යන බව ය.
SXERT454JDSඡායාරූප මූලාශ්‍රය, JDS
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ කුටියක් ඉල්ලා සිටිය ද, එය නොලැබුණු බව ඔහු පැවසීය.

“ඒ කුටිය අපේ පොත් ප්‍රදර්ශනයට සම්බන්ධ නැහැ. ඒක යුද්ධ හමුදාව වෙන ම අරගෙන පවත්වාගෙන යන්නේ. යුද්ධ හමුදාව අපට දැනුම් දුන්නේ, ඔවුන් මේ කුටිය හරහා රණවිරුවන් ලියපු පොත් අලෙවි කරන බව,” දිනේෂ් කුලතුංග පැවසීය.

මේ අතර, බීබීසී සිංහල සේවය කළ විමසීමකදී, යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර ප්‍රකාශ කළේ, යුද්ධ හමුදා සාමාජිකයින් රචනා කරන ලද ග්‍රන්ථ මෙම කුටිය තුළ අලෙවි කෙරෙන බව ය.

SERT4JDSඡායාරූප මූලාශ්‍රය, JDS
“මෙතන හිටපු යුද්ධ හමුදා සාමාජිකයින් 6 දෙනෙකුගේත්, සේවයේ ඉන්න 9 දෙනෙකුගේත් පොත් තියෙනවා. ඔක්කොම ලේඛකයින් 15 දෙනෙක්. ඒ ඔක්කොම යුද්ධ හමුදා සාමාජිකයින්,” ඔහු තහවුරු කළේ ය.


යුද සාහිත්‍යය යනු කුමක් ද?

ඉහත දක්වා ඇති පරිදි යුද සාහිත්‍යය යනු යුද්ධයක සියලු පාර්ශව නියෝජනය වන පරිදි මධ්‍ය ලක්ෂයක සිට කරන ලද සාහිත්‍ය නිර්මාණ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය, ප්‍රවීණ ලේඛක ලියනගේ අමරකීර්ති පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ යුද සාහිත්‍යය ලෙස රචනා වී ඇති බොහෝ කෘති සාහිත්‍යමය රචනා ලෙස පිළිගත නොහැකි බව ය.

“ඒ කෘති ගොඩක් ඒවා ලියලා තියෙන්නේ, හමුදාවට සම්බන්ධ අයමයි. ඒ නිසා ඒක පාර්ශවීය දෘෂ්ටියකින් තමයි ඔවුන් ඒවා රචනා කරලා තියෙන්නේ. සාහිත්‍යමය රචනාවක් විදිහට පිළිගැනෙන්නේ, සියලු පාර්ශව නියෝජනය කරමින් මැද තැනක ඉඳන් මධ්‍යස්ථව කරන නිර්මාණයක්. මම කියවලා තියෙන ශ්‍රී ලංකාවේ යුද්ධය සම්බන්ධ නිර්මාණ සියල්ල ම වගේ ඒක පාර්ශවික යි. ඒකෙන් උත්කර්ෂයට නංවන්නේ, හමුදාව පමණ යි. ඒක සාර්ථක සාහිත්‍ය නිර්මාණයක ලක්ෂණයක් නෙවෙයි,” මහාචාර්ය ලියනගේ අමරකීර්ති පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, දියුණු සාහිත්‍යයක් ඇති රටවල යුද්ධ සම්බන්ධයෙන් ග්‍රන්ථ රචනා කරන හමුදා සාමාජිකයින්, කෘතියක් රචනා කිරීමට පෙර සාහිත්‍යය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන බව ය.

“යුද්ධය සම්බන්ධයෙන් සාර්ථක නිර්මාණයක් කරන්න නම් සාහිත්‍යය කියන දේ නිවැරදිව අධ්‍යයනය කළ යුතු යි. එතකොට තමයි, ලේඛකයාට මධ්‍යස්ථභාවය ඇති වෙන්නේ. ලේඛකයා යුද්ධ කරද්දී සතුරාට වෛර කළත්, යුද්ධය ගැන පොතක් ලියද්දී ඒ වෛරය හිතින් ඉවත් කර ගත යුතු යි. ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් මම නම් තව ම දැකලා නැහැ.”


‘සතුරුකම්, ලේ වැගිරීම් උත්කර්ෂයට නැංවීම වැරදි යි’

මුදල් ඉපයීම, ප්‍රසිද්ධිය ලබා ගැනීම ආදී විවිධ අරමුණු වෙනුවෙන් “සතුරුකම්, ලේ වැගිරීම් උත්කර්ෂයට නැංවීම අනුමත කළ නොහැකි බව" ලේඛක කෞෂල්‍ය කුමාරසිංහ පවසයි.


ඔහු ප්‍රකාශ කළේ, යුද්ධය අවසන් වී වසර 15ක් ගතවී තිබියදීත්, යම් ජන කොටසකට එරෙහිව සතුරු ආකල්ප ගොඩනැගෙන ආකාරයේ කෘති රචනා කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ය.

“ඔය සිවිල් යුද්ධය ඇති වුණෙත්, ජන කොටස් අතර සතුරුකම් නිර්මාණය වුණ නිසා. ඉතින් දැන් කරන්න ඕන සතුරුකම් නැති කරගෙන සෑම ජන කොටසකට ම සංහිඳියාවෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇති කරන එක. ඒ සඳහා ලේඛකයින්ට ලොකු වගකීමක් පැවරෙනවා.”
 
 
යුද්ධ හමුදාවෙන් නියාමනයක් සිදුවනවා ද?
යුද්ධ හමුදා සාමාජිකයින් රචනා කරන පොත් මුද්‍රණය කිරීමට පෙර නියාමනයකට ලක් කරනවා ද? යන්න පිළිබඳව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාරගෙන් විමසීමක් කළෙමු.

“ජනමාධ්‍ය කමිටුව හරහා තමයි, පොත් මුද්‍රණය සඳහා අවසර දීමේ කටයුතු සිද්ධ වෙන්නේ. අවශ්‍ය වුණොත් ප්‍රවීණයෙකු හරහා පොත් නියාමනය කරනවා,” ඔහු පැවසීය.


‘යුද සාහිත්‍ය නිර්මාණ කරනවා නම් දෙමළ ජනතාවගේ හඬටත් ඇහුම්කන් දිය යුතු යි’
 
යම් ලේඛකයෙකු ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයට අදාළව කෘතියක් රචනා කරන්නේ නම්, ඔහු හෝ ඇය “අනිවාර්යයෙන් ම දෙමළ ජනතාවගේ හඬට ද ඇහුම්කන් දිය යුතු,” බව ලේඛිකා තරංගනී රෙසිකා ප්‍රනාන්දු පවසයි.

ඇය ප්‍රකාශ කළේ, හමුදාවේ දෘෂ්ටි කෝණය මත පදනම්ව කෙරෙන නිර්මාණ සාහිත්‍ය නිර්මාණ ලෙස සැලකිය නොහැකි බව ය.

“ඒක පාර්ශවීය දෘෂ්ටි කෝණයක් තියෙන ලියවිලි සාහිත්‍යමය නිර්මාණ ගණයට සැලකෙන්නෙ නැහැ. ඒවා හුදු රචනා විතර යි.”


‘භයානක තත්ත්වයක්’
මහාචාර්ය ලියනගේ අමරකීර්ති පෙන්වා දෙන්නේ, යුද්ධය පිළිබඳ රචනා කරන කෘති හරහා යුද්ධයේ ව්‍යසනකාරී බව පිළිබඳව පාඨකයින්ට අවබෝධයක් ලබා දිය යුතු බව ය.

“පොතක් කියවීමෙන් පස්සේ අනෙක් පාර්ශවය ගැන වෛරයක් ඇති වෙන විදිහේ අන්තර්ගතයක් තිබීම ඉතා ම භයානක යි. ඒකෙන් වෙන්නේ සමගියක් ගොඩනගාගෙන සංහිඳියාවක් ඇති කළ යුතු රටක ආයෙත් සතුරුකම් වර්ධනය වෙන එක. ඒක වෙන්න ඉඩ දෙන්න හොඳ නෑ.”


‘පාලක මණ්ඩලයක් අවශ්‍ය යි’

මහාචාර්ය ලියනගේ අමරකීර්ති පෙන්වා දුන් පරිදි ජන කොටස් අතර යළිත් සතුරුකම් වර්ධනය වීමට ඉඩ නොතැබීමට නම් යුද්ධය ආශ්‍රිත කෘති මුද්‍රණය කිරීමට පෙර ඒවා විශ්ලේෂණය කිරීමට පාලක මණ්ඩලයක් පිහිටුවිය යුතු බව ලේඛක කෞෂල්‍ය කුමාරසිංහ යෝජනා කරයි.

“මේ වගේ පොත් මුද්‍රණය කරන්න කලින් පාලක මණ්ඩලයක් හරහා නියාමනය කළ යුතු යි. නැත්නම්, සිංහල සාහිත්‍යය විතරක් නෙවෙයි, රටත් ආයෙත් අගාධයට යාමේ අවදානමක් තියෙනවා.”

(BBC සිංහල සේවය)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...