BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

Brigitte Bardot; සුනඛ ප්‍රේමය පිටුපස වෛරයේ හැඩතල

T

The Leader

January 5, 2026 • 4:30 AM

Brigitte Bardot; සුනඛ ප්‍රේමය පිටුපස වෛරයේ හැඩතල  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිජිත් බාර්දෝ, දශක නවයක ජීවිතය අවසන් කළ බව නොදන්නා ලෝකයට විවරවුණු ඇස්ඇති සංස්කෘතික ජීවියෙක් සිටින්නට විදිහක් නැත.
  • මේ ලියන මොහොත නොහොත් 2025 අවුරුද්දේ අවසන් හෝරා දෙක තුන වන විට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් එම බ්‍රිජිත් බාර්දෝ අවසන් මොහොතට සහභාගී නොවන බව නිවේදනය කර තිබේ.
  • ඒ අනුව සාන්ත ත්‍රොපෙස් හි දී  පුද්ගලික සංසිද්ධියක්ව පැවැත්වෙන අවමඟුල් උළෙලේ, බ්‍රිජිත් බාර්දෝගේ මෙන්ම සිය පවුලේ දේශපාලන අදහස නියෝජනය කරමින් පෙනී සිටිනු ඇත්තේ සුප්‍රකට අන්ත දක්ශිණාංශික ෆ්‍රන්ස බලකණුව මරීන් ල පෙන් ය.
  • නියුට්‍රල් වීමට විභවයක් ඇතැයි සැළකිය හැකි ඇතැම් චරිතයක් පැවසූයේ ෆ්‍රන්සයේ එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතම රංගන වේදියක් වනබැවින් ඇයට රාජ්‍ය ගෞරව දිම යුක්ති යුක්ත බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇගේ අවමගුල් උළෙල පැවැත්වෙන්නට නියමිතව ඇත්තේ එළඹෙන සතියේ ජනවාරි හත්වැනිදා ෆ්‍රන්සයේ සාන්ත ත්‍රොපෙස් හී දී ය. මේ ලියන මොහොත නොහොත් 2025 අවුරුද්දේ අවසන් හෝරා දෙක තුන වන විට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් එම බ්‍රිජිත් බාර්දෝ අවසන් මොහොතට සහභාගී නොවන බව නිවේදනය කර තිබේ. ෆ්‍රන්ස රජය අවමඟුල් උළෙලට කරගැසීමට දැක්වූ උනන්දුව නොහොත් නිල රාජ්‍ය උපහාරයක් පිළිබඳ අදහස බාර්දෝ පවුල විසින් ප්‍රතික්ෂේප කෙරුණි. ඒ අනුව සාන්ත ත්‍රොපෙස් හි දී  පුද්ගලික සංසිද්ධියක්ව පැවැත්වෙන අවමඟුල් උළෙලේ, බ්‍රිජිත් බාර්දෝගේ මෙන්ම සිය පවුලේ දේශපාලන අදහස නියෝජනය කරමින් පෙනී සිටිනු ඇත්තේ සුප්‍රකට අන්ත දක්ශිණාංශික ෆ්‍රන්ස බලකණුව මරීන් ල පෙන් ය.

 

මරින් ල පෙන් සමඟ සන් ත්‍රොපෙස් හි පිහිටි නිවසේ දී
බ්‍රිජිත් බාර්දෝ මිය ගිය මොහොතේ පටන් එම මළගම මුළුමනින් ම දක්ෂිණාංශික සහ වාමාංශික දේශපාලන විවාදයේ උණුහුමට නතුවිය. නියුට්‍රල් වීමට විභවයක් ඇතැයි සැළකිය හැකි ඇතැම් චරිතයක් පැවසූයේ ෆ්‍රන්සයේ එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතම රංගන වේදියක් වනබැවින් ඇයට රාජ්‍ය ගෞරව දිම යුක්ති යුක්ත බවයි. දක්ෂිණාංශික කඳවුර නියෝජනය කරන යූ.ඩී.ආර්. පක්ෂයේ ප්‍රධානී එරික් සියොත්තී, 'ල පෙන්' බලවේගය සමඟ එකතු වී පෙත්සමකට මුල පුරා තිබුණේ බ්‍රිජිත් බාර්දෝ ට සමස්ත ජාතියේ ගෞරවය හිම් විය යුතු බව අවධාරණය කරමිනි. බ්‍රිජිත්ගේ ජීවිත කාලය පුරා ම ඇය අතිශය විවෘතව ආසක්තව සිටියේ "අන්ත දකුණ" වෙත ය. ඉදින් ඇගේ මළගමට අදාල වමේ මැදිහත්වීම කොහොමත් අවශ්‍යයෙන් ම අතිශය පරිස්සම්සහගත විය යුතුවා මෙන් ම වමේ ස්තාවරය අවධාරණය කළ යුතු විය.

 

BB 55

සමාජවාදී පක්ෂයේ නායක ඔලිවියේ ෆාව්‍ර ප්‍රකාශ කළේ බ්‍රිජිත් යනු 'ස්තීර වශයෙන් ම අයිකොනික නිළියක්' වන නමුත් අවමඟුල් උළෙලකට ජාතියේ ගෞරවය හිමිවන්නේ ඔහු හෝ ඇය සමස්ත ජාතිය වෙනුවෙන් සිදු කර ඇති උත්තරීතර ජාතික මෙහෙවර පිළිබඳ තක්සේරුවකින් බව ය. එහිදී  ඔලිවියේ විසින් බ්‍රිජිත්ගේ ජාතිවාදී මෙන් ම සමරිසි විරෝධී භාවිතය සිහියට නඟන ලදි. කොටින්ම ඇය වාම විරෝධිනියක පවා වූවා ය. දක්ෂිණාංශය වෙත අන්තවාදී මාත්‍රාවකින් බැඳී සිටි ඇය ෂොන්-ලුක් මෙලොංෂොන් වැනි කෘතහස්ත වාම නායකයන් පවා පාච්චල් කරන තැනටම දාර්ශනිකව කුණු වී සිටියා ය. වරක් ඇය මෙලොංෂාන්ට කීවේ ‘’ඔහු ශාකභක්ෂකයකු වන බැවින් ඇය ඔහුට සුභ පතන බව ය. එ තැනින් නො නැවතුණු බ්‍රිජිත් බාර්දෝ මෙලොංෂොන්ට කීවේ ‘තමන්ගේ සත්ව සුබසාධන ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කරන්නේ නම් තමන් කොමියුනිස්ට්වාදියෙකුට ඡන්දය දීමට සූදානම් බව ය. මෙවන් පසුබිමක ඇගේ මළගම සැළවුණු තැන ඇතැම් වාමවාදීන් සතුට පළකළ බව ෆ්‍රන්ස දේශපාලන සන්දර්භය තුළ ඇත්තකි. ඇතැම් තැනක ඒ් ගැන කියැවුණේ  ‘ෆැසිස්ට්වාදිනියකගේ නික්මයාම’ ලෙසින් ය.

126576487

 

බ්‍රිජිත්ගේ දක්ෂිණාංශික ප්‍රේමය ලෝකයට විවෘත වන්නේ සැබැවින්ම ඇගේ දක්ෂිණාංශික ප්‍රේමවන්තයා බවට පත්ව ඉක්බිති 1992 සිට නිලවශයෙන් ඇගේ සැමියා වූ බෙර්නාර් දෝර්මල් හන්දා ය. දක්ශිණාංශික 'ජාතික පෙරමුණේ' පුරෝගාමියා වූ ෂොන්-මරී ල පෙන්ගේ නොහෝත මරින් ල පෙන්ගේ තාත්තාගේ උපදේශකයකු ලෙස දේශපාලන ක්‍රියාවලියට සක්‍රීයව දායක වූ බෙර්නාර් ගේ ආභාසය මත ඔවුන්ගේ පොදු දේශපාලන අභිලාෂය වෙනුවෙන් බ්‍රිජිත් බාර්දෝ තමන් එතෙක් උපයාගෙන තිබූ සමාජ සංස්කෘතික ප්‍රාග්ධනය මුළුමනින්ම ආයෝජනය කළා ය.

 

සංක්‍රමණික ප්‍රජාවට එරෙහි වෛරීභාවය තීව්‍රකරලන්නට මෙම සුනඛ හිතෛෂීවන්තිය පෙරමුණ ගත් අයුරු 'දෙවියන් දුන් තැනැත්තිය' ගේ ඉරොතිකය ගැන වසඟකාරී කතා ලියන ලියන්නන් දන්නේ නැත. එය බ්‍රිජිත් බාර්දෝ භීතිකාවක් තරම් දරුණුව ෆ්‍රන්සය වෙලාගෙන පැවතුණු දූලි පටලයකි. ඇගේ ජාතිරාගය සිම්පතික සීමාව ඉක්මවා ගිය සෘජු සක්‍රීය මැදිහත්වීම් දක්වා විසිරී පැතිරී පැවතිණි. 2012 වසරේ මරින් ල පෙන්ගේ ජනපති අපේක්ෂකත්වයේ එළඹුම ශක්තිමත් කරන්නට බ්‍රිජිත් බාර්දෝ ෆ්‍රන්සයේ නගරාධිපතිවරුන් සෘජුව ම අමතන ලද්දී ය.

 

le pen 3

 

"ඇය ස්ත්‍රී ව්‍යාතිරේඛයක්'' යැයි බ්‍රිජිගේ නික්මයෑම සැලවූ මොහොතේ මරීන් ල පෙන් හඬගා කීවා ය. "ඇය මුළු හදවතින්ම ෆ්‍රන්ස ස්ත්‍රීයක්: විශ්වාස කරන්න බැරි තරමට ම ෆ්‍රන්සබවින් පිරිපුන්: ස්තීරසාර ලෙස, අනම්‍ය ලෙස, අදීන ලෙස අභීත ලෙස ඇය ප්‍රන්සක්කාරියක්" ල පෙන් කීවා ය. මරින් ල පෙන් ගෙන් මෙයාකාර සහතික ලත් තැනැත්තී දෙවියන් කරා ම යාම සිනමාපටයක නම් සිදුවන්නට පිළිවන.

cd 20933 972 9858මහා සුනඛ ප්‍රේමියක මෙන් ම සත්ව අයිතීන්ගේ සංකේතයක් ලෙස ලොවපුරා ප්‍රචලිත බ්‍රිජිත් බාර්දෝගේ මානව විරෝධී මැදිහත් වීම ගැන ඇය ලෛංගික අයිකනයක් ලෙස උත්කර්ෂයට නංවන චින්තන ධර්මදාස වැනි ලිංගික පැවැත්ම පමණක්ම අර්චනාකාමීත්වයට නඟන ලිබරල් මැත දොඩන්නන් දන්නේ නැත. බ්‍රිජිත් බාර්දෝ ගේ මරණය සැළ වූ විගස චින්තන ධර්මදාස (අප මිත්‍රයා) වහා ඒ පිළිබඳව සාතිශය සංවේගය පළ කර සිටියේ තමන්ට පැවරුණු ජාතික වගකීමක් ලෙස සළකා ය. බ්‍රිජිත් වන් සෙක්ස් සිම්බොලයක් ගැන සිංහලෙන් ලියන්නට නම් තමන් මිස වෙන කවුදැයි සිතන්නට වූ බවක් පෙනුණු මේ හදිසිකාරක ලියවිල්ලේ ශීර්ෂය 'දෙවියන් මැවූ ගැහැනිය දෙවියන් කරා ගියා ය' යන්න යි. තමන්ගේ වගකීම සාධනය කර පෙන්වීමට තැන් තැන් වලින් අදහස් කෑලි බෑලි උපුටා ගන්නා චින්තන තම ඉරෝතික සටහනේ මෙසේ අවධාරණය කරයි. "මම මේ ලෝකෙට අයිති නෑ’ කියල එයා ඒ ශෘංගාර සිනමා ලෝකයෙන් අයින් වුණා. අවුරුදු අනූ එකක් වෙනකල් එයා ගත කළේ සත්තු එක්ක. ඒ ඇනිමල් ඇක්ටිවිස්ට් කෙනෙක් විදිහට නෙමෙයි. සත්තුන්ට ආදරය කරන්නියක් විදිහට."

bb 56

මෙම හාස්‍යජනක 'ඉරොතික' සටහන පමණක් කියවා බ්‍රිජිත් බාර්දෝ තේරුම් ගන්නා චින්තන අනුගාමිකයන්ට බ්‍රිජිත් ගැන අතෑරෙන දේ බෝ ය. දේශපාලන උණුසුම තීව්‍ර කරලූ මෙම අවුරුදු අනූ එකක ආයු කාලය තුළ ඇනිමල් ෆැන්ටසිය දෙදරවාලන මොනතරම් දෑ සිදුවී ඇද්දැයි මෙවන් පත්තර ලියවිල්ලකට හකුළණු නො හැකිය. ඇගේ සත්ව ප්‍රේමය ඇය පවත්වාගෙන යන ලද්දේ, ඇගේ ජාතිවාදී, මුස්ලිම් විරෝධී, මානව විරෝධී සමාජ භාවිතය, සඟවාලන අන්දමේ පලිහක් ලෙසට යැයි මතු කෙරෙන දේශපාලන තර්කය මඟ හැර යා හැකි කිසිදු පදනමක් ඇගේ ජීවන භාවිතය හරහා මතුකර පෙන්විය හැකිනම් ඇය පිළිබඳ වන "දෙවියන්ගේ සංවාදය" එතනින් ඇරඹිය හැකිය.

ජාතිකවාදය ඉක්මවා යන ජාතිවාදී සහ වර්ගවාදී විසකුරු මැදිහත්වීම් වල සිට ඉස්ලමිකභීතිකාව දක්වා වන බාර්දෝවියානු මැදිහත් වීම් සුනඛ සුරතලය සමඟ එකට ගෙන කතා කිරීම හරහා වඩා පැහැදිලි අවබෝධයක් ලබා ගන්නට අවශ්‍ය කෙනෙක්ට ඕනෑ නම් පිළිවන්ය.

 

ARCHIVO - Brigitte Bardot, ex estrella de cine francesa y activista por los derechos de los animales, señala algo durante una manifestación para protestar por la duración del transporte de animales para su sacrificio, frente a la 32.ª Feria de Agricultura, el 26 de febrero de 1995, en París. (AP Foto/Lionel Cironneau, archivo)

පුද්ගලික වෛරී ප්‍රකාශවලට පමණක් නොව පොදුවේ ජන ප්‍රජාවන්ට එරෙහිව කළ ප්‍රකාශනයන් නිසා ප්‍රන්ස අධිකරණය විසින් ඇයට දඬුවම් කෙරුණි. 1999 ඇය පළකළ 'ල කරේ දු ප්ලේතෝ' (ප්ලේටෝ චතුරස්‍රය) කෘතියේ 'අහිමි ප්‍රන්සය වෙත විවෘත ලිපියක්' නමින් වන පරිච්ඡේදයේ ඇය ලියූ "මගේ රට, ෆ්‍රන්සය, මගේ මාතෘභූමිය, මහපොළොව, යළිත් වතාවක් විදේශිය ආක්‍රමණිකයන්ගෙන්, විශේෂයෙන් මුසමුසල්මානුවන්ගෙන් පිරී ගිහින්'' යන වැකිය හේතුවෙන් ප්‍රන්ස අධ්කරණය ඇයට දඩ නියම කළේ ය. කවර දඩ කෑවද, කවර දඬුවම් ලැබුණද ඇගේ වෛරී ප්‍රකාශ ප්‍රකාශ අවසන් වූයේ නැත.ඇය ලියූ කෘතිවලද, ජනමාධ්‍ය සාකච්ඡාවලද, පුද්ගලිකව රජයේ බලධාරීන්ට ඇය ලියූ ලිපි වලද වෛරී ප්‍රකාශ ගහණ විය. කොටින් ම ඒවායේ පරක් තෙරක් නොතිබුණි. චින්තන ධර්මදාස ප්‍රාර්තනා කරන්නා සේ ඇය දෙවියන් කරා ම එසැවී ගියා නම් ඒ මේ සියලු වෛරී ප්‍රකාශ දරාගත් වෛරී ආත්මයද කැටුව විය යුතු ය.

‘ස්පයික්ඩ්’ වෙබ් අඩවියේ ප්‍රධාන දේශපාලන ලියුම්කරු බ්‍රෙන්ඩන් ඔනෙයිල් බ්‍රිජිත් බාර්දෝ ගේ නික්මයාම සනිටුහන් කරමින් ලියන ලිපියට යොදන ශීර්ෂය වන්නේ

v46u5u
"බ්‍රිජිත් බාර්දෝ: ෆ්‍රොම් සෙක්ස් කිට්න් ටු ස්පීච් ක්‍රිමිනාල්" (බ්‍රිජිත් බාර්දෝ; කාම බැළලි පැටියාගේ සිට වාක් අපරාධකාරී දක්වා) යන්න යි.

හැටේ දශකයේදී ජනරාල් ෂාල් දු ගොල් වෙනුවෙන් පෙනී සිටි බ්‍රිජිත් බාර්දෝ ෆ්‍රන්සයේ ජාතික සංඛේත රූපය වන ‘මරියන්න’ ගේ මුහුණ සඳහා වු අලුත්ම ආදර්ශ රූපය ලෙස ගැනුණි. මෙම ස්ත්‍රී රපය ෆ්‍රන්සයේ සෑම නගර සභාවකම පැළඳියම් වූ අතර ‘ඇය ෆ්‍රන්සය බවටත්’ ‘ෆ්‍රන්සය ඇය බවටත්’  පත් වුණු කාලයක් උදාවිය. බාර්දෝවියානු ලාලිත්‍යයේ කළේලිගැන්නුණු විප්ලවීය ෆ්‍රන්ස පුනුරුදයේ ස්ත්‍රී පදනම, ඇගේ වෛරී ප්‍රකාශ ඉමස්මතුවුණු පසු සුන්නද්ධූලි වුණු අයුරු ඔනෙයිල් මෙම ලිපිය හරහා  පෙන්වා දෙන්නේ ‘දෙවියන් මැවූ ගැහැනිය’  හරහා මතුවුණු ‘බාර්දෝවාදයක් දක්වා ඉහළ එ සැවුණු ඒ් ස්ත්‍රී අනුහස, ඛේදවාචකයක් දක්වා විකාශනය වුණු අයුරු සමබරව සහ ක්‍රමිකව සලකුණු කරමිනි.

ස්ත්‍රීය මවා වදාළ දෙවියන් යනු සාධාරණත්වයේ, ආදරයේ, විශ්වාසයේ ප්‍රකාශමානය විය යුතු ය. එවන් වූ දෙවියකු වෙත එසැවී යා හැක්කේ මානව විමුක්තිය වෙනුවෙන් කැපවීම නිසා සැහැල්ලුව ගිය ආත්මයකට පමණි. බ්‍රිජිත් බාර්දෝ පිළිබඳ මතකය සිමොන් ද බොව්වා දැක්වූ පරිදි 'ලොලිතාමය සින්ද්‍රොමයක' පවත්වා ගැනීමේ වාරණයක් නැත ද, ඇගේ ආත්මය ස්වර්ගය වෙත එසැවී යාමට නම් බර වැඩි බව සමස්ත මානව වර්ගයා වෙනුවෙන් ලියා තබමි.


WhatsApp Image 2025 10 31 at 10.05.08 AM(සටහන | මංජුල වෙඩිවර්ධන)
Manjula Wediwardena
Journalist/Writer
www.wediwardena.com

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...