BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

බල්සාක් කැෆේ : Martin Parr සහ නූතන මානව විකාරරූපය | මංජුල වෙඩිවර්ධන

T

The Leader

December 12, 2025 • 11:52 PM

බල්සාක් කැෆේ : Martin Parr සහ නූතන මානව විකාරරූපය | මංජුල වෙඩිවර්ධන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඡායාරූපකරණය පිළිබඳව උනන්දුවක් දක්වන කවර මහද්වීපයක වුව ජීවත් වන, ඕනම තරාතිරමක ඉන්ස්ටග්‍රෑම් ලෝලීයකුගේ මේ නිශ්චිත මොහොතේ "ඇල්ගොරිද්මීය'' රූප චක්‍රය හරහා මතුවන මුඛ්‍ය චරිතය වන්නේ මාර්ටින් පාර් නම් බ්‍රිතාන්‍යයක්කාරයාගේ මුහුණතයි.
  •  ඔහුගේ නික්මයාම ඇත්තෙන්ම වේදනාවෙන් පිරුණු ආරංචියකි.
  • ඡායාරූප ජනමාධ්‍යකරණය සේම පසුකාලීනව "ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆී'හෙවත්  වීදී ඡායාරූපකරණය සිය ප්‍රකාශනවේදය කර ගත්තේ ය.
  • ඔහු විසින් ගොඩනැගූ ඡායාරූප රූපාවලි ව්‍යාපෘති අතිශය ආත්මීය විය; උපහාසයෙන් අනූන විය: එමෙන්ම  විශ්මය දනවන ලෙසම මානව විද්‍යාත්මක විය.
අකුරු ප්‍රමාණය (Font Size):

සමකාලීන ඡායාරූප කලාව පිළිබඳ උනන්දුවක් දක්වන කවරෙකු හෝ වේ නම් මාර්ටින් පාර් යනු ඉතාම හොඳින් දන්නා හඳුනන චරිතයකි.  ඔහුගේ නික්මයාම ඇත්තෙන්ම වේදනාවෙන් පිරුණු ආරංචියකි. ඔහු වාර්තා ඡායාරූපකරණයේ බරපතළ චරිතයක් විය. ඡායාරූප ජනමාධ්‍යකරණය සේම පසුකාලීනව "ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆී'හෙවත්  වීදී ඡායාරූපකරණය සිය ප්‍රකාශනවේදය කර ගත්තේ ය.

ඔහු තමන්ගේ ඡායාරූප හරහා ඉෂ්ඨ සිද්ධ කළේ තමන්ට අභිමුඛ වූ බටහිර ලෝකය, විශේෂයෙන්ම මහ බ්‍රිතාන්‍යයික කලාපය තුළ නූතනත්වයට ඈඳුණු මිනිසා සහ "ඉංග්ලිෂ් ක්ලාස් සිස්ටම්" හෙවත් පංති ස්තරයන් ගේ නූතන ජීවන නිමේෂය තමන්ටම අනන්‍ය වූ රිද්මයකින්  ග්‍රහණය කර ගැනීමයි. ඔහු විසින් ගොඩනැගූ ඡායාරූප රූපාවලි ව්‍යාපෘති අතිශය ආත්මීය විය; උපහාසයෙන් අනූන විය: එමෙන්ම  විශ්මය දනවන ලෙසම මානව විද්‍යාත්මක විය.  

 

I AM MARTIN PARR c Martin Parr Magnum Photos LON75285 1
ඇතැම් දේ පවතින ලෙසම පෙන්වීම කලාව නොවන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ මාර්ටින් පාර්ගේ ප්‍රවාදයට අනුකූල ඡායාරූප මේ මොහොතේ අන්තර්ජාලය පුරා පැතිර යමින් තිබේ.  සමාජය පවතින ආකාරයෙන්ම ග්‍රහණය කර ගැනීමේ සෞන්දර්ය නොහොත් මාර්ටින් පාර්ගේ පින්තූර කලාව එවන් වූ පින්තූර විඳගැනීම වෙත නැවත නැවතත් ලාලසාව වඩවමින් තිබේ.

දෛනික ජීවිතයේ යථාර්ථයට අලුත් හැඩතල එකතු කරන්නට ඔහුගේ රූප රාමු සමත් විය.  

මාර්ටින් පාර්, නේක පැතලි වර්ණ සහ විප්‍රකාර හැඩතල වලටම මුසුවුණු උත්ප්‍රාසය හරහා දෘශ්‍ය රූප සංස්කෘතිය ප්‍රසාරණය කරන්නට විශාල සම්ප්‍රදායක් සිදු කළ බව ඇත්තකි. ඔහු මෙසේ පැවසීය. "සමකාලීන මනුෂ්‍යයා බොහෝ විට සොයන්නේ යථාර්ථයේ පරිපූර්ණ ආකාරයක්...එවැනි දෙයක් නො පවතින බව ඔවුන්ට වැටහෙන්නේ නැත. මම මගේ කැමරාව හරහා ඔවුන්ට අභිමුඛ කරලා පෙන්වනවා ඔවුන්ගේ දෛනික ජීවිතේ කෙබඳු එකක්ද කියලා. යථාර්ථයේ පවතින හිස්තැන්, ඇද පළුදු , අඩු ලුහුඬුකම්, විකාර සහගත භාවය, මේ සියල්ලක්ම. "

martin image

මාර්ටින් පාර්, තමන්ගේ කැමරාව අභියස චලනය වන දෛනික ඉංගිලීෂිකාර ජීවිතයේ "විකාරරූපය" නොහොත්  උත්ප්‍රාසාත්මක නිමේෂය ජුගුප්සාව ලෙස හෝ ඕලාරිකභාවය ලෙස හෝ ජනප්‍රියකරණය කරන්නට උත්සුක නොවී එය ස්වකීය කලා ප්‍රකාශනයේ රීතියක් බවට පත්කර ගැනීමට තරම් සවිඥානික විය.

‘'තමන් ඉදිරියේ පවතින භෞතික ලෝකය දෙස බලන කල්හි එය කොතරම්ම හාස්‍යයෝතපාදකදැයි ඔබට පෙනෙනවා. ඔබ සිදුකරයත් යුත්තේ ඊට අනුගතව සිනාහසීමයි. එසේ සිනාසුනේ නැතිනම් ස්තීර  වශයෙන්ම ඔබට ඇඬෙනවා"  මාර්ටින් පාර් පැවසීය.

ඔහුගේ වචන කෝෂය පවා ගොඩනැගී පැවතියේ මෙකී රූපෝත්පාදක රීතිය තවදුරටත් තීව්‍ර කරනු පිණිසය.

මාර්ටින් පාර්ගේ ඡායාරූපයක් වහාම අඳුනාගත හැකි තරම් අනන්‍යතාවයකින් යුක්තය.  ඔහුටම අනන්‍ය වූ 'සැණෙළිය විදිනය'  හරහා තමන් ග්‍රහණය කරගන්නා රූපය පැතලිකරණය කරන්නටත් ඒ හරහාම උත්ප්‍රාසය ගැඹුරුකරණය කරන්නටත් ඔහු සමත් විය. මහා ඡායාරූපවේදීන් බිහිවීම යුද වාර්තාකරණය හරහාම සිද්ධ විය යුත්තක් ද යන්න ප්‍රශ්න කළ මාර්ටින් පාර්ගේ ඡායාරූප භාවිතය සමකාලීන ගමක අප්‍රකට උත්සවයක්, ජන සහභාගීත්ව උළෙලක් හරහා සමකාලීන ජීවිතය සොයා යාමට උත්සුක වූවා වැන්න.

 

Screenshot 2025 12 13 103251
යුද වාර්තාකරණයට නොගියද ජීවිත වාර්තාකරණයට ඔහු දේශ දේශාන්තරවල කළ සංචාරයන්හි රූප වාර්තාකරණය වනාහි ගෝලීයකරණයේ නරුම ස්වරූපයය, සංචාරක කර්මාන්තයේ නග්නභාවය, පරිභෝජනවාදයේ උන්මත්තකම ආදී පශ්චිම නූතන ජීවිතයේ විසංවාදය, ප්‍රතිවිරෝධය සන්තෘප්ත  වෛවර්ණයෙන් යුතු ගැඹුරකින් සලකුණු කළ කලාත්මක ප්‍රකාශන විය.

බෝරිංකරණය වූ ජීවිත තුළින් පවා සෞන්දර්යය නිමේෂය උකහා ගත හැකි බව මාර්ටින් පාර්ගේ සමස්ත කලාත්මක ක්‍රියාවලිය තුළ සසනිටුහන්  වන අද්වීතිය ලකුණකි. එය එක් අතකින් ලෞකිකත්වයේ මායාව සලකුණු කිරීම හරහා ගොඩනැගූ දේශපාලන මැදිහත්වීමකි.

පුද්ගලයකු ලෙස ගත් කළ මාර්ටින් පාර් යනු හැම අතින්ම සාමාන්‍ය ජීවිතයක් ගත කළ, සාමාන්‍ය මනුෂ්‍යයෙක් සාමාන්‍ය ලෙස අත් විඳින සියල්ල එයාකාරයෙන්ම අත්විඳින ලද සාමාන්‍ය මිනිසෙකු ලෙස ජීවිතය නිමා කළ පුද්ගලයෙකි.

මෙම සාමාන්‍යකරණයෙන් ඔහු මිදුණේ ඔහු සම්ප්‍රාදානය කළ ඡායාරූප රීතිය නිසාමය.

 

Screenshot 2025 12 13 103601

එතෙක් වෙරළ තීරයේ ඡායාරූපකරණය අධි නිශ්චය වී තිබුණේ සරාගිකත්වය හා බැඳුණු, නග්න, අඩනග්න, කාමුක චුම්බන බඳු චුම්භක ක්ෂේත්‍රයකය. මාර්ටින් පාර් වෙරළ තීරය ප්‍රතිරචනය කළේය. ඔහු වාර්තා ගත කළේ මෙලෝ රහක් නැතැයි පෙනෙන මෙලෝ හැඩයක් නැති ගල්පර, කැලි කසල බඳුන්, කොන්ක්‍රීට් පදික මං තීරුවල දිගාවී හිරු තාපය තපින ගැහැණු මිනිස්සු, බඩගින්නේ කෑ කොස්සන්දෙන දරුවන්, අල පෙති සාප්පු ආදි රස හීනයයි එතෙක් සැලකුණු වස්තූන් සහ විෂයන්ය. වෙරළ තීරය යනු ධනපති පන්තියේ ශෘංගාර කලාපයක් නොව වැඩ කරන පන්තියේ සති අන්ත නිදහස් කලාපයකැයි ඔහු සිය රූපාවලිය හරහා ප්‍රවාද ගතකරලීය.  නමුත් ඔහුගේ මුල් කාලීන ඡායාරූප ප්‍රදර්ශනයන්ට ගතානුගතික විචාරකයන් ගේ බලවත් විරෝධය මතු වන්නට විය.

Screenshot 2025 12 13 104049
"ඓතිහාසික කම්කරු පන්තිය යනු සමකාලීන රසිකයාට බාල රසයක් දෙන බක්කං තාරාවකු නොවේ. ඔවුන් ස්ථුල, අතිසරල, විලාසිතා හීන, නීරස පෙනුමැති, වෙහෙසක්කාර  අතිශය ලාභ දීප්තිමත් ඇඳුම් අඳින හැඟුම් විරහිත මිනිසුන් ලෙස පෙනේ.  ඔවුන් යටත් නොවෙන දෙයක් නැත. මෙම ප්‍රවාදය කම්කරු පන්තිය පිළිබඳ ඇත්තක් වන්නේ කෙසේද?" විචාරකයෝ පැවසූහ. කවර  ප්‍රහාරයන් හමුවේ වුව මාර්ටින් පාර් අඛන්ඩව තමන්ගේ රීතිය ගොඩ නගමින් සිටියේය.

 කැමරාව අබියස ජීවිතය කැමරාව පසුපස භාවිතය නොහොත් කැමරාකරුවාගේ ජීවිතය අතර ප්‍රතිවිරෝධතාවයන් වීද නොවීද යන මාර්ටින් පාර් එනිග්මාව දැන් ඉතින් හෙමින් විසඳා ගත යුතුව ඇත. ඔහු භෞතිකව නැතත් කෘති හැටකට අධිකව ගොනු කළ ඔහුගේ ඡායාරූප එකතු පමණක්ම නොව ඒ සඳහා නොපල ඡායාරූප එළි දකින තුරු බලා සිටිය යුතුව ඇත.

"ඇත්ත වශයෙන්ම අපි ජීවත් වෙන්නේ අතිශය චාටු සහගත වෘත්තිමය හික්මීමක් ඇති සැකැබුණු සමජාතිය ලෝකෙක. ඒ  ඇතුලේ සිත් ගන්නා සුළු දේවල් කියන්නේ නීරස උදාසීන දේවල්."  ඔහු පැවසීය. ඔහුගේ ජීවිතය සමස්තය නොහොත් ඔහුගේ ඡායාරූපකරණයේ සමස්තය පොදුවේ ඔහුගේම වචනයෙන් මෙසේ හකුලා දැක්විය හැකිය.

"මා ඡායාරූපයට නගමින් සිටියේ සමාජයේ කුහකකම මෙන්ම මගේම වූ කුහක කමයි"

මාර්ටින් පාර් යනු ඉංග්‍රීසි සමාජයේ අවියෝජනීය කොටස්කාරයකු වුවත් ඔහු ශේෂ කර ගිය කලාත්මක සම්පත්තිය මුළු මහත් මානව ශිෂ්ටාචාරයටම අයත් ය.

manjula wediwardhana
(සටහන | මංජුල වෙඩිවර්ධන)
Manjula Wediwardena
Journalist/Writer

www.wediwardena.com


(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...