70 දශකයේ සමාජ පීඩනය සහ කෘතියේ ආරම්භය
''මුවන් පැලැස්සේ හිඟන කොල්ලා'' කියෙව්වහම ලියන්න හිතුණ බොහෝ දේවල් මොන විදියට පෙළගැස්විය යුතු දැයි ආරම්භයේදීම ප්‍රශ්නයක් නැගුණා. ඒ, හිඟන කොල්ලා කියන්නෙ 1970 අගභාගයේ සමාජ, ආර්ථික තත්ත්වය පිළිබිඹු කරන්නක්ද? සමාජයේ බහුතරයකගේ රැකියා පීඩනය, ශ්‍රම සූරාකෑම, ඒ මත බිහි වූ පාදඩ වෙළෙඳ කුලය සහ එම වෙළෙඳ කුලය මතින් ලකුණු දමා ගැනීමට උත්සාහ කළ පීඩිත පන්තියේම පාදඩයින්ගේ නරුම හැසිරීමද? සුචරිතවත් බෞද්ධ සමාජයේ පරපීඩක ලිංගික ආශාද? යනාදි වශයෙන්.
කතුවරයාගේ ලේඛන ශෛලිය සහ ජීවන අත්දැකීම්, කතුවරයාගේ සමාජ දැක්ම සහ ලේඛන භාවිතය, රොහාන් යසසිරිට එරෙහි ජයසිරි අලවත්ත යනාදි එකී මෙකී නොකී බොහෝ දේවල් පිටු 304ක් කියවීමෙන් පසුවත් මේ පුංචි මොළය හරහා තවමත් එක එක ආකාරයෙන් කැරකෙනවා.
රොහාන් යසසිරි සහ ගැලවිය නොහැකි අනන්‍යතාව
මට හිතෙන විදිහට නම් 'රොහාන් යසසිරි' කියල කෙනෙක් නැහැ; ඒ ජයසිරිම තමයි. එහෙම නම් 'රොහාන් යසසිරි' කවුද? ඒ සෙලවෙන මනසක්; ජයසිරි අලවත්තගේ අතීත අනන්‍යතාව; ජයසිරිටත් වැඩක් නැති, කාටවත් වැඩක් නැති, ඒත් යසසිරිට තවමත් ගැලවීගත නොහැකි අනන්‍යතාවක්. ''අක් දහර'' කෘතියෙන් පටන් අරගෙන, ''හිඟන කොල්ලා''ගෙන් නොනැවතී, ළඟදීම එන (Coming soon) 'කොළඹ සන්නියෙන්' කියවිය හැකි අනන්‍යතාවක්.
මේ පිටු 304 පුරාම ආරම්භයේ තරමක් නීරස සහ එක තැන කැරකෙන සුළු වුවත්, අවසාන භාගයේදී ඉතාම සංයමයෙන් සහ කියවීම නතර කළ නොහැකි ආකාරයෙන් ගලායන පෙළගැස්ම විශිෂ්ටයි. එය කතුවරයාගේ ලේඛන ශෛලියේ ඉදිරිගාමී පියවරක්. මෙම දියුණුව කතුවරයාගේ ඉදිරි නිර්මාණවලදී මේ ආකාරයෙන් හෝ මීටත් වඩා දියුණු මට්ටමකින් පවත්වා ගැනීම කතුවරයාගේ වගකීමක් මෙන්ම පාඨකයින් වන අපට සිදු කරන සාධාරණයක්.
රැඩිකල් චරිතය සහ පලායාමේ ගැටලුව
නවකතාව පටන් ගන්නෙම ගෙදරින් පැනලා ඒමෙන්. හිතුවක්කාර, කරාටේ දන්න, වෙනස් විදියට හිතන පුංචි කොල්ලෙක්. මුල් අවස්ථාවලදී පෙන්නුම් කරන යසසිරිගේ ක්‍රියාකලාපයෙන් කතුවරයා මනාව එය පිළිබිඹු කරනවා. නමුත් ඔය පිරිස සමාජයට පෙන්වන රැඩිකල්කම තමන්ගේ ජීවිත ඇතුළෙ නොපෙනීම ඛේදවාචකයක්; තමන්ගෙම ජීවිතවලට කරගන්නා අසාධාරණයක්.
යසසිරි සිය රැඩිකල්කම කතාව පුරාම විශිෂ්ට විදියට ගොඩනගා තිබුණත්, එයම අභව්‍ය දෙයක් බවට පත්වන්නේ කුඩම්මාගේ නොසැලකීම්වලට ලක්වන දරුවෙක් ඊට ප්‍රතිවිරෝධයක් නොදක්වා, ඒ මොහොතේ තම රැඩිකල්කම මුදානොහරිමින් පලා යන්නේ ඇයිද යන ප්‍රශ්නය නිසයි. එහෙම වුණාම රොහාන් යසසිරි ඔය කියන තරමටම රැඩිකල්ද, ඉදිරිගාමීද, වෙනස්ද කියලත් හිතෙනවා. එසේත් නොමැති නම්, තවමත් හෙළි නොකළ, යසසිරි පමණක් දන්නා, කවදාවත් යසසිරිට හෙළි කළ නොහැකි හේතුවක්ද? යසසිරි ඔය කියන තරමටම හොඳ මිනිහෙක්ද කියලත් වෙලාවකට හිතෙනවා. ඒ ජයසිරි අලවත්තගේ ලේඛනයේ දක්ෂතාව වෙන්නත් පුළුවන්.
හැව්ලොක් හෝටලය, අතීතකාමය සහ Z පරම්පරාව
කතුවරයා හැව්ලොක් හෝටලයේ ක්‍රියාවලිය සහ ඊට යසසිරිගේ මැදිහත්වීම ඉතා විශිෂ්ට ලෙස ඉදිරිපත් කරනවා. එය පෞද්ගලිකව මා මගේ ළමා කාලයට රැගෙන යනවා. ඒ අතීතකාමයට මමත් කැමතියි. ඇත්තෙන්ම මහා පරිමාණ හෝටල් සහ බේකරි ක්ෂේත්‍රයට යන්න ඇත්නම් වැනි හැඟීමක් (මමත් බොහෝ සේ සම්බන්ධ නිසාම) ජනිත කරවනවා. ඒ ගැන කතුවරයාට ගෞරවය (Respect) හිමිවිය යුතුයි.
කතුවරයා ඒ සඳහා කුවින්ටස් මුදලාලිගේ සිට ජස්ටින්, මැනේජර් මහත්තයා, සුමනසිරි, වඳුරඹ, මුරුගේසු, සුසන්තගේ සිට ජෙසිකා ඇතුළු ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් සිව්දෙනා දක්වා චරිත භාවිත කරනවා. 1970 දශකයේ අගභාගයේ රැකියා විරහිත බව, වෙළෙන්දන් ළඟ වහලුන් මෙන් සේවය කිරීමේ කටුක බව සහ පීඩිත ජන සමාජයක එම පීඩනය අසම්මත ලිංගික ආශා මතින් සමාජගත වීම ආරම්භයේදී මනාව පෙන්වනවා.
නමුත් එය ඒ අර්ථයෙන්ම සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රශ්නයක් ලෙස දැකීමට තරම් වත්මන් Z පරම්පරාව (Gen Z) උනන්දු නැති බව මගේ හැඟීමයි. කොටින්ම කියනවා නම් 'සල්ලඩිය' Z පරම්පරාවට වැඩක් නැහැ. ඒ අවධියේ ලංකාවේ විසූ මිනිසුන්ට මෙය අලුත් දෙයක් නොවන බැවින්, මෙවැනි පීඩනයන් ඉදිරිපත් කිරීමට කතුවරයා වෙනත් මානයක් වෙත මාරු විය යුතුයි.
ආදර සබඳතාවල අභව්‍ය බව සහ භාෂා සංයමය
ජයසිරි අලවත්තගේ හැම කෘතියකම පාහේ දකින එක් දුර්වලකමක් නම් එක දවසකින් දෙකකින් ආදර සබඳතා ඇති කර ගැනීමයි. ඒක හරියට පාසල් සමයේ කියවූ 'නව සරණ' පත්තරවල තිබූ සබඳතා වගේ තරමක් අභව්‍යයි (පිටු 194 සිට 197 දක්වා). තුෂාරි සේපාලිකාගේ පළමු හමුවීමෙන්ම වැඩේ හරි. මම දැක ඇති ගැහැනු ළමයින්ගේ මවාපෑම් (ලොකු සීන්) තුෂාරි ළඟ ඇත්තෙම නැහැ. මේක ජයසිරිගෙන් රොහාන් යසසිරිට විතරක් නෙවෙයි, ඔහුගේ කලින් පොත්වල බොහෝ කතානායකවරුන්ට ලැබුණු ලොතරැයි දිනුමක්.
ඊළඟට, යම් කරුණක් අවධාරණයෙන් පැවසීමට ඇති තරම් නීරස විදියට වටේ යෑම, විශේෂයෙන්ම ආදරය සහ ලිංගික සබඳතාවලදී ඉදිරිපත් කරන මේ විලාසය වෙනස් විය යුතුයි. හැබැයි ආදර සබඳතාව බිඳවැටුණු (Breakup) පසු එය ඉදිරිපත් කරන විලාසය සහ එහි ඇති සංයමය ඉතා ආකර්ෂණීයයි. එය කතුවරයාගේ බස හැසිරවීමේ නිපුණත්වය කියාපාන්නක්. ජෙසිකා ඇතුළු පිරිස සමග සිදුවන සිදුවීම් අවසානයේ කිසිදු පණ්ඩිතකමක් නැතිව එක හුස්මට කියවා අවසන් කළ හැකි මට්ටමක පැවතීම සිත්ගන්නාසුලුයි.
පැරණි අනන්‍යතාවෙන් මිදීමේ කාලය
රොහාන් යසසිරිගේ පැරණි අනන්‍යතාව ජයසිරි අලවත්ත නම් සාපේක්ෂ සමාජ-දේශපාලනික දැක්මක් ඇති මිනිසාට එරෙහි වෙලා තිබෙනවා. යසසිරිගේ 'සැල්ලඩිය' ජයසිරි අලවත්ත නම් නිර්මාණශීලී කතුවරයා යටපත් කර තිබෙනවා. සැල්ලඩියේ ඉතිරි වී ඇති ගුල්ලන් සහ පණුවන් විසි කළ යුතුයි.
මේ එළඹෙන්නේ 'කොළඹ සන්නිය' ආරම්භයද? ඒ අනුව බලද්දී ජයසිරි අලවත්ත බම්බලපිටියේ සිට පන්නිපිටියේ මොරකැටියට එන තුරු අපිට තව පොත් කොපමණ කියවන්න වේවිද? ඒ නිසා දැන්වත් කතුවරයා මේ පැරණි අනන්‍යතාවෙන් මිදිය යුතුයි. රොහාන් යසසිරිගේ හෘද සාක්ෂිය මතුවන තෙක් ජෙසිකා අක්කා ඇතුළු පිරිස කොටු පවුරේ සිට තවමත් මුහුද දෙස බලා සිටිනවා ඇති. ඉතින් මාගේ මේ ඇගයීම ආදරණීය ජෙසිකා අක්කාට, විනීතාට, කමලනීට සහ රමණීටයි!
සටහන:
නීතිඥ උපුල් පුෂ්ප කුමාර
upulp006@gmail.com




