The Leader News
BREAKING
ලේඛක ප්‍රතීපන්ගේ දෙමළ පොත් මුදාහරින්න: මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශයක්●චාමර සම්පත් රිමාන්ඩ්: අල්ලස් නඩු 5ක කරුණු අධිකරණයට●පාර්ලිමේන්තු ලැයිස්තුව ගැන තිලාන් විජේසිංහගෙන් පැහැදිලි කිරීමක්●'අධිරජු සැතපෙනු පිණිස' විවරණය: නොපවතින දෙවියන් සහ දේශපාලනය | වංගීස සුමනසේකර●ඇෆ්ගන් චෙස් ක්‍රීඩකයින් තිදෙනාට අත්වන ඉරණම කුමක්ද?●කොරියානු රන් පදක්කම්ලාභීන්ගේ හමුදා මුක්තිය අහෝසි වන ලකුණු●ගෝලීය අර්බුද හමුවේ ලෝක බැංකුවෙන් රටවල් 40කට සහන●තංගල්ලේදී ප්‍රංශ තරුණියකට අතවර චෝදනා: හිමිනමක් ඇප මත මුදාහැරේ●පාසල් උපකරණ බදු සහන: නාමල්ගෙන් ජනාධිපතිට ලිපියක්●දිවයිනේ පැරණිතම ආදි ශිෂ්‍ය ක්‍රීඩා තරගාවලිය:  ඔක්තෝබර් 17-18 කොළඹදී●
Top Ad
සාහිත්‍ය - කලා

'අධිරජු සැතපෙනු පිණිස' විවරණය: නොපවතින දෙවියන් සහ දේශපාලනය | වංගීස සුමනසේකර

කෞශල්‍ය කුමාරසිංහගේ නවතම නවකතාව හුදු දේශපාලන උපමාවක්ද? බෝර්හේස් සහ ලියොතා ඉක්මවා යමින්, තවමත් පහළ නොවූ දෙවියකු හරහා රාජ්‍යය සහ සමානාත්මතාව අලුතින් කියවාගන්නා හැටි වංගීස සුමනසේකර පහදයි.

Pasan

Pasan

October 12, 2026 • 8:28 PM

'අධිරජු සැතපෙනු පිණිස' විවරණය: නොපවතින දෙවියන් සහ දේශපාලනය | වංගීස සුමනසේකර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තවමත් නොපවතින දෙවි කෙනෙකු පිළිබඳව බලාපොරොත්තුව - ‘අධිරජු සැතපෙනු පිණිස’ කියවීමක්.
  • "විද්‍යාවේ නිරවද්‍යතාවය ගැන..." නම් වූ මේ කෙටි කතාවේ දැක්වෙන්නේ එක්තරා අධිරාජ්‍යයක් එම අධිරාජ්‍යයේ සියලු තොරතුරු ඇතුලත් වන සිතියමක් නිර්මාණය කිරීමට උත්සාහ කිරීම නිසා පරිහානියට පත් වන ආකාරයයි.
  • ඒ, 1970 දශකයේ අවසානයේ පල වූ ජොන්-ෆ්‍රාන්සුවා ලියොතා නම් ප්‍රංශ ජාතික චින්තකයාගේ ‘The Postmodern Condition: A Report on Knowledge’ නම් කෘතියයි.
  • අපට පවත්නා සියලු දේ දැන් තනි පද්ධතියක් ලෙස සැලකිය නොහැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

තවමත් නොපවතින දෙවි කෙනෙකු පිළිබඳව බලාපොරොත්තුව - ‘අධිරජු සැතපෙනු පිණිස’ කියවීමක්...

කෞශල්‍ය කුමාරසිංහගේ ‘අධිරජු සැතපෙනු පිණිස’ නවකතාව ආරම්භ වන්නේ හෝහේ ලුවී බෝර්හේස් නම් ආජන්ටීනියානු ජාතික ලේඛකයාගේ කෙටි - ඉතාම කෙටි - කතාවකිනි. "විද්‍යාවේ නිරවද්‍යතාවය ගැන..." නම් වූ මේ කෙටි කතාවේ දැක්වෙන්නේ එක්තරා අධිරාජ්‍යයක් එම අධිරාජ්‍යයේ සියලු තොරතුරු ඇතුලත් වන සිතියමක් නිර්මාණය කිරීමට උත්සාහ කිරීම නිසා පරිහානියට පත් වන ආකාරයයි.

මෙම නවකතාවට පෙර එම කෙටි කතාව අපට හමුවන අවම වශයෙන් එක් දාර්ශනික මූලයක් තිබේ. ඒ, 1970 දශකයේ අවසානයේ පල වූ ජොන්-ෆ්‍රාන්සුවා ලියොතා නම් ප්‍රංශ ජාතික චින්තකයාගේ ‘The Postmodern Condition: A Report on Knowledge’ නම් කෘතියයි.

එහිදී ලියොතා මෙම කෙටිකතාව යොදා ගන්නේ එම කෙටිකතාවේ මාතෘකාවේ දැක්වෙන අරමුණම සාක්ෂාත් කරගැනීම වෙනුවෙනි. එය 'විද්‍යාවේ නිවැරදිභාවය ගැන' පැහැදිලි කිරීමට ලියොතා එය යොදා ගනියි. විශේෂයෙන් ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ආගමනයට පසුව මැනගැනීම (measuring) යනු තවදුරටත් මධ්‍යස්ත දෙයක් නොවේ. ඒ වෙනුවට මැනගැනීම මගින් එසේ මැනගැනීමට තැත්වන දෙය පරිවර්තනය වීමද වෙයි.

 ලියොතා පෙන්වා දෙන්නේ මෙහිදී අප මුහුණ දෙන ශක්තිය වැය වීම පිළිබඳව ගැටලුවයි. අපට පවත්නා සියලු දේ දැන් තනි පද්ධතියක් ලෙස සැලකිය නොහැකිය. මෙයට හේතුව වන්නේ එලෙස සියල්ල මැනගැනීම සඳහා අවශ්‍ය ශක්තිය නොමැති වීමයි. ක්වොන්ටම් තලයේදී අපට අංශුවක වේගය හෝ ස්ථානය මැනගැනීම සඳහා එයට ෆොටෝන් අංශුවක් වැනි දෙයක් එල්ල කළ යුතුය. මේ සඳහා අපට යම් ශක්තියක් වැය වෙයි. තතු එසේනම් සියලු අංශුවල සමාරම්භක තත්වය මැනගැනීමට සියලු අංශුවලට සමාන හෝ එය ඉක්මවූ ශක්තියක් අවශ්‍ය වෙයි.

බෝර්හේස්ගේ කතාව ලියොතාට ප්‍රයෝජනවත් වන්නේ මේ නිසාය. එමගින් පෙන්වා දෙන්නේ ඉහත විද්‍යා අදහසේ සරල සාරාංශයකි. නමුත් මේ ඇසුරින් ලියොතා එන තවත් නිගමනයක් අපට වැදගත්ය. එහිදී ලියොතා පෙන්වා දෙන්නේ විද්‍යාව විසින් හඳුනා ගනු ලබන ඉහත අදහස පොදුවේ සමාජය පද්ධතියක් ලෙස ගෙන, සමස්තයක් ලෙස පාලනය කිරීමට උත්සාහ කරන දේශපාලන රෙජීම් අසාර්ථක වීමටද අදාළ බවයි. ඒවා උත්සාහ කරන්නේ සමාජය ගැන සෑම තොරතුරක්ම එකතු කර පාලනය කිරීමටයි. නමුත් මේ වෙනුවෙන් එයට සමාජයට වඩා විශාල නිලධාරී තන්ත්‍රයක් බිහි කිරීමට සිදුවෙයි. නමුත් මෙය කළ නොහැකි වන්නේ සමාජය් සෑම විචල්‍යයකම ආරම්භක තත්වය අපට මැනගැනීමට නොහැකි නිසාය. එනිසා මේ ප්‍රයත්න බෝර්හේස්ගේ කෙටි කතාවේ එන සිතියම් ඇඳීම සේ අසාර්ථක වීමට නියමිත වෙයි.


කෞශල්‍යගේ විසඳුම

කෞශල්‍ය කුමාරසිංහගේ ආරම්භක උපුටාදැක්වීම අපූරු එකක් වන්නේ මේ නිසාය. ඔහු උත්සාහ කරන්නේ බෝර්හේස්ට එරෙහි වීමටයි. එනිසාම ඔහු දැන් ලියොතාටද එරෙහි වෙයි. ඔහු උත්සාහ කරන්නේ අධිරාජ්‍යයේ සියල්ල ඇතුලත් වන සිතියමක් ඇඳිය හැකි බව පෙන්වා දීමටයි. තවදුරටත් මේ වෙනුවෙන් සෑම ගම් ප්‍රධානියකුම වැසියන්ගේ තොරතුරු ඇතුලත් පුස්තක රැස් කළ යුතුය කියා කෞශල්‍යගේ නවකතාවේ තරුණ සිතියම්වේදියා කියයි (පි. 18). එමගින් ගම්‍ය වන්නේ එය ලියොතා සිතු ආකාරයේ ඒකාධිපති පාලනයකට සහ එය කළනොහැකි නිසාම අකාර්යක්ෂම වන පාලනයකට මෙය ගමන් නොකරනවා කියා කෞශල්‍ය සිතනා බවයි. මෙය බෝර්හේස්ට මෙන්ම ලියොතාටද එරෙහිව යන්නක් කියා එමගින් පැහැදිලි වෙයි.

නමුත් එම අර්ථයෙන් මෙහිදී කෞශල්‍ය ඉදිරිපත් කරන විසඳුම එතරම් සංකීර්ණ එකක් නොවේ කියා කෙනෙකු කිව හැකිය. එම විසඳුමේ කේන්ද්‍රයේ තිබෙන්නේ රාජ්‍යයේ කේන්ද්‍රය ආගමෙන් ආණ්ඩුවට මාරු විය යුතු බවයි. එසේත් නැතිනම් සමාජය ලෞකික විය යුතු බවයි. එසේම එය ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් විය යුතු වනවා කියා කෞශල්‍ය කියයි. නමුත් මෙයට බාධාව වන්නේ රාජ්‍යයේ අභ්‍යන්තරයේ ඇති පාර-රාජ්‍යයේ අඳුරු බලවේගයි. ඒවා මෙම රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට එරෙහි වෙයි. එලෙස උත්සාහ කරන අය ඝාතනය කරයි. නවකතාවේ තිබෙන්නේ මෙම පාර-රාජ්‍යයට එරෙහිව සටන් කරන තරුණ සිතියම්වේදියා බිහිවීමේ කතාවයි.

මෙය තරමක් සරල කතාවක් කියා කෙනෙකුට සිතිය හැක්කේ එම නිසාය. බැලූ බැල්මට මෙහි තිබෙන්නේ වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් ගොතා ඇති උපමා කතාවකි. නමුත් එමගින් ඉදිරිපත් කරන්නේ එතරම් නවීන අදහස් නොවේ කියා කෙනෙකු කිව හැකිය. මේවා නරක අදහස් නොවන්නේ වුවත් මේවා අප බොහෝ කලක සිට වාම-ලිබරල් අදහස් දරන්නන් අතින් යෝජනා වනවා දකින අදහස්ය.

නැවතත්, ඉහත සාරාංශය කියවන කෙනෙකුට සිතෙනු ඇත්තේ වර්තමාන ආණ්ඩුව විසින් බුද්ධි අංශ වැනි 'පාර-රාජ්‍යයේ' කොටස්වලට එරෙහිව කරන අරගලය මේ නවකතාව මගින් උපමා කතාවක් බවට පත් කර තිබෙනවා කියාය.

සැකයකින් තොරව මෙහි එම දේශපාලනය මත කරන ඔට්ටු ඇල්ලීමක් තිබෙනවා යන්න ප්‍රතික්ෂේප කිරීම පහසු නොවේ. කෞශල්‍යගේ දේශපාලන පක්ෂපාතීත්වයන් එතරම් රහස් වන්නේද නැත. එම අර්ථයෙන් මේ තිබෙන්නේ අපේ රටේ මේ මොහොතේ දේශපාලනය සමග තදින් බැඳුනු නවකතාවකි.

නමුත් එවැනි අර්ථයකින් මෙම නවකතාව එතරම් බුද්ධිමය උනන්දුවක් ඇති කරන්නේ නැත. එක අතකින් එය මේ කියන ආකාරයේ පරිවර්තනයක් වන්නේද කියා අප තවම දන්නේ නැත. අවම වශයෙන් දේශපාලනයේ රැඩිකල් පරිවර්තනයක ආරම්භය මෙය වන්නේද කියා අප තවම ස්ථිර ලෙස දන්නේ නැත. එය දැනට තීරණය වන්නේ අපේ දේශපාලන පක්ෂපාතීත්වයන් මතයි. නමුත් එය තවදුරටත් සාහිත්‍ය තුළ විසඳාගත හැකි දෙයක් නොවේ. එනිසාම කෞශල්‍යගේ නවකතාවට වත්මන් දේශපාලනය සමග ඇති සම්බන්ධය සාහිත්‍යමය අර්ථයෙන් එතරම් ප්‍රමුඛ නොවේ.

එවැනි අර්ථයකින් අප ඇසිය යුත්තේ වත්මන් ආණ්ඩුවේ දේශපාලනය පිළිබඳව උපමාකතාවක් ගොඩනගනවාට එහා ගිය අදහසක් කෞශල්‍යගේ නවකතාවේ තිබෙනවාද යන්නයි.


චිත්‍රය සංකීර්ණ වීම

මෙයට පිළිතුරක් දීම සඳහා අප සලකා බැලිය යුතු කේන්ද්‍රීය සාධකයක් මෙහි වෙයි. පාර-රාජ්‍යයට එරෙහිව සටන් වදින සහ ඒ මගින් බෝර්හේස්ට මෙන්ම ලියොතාටද අභියෝග කරන තරුණ සිතියම්වේදියා බිහිවීම පසුපස මතවාදී අරගලයක් ක්‍රියාත්මක වෙයි. කෞශල්‍යගේ නවකතාවේ අමුත්ත අපට හමුවන්නේ මෙතැනදීය. එය බෝර්හේස්ට මෙන්ම ලියොතාටද එරෙහි වන්නේ මෙතැනදීය.

එම මතවාදී අරගලයේ ප්‍රධාන චින්තකයා වන්නේ වත්මන් අධිරාජ්‍යයාගේ පියරජුගේ මහාමාත්‍යවරයා වූ සේනකයි. නවකතාව ආරම්භ වන්නේ සේනක විසින් ලිවීමට සැලසුම් කරනු ලැබ සිටි 'පරමාදර්ශී අධිරාජ්‍යයක් වෙනුවෙන් සටහන්' නම් කෘතියක් පිළිබඳව අධිරජු සොයා බැලීමෙනි. නමුත් මෙවැනි කෘතියක් සේනක නිල වශයෙන් එලි දක්වන්නේ නැත. එහි අත්පිටපතක්ද නැත. එහි පිටපතක් සුරැකිව තිබෙනා බව අප දැන ගන්නේ නවකතාවේ අවසානයේදීය. එය තිබෙන්නේ අන් කිසිවකු ළඟ නොව අපගේ තරුණ සිතියම්වේදියා ළඟයි.

අප්‍රකාශිත කෘතියේ භෞතික පැවැත්ම පිළිබඳව ඒ වනතුරු අප නොදැන සිටියද එවැනි කෘතියක් තිබූ බව සහ එය අතුරුදහන් වීමට හේතුව අප නවකතාව පුරා ක්‍රමිකව පැහැදිලි කර ගනියි. එක් අතකින් කෞශල්‍ය අපට  'පරමාදර්ශී අධිරාජ්‍යයක් වෙනුවෙන් සටහන්' කෘතියෙන් දිගු උපුටාදැක්වීම් කරයි. අනෙක් අතට එහි රචකයාට සහ ඔහුගේ දාර්ශනික ගුරුකුලයට එරෙහිව ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණය අපට නවකතාව පුරා පැහැදිලි කරයි. අධිරාජ්‍යයේ 'බුද්ධි අංශ' මගින් ඝාතනයට ලක් වන්නේ මෙම ගුරුකුලයේ සාමාජිකයන්ය. නවකතාව අවසන් වන්නේ මෙම මහා සංහාරයෙන් පසු ඉතිරි වූ එම ගුරුකුලයේ වත්මන පරපුර නැවත සිය රැඩිකල් අදහස් රාජ්‍ය වෙනස් කිරීමේ අරමුණින් ඉදිරියට ගෙන ඒමත් සමගිනි.

නමුත් මෙහි අමුත්ත තිබෙන්නේ 'පරමාදර්ශී අධිරාජ්‍යයක් වෙනුවෙන් සටහන්' කෘතියේ අන්තර්ගතයෙහිය. එහි තිබෙන්නේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ මාලාවක් නොවේ. අවම වශයෙන් එහි වැඩි අඩංගුවක් තිබෙන්නේ සම්පූර්ණයෙන් වෙනස් අමුතු සංවාදයක් වෙනුවෙනි. තනි වචනයකින් අපට එය දිව්‍යමත්වය ලෙස නම් කළ හැකිය. දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා යෝජනා මාලාවක් අපේක්ෂා කරන විට අපට ලැබෙන්නේ දිව්‍යමත්වයේ විවිධ ස්වරූප සම්බන්ධ සංකීර්ණ සංවාදයකි. එක් එක් ආකාරයේ දෙවිවරුන් ඇදහීම, එවැනි දෙවිවරුන්ගේ සාධනීය අංග මෙන්ම නිශේධනීය අංග, ආගම සහ දේශපාලනය අතර සම්බන්ධය, නව දෙවිවරුන්ගේ ආගමනය ආදී ලෙස සාමාන්‍යයෙන් අප දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව සංවාදයකදී කිසිසේත් අපේක්ෂා නොකරන ආකාරයේ සංවාදයක් එහිදී අපට හමුවෙයි.


දිව්‍යමත්වය

'පරමාදර්ශී අධිරාජ්‍යයක් වෙනුවෙන් සටහන්' මාලාව ආරම්භ වන්නේ අධිරාජ්‍යයේ දේවමණ්ඩලයට නව දෙවි කෙනෙකු හඳුන්වා දීමේ උත්සවයක පසුබිමේ සිදුවන සංවාදයක් ලෙසයි. එහිදී සේනක සහ ඔහුගේ වැඩිමහළු සංවාදභාෂකයා වන චානක්‍ය ඇතුළු පිරිසකගේ අදහස් අපට හමුවෙයි.

අප දැන ගන්නේ එදින හඳුන්වා දෙන නව දෙවියා මෙතෙක් දේව මණ්ඩලයේ සිටි අනෙක් දෙවියන් හා සම නොවන බවයි. ඒ වෙනුවටට එහිදී හඳුන්වා දෙන්නේ සර්වබලධාරී වූ මැවුම්කාරී දෙවියෙකි. දිව්‍යෝත්තමයාණන් වහන්සේ ලෙස හඳුන්වන මෙම දෙවියන් සම්බන්ධ පුරාකතාවක් හෝ රූපයක් හෝ නැත.

මේ තිබෙන්නේ කිතුනු, ඉස්ලාම් ආදී ඒකදේවවාදී ආගමක් බව පැහැදිලි වෙයි. එම අර්ථයෙන් මේ තිබෙන්නේ යුරෝපයෙන් කිතුදහම පැමිණීම නම් ඓතිහාසික සිදුවීමට සම සිද්ධියක් කියා අපට සිතෙයි. එසේ වීම සඳහා අපට පැහැදිලි සාක්ෂිද නවකතාව පුරා හමුවෙයි. මෙය ඓතිහාසික නවකතාවක් ලෙස සැලකීමේ ඉඩක්ද තිබෙන්නේ මෙම නිසාය.

නිදර්ශනයක් ලෙස මෙය මෙසේ පැතිරෙන්නේ අපගේ කතාවේ එන අධිරාජ්‍යය සහ විශේෂ අවියක් සහිත තවත් අධිරාජ්‍යයක් අතර ඇති වූ ගිවිසුමකට අනුව කියා අපට දැන ගන්න ලැබෙයි. එම ගිවිසුමේ මුඛ්‍ය කොන්දේසියක් වන්නේ එම ඒකදේවවාදී ආගම ප්‍රචාරණය කිරීමට ඉඩ ලබා දීමයි. මෙය අධිරාජ්‍යයට යටත්වීම හා සමවනවා කියා සේනක දනියි. ඔහු යුද්ධයෙන් අධිරාජ්‍යය බේරාගත්තේ මේ වන්දිය ගෙවීමට හිත හදාගෙන කියා අපට දැන ගන්නට ලැබෙයි. නමුත් මේ ආගම පැතිරවීමෙන් ඉතා ඉක්මනින් දැන් ආගමික යුද්ධ ඇති වී බොහෝ මිනිසුන් මිය යනු ඇත කියා සේනක බිය වෙයි. මේ තිබෙන්නේ කිතුනු ආගම පැතිරවීමේදී ඇති වූ ආකාරයේ ඓතාසික නිදර්ශනයක් කියා අපට සිතෙන්නේ මෙවැනි සාධක නිසාය.

නමුත් මෙම සරල සන්සන්ධනය අර්බුදයට යවන කතාවක්ද මේ යටින් ගලා යයි. එමගින් පෙන්වා දෙන්නේ ඒකදේවවාදය වඩාත් සමානාත්මතාවාදී සහ දේශපාලනිකව වඩාත් ප්‍රගතශීලී බවයි. කෞශල්‍යගේ සාහිත්‍යමය සිතීමේ අබිරහස් මානය අපට හෙළි වන්නේ මෙතැනදීය. එම අර්ථයෙන් එය සම්ප්‍රදායිකව අදේවවාදී වූ මෙරට වාම විමුක්ති කතිකාවට අභියෝගයක් එල්ල කරයි. "දිව්‍යෝත්තම දහමට අනුව දිව්‍යෝත්තමයාණන් ඉදිරියේ සියල්ලෝ සාමානයෝය. තවදුරටත් අධිරාජ්‍ය පාලනයට ඇති දිව්‍යමය අයිතිය මේ මග ඔස්සේ ගමන් කිරීමෙන් අහිමි වී යනු ඇත." (පි. 13)

මෙම අදහසම පසුව සේනක සහ නසර් අතර වූ නිර්නාමික ලියුම් හුවමාරුවකදීද තහවුරු කෙරෙයි: "මක්නිසාද දිව්‍යෝත්තමයාණන්ගේ බල මහිමය ඉදිරියේ මනුෂ්‍යයන් සියලු දෙනා එක සමානයන්.." (පි. 134)

බැලූ බැල්මට මෙහි පරස්පරයක් තිබෙනවා කියා කෙනෙක් කියනු ඇත. ඒකදේවවාදී ආගම් විසින් රාජ්‍ය පාලනයේ දේවවරම්වාදය වැනි අර්ථකථන ලබා ඇති බව අපි දනිමු. ඒවාට අනුව රජුන්ට පාලන බලය ලැබෙන්නේ දෙවියන්ගෙනි. එනිසාම එහිදී දෙවියන් යනු ඔවුන්ගේ පාලනයේ සදාචාරමය යුක්තියුක්තකිරීමයි.

නමුත් මෙහිදී කෞශල්‍ය මතු කරන්නේ ඒකදේවවාදී විශ්වීයත්වයේ ඇති එක්තරා විභවයකි. එහිදී දෙවියන් ඉදිරියේ අප සියලු දෙනා සමානයෝ වෙති. එනිසාම එතැනදී රජු සහ වැසියා යන බෙදීම ඉක්මවූ සමානාත්මතාවයක් අපට ලැබෙයි. එමගින් දැන් තිබෙනා අසමානතාවයන් එක්වරම අහෝසි වී නොගියද අවසානයේදී එය නියත ලෙස සිදුවනවා කියා ඒකදේවවාදය අපට පොරොන්දු වෙයි. අවසානයේදී අපට දෙවියන්ගේ දරුවන් ලෙස සමාන ලෙස සතුටුදායක ජීවිතයක් උරුම වනු ඇත.

එහිදී ජීවත් වන මිනිසුන්ට මෙන්ම මියගිය මිනිසුන්ටද විමුක්තිය පිළිබඳව බලාපොරොත්තුවක් තිබේ. සමස්ත අධිරාජ්‍යය වැසී යන සිතියමට මළවුන්ද ඇතුලත් විය යුත්තේ මේ නිසාය (පි. 18). එය සත්‍ය වශයෙන්ම සියලු මිනිසුන්, එනම් ජීවත් වන මිනිසුන් මෙන්ම මියගිය මිනිසුන්ද ඇතුලත් පූර්ණ විශ්වීයත්වයක් වෙයි. එය අමරණීයත්වය පිළිබඳව බලාපොරොත්තුවක් ගෙන එයි. 'පරමාදර්ශී අධිරාජ්‍යයක් වෙනුවෙන් සටහන්' අතර එක් තැනක චානක්‍ය විසින් අමරණීයත්වය පිළිබඳව මිනිසාගේ ඇති මෙම බලාපොරොත්තුව තියුණු ලෙස මතු කරයි: "මරණය කෙරෙහි මගේ ඇති සම්බන්ධය අමුතු එකක්. මට මිය නොගොස් තව බොහෝ කල් ජීවත් විය යුතු වනවා සේම මියගොස් පරලෝකය තුළ අලුත් ජීවිතයක් ඇරඹීමටත් ආශාවක් තිබෙනවා." (පි. 74-75)

ඒකදේවවාදය මෙයට පදනමක් දෙන බව ඉතාම පැහැදිලි වෙයි. සේනක සහ නසර් ඒකදේවවාදය අධිරාජ්‍යයේ අනාගතය ලෙස නම් කරන්නේ මේ නිසාය (බලන්න, නිදර්ශනයක් ලෙස, පි. 137).


තවමත් නොපවත්නා දෙවියන්

මා සිතනා ආකාරයට කෞශල්‍යගේ නවකතාවේ තිබෙන පුදුමාකාර මානය අපට හමුවන්නේ මෙතැනදීය. බැලු බැල්මට කෞශල්‍ය මෙහිදී පෙනී සිටින්නේ අතිශය ආන්දෝලනාත්මක ස්ථාවරයක් වෙනුවෙනි. ඒකදේවවාදය අධිපති නොවුණු සිංහල භාෂා ලෝකය තුළ ඔහු ඒකදේවවාදය වෙනුවෙන් පෙනී සිටීමක් කරයි. මෙය කෙතරම් සංකීර්ණ පෙනී සිටීමක්ද යත් සේනකගේ සතුරු පාර්ශවය වන 'අධිරාජ්‍යයේ බුද්ධි අංශ' සිදුකරන එක් කුමන්ත්‍රණයක් ලෙස සේනක නම් කරන්නේ ඒකදේවවාදය වෙත බහුදේවවාදී ජනයා බලගත්කාරයෙන් බඳවා ගැනීමයි. මේ මගින් එම ජනයාට ඒකදේවවාදය සම්බන්ධයෙන් කලකිරීමක් ඇති වන නිසා අවසානයේදී ඔවුන්ගේ ඉලක්කය වන්නේ ඒකදේවවාදය පරාජය කිරීම කියා සේනක කියයි (පි. 153). එම නිසාම මෙහිදී සේනකගේ තෝරාගැනීම වන්නේ ක්‍රමිකව සිදුවන සමාජ පරිවර්තනයක් හරහා ජනයා ඒකදේවවාදය වෙත ගෙන යාම කියා අපට පැහැදිලි වෙයි.

මින් අදහස් වන්නේ සේනක ඒකදේවවාදය පිළිගන්නා බවද නොවේ. ඒ සම්බන්ධයෙන් ඇති මුඛ්‍ය ආචාරධාර්මික ගැටලුව කුමක්ද කියා සේනක එක් තැනක ඉතා තියුණු ලෙස කියයි. "මා දිව්‍යෝත්තමයාණන්ට කැමති වන්නේ උන් වහන්සේ සර්වබලධාරී වන නිසයි. මා අකමැති වන්නේ එවැනි බලමහිමයක් තිබියදීද දක්ෂිණ අංගණයේ සිදු වූවා වැනි අයුක්තිසහගත සමූලඝාතන සිදුවීම වියහැකිභාවයක් වන නිසයි." (පි. 147)

දෙවියන් සර්වබලධාරී වන නිසා අපට මිනිසුන් ලෙස එක සමාන ගැලවුමේ බලාපොරොත්තුවක් තිබේ. නමුත් ඒ සමගම මෙම දෙවියන් යටතේ සිදුවන බිහිසුණු අපරාධවලට අවසානයේදී මේ දෙවියන් වගකිව යුතුද වෙයි. දිව්‍යමත්වය පිළිබඳව මෙම ආකෘතිය සමග සේනක මුළුමනින් එකඟ නොවන්නේ මේ නිසාය. නමුත් ඒ සමගම ඔහු මෙයට ඇති විකල්පයද අපට හෙළි කරයි. "මා විශ්වාස කරන්නේ අප ගලවා ගත හැකි දිව්‍යමත්වය පැමිණිය හැක්කේ අප නොදන්නා අනාගතයකදී විය හැකි බවයි." (පි. 147).

වෙනත් ආකාරයකට කියන්නේනම් සේනක සත්‍ය වශයෙන්ම පෙනී සිටින්නේ වර්තමානයේ නොපවතින නමුත් අනාගතයේ උත්පාද වියහැකි දිව්‍යමත්වයක් වෙනුවෙනි. එවැනි අනාගත දිව්‍යමත්වයකට වර්තමාන ලෝකයේ සිදුවන අයුක්තිසහගත අපරාධවල වගකීම පැටවෙන්නේ නැත. එය එම පැමිණීමට පෙර වර්තමාන ලෝකයේ සිදුවන අසාධාරණයන්ය. එමගින් බලාපොරොත්තු විය හැක්කේ වර්තමානයේ අසාධාරණයට ලක් වන සියලු දෙනා හට සාධාරණය ලැබීමයි. එනිසාම මෙය වර්තමානයේ යුක්තිය වෙනුවෙන් සිදුකරන අරගලයේ බලාපොරොත්තුවක් විය යුතුය. අපට දැන් පවත්නා අසාධාරණයට එරෙහිව සටන් කළ හැක්කේ එය නියත ලෙස කවදා හෝ අවසන් වන දවසක් පැමිණීමේ බලාපොරොත්තුව සමගිනි. මේ මගින් අපට පැහැදිලි වන්නේ දිව්‍යමත්වය යන්නෙහි ඇති මගහැරිය නොහැකි දේශපාලන මානයයි. අන් සියල්ලට වඩා එහි දේශපාලන අවශ්‍යතාවයක් තිබේ.

"ඔබ දන්නවා අධිරාජ්‍යයේ පාලනය කිසිදු ලෙසකින්වත් දෙවියන් මග හැර යන්න බැහැ. එහෙම කරනවානම් අධිරාජ්‍යයට හැකි විය යුතුයි දිව්‍යමය බව අත්විඳීමේ වෙනත් ආකාරයක් වැසියන්ට ලබා දෙන්න. දෙව් ලොව යන මාවත ගැන අදහසක් නොමැතිව මනුෂ්‍යයන්ට පවතින්න බැහැ. ලෞකික නගරයක් පවතින්නේ දෙව්ලොවට යන කුලුනක් තිබේනම් පමණයි." (පි. 101)

කෞශල්‍යගේ සිතීම මගින් පෙන්වා දෙන්නේ රාජ්‍යය ලෞකික විය යුතුය වැනි සම්ප්‍රදායික සරල සටන්පාඨයක්ය කියා අප ආරම්භයේ පැමිණි නිගමනය අර්බුදයට යන්නේ මේ නිසාය. ඒ වෙනුවට අපට හමුවන්නේ ඒ 'ලෞකිකවාදී' යෝජනාව කළ තරුණ සිතියම්වේදියා දිව්‍යමත්වය පිළිබඳව සංකීර්ණ සිතීමක් කළ සේනකගේ වර්තමාන අනුගාමිකයකු බවයි. ඔහුගේ දේශපාලනය පදනම් වන බුද්ධිමය සම්ප්‍රදාය එයයි. එමගින් මෙම නව දිව්‍යමත්වය සූත්‍රගත කරන්නේ කෙසේද? අවාසනාවට 'පරමාදර්ශී අධිරාජ්‍යයක් වෙනුවෙන් සටහන්' කෘතිය අපට මුළුමනින් කියවන්නට ලැබෙන්නේ නැත. එහි ඉතිරි වී ඇති රහසිගත පිටපත රජු වෙත ලබා දීමට සැලසුම් කර ඇති බව පමණක් අපි අවසානයේදී දැන ගන්නෙමු. එහිදී අප දැන ගන්නේ මෙවැනි අනාගතයේ ඇතිවිය දෙවි කෙනෙකු හමුවේ සමානයන් ලෙස සිතන වැසියන්ගෙන් සමන්විත වන රාජ්‍යයකට තවදුරටත් අධිරාජ්‍යයකු අවශ්‍ය නොවන බව පමණි. එනිසා අවසානයේදී සේනක සිය කෘතියේ නම 'පරමාදර්ශී ජනරජයක් වෙනුවෙන් සටහන්' ලෙස වෙනස් කිරීමට යෝජනා කරයි. (පි. 166).

කෙසේවුවත් මෙම තවමත් නොපවතිනා දෙවියා පිළිබඳව අදහස සේනක හෝ ඔහුගේ දාර්ශනික ගුරුකුලයේ වෙනත් අයෙකු අතින් නිශ්චිත ලෙස සූත්‍රගත කෙරුනේ කෙසේද කියා අප තවමත් දන්නේ නැත. පොත අවසන් වන්නේ අධිරජු වෙත මෙම දැවැන්ත දැනුම රැගෙන යන පණිවුඩකරුවන්ගේ උද්වේගකර බලාපොරොත්තුවෙනි.
නමුත් සේනක මෙය කරන්නට ඇත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් යම් ඉඟියක් අපට එක් තැනකදී හමුවෙයි. එය සිදුවන්නේ වත්මන් අධිරජුගේ මව්බිසව මිය ගිය විය ඇයගේ සිරුර තිබුණු තැන පැන නැගී ඇති 'මානුභාවසම්පන්න හිස් තැන' නරඹන්න අධිරජු සේනක සමග ගිය විටයි. බලය තිබෙන්නේ හිස් තැනකයි. එසේත් නැතිනම් වර්තමානයේ බලය වෙනුවට තිබෙන්නේ හිස් තැනකි. එය හිස්තැනක් වන නිසාම වර්තමානයේ තිබෙනා යථාර්ථය මේ ආකාරයෙන්ම තිබීමේ අනිවාර්යයතාවයක් තිබෙනවා කියා අපට කිව නොහැකි වී යයි. මේ තිබෙනා ලෝකය මෙසේ තිබෙන්නේ කවුරුන් හෝ එය එලෙස සැලසුම් කර ඇති නිසා නොවේ. එවැනි සැලසුමක් කළ හැකි තැන තිබෙන්නේ හිස්තැනකි. එනිසාම මේ ලෝකයේ මගහැරිය නොහැකි අහඹු බවක් තිබේ. එය කෙතරම් අහඹු වන්නක්ද යත් සදාකාලික වනවා කියා අපට නිවේදනය කළ දේවදාස නම් අර්ධ දෙවියාද අවසානයේ නැති වී යා හැකිය කියා නවකතාව කියයි.


නවීනත්වයන් උත්පාද කළ හැකි කාලය

සියල්ලට ඉහලින් තිබෙන්නේ මේ කාලයයි. නවකතාව පුරා "කාලයට සවන් දෙන්න" යන පණිවුඩය අපට කෞශල්‍ය ලබා දෙන්නේ මේ වෙනුවෙනි. මේ තිබෙන්නේ වෙනස් වීමේ හැකියාව දරා සිටිනා කාලයක් ගැන බලාපොරොත්තුවකි. එම කාලයට අනුව, එම කාලය වෙනුවෙන්, එම කාලය ඉදිරියේ වැඩ කළ යුතුය කියා එමගින් අපට යෝජනා කරයි.

නවකතාවේ එන ප්‍රධාන කතා දෙක එකට යා කරන හුය වන්නේ මෙයයි කියා අපට කිව හැකිය. එක් කතාවක තිබෙන්නේ අති දක්ෂ විලවුන්කරුවෙක් කාන්තාවන් දෙදෙනෙක් සමග මවුබිසවගේ මරණය සමග ඇති වූ අර්බුදය හරහා සිය ජීවිතය ගලවාගෙන පැන ගත් ආකාරයයි. එහිදී විලවුන්කරුවා අතින් මවුබිසවගේ ශරීරයෙන් නිකුත් වූ ගුප්ත සුගන්ධයක් නිද්‍ර ඖෂධයක් බවට පත් කරයි. අවසානයේදී අධිරජුට අත්‍යවශ්‍ය ඖෂධය වන්නේ මෙය බව අපට පැහැදිලි වෙයි. නින්ද අහිමි වූ රාජ්‍යයේ හිසට නිවනක් ගෙන ආ හැක්කේ සියලු දෙනා නින්දට පත්කළ හැකි මෙම ඖෂධයට පමණි. එය මවුබිසවගේ අහිමි වීමේ සාරය කැටි කොට තිබේ. එනිසාම එය අනාගත සුවයක පොරොන්දුව නියෝජනය කරයි.

අනෙක් අතට මෙම සුවය සමග දැනුමද අධිරජු හට අවශ්‍ය වෙයි. සේනකගේ අප්‍රකාශිත ග්‍රන්ථය මගින් අධිරජුට පොරොන්දු වන්නේ මෙයයි. එය දිව්‍යමය ඔසුවක් ඉල්ලා සිටින අතරම දිව්‍යමත්වයක් පිළිබඳව සිතීමක්ද ඉල්ලා සිටියි. අධිරජු සැතපෙනු පිණිස අපට අවශ්‍ය වන්නේ මෙයයි. බෝර්හේස් මෙන්ම ලියොතාද කිසිදා කළ නොහැකි වනවා කියා කීවේ මෙයයි. එය සාමාන්‍ය තත්වයකදී නිවැරදි වෙයි. නමුත් කෞශල්‍ය කරන්නේ මෙයට අසාමාන්‍ය වියහැකිභාවයන් විවර කරන කාලයක් එක් කිරීමයි. ඒ මගින් අපට ලෞකිකකරණය වූ දිව්‍යමත්වයක් ගැන බලාපොරොත්තුවක් ගෙන දෙයි. තරුණ සිතියම්වේදියා සිතියමේ කේන්ද්‍රය බවට මාලිගාව ගෙන ඒමට යෝජනා කරන්නේ ඇයිද කියා නිවැරදිව අපට වැටහෙන්නේ එම මොහොතේදීය. ඒ දෙවියන් නොමැති නිසා නොව තවදුරටත් අපට දේවමන්දිරයේ සිටින දෙවියන් අපට පිළිගත නොහැකි නිසාය. ඒ වෙනුවට දැන් දෙවියන් අප ලෞකිකත්වයක් වෙත ගෙන ආ යුතුව තිබේ.


දාර්ශනික මූලයන් සහ සාහිත්‍යමය පූර්වජයන්

මෙහි දාර්ශනික මූලයන් හඳුනා ගැනීම එතරම් අපහසු නොවේ. මෙම නවකතාව පුරා අපට ආත්මයන් උත්පාද වීමේ ගැටලුව සාකච්ඡා කෙරෙනු දක්නට ලැබෙයි. මෙම ගැටලුව කෞශල්‍යගේ ප්‍රථම නවකතාව වූ ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ දක්වා දිව යන එකක් බව අපි දනිමු. එහිදී ශිෂ්‍ය ක්‍රියාකාරිනිය ආත්මීයකරණය වීමේ ක්‍රියාවලිය කෞශල්‍ය විසින් ප්‍රබන්ධකරණය කරන්න උත්සාහ කරයි. ඇලේන් බදියුගේ දර්ශනයේ ආභාසය ලැබුවෙක් ලෙස එහිදී කෞශල්‍ය ආත්මීයත්වය සංකල්පගත කරන්නේ පුද්ගලත්වය හා බැඳුනු දාර්ශනික සංකල්පයක් ලෙස නොව විශ්වීය වූ අරමුණක් වෙත පක්ෂපාතී වීමේ භාවිතයක් ලෙසයි. නමුත් එහි තිබූ එක් සීමාවක් වන්නේ බදියානු දර්ශනයේ පාරභෞතික විද්‍යාත්මක ස්ථාවර පැහැදිලි කිරීමට එම නවකතාවට භාෂාවක් නොමැති වීමයි. එහිදී ආත්මීයකරණය පිළිබඳව තේමාව නවකතාවේ පසුපසට තල්ලු වී වානිජකරණය වූ සමාජයේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවල සංකීර්ණ මානයන් පිළිබඳව තේමාව පෙරට එන්නේ එම නිසාය. එහි ආත්මීයකරණ ක්‍රියාවලියේ කිසියම් යාන්ත්‍රික බවක් තිබෙනවා කියා වුවත් කෙනෙකුට චෝදනා කළ හැකිය.

මෙම ලක්ෂණයම අපට ‘නිම්නාගේ ඉතිහාසය’ නවකතාවේද දක්නට ලැබෙයි. එම නවකතාවේද ආත්මීයත්වය පිළිබඳව ගැටලුව මෙන්ම දිව්‍යමත්වය පිළිබඳව අදහසද අන්තර්ගත වනවා කියා යෝජනා කළ හැකිය. 'නිම්නාගේ ඉතිහාසය' අවසානයේ එන බබෙල් කුලුණේ කතාව කෞශල්‍යගේ සිතීමේ අකණ්ඩව එන දිව්‍යමත්වය පිළිබඳව තියුණු සාක්ෂියක් සපයයි. එහිදී අපට කියවෙන්නේ දෙවියන් වහන්සේ නොමැතිව ස්වර්ගයට යාමට මිනිසුන් සෑදු කුලුණ වන්නේ බබෙල් කුලුණ කියාය ('නිම්නාගේ ඉතිහාසය', 2019 පළමු මුද්‍රණය, පි. 495).

එම අර්ථයෙන් ලෞකිකකරණය වූ ස්වර්ගයක් පිළිබඳව අදහස මෙන්ම අනාගත නව ලෝකයක් සමග සම්බන්ධයක් සහිතව මෙම ලෝකය පැවතීමේ අවශ්‍යතාවයද කෞශල්‍යගේ සාහිත්‍යමය සිතීමේ මෙයට පෙර සිට හඳුනා ගත හැකිය. නමුත් මෙතැනදී වුවත් මෙම තේමාව එම නවකතාවේදී තියුණු ලෙස මතු වන්නේ නැත. එහිදී කෞශල්‍යගේ දේශපාලන දැක්ම වඩාත් ඉදිරියට පැමිණෙන්නක් වුවත් එහි අපට දක්නට ලැබෙන්නේ එක්තරා ඓතිහාසික ආත්මීයකරණ ක්‍රියාවලියක අවසානය සහ ඉන් පසුව ඉපදුනු නව පරම්පරාව විසින් ලකුණු කරනා කණ්ඩනයයි. බර්ලින් තාප්පය කඩා වැටෙන දා උපන් නිම්නා නවකතාව අවසානයේදී අපෙන් අසන්නේ "මොකද්ද අනේ ඔය බර්ලින් වෝල් එක කියන්නේ?" කියාය. එනිසාම නවකතාව පුරා විස්තර වෙන 70 දශකයේ වාම ව්‍යාපාරයේ ආත්මීයකරණ ක්‍රියාවලිය තවදුරටත් නිම්නාට අදාළ නොවනවා යන අසුබවාදී පණිවුඩයෙන් එම නවකතාව අවසන් වෙයි.

‘අධිරජු සැතපෙනු පිණිස’ නවකතාව කෞශල්‍යගේ සාහිත්‍යමය සිතීමේ නව අදියරක් ලකුණු කරනවා කියා අප කිව යුත්තේ මේ නිසාය. සැකයකින් තොරවම මෙයට දේශපාලනය සමග කෞශල්‍යගේ ඇති සම්බන්ධය මෙන්ම එම දේශපාලනයේ මෑත කාලීන ජයග්‍රහණ සමග එන වගකීම්ද බැඳී තිබෙනවා කියා අපට කිව හැකිය. තවදුරටත් සමකාලීන වාණිජ සංස්කෘතිය තුළ සිරවී සිටිනා තාරුණ්‍යයේ ජීවිතය විවරණය කිරීම කෞශල්‍යයට ප්‍රමාණවත් නොවේ. ඒ වෙනුවට ඔහුට දැන් විශාල තේමාවන් සිය සාහිත්‍යමය සිතීමේ අධ්‍යයන වස්තුව කරගැනීමට සිදුව තිබේ.

මේ නිසා මෙම නවකතාව සමග කෞශල්‍යගේ පැරණි පාඨකයන් යම් පිරිසක් දුරස්ථකරණය වීමේ අනතුරක් පවා තිබෙනවා කියා මම සිතමි. මෙය අප බොහෝ දෙනෙකුට එල්ල කරනු ඇත්තේ අභියෝගයකි. නමුත් මෙහි වාසිය වන්නේ කෞශල්‍යට දැන් යුක්තිය උදෙසා සටන් වදින ආත්මයක් උත්පාද වීමේ ක්‍රියාවලිය සමග බැඳී ඇති දාර්ශනික තේමාවන් ස්පර්ශ කළ හැකි වීමයි. ඒකදේවවාදී දෙවියන් හමුවේ කේවල ආත්ම උත්පාද විය හැකි බවත්, මෙයට එරෙහිව නව සාමූහික ආත්මයක් ගොඩනැගීම සඳහා අප තවමත් සාංදෘෂ්ඨික නොවූ දිව්‍යමත්වයක් පිළිබඳව සිතිය යුතු බවත් මෙමගින් තියුණු ලෙස ඉඟි කෙරෙයි. එනිසාම මේ නවකතාව බදියුගේ දර්ශනයේ සිට කොන්ටෙන් මෙයසූගේ රැඩිකල් අහඹුබව පිළිබඳව අදහස සමග බැරෑරුම් ගණුදෙනුවක් කරයි. මෙයසූගේ දර්ශනයේ එන නිර්සාංදෘෂ්ඨික දෙවියන් පිළිබඳව අදහස මෙම නවකතාව පසුපස ඇති දාර්ශනික පදනම ලෙස ගැනීම වැරදි නොවන්නේ මේ නිසාය.


විකල්ප අර්ථකථන

සැකයකින් තොරවම මින් අදහස් වන්නේ මෙය මෙයසූගේ දර්ශනය 'පැහැදිලි කරන' උපමා කතාවක් බව නොවේ. මෙය වත්මන් ආණ්ඩුවේ දේශපාලනය පැහැදිලි කරන උපමා කතාවක් නොවනවා මෙන්ම මෙය මෙයසූගේ හෝ බදියුගේ හෝ දර්ශනයේ උපමා කතාවක් නොවේ. ඒ වෙනුවට මෙහි තිබෙන්නේ දේශපාලනයෙන් මෙන්ම දර්ශනයෙන්ද පන්නරය ලැබූ සාහිත්‍යමය සිතීමක නිම් වළලු පුළුල් වීමයි. එනිසාම - ඩෙරීඩාගේ භාෂාවෙන් කියන්නේ නම් - මෙහි මතු කරගත හැකි මැහුම් පොටවල් අපමණ වෙයි. ඒ එක් එක් මැහුම් පොටක් මගින් අපට මෙහි ගොතා ඇති විවිධ වියමන් නිරාවරණය වනු ඇත.

නිදර්ශනයක් ලෙස මෙහි ආඛ්‍යාන රටාව කෙනෙකුට පරීක්ෂා කර බැලිය හැකිය. මෙය ආරම්භ වන තැනින් දින කීපයක් ඔබ්බට එය යයි. ඉන් පසුව එය පසුපස ඇති වසර තිහකට පෙර සිදු වූ පසුබිම් කතාව වෙත යයි. එම කතාව සමග බැඳුනු බුද්ධිමය සංවාදයක් වෙත මෙය ඉන්පසුව යයි. මෙය කාලය පිළිබඳව මෙම නවකතාව පුරා එන සංවාදය සමග සම්බන්ධ වන්නේ කෙසේද?

ආරම්භයේදී මෙය අතීතය සහ අනාගතය සියල්ල ඒ වනවිටත් සිදුව තිබෙන නියතවාදී කුට්ටි විශ්ව ප්‍රවාදයක් (block universe theory) වෙත සම්බන්ධ වනවා කියා අපට සිතෙයි. විශේෂයෙන් දේවදාස සදාකාලික වනවා කියාත් ඔහුට අනාගතය සහ අතීතය එක ලෙස පෙනෙනවා කියාත් කෞශල්‍ය කියන විට අපට පෙනෙන්නේ මෙයයි. නමුත් නවකතාව අවසානයේ කෞශල්‍ය මෙය බිඳ දමන්නේ සදාකාලික වනවා කියූ දේවදාසගේ පැවැත්ම අහෝසි කරමිනි. එනිසාම එය පෙනී සිටින්නේ දැනට නොපතින රැඩිකල් නව ලෝකයක වියහැකිභාවය වෙනුවෙන් කියා කෙනෙකුට කිව හැකිය. එය පෙනී සිටින්නේ සදාකාලික වනවා කියා හඳුනා ගන්නා නියාම ධර්ම පවා බිඳ වැටිය හැකි යථාර්ථයක් වෙනුවෙනි.

මෙහි එන චරිත විශ්ලේෂණය කිරීම අපට බොහෝ රහස් හෙළිකරන නූල්පොටවල් ගණනාවක් ලිහා ගැනීමට ඉඩ දෙන බව පැහැදිලි වෙයි. රාජ්‍ය බලය වෙනුවෙන් දේශපාලන ඝාතන සිදුකරන මවුබිසව සහ ආගම දෘෂ්ඨිවාදයක් ලෙස ක්‍රියාකරන ආකාරය අප තේරුම් ගන්නේ කෙසේද? මෙහි කේන්ද්‍රීය චරිතයක් වන විලවුන්කරුවාගේ ඇස වෙනුවට නාසය කේන්ද්‍රකරගත් දැනුමින් ලෝකය අපට කෙසේ විවර කරනු ඇතිද?


දේශපාලනික-දේවධාර්මික නවකතාවක්

මෙහි අපට ලිහාගත හැකි මැහුම් පොටවල් බොහෝ තිබෙනවා කියා මා කියන්නේ එම නිසාය. මේ වියහැකිභාවය මධ්‍යයේ වුවත් මෙහිදී දිව්‍යමත්වය පිළිබඳව සිතීමේ ප්‍රමුඛත්වයක් තිබෙනවා යන්න ප්‍රතික්ෂේප කළ හැකි නොවේ. නවකතාවේ කීප තැනක මෙය අලුත් දෙවියකු හඳුන්වාදීමක් නොව දිව්‍යමත්වය ගැන නව සිතීමක් වනවා කියා කෞශල්‍ය කියන්නේ මේ නිසාය. පරමාදර්ශී රාජ්‍යයක් පිළිබඳව සේනකගේ අධ්‍යයනයේ වැඩිම කාලයක් මිඩංගු වන්නේ දෙවියන් පිළිබඳව සංවාදයට වීම මෙයට තියුණු සාක්ෂියකි. අධිරාජ්‍ය පරමාදර්ශී ලෙස ගොඩනැගීමට අවශ්‍ය 'වැඩපිළිවෙල' ලබා දෙනවා වෙනුවට කෞශල්‍ය වැඩි උනන්දුවක් දක්වන්නේ දෙවියන්ගේ භූමිකාවේ සිදුවන වෙනස්වීම් අධිරාජ්‍යයේ දේශපාලනයේ පරිවර්තන සමග තියුණු ලෙස ගැට ගැසී ඇති බව පෙන්වීමටයි.

මෙය අප දේශපාලනික-දේවධාර්මික (political-theological) නවකතාවක් ලෙස හඳුන්වා දිය යුත්තේ එම නිසාය. එම අර්ථයෙන් මෙය සිංහල සාහිත්‍යයේ නව මානයක් විවර කරන මැදිහත්වීමක් බව පැහැදිලි වෙයි. කෞශල්‍ය කුමාරසිංහ නම් පරිණත සාහිත්‍යකරුවාගේ ආගමනය මේ නවකතාව මගින් සලකුණු වනවා කියා මා සිතන්නේ මෙම නිසාය. කලාකරුවන්ට උපදෙස් දෙන දාර්ශනිකයාගේ නිරර්ථක පෙළඹවීමට යටත් වීමට මට අවසරයක් දෙන්නේ නම් මගේ යෝජනාව වන්නේ මෙම සාහිත්‍යමය පරීක්ෂාවට මීළඟට බුදුදහම නම් සංකීර්ණ දේශපාලනික-දාර්ශනික ගැටලුව ඇතුලත් විය යුතු බවයි. එය අපේ රටේ දේශපාලනික-දේවධාර්මික සාහිත්‍යයේ නව යුගයක් ලකුණු කරනු ඇත.

(සටහන | වංගීස සුමනසේකර)
Philosopher

උපුටා ගැනීම - Vangeesa Sumanasekara ගේ ෆේස්බුක් පිටුවෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...