BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

වාලම්පුරිය ගැන මගේ කියවීම සැකෙවින් | Sumith Chaaminda

T

The Leader Desk

April 28, 2025 • 6:29 AM

වාලම්පුරිය ගැන මගේ කියවීම සැකෙවින්  | Sumith Chaaminda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 1. 'වාලම්පුරිය' තුළ සැඟවුණු වාලම්පුරිය වන්නේ 'විප්ලවයේ' වියහැකියාවයි.
  • මන්ද යත්, කෙනෙකුට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි පරිදි, කතාවේ සියලුම චරිත එලෙස ගේම් ගසන්නේ නැත.
  • එනම් එක් පසෙකින් 'වාලම්පුරිය' පුද්ගලිකව අත්පත් කරගැනීමේ ගේම් තර්කනය සහ අනෙක් පසින් එය සාමූහික වාසනාවක් බවට පත් කරගැනීමේ තර්කනයයි.
  • දෙවැන්න ප්‍රකාශයට පත් වන්නේ යාළුකම, ආදරය, අපේ එවුන් වැනි තේමාවන් ඔස්සේය.
අකුරු ප්‍රමාණය (Font Size):


2. ඉහත වාලම්පුරිය බොහෝ දෙනෙකුට මග හැරී යන්නේ මේ චිත්‍රපටය හුදෙක් වාලම්පුරියක් වටා ගසන ගේමක් ගැන කතාවක් ලෙසත් එය "සියල්ලන් සියල්ලන්ට එරෙහි ගේමක්" ලෙසත් අතිසරල කියවීමකට ලක් කිරීම නිසයි. ගේම් දෘෂ්ටියෙන් බැලූ විට අවසානයේ ජයග්‍රාහකයා වන්නේ හොඳින්ම ගේම ගැසූ තැනැත්තායි.  

Screenshot 2025 01 01 at 20.29.26 
3. මෙම ගේම් කියවීම වනාහී චිත්‍රපටයේ යටි පෙළ තුළ තියුණු දෘෂ්ටිවාදී විවේචනයකට ලක් වන්නා වූ හුවමාරු භාණ්ඩ අධිවන්දනාව (සහ එය කේන්ද්‍ර කොටගෙන නිර්මාණය වී ඇති සමාජ පර්යාය) චිත්‍රපටයේ බොහොමයක් කියවන්නන් විසින්ද අවිචාරාත්මකව උත්කර්ෂයට නංවමින් සිටීමෙහි ප්‍රතිපලයක් විය හැකිය.

4. මීට අමතරව අධ්‍යක්ෂකවරයා ගැනත්, පසුතල නිර්මාපකයින් ගැනත්, නළු නිළියන් ගැනත්, විශේෂයෙන්ම ශබ්ද නිර්මාණය ගැනත් කෙරෙන පුද්ගලික ඇගයීම් මගින් මාධ්‍ය අවකාශය පිරී යමින් පවතින අතර, චිත්‍රපටය සහ එතුළ සැඟවුණු චින්තනමය වාලම්පුරිය පිළිබඳ සාකච්ජාවකට ඇති ඉඩකඩ එයින්ද ඇහිරී යමින් පවතී.

 

5. දැනට ජනප්‍රිය කතිකාව තුළ සෙමින් යළිත් මුහුදු පත්ලේ ගිලෙමින් පවතින චිත්‍රපටයේ විප්ලවීය හරය නමැති වාලම්පුරිය යළිත් මතු කර ගැනීමට මා යෝජනා කරන්නේ සරල දෙයකි. එනම් චිත්‍රපටයේ ආඛ්‍යානය වන්නේ වාලම්පුරියක් වටා ගසනු ලබන සියල්ලන් සියල්ලන්ට එරෙහි ගේමක්ය යන අතිසරල කියවීම අත් හැර දැමීමයි. මන්ද යත්, කෙනෙකුට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි පරිදි, කතාවේ සියලුම චරිත එලෙස ගේම් ගසන්නේ නැත. ඒ අරුතින් මේ කතාව 'ඇෆ්රෝඩයිට් මල් කොල්ලයෙන්' වෙනස් ය.

6. ඒ වෙනුවට කතාව පුරාම එකිනෙකට ප්‍රතිවිරෝධී තර්කනයන් දෙකක් එකිනෙක හා ගැටෙමින් විකාශනය වේ. එනම් එක් පසෙකින් 'වාලම්පුරිය' පුද්ගලිකව අත්පත් කරගැනීමේ ගේම් තර්කනය සහ අනෙක් පසින් එය සාමූහික වාසනාවක් බවට පත් කරගැනීමේ තර්කනයයි. දෙවැන්න ප්‍රකාශයට පත් වන්නේ යාළුකම, ආදරය, අපේ එවුන් වැනි තේමාවන් ඔස්සේය.

 

walampuri 1

7. කලා නිර්මාණයක් ලෙස වාලම්පුරියේ විශිෂ්ටත්වය දැකිය යුත්තේ එහි ශබ්ද නිර්මාණය, පසුතල නිර්මාණය, ප්‍රේක්ෂක කුතුහලය රඳවා ගැනීම වැනි සරල තාක්ෂණික කාරණා තුළ නොව (චිත්‍රපටය පිළිබඳ ඇගයීම් මෙවන් කාරණාවලට ලඝු කිරීම වනාහී සැබවින්ම මේ නිර්මාණයට කෙරෙන අපහාසයකි) ඉහත කී එකිනෙකට ප්‍රතිවිරෝධී තර්කනයන් දෙක අතරට මැදිව කතාවේ චරිත විකාශනය වන අන්දම කලාත්මකව ප්‍රතිනිර්මාණය කර තිබීම යන කාරණය තුළය.

කතාවේ ආරම්භයේදී මුණගැසුණු බොහෝ චරිත අවසානයේදී අපට මුණ ගැසෙන්නේ වෙනස් ආකාරවලින්ය. මෙරට මෑතකාලීන කලා කෘති තුළ චරිතවල සංකීර්ණත්වයත් ඒවායෙහි විකාශනයත් ගැඹුරු ලෙස නිරූපණය වී ඇත්තේ අල්ප වශයෙනි.

 

489327031 1222708389861319 2965764325193192646 n
8. වාලම්පුරිය තුළ අමතක නොවන විශිෂ්ට දර්ශනයක් වන්නේ තමන්ව වධ බන්ධනයට ලක් කළ පොලිස් නිලධාරියාගේ දුක් පීඩාවේ කතාන්දරය වධයට ලක් වූවන් විසින් අසා සිටින මොහොතයි. එය ශිෂේකියානු අරුතින් පන්ති විඥානයේ මොහොතක් යැයි කිව හැකිය. නමුත් ඒ නිමේෂය ක්ෂණයකින් නික්ම යයි. "ඒත් අද ඉඳලා අපි ආයෙත් හොරු. ඔයා පොලිස්කාරයා."  

9. සිස්ටම් එක තුළ උත්කර්ෂයට නංවන ලද දෙය (දිව්‍යත්වය, නිරපේක්ෂකත්වය නොහොත් මුදල/වාලම්පුරිය) හඹා යාමේ කතාවක් තුළ විප්ලවයේ වියහැකියාව නිරූපණය වෙතැයි පැවසීම කොතරම් තාර්කිකද? මගේ හැඟීම වන්නේ එය මුදල් බවට පරිවර්තනය කිරීමේ දැනුම, හැකියාව හෝ සබඳතා නොමැති පිරිසක් අත වාලම්පුරිය ඉතිරි විය හැක්කේ ඔවුනගේ අසාර්ථක වූ සාමූහික ප්‍රයත්නයේ සංකේතයක් ලෙසින් පමණක්ය කියාය.

493125129 1239882468143911 8428554979384760425 n 670x280

 

10. ඇන්ජලෝගේ නැවත පැමිණීම සෙසු මිතුරන්ගේ මුවඟ සිනහවක් මතු කරන්නේ ඔහු සුරත ඔසවා වාලම්පුරිය ප්‍රදර්ශනය කිරීම නිසාද නැතහොත් තම මිතුරා යළිත් තමන් සොයා ඒමේ ප්‍රහර්ෂය නිසාද යන්න උභතෝකෝටික ගැටළුවක් ලෙස ඉතිරි වන අන්දමින් චිත්‍රපටය නිමා වූවා නම් එය වඩා ප්‍රබල අවසානයක් වන්නට තිබිණිය යන්න මගේ හැඟීමයි.  

11. මේ යුගයේ විප්ලවයේ වියහැකියාව සංකේතවත් කරන්නේ සියල්ල ගේම් බවට (හුවමාරු වටිනාකම් බවට) පරිවර්තනය වෙමින් තිබියදී එසේ නොවන යමක් නොහොත් අතිරික්තයක් පැවතීමත් එම අතිරික්තය දේවල්වල සාමාන්‍ය පිළිවෙලට බාධා කරනු ලැබීමත් විසිනි. වාලම්පුරිය තුළ මෙසේ මුළුමනින්ම සිස්ටම් එක බවට පත් විය නොහැකි අතිරික්තයක් පිළිබඳ ඉඟිය වරෙක වඩා සියුම්වත් තවත් වරෙක වඩා දැඩි ලෙසත් අපට හඟවනු ලබයි.

493038997 1239882524810572 7463236584120879847 n 670x280

 

මේ ඉදිරියේදී ලියන්නට තිබෙන ලිපියක සංක්ෂිප්ත සටහනකි. චිත්‍රපටය නරඹා මදක් අසුන මත ගල් ගැසී හුන් මා හට අසන්නට තිබුණේ එකම ප්‍රශ්නයකි. "භූපති, ගීතා, ලිපිය එවන්න ඕන කවදට කලින්ද?"

අරගලය තුළින් නව ජනරජයක සිහිනය කරා.. - (සුමිත් චාමින්ද)(සටහන | සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
sumith.chaaminda@yahoo.com

Sumith Chaaminda ගේ ෆේස්බුක් පිටුවෙන්...


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...