BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ආයෙමත් Take Care බලමු ද? - (දිල්මිණී හසින්තා අබේරත්න)

T

The Leader

September 22, 2024 • 12:37 AM

ආයෙමත් Take Care බලමු ද? - (දිල්මිණී හසින්තා අබේරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Take Care කතාව බලන්න ගත්ත මුල්ම දවස්වලත් මතක් වුණේ චාමනී ප්‍රේමතිලක ලියපු ‘සුජාතා’ කවිය.
  • Take Care කතාව ඇතුලේ මනුස්සයෙක් නියම හරි අනියම හරි කියන අවකාශයන්ට එන්න හේතු වෙන දේවල් එක එක අවස්ථාවල එක එක විදිහෙන් පෙන්නුවා.
  •   උදාහරණයකට හරිම තදබල නීති රීති ඇතුලේ දෙමාපියන්ගේ ආශාවන් සංසිඳුවන මිනිස් ආත්මවලට එහා ගිය භාණ්ඩ වගේ පාවිච්චි වුණ අසේනි සහ වාසල කියන චරිත දෙකටම ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා.
  • ඒත් ඇත්තටම නම් වාසල හේතුව කියන්නේ නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

“ගලේ ගහලා අතුල්ලනකොට
කමිසෙ ලිප්ස්ටික් පාට මැකුණද සුජාතා
තෑගි දුන් මිල අධික විලවුන්
යලිත් හරවා එව්වෙ නුඹටයි සුජාතා
හිමි අහිමි දෛවයේ වරදට
සමා වෙන්නට කියන් නෑ මං සුජාතා
කවන බව දැන දැනම ඔහු මට
හෙටත් වැඩිපුර බත් බඳිනවද සුජාතා”


ඒ කවිය ඇතුලෙන් සුජාතා කියන ගෑණු කෙනාව දැකපු අය ගොඩයි. ඒත් සුජාතට මේ කතාව කියන ගෑණු කෙනාව දකින්නේ අනියම් කියන ලේබලේ අස්සෙන්. ඒක අපි හුරු වෙලා ඉන්න හැටි. Take Care කතාව ඇතුලේ මනුස්සයෙක් නියම හරි අනියම හරි කියන අවකාශයන්ට එන්න හේතු වෙන දේවල් එක එක අවස්ථාවල එක එක විදිහෙන් පෙන්නුවා.

 

උදාහරණයකට හරිම තදබල නීති රීති ඇතුලේ දෙමාපියන්ගේ ආශාවන් සංසිඳුවන මිනිස් ආත්මවලට එහා ගිය භාණ්ඩ වගේ පාවිච්චි වුණ අසේනි සහ වාසල කියන චරිත දෙකටම ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. දෙමාපියන් කාලයක් තිස්සේ නඩත්තු කරන සමාජ පිළිගැනීම, තත්ත්වය, තරාතිරම, සංස්කෘතිය කියන දේවල්වල ගොදුරු වෙලා මේ දෙන්නාම තමන්ගේ ආශාවන්, අනන්‍යතාවන් නැති කර ගන්නවා. ජීවිතේ වින්දනය, නිදහස කියන දේවල් හීන විතරක්ම වෙලා කවුරු හරි අතීතේ දවසක හදපු සීමා මායිම්වලින් වටවෙලා ඒ දම්වැල්වලින් හිරවෙලා අකමැත්තෙන් වුණත් ජීවත් වෙන්න එයාලට සිද්ධ වෙලා තියෙනවා.

460720744 1075344047282657 5239271733117351088 n

 

හැබැයි එක දවසක් එනවා අමාරුවෙන් දරාගෙන ඉන්න කන්දක් වුනත් නාය යන. මට තවත් කවියක් මතක් වෙනවා එරන්ද නිශාන් උයන්වත්තගේ.

“බොහෝ උස් වූ කඳු මුදුන්වල
ඔබ නොදන්නා කතාවක් ඇත
කන්ද වාගේ ඔහොම හිටියට
ඇතුලෙ ඇත්තේ පාළු හිස්කම

අව් වැසිද තද සුලං අභිමුව
නොසෙල් වී උන් කන්ද දැක්කම
හිතක් පපුවක් නැතිලු කන්දට
ගහක් ඇඹරී කීව සුළඟට

තරුවකට පෙම් කරන තරමට
ඉතිරි කරගත් කඳුළු උල්පත
රහසෙ නිම්නෙට මුදාහළ බව
ගලන ගඟවත් දන්නෙ නෑ තව
එහෙම කන්දක් නාය යන්නේ
දරාගන්නට බැරිම වුන තැන”


TC 67

 

ඒ හැමදේකින්ම බැට කාලත් එක තැනකදි නාය යද්දි මිනිස්සු බනින්නේ කාලයක් තිස්සේ දරා ගත්ත කන්දට නෙවෙයි. දරා ගන්න බැරි වෙලා නාය ගිය එකට. කතාවේ කොතනදිවත් අසේනිගේ හිත රිදෙන්න මේනකා ළඟට යන්න හේතුව වාසල කියන්නේ නෑ. ඒක අසේනි අම්මලා තාත්තලා ඉස්සරහදි කියන්නේ “ඒකට එයාට හේතුවක් නෑ” කියලා. ඒත් ඇත්තටම නම් වාසල හේතුව කියන්නේ නෑ.

කසාදයෙන් නොලැබෙන දෙයක් හොයාගෙන මේනකා ළඟට ගිය වාසල ශුද්ධවන්තයෙක් කියන්න බෑ. ඒත් අවසානයේදී වාසලට හිමි වුණ ඉරණම ගැන හිතලා සතුටු වෙන්න තරම් අමනුස්ස වෙන්න අපිට බෑ. කතාවේ අවසානය ගැන කතා කරන හුඟ දෙනෙක් කියලා තිබුණේ අසේනි හොඳ නිසා එයාට හොඳක් වුණා. මේනකා සහ වාසලට දඩුවම් ලැබුණා කල වරදට කියලා.

ඇත්තටම වරද තියෙන්නේ ඒ දෙන්නා අතේ විතරද? අසේනිගේ වරදක් නැතිනම් වාසලට මේනකා කෙනෙක් ඕනද? අඳුරේ තියෙන පැලයක් ඉර එළිය තියෙන පැත්තට ඇඳෙනවා. ඒක ස්වභාවිකයි. ඒ නිසා වාසලගේ ජීවිතේ තීරණවලට බලහත්කාරකම් කරපු දෙමාපියන් වගේම නොගැළපෙන දීගයක් ඇතුලේ අනම්‍යව හිටිය අසේනිත් වැරදිකරුවන් නෙවේද?

 

tc 9837458450
හුඟ දෙනෙක් වාසල වැරදිකරුවෙක් කරන්නේ තමන් පොඩි කාලේ ඉඳන් අහලා තියෙන, තමන්ට හිතන්න පුරුදු කරලා තියෙන විදිහ අනුවයි. ඒත් තමන්ට සතුටක් නොදැනෙන තැනක හිරවෙලා ඉන්න කියලා බල කරන්න අපට බැහැ. එහෙනම් අපිත් හරිම සාම්ප්‍රදායිකයි. අනියම් බැදීම්වලට සමාජයේ පිළිගැනීමක් නෑ. නීතියෙන් බුරුලක් නෑ. ඒත් ආත්මය සුවපත් කරන මොනයම්ම හෝ සහනයක් ඇති තැනක් අපි අපේ ජීවිතවල හොයන්නේ නැද්ද?

නාමිකව, නියම - අනියම කියා කිව්වාට හැඟීම්වලට එහෙම වැට බදින්න පුලුවන්ද? ඒක තේරුම් යන්නේ තමා වාසලගේ දෛවයට එබී බැලුවොත් විතරයි. ‘ආපෝ! ඕකා පිට ගෑණු එක්ක බුදියන්න ගියා. ඕකට ඔහොම වෙලා මදි’ කියලා කියන්න තරම් කම්මැලි සහ නීරස අදහසක් දරන්න නම් මේ කතාව මෙච්චර දුරක් පෙන්නන එකේ තේරුමකුත් නෑ. අවසානයේ අනියම් පෙමකින් හොඳ ප්‍රතිඵලයක් එක්ක කතාවක් ඉවර වෙන්නේ නෑ තමයි. ඒත් කෙනෙක්ගේ ආදරේ ඇතුලට යක්කු රිංගන්නේ ඒ ඇතුලේ හිදැසක් තියෙනවා නම් කියලා ඝරසර්ප චිත්‍රපටයෙත් කියනවා. ඒක ලොකු තේරුමක් තියෙන කතාවක්. ඉතිං මේ වගේ නිර්මාණවලින් අපි හිතන විදිහ වෙනස් කරන්න පොඩි උත්සාහයකුයි ගන්නේ.

එතකොටයි අපිට උදේ හවස මුණ ගැහෙන අයගේ කතාව විනිසුරෙක් නොවී අහන්න පුළුවන් වෙන්නේ. ඒ කතාවේ ඇත්තම හේතුව තේරුම් අරන් බුද්ධිමත් තීරණ ගන්න පුළුවන් වෙන්නේ. කවුරුත් කියනවාට රැල්ලට යන අනුගාමිකයෙක් වෙන එක ලේසි. ඒත් පුරෝගාමියෙක් වෙලා වෙනසක් කරන එක අමාරුයි. ඒත් අමාරු පාරවල් ලස්සනම ගමනාන්තවලට යනවා. 

(දිල්මිණී හසින්තා අබේරත්න)
hasintha1995@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...