BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

Tentigo (නෙළුම් කුළුණ) - කවදා හරි මැරෙන්න ඕන එහෙම!

T

The Leader

March 16, 2025 • 6:08 AM

Tentigo (නෙළුම් කුළුණ) - කවදා හරි මැරෙන්න ඕන එහෙම!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉලංගො රාම්ගෙ නෙළුම් කුළුණ කියන්නෙ මොන කුළුණක් ගැනද? අප්පච්චි මළ දවසක නැගිටගත්ත පුරුෂ ලිංගයක කතාව කියන්නෙ විහිලුවක් ද? මේක අපේ සංස්කෘතියට කවරාකාර තර්ජනයක් ද?
  • මේ වගේ ශිෂ්න කේන්ද්‍රීය හාස්‍ය‍ෝත්පාදක සිනමාවකට අපිට අවිධිමත් ලෙස කියන්න පුළුවන් ‘ඩික් කොමඩි’ කියල.
  • ඉලංගො ප්‍රබුද්ධ/ සම්භාව්‍ය සිනමාව ඇතුලෙන් මේ වෙලාවෙ ‘වල්’ යූටියුබ් වයිබ් එක අල්ලනවා.
  • එතකොට ඉලංගො චිත්‍රපටිය ඇතුලෙ කියන්නෙ කවර ට්‍රෝමැටික් මරණයක් පතුලෙන් සිදුවුනු උත්ථානයක් ගැනද?
අකුරු ප්‍රමාණය (Font Size):

ඉලංගො රාම්ගෙ නෙළුම් කුළුණ බලලා ඉවර වුනාම මට හිතුනෙ එහෙම.

ඒක පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඉවර වෙනකල්ම ප්‍රේක්ෂාගාරය මහ සද්දෙන් හිනාවෙවී බලපු ෆිල්ම් එකක්. ලංකාවෙ පළවෙනි ‘ඩික් කොමඩි’ වර්ගයේ සිනමා කෘතිය. කවුරු හරි ‘ඇමරිකන් පයි’ බලලා තියෙනවා නම් මේ තමයි ‘ශ්‍රී ලංකන් පයි’. අති උත්කර්ෂවත් වැඩක්.

MAN

 

ලංකාවෙ මෑතක ‘ඩික්’ කොමඩි වර්ගයේ වේදිකා නාට්‍යයක් කලේ අසංක සායක්කාර. ඒ ‘මං කෙලින් මිනිහෙක්’.

ඩික් කොමඩි කියන්නෙ පුරුෂ ලිංගයක් හෝ ඒ සම්බන්ධ විහිලු කතා මුල් කරගන්න කොමඩිවලට.

‘ඩික් ජෝක්ස්’ කියන එක කොමීඩියන්ලා අතර ප්‍රකට දෙයක්. පුරුෂ ශිෂ්නය ගැන විහිලු කිරීමෙන් සමාජ සංස්කෘතික දේශපාලන කතාවක් කියන්න හරි නැත්නම් ප්‍රේක්ෂාගාරය ප්‍රකෝප කරන්න, නැත්නම් නොනවත්වා හිනස්සන්න මේ විහිලු වැඩ කරනවා. මේ වගේ ශිෂ්න කේන්ද්‍රීය හාස්‍ය‍ෝත්පාදක සිනමාවකට අපිට අවිධිමත් ලෙස කියන්න පුළුවන් ‘ඩික් කොමඩි’ කියල.

නෙළුම් කුළුණ කියන්නෙ බ්ලොක් ඇන්ඩ් ඩීනෝ- වස්ති එක්ක ප්‍රසන්න විතානගේ තුන්කොන් රමණයක් කළා නම් බිහිවෙන වර්ගයේ සිනමාවක්. ඉලංගො ප්‍රබුද්ධ/ සම්භාව්‍ය සිනමාව ඇතුලෙන් මේ වෙලාවෙ ‘වල්’ යූටියුබ් වයිබ් එක අල්ලනවා. ඒ මික්ස් එක මරු. ඒක ඩාර්ක් කොමඩියක්ද කියල මට ෂුවර් නෑ. හැබැයි ඒක මාර කොමඩියක්.

 

tentigo 1

නෙළුම් කුළුණ කතාව තියෙන්නෙ අප්පච්චිගෙ මරණය ගැන. හැබැයි මැරිලත් කුළුණ කෙලින්. ඒක විවිධාකාර අර්ථවලින් ගන්න පුළුවන්. රට වැටුනත් කුළුණ කෙලින් කියන ටැග් ලයින් එක එක විදිහක්. නෙළුම් කුළුණ කියන්නෙ ඇත්තටම අපේ රටේ ජාතිකවාදී, සිංහලබෞද්ධ, චූලවාංශික මතවාදයේ මහා ශිෂ්නය.

පවුලේ අප්පච්චිගෙ මේ කෙලින් වුනු ‘ෆැලික්’ සිම්බල් එක වටේ තමයි චිත්‍රපටියම ගොඩනැගෙන්නෙ. සියල්ල ඒ කුළුණ උඩ ඉඳලා විස්තර කරන්න ගන්නවා. මරණයට වඩා කෙලින් වුණු ශිෂ්නය ජීවිතය ගැන ආශාව වැඩි කරනවා. අපි මරණයක් උඩ හිනාවෙවී ඉන්නවා.  අපි අප්පච්චිගෙ ඩික් එකට හිනාවෙනවා. ඒක මනෝවිශ්ලේෂණාත්මක කියවීමකට හොඳ දොරටුවක්.

 

tentigo4
මේ චිත්‍රපටියෙ කේන්ද්‍රය වෙන්නෙ ‘ඩෙත් ඉරෙක්ෂන්’ කියන තත්වය. කෙනෙක් මියගියාට පස්සෙ ශිෂ්නය ප්‍රාණවත් වීම. මේකට ‘ඒන්ජල් ලස්ට්’ නැත්නම් දිව්‍යමය කාමය කියලත් කියනවා. බොහෝ විට එල්ලා මරන ලද අයගෙ තමයි මේ තත්වය දකින්න තියෙනවා කියන්නෙ. ට්‍රෝමැටික් විදිහෙ මරණවලදි තමයි ඩෙත් ඉරෙක්ෂන් හෙවත් මරණීය උත්ථානය  සුලබ.

එතකොට ඉලංගො චිත්‍රපටිය ඇතුලෙ කියන්නෙ කවර ට්‍රෝමැටික් මරණයක් පතුලෙන් සිදුවුනු උත්ථානයක් ගැනද? මට හිතෙනවා ඒක වික්ටෝරියානු සහ අපේ යක්ඛ පැවැත්ම අතර දෙබිඩි ගැටුම පලාගෙන එන ශිෂ්නෝත්ථානයක් කියල. වික්ටෝරියානු අර්ථයෙන් කෙලින් වුනු ඩික් එකක් ලැජ්ජාවක්. ඒත් යක්ඛ අර්ථයෙන් අප්පච්චිගෙ ඩික් එක ආඩම්බරයක්. වන්දනා කරන ටෝටමයක්. (totem)

ඉලංගොගෙ ෆිල්ම් එක ‘පවුලේ සැමට’ බලන්න පුළුවන් ‘ඇඩල්ට්’ කොමඩියක්. ඒකෙ කොහේවත් සෙක්ස් නෑ. හැබැයි ෆිල්ම් එකම සෙක්ස්. ඉතාම ශෝකී සාම්ප්‍රදායික සමූහ අවමංග්‍ය උත්සවයක් කෙලින් වුනු ලිංග ප්‍රදර්ශනයක් බවට පත්වෙනවා කියන්නෙ ලොකු සංස්කෘතික කම්පනයක්. නමුත් ඉතාම මරණීය තත්වයේ පතුලේදී පවා ජාතියේ අප්පච්චිගේ පුරුෂ ලිංගය සියල්ල පලාගෙන මතුවෙන හැටි අපි දැකලා තියෙනවා.

 

tentigo 5
ඉලංගො නිර්මාණය කරන ගැහැණු වුනත් තමන්ගේ දුර්වල සැමියන්ව මැරුනු තාත්තාගේ ලිංගයත් එක්ක සංසන්දනය කරමින් කතා කරන්න තරම් ප්‍රොග්‍රෙසිව් ගෑනු. නියම් බිරිඳයි අනියම් බිරිඳයි පවා එකට අක්කයි නංගියි කියාගන්නා තරම් විවෘත සංස්කෘතියක් මේ  මළගම නිසා ඇතිවෙනවා. මේ සියල්ල සිද්ද වෙන්නෙ කොඩිගහ වගේ ඉහළ එසැවුනු අප්පච්චිගේ ලිංගයේ අනුහසින්.

අප්පච්චිගේ ලිංගය කියන්නෙ ෆ්‍රොයිඩ් කතා කරන ඊඩිපස් සංකීර්ණයේ සුවිශේෂ කාරණයක්. දරුවෙක් තමන්ගේ ශිෂ්නය පියා විසින් කප්පාදු කරනු ඇතැයි බයෙන් පසුවෙන බව ෆ්‍රොයිඩ් කියනවා. ඒ බියෙන් තාත්තාගේ අණට, සමාජයේ සම්ප්‍රදායට දරුවා එකග වෙන බව ෆ්‍රොයිඩ් කියනවා. නෙළුම් කුළුණ කියන්නෙ අප්පච්චිගේ ලිංගයට යටවුණු ලාංකේය දූ දරුවන්ගේ කතාව.

tentigo trailer i 2023

 

අප්පච්චිගේ ශිෂ්නය කපා දමන්න එක පුතෙක් තීරනය කරද්දි, අප්පච්චිගේ ශිෂ්නය වන්දනා කරන්න තව පුතෙක් තීරනය කරනවා. දොස්තර ශිෂ්නය කපා දාන්න යද්දි, කට්ටඩියා කියන්නෙ ශිෂ්නයේ අප්පච්චිගේ ආත්මය පවතින බවයි.

හරිම ටෙලි ගතියක් තියෙන තේමාවක් ‘අප්පච්චිගෙ මළගම’ අරගෙන ඒකට අප්පච්චිගේ ශිෂ්නය ඇතුල් කිරීමෙන් ඉලංගො අනපේක්ෂිත ට්විස්ට් එකක් ගන්නවා. අපිට අපේ අප්පච්චි ගැන කදුළු පෙරාගෙන කතා කරන්න පුළුවන් වුනත් අප්පච්චිගේ ඩික් එක ගැන කතා කරන එක මොන වගේ වෙයිද? ඒ අවිඥානක බලය පිළිබඳ කාරණය අපි අවුල් කරමින් පුපුරා යන සිනාවක් බවට පත්වෙනවද? නැත්නම් තවදුරටත් තිරය දිහා බලන් ඉන්න බැරි අපහසුතාවයක් දනවනවද? ඒක පරීක්ෂාවක්.

එක්තරා  විදිහකට මේක චූලවාංශික ‘අප්පච්චීගේ’ කෙලින් කරපු මහා ශිෂ්නය සහ ඒ ඉදිරියේ අපේ 56 පරපුර විදිහටත් කියවන්න  පුළුවන්. දොස්තරලා, හාමුදුරුවරු, පුතාලා, දුවලා, කට්ටඩි, ත්‍රීවීල් සමාජෙ ආදී සියල්ලන් ඒ නෙළුම් කුළුණ සෙවනේ උන් හැටි කෙනෙකුට මතක් කරගන්නත්  පුළුවන්.

 

tentigo 2

ඒත් ඊට වඩා මේක අපි කාගෙ කාගෙත් අප්පච්චිලාගේ නෙළුම් කුළුණ විදිහ‍‍ට දකින එකයි ආතල්. හරිම පුංචි ප්ලොට් එකක්, පුංචි වටපිටාවක, දක්ෂ නළුනිළියො ටිකක් වට කරන්  කරපු ‘බරසොමියක්’ මේක. අතිශයින්ම ලේ පිරිසිදු කරන වැඩක්.

ප්‍රියන්ත සිරිකුමාර, තුසිත ලක්නාත් වගේම කෞෂල්‍යා, අලෝකා, සුලෝචනා ආදී  හැමෝගෙම රංගනය ඉස්තරම්. විශේෂයෙන් චාන්දනී හරිම ලස්සන මතක හිටින චරිතයක්  කරනවා.

සංගීතය නම් මට හිතුනා සෙට් වෙන්නෙ නෑ කියල. ඒක අර සම්භාව්‍ය පැත්ත විතරක් අරගෙන නිර්මාණය කරපු සංගීතයක්. ප්ලොට් එක ඇතුලෙ යන ‍සොමිය  සංගීතයට ඇවිල්ලා නෑ.

අපේ සිනමාවට මේ වගේ චිත්‍රපටි ඕන. මෑත සිනමා කෘති බැලුවම මට හිතෙන දෙයක් තමයි අපි හරියටම නාඩිය ස්පර්ශ කරමින් ඉන්නවා කියල. හොඳ පබ්ලිසිටියක් ලැබුනොත් නෙළුම් කුළුණ කියන්නෙ හෝල් කඩාගෙන සෙනග එන ෆිල්ම් එකක්.

 

tentigo 3
එහෙම ‘මාස්’ වැඩක් කරන අතරෙ ඉලංගො ඉතාම නිර්භීත තැනකත් හිටගන්නවා. අප්පච්චිගේ ඩික් එක ගැන කතා කරන්න ගන්නවා. ඒක කොහෙත්ම සරල නෑ. මං ඉලංගො අදුරන කෙනෙක් විදිහට නෙළුම් කුළුනෙන් මේ පැනලා තියෙන පිම්ම කිසිසේත්ම බලාපොරොත්තු නොවුනු එකක්.

මරණයක් මෙහෙම සොමියක් කරන්න පුළුවන් සිනමාවක් කියන්නෙ සැපක්. අනිවාර්යෙන්ම මේකෙ ටැමිල් වර්ෂන් එකත් බලන්න යනවා. ලංකාවෙ අපේ චිත්‍රපටියක් දමිළ සිනමාවට කොපි කරනවා කියන්නෙ සමරන්න ඕන වැඩක්.

අවසානෙදි ඒක සිංහල දෙමළ අපි හැමෝගෙම අප්පච්චිගෙ කෙලින් වුනු නෙළුම් කුළුණ.



මංගල : නැතුව බැරි මිනිහෙක් - (චින්තන ධර්මදාස)(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -facultyofsex.com)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

Tentigo (නෙළුම් කුළුණ) - කවදා හරි මැරෙන්න ඕන එහෙම! | The Leader