BREAKING
Top Ad
පුවත්

'චන්ද්‍රිකා වටා ඒකරාශී වෙමු !- පෙරමුණ ගන්න සුදානම්' - වෙල්ගම ගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

T

The Leader

October 21, 2019 • 9:52 PM

'චන්ද්‍රිකා වටා ඒකරාශී වෙමු !- පෙරමුණ ගන්න සුදානම්' - වෙල්ගම ගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජපක්ෂ පවුලේ 'පොහොට්ටු' පක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීමේ සටනේ පෙරමුණ ගැනීමට තමා සුදානම් බව ශ්‍රී.ල.නි.ප උප සභාපති කුමාර වෙල්ගම හිටපු අමාත්‍යවරයා පවසයි.
  • එහිදී ඔහු කළ ප්‍රකාශය පහත පළවේ.
  • මේක තමයි ඇත්ත අපි ඇත්ත කතා කරන්න ඕනේ.
  • අද  මේ රටේ කිහිප දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ පොහොට්ටුවට ගිහිල්ලා ඇති, හංසයාට ගිහිල්ලා ඇති, නමුත් වැඩි පිරිසක්  නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු එබව සඳහන් කළේය. එහිදී ඔහු කළ ප්‍රකාශය පහත පළවේ.

''ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙන සියලුම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අපි එකතැනකට ගන්න ඕනේ. ඒක ගත්තට පස්සේ  අපිට පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න.

අනිත් එක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරනවා කියන්නේ මේ වෙලාවේ ලේසි නැහැ. හැබැයි අපිට කරන්න පුළුවන්. මම පරණ ශ්‍රී ලංකා කාරයෙක් හැටියට, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ අතින් පත්වීම ගත්ත කෙනෙක් හැටියට මම දකිනවා මේක කරන්න පුළුවන්.

අපිට අපේ පක්ෂයේ නිර්මාතෘ ඒස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ දියණිය අද ජීවතුන් අතර ඉන්නවා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය. එතුමිය හිටපු ජනාධිපතිනිය. ප්‍රථම කාන්තා test36ජනාධිපතිතුමිය. එතකොට එතුමියගේ නායකත්වයෙන් එතුමියගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට බේරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ අපි ඒකට අඩිතාලම දාලා තියෙන්නේ.

ඉදිරියේදී වැඩි කල් යන්න ඉස්සෙල්ලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට බලාගන්න පුළුවන් වෙයි අපි මොනවද කරන්නේ කියලා.

මම නම් ප්‍රසිද්ධියේම කියනවා මම පොහොට්ටුවට වැඩ කරන්නේ නැහැ. මම පොහොට්ටුවට ඡන්දය දෙන්නෙත් නැහැ. ඒ වගේම මම හංසයාට වැඩ කරන්නෙත් නැහැ. නමුත් මම ස්වාධීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමේ අරමුණින් තමයි මම ඉදිරියට යන්නේ.

මෙතනදී මම මේ දෙපැත්තම ගන්නේ නැහැ. මොකද මේ දෙපැත්තම ජයග්‍රහණය කරොත්, විශේෂයෙන්ම පොහොට්ටුව ජයග්‍රහණය කරොත්  බණ්ඩාරනායක මහත්තයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ඉතුරු වෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත අපි ඇත්ත කතා කරන්න ඕනේ.

ඉතින් ඒ නිසා අපි ඔක්කොම එකහු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න නම් ගත යුතු පියවර සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෘද සාක්ෂිය දන්නවා. අද  මේ රටේ කිහිප දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ පොහොට්ටුවට ගිහිල්ලා ඇති, හංසයාට ගිහිල්ලා ඇති, නමුත් වැඩි පිරිසක්  නෑ. අපි මේ දෙකටම ඡන්දය දෙන්නේ නැහැ

මොකද අපිට අපේ පක්ෂය ආරක්ෂා කරගන්න ඕනේ කියන තැන ඉන්නේ. මොකද හෘද සාක්ෂියෙන් ඇහුවොත් ඒ අය කියයි අපි ගන්න පියවර මොකක්ද කියන එක. අද හුඟක් අය කියනවානේ පොහොට්ටුවට ඡන්දය දෙන්නේ නැහැ කියලා. මේක හංගන්න දෙයක් නෙවෙයි නේ. මේ ශ්‍රී ලංකා කාරයෝ කියන්නේ.

ඒ වගේම කියනවා අපි හංසයාට දෙන්නෙත් නැහැ කියලා. මොකද අපි රට ගැන හිතනවා වගේම අපේ ප්‍රධාන පක්ෂය ආරක්ෂා කිරීම අපේ පරම යුතුකමක් කියන එක මම පාක්ෂිකයන්ට කියන්න ඕනේ. ඒකේ නායකත්වය ගන්න අද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ඉන්නවා. ඒ වගේම එතුමියට සහයෝගය දෙන්න මම කුමාර වෙල්ගමත් ඉදිරියේදී ඉදිරිපත්වෙලා ඉන්නවා කියලා මම කියන්න ඕනේ.

test37ඇත්තටම පසුගිය දවස්වල මම  හිටියේ නුවරඑළියේ, මොකද ගමේ පාක්ෂිකයෝ ඉල්ලීම් කරනවා පොහොට්ටුවට සම්බන්ධවෙලා නැවතත් වැඩ කරන්න කියලා. නමුත් මම ඒක කරන්නේ නැහැ. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා ගාවින් එලියට බැස්සේ,  මම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙවෙයි. මම පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන නැහැ. ම‌ගේ අඛන්ඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අවුරුදු 38යි. මම ඒක නැති කරගන්න කැමති නැහැ.

විවිධ හේතුන් මත, එකක් පවුල් වාදය, එකක් දාලා තියෙන අපේක්ෂකයාට මම කැමති නැහැ. මොකද මම ප්‍රජාතන්ත්‍රවාදී කෙනෙක්. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොකරන කෙනෙක් එක්ක යන්න මම කැමති නැහැ. මේ වගේ විවිධ හේතුන් මම මාධ්‍ය තුලින් කියලා තියෙනවා. මේ රටේ ජනතාව දන්නවා මම කිව්ව සියළු දේම.

හිට්ලර් පාලනය මේ වගේ මම ගොඩක් දේවල් කියලා තියෙනවා. මේ අවස්ථාවේ මම කියන්න විවේචනය කරන්න යන්නේ නැහැ මොකද ඡන්දයක් තියෙන නිසා.

නාදුනන පිරිසක් ගෙට පැනලා ! -ඝාතන තැතක් දැයි සැකයක්!

මිනිස්සුන්ගේ බලපෑම නිසා මම නුවරඑළියට ගියා. ගිහින් එදා රෑ ඉඳලා ඊට පහුවෙනිදා උදේ මම ග්‍රෙගරි මල්වත්තේ ඇවිදින්න ගියා උදේ ව්‍යායාම්වලට ඒ යන අවස්ථාවේදී මගේ නිවසේ උද්‍යානය බාරව ඉන්න ප්‍රේමසිරි කිව්වා සර් ඔබතුමාගේ කාමරේ ජනේලේ කඩලා කෙනෙක් ඇතුල්වෙලා අල්මාරිය කඩලා ඒක ඇතුලේ තිබුණු බඩු සීසීකඩ විසික්කරලා දාලා තියෙනවා කියලා, හැබැයි මම  මේක ඇරියේ නැහැ ඔබතුමාට දැනුම් දුන්නේ ගෙදර එළියේ ජනේලේ ගාව ඉඳගෙනයි, මම මේක දැනුම් දෙන්නේ කිව්වම, පස්සේ මම කතා කරලා අළුත්ගම පොලිසියේ ඕඅයිසී මහත්තයාට මේ බව දැනුම් දුන්නා.

ඒ වගේම මම දැනුම් දුන්නා පොලිස්පතිතුමාගේ තියෙනවා මෙහෙයුම් මධ්‍යස්ථානයක් එතුමාගේ යටතේ. එතුමාටත් දැනුම් දුන්නා ම‌ගේ නිවසට මෙන්න මේ වගේ කෙනෙක් පැනලා තියෙනවායි කියලා. ඊට පස්සේ මම ඊයේ රෑ ආවා මගේ නිවසට. මගේ කාමරේ මම බැලුවා.  බැලුවාම මම දැක්කා මගේ වටිනා කියන බඩුමුට්ටු කිසිවක් අරගෙන ගිහිල්ලා නැහැ. මගේ තියෙනවා අතේ ගෙනියන්න පුළුවන් සේප්පුවක්. ඒක අතේ ගෙනියන්න පුළුවන්. අර හෝටල්වල කාමරවල තියෙන්නේ පොඩි සේප්පු අන්න ඒවගේ අතේ ගෙනියන්න පුළුවන්. ඒ සේප්පුව අල්ලලාවත් නැහැ.

 ඒ වගේම මගේ තියෙනවා හොඳ පැකින් පිට තියෙන කමිස හතරක් තිබ්බා. ඒක අරගෙනත් නැහැ. කුඩුකාරයෙක් ආවානම් ඒක අරගෙන යනවා. ඒ වගේම ඉතා වටිනා රත්තරන් පෑනක් තිබ්බා ඒ පෑනත් ගෙනිහිල්ලා නැහැ. මගේ තියෙන කිසිම බඩුමුට්ටුවක් ගෙනිහිල්ලා නැහැ. ඇඳුම් සේරම ඇදලා දාලා තිබුණ මම දැක්කා මම දැක්කයි කිව්වේ රෑප රාමු තුළින්.

 ඊට පස්සේ මම බැලුවා ගේ ඇතුලේ තියෙන විදුලි බුබුලු ඔස්ට්‍රේලියාවෙන් ගෙන්නපු ලැම්ප්ෂේඩ් කීපයක්ම තිබුණා පැකින් පිට. ඒවා ඕන කෙනෙකුට ගෙනිහින් විකුණන්න පුළුවන්. ඒවට අත තියලා වත් නැහැ. මගේ මුළුතැන්ගෙයි පැන්ට්‍රියේ තිබ්බ ඉලෙක්ට්‍රික් භාණ්ඩ කිසිම දේකට අත තියලා නැහැ.

ඉතින් මම දැනගත්තා මේක හොරකමකට ආව එකක් නෙවෙයි. හොරකමකට ආවා නම් තියෙන වටිනා භාණ්ඩ අරගෙන යනවා. අර සේප්පුව උස්සගෙන යනවා, සේප්පුව අතේ ගෙනියන්න පුළුවන් නේ එහෙමවත් ගෙනිහිල්ලා නැහැ. මෙයා ඇවිත් තියෙන්නේ එක්කෝ ලියකියවිලි බලන්න වෙන්න ඇති. මගේ ගෙදර ලියකියවිලි කිසිවක් නැහැ.

එහෙම නැත්නම් මෙයා ආවේ මම කරන ප්‍රකාශවලට, සාමාන්‍යයෙන් මම පොහොට්ටුවට විරුද්ධව කතා කරනවා, හංසයාට විරුද්ධව කතා කරනවා. ඒ නිසා මේ ප්‍රකාශනවලට විරුද්ධව එක්කො මාව ඝාතනය කරන්න. මම නිදාගන්න ඇඳ එතනමයි තියෙන්නේ. එහෙම නැත්නම් මාව බය කරන්න.  ඒ කියන්නේ මේ වගේ සිද්ධියක් වුණාම බය වෙනවනේ. මගේ කට වහන්න කරපු එකක් කියලයි මම හිතන්නේ.

test38මේ ගැන මම පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. මම අලුත්ගම පොලිසියට ගිහිල්ලා ම‌ගේ කට උත්තරයත් ලබා දුන්නා. මේක දේශපාලන වශයෙන් කරපු ප්‍රහාරයක් හැටියටයි මම දකින්නේ.

දැන් ඉස්සෙල්ලාම පක්ෂය ගොඩනගන්න ඕනේ නම්, ඉස්සෙල්ලාම කළ යුත්තේ මොකක්ද? අපි කරන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එහෙට මෙහෙට වැනෙන්නේ නැති දෙපැත්තට යන්නේ නැති අය එකතු කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරි මාර්ගයට ගන්න පුළුවන් අය එකහු කරන එක. ඒක අපි දැනට කරගෙන යනවා. අපි අදත් සාකච්ඡා කරා ඉදිරියේදීත්, මම දින වකවානු කියන්නේ නැහැ මට ප්‍රහාරයක් එල්ල කරා වගේම ඒ අයටත් එල්ල කරයි.

 ඒ ප්‍රධාන සංවිධායකවරුන්ට අපේ පාක්ෂිකයන්ට, අපේ ක්‍රියාකාරිකයින්ට අපි නුදුරේදීම අපි දැනුම් දෙනවා, එතකොට අපි එක්කහුවෙලා ඒ ගැන සාකච්ඡා කරලා, ඊට පස්සේ දෙවනුව මේ රටේ සමුළුවක් තියන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒ සමුළුවට යන්න තමයි මේ මූලික අඩිතාලම දාන්නේ.

ඒ සමුළුවේදී අපි ඉල්ලන අපේක්ෂකයින් ගැන කතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම මමත්. මම පොහොට්ටුව ගැන කතා කරන්නෙත් නැහැ හංසයා ගැන කතා කරන්නෙත් නැහැ. නමුත් මම කතා කරන්නේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැරෙන්න නොදී, මේ මැතිවරණයෙන් පස්සේ තමයි ඒ තීරණාත්මක අවස්ථාව එළැඹෙන්නේ. ඒ තීරණාත්මක අවස්ථාව එළැඹෙන්නේ මැතිවරණයෙන් පස්සේ නිසා තමයි අපි එය ආරක්ෂා කරගන්න තමයි අපි ඒ ‌දේ කරන්නේ.

එහෙම නැතුව කාටවත් මඩ ගහන්න නෙවෙයි. කාගෙවක් ඡන්ද කඩන්න නෙවෙයි. මොකද අපිට මේ අවස්ථාවේදී අපේ පක්ෂය ආරක්ෂා කිරීම තමයි මගේ යුතුකම පරණ ශ්‍රී ලංකා කාරයෙක් හැටියට. දැන් ශ්‍රී ලංකා කාරයෝ කියලා කියාගන්නා අය දැන් විවිධ පැතිවලට ගිහිල්ලා. ඉතින් ඒ අය ගිහිල්ලා ඉවරයි. ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලන්ගේ තානාන්තර වරප්‍රසාද විතරයි . නමුත් මට වරප්‍රසාද අවශ්‍ය නැහැ. මම වරප්‍රසාද ලබාගන්නා පුද්ගලයෙක් නම් 2015 දී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනාධිපති වුණාම මට එතුමත් එක්ක ඉඳලා මට හොද ඇමතිකමක් ලබා ගන්න තිබුණා.

මොකද මම හිටපු ඇමතිවරයෙක් අවුරුදු දහයක් ඒ නිසා මට එතුමාගෙන් ඇමතිකමක් ගන්න තිබුණා නමුත් මම  එතුමාගේ ක්‍රියාකලාපයට විරුද්ධවෙලා එළියට බැස්ස පළවෙනි ශ්‍රී ලංකා මන්ත්‍රීවරයා. එහෙනම් මට දින 52 දී මහින්ද මහත්තයාට අත උස්සලා එතුමා කියන දේ අහගෙන හිටියා නම් අර ආණ්ඩුව බලහත්කාරයෙන් පිහිටපු වෙලාවේ මටත් ගන්න තිබුණා ‌හොඳ ඇමති කමක්. නමුත් මම ඇමතිකම් ප්‍රතික්ෂේප කරා මම ඒකට විරුද්ධව කතා කරා.

එහෙනම් මේ මම අවස්ථාවේදී පොහොට්ටුව දිනුවොත්, එහෙනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමතක කරලා දාලා අනෙක් රටේ ප්‍රශ්න අමතක කරලා දාලා මට ඉතාම හොඳ ඇමතිකමක් ගන්න තිබුණා. නමුත් මම ඒවා ඔක්කොටම පයින් ගහලා තමයි මේ ආවේ. මට පදවි තානාන්තර අවශ්‍ය නැත.

මගේ වයසේ හැටියට මට යුතුකමක් තියෙනවා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ අතින් පත්වීම ගත්ත කෙනෙක් හැටියට මේ පක්ෂය ආරක්ෂා කිරීම. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් මා සමග එකතු වෙන්න.

මම බයේ පැනලා යන මිනිහෙක් නෙවෙයි මම ඔයගොල්ලන්ට නායකත්වය දෙන්න ඉදිරිපත් වෙලා ඉන්නේ. ඒ නිසා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය මේ අවස්ථාවේදී අපි සමග කෙලින් හිට ගන්නවා. ඒ නිසා ඔබතුමන්ලත් මේ පක්ෂය ආරක්ෂා කරන්න මාත් එක්ක එන්න. බය නැතුව අපි මේ පක්ෂය වෙනුවෙන් ඕන අවස්ථාවකදී අපි ඉදිරියට යන්න  සූදානමින් ඉන්න බව කියන්න ඕනේ.''

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...