ඊයේ (ජූලි 08 වෙනි) දින රුහුණු විශ්වවිද්‍යාලයේ රබින්ද්‍රනාත් තාගෝර් ශාලාවේ දී පැවති “දේශපාලනයේ දශක තුනක්” කෘතිය එළිදැක්වීමේ උත්සවයේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර එබව සඳහන් කළේය.
''මේ රටේ තරුණ තරුණියන් වෙත මට දෙන්නට පණිවිඩයක් තිබෙනවා. ඒ තමයි, තාක්ෂණයෙන්, ඇඳුම් පැළඳුම්වලින් විතරක් නෙමෙයි ආකල්පවලිනුත් ස්මාට් විය යුතුයි. අපි එදා මැදිහත් වී කළ ටෙලිකොම් විප්ලවයෙන් පසු දැන් ඔබලා හැමෝම අතේ ජංගම දුරකථන තිබෙනවා. ඔබේ ස්මාට්ෆෝන් එකෙන් ගෝත්‍රික වැඩ නොකර ජාතිවාදය වපුරන්නෙ නැතුව මේ රට ස්මාට් රටක් කරන්නට අදිටන් කරගන්න...'' යයි ඔහු එහිදී වත්මන් තරුණ පරපුරෙන් ඉල්ලා සිටියේය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද පැවසිය.
''අලුත් ලෝකය සමග ඉදිරියට යා හැක්කේ රැකියා පෝලිම් හදලා රාජ්‍ය ආයතන පිරවීමෙන් නොවෙයි. දැන්, මාළු බෙදපු කාලය ඉවරයි. දැන් බිලීපිති දිය යුතුයි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැනි ණය යෝජනා ක්‍රම මගින් අප කරන්නේ ස්වශක්තියෙන් නැඟී සිටින ව්‍යවසායක පරපුරක් රට තුළ නිර්මාණය කිරීමයි. ඊළඟ අවුරුදු පහ මම වෙන් කරන්නේ අන්න ඒ ස්වශක්තියෙන් නැඟිටින මිනිස්සු වෙනුවෙන්.
දැන් තියෙන්නේ ආකල්ප වෙනස් කිරීමේ අරගලයයි. ඇත්ත වශයෙන්ම එය සාර්ථක වෙමින් පවතිනවා. දැන් කවුරු හරි යුද්ධයම ඕන කියා කිව්වත් මිනිස්සු යුද්ධයට කැමති නැහැ. දැන් කවුරු හරි ජාතිවාදය අවුස්සන්න හැදුවත් ඊට විරුද්ධ හඬ මිනිසුන් තුළින්ම මතුවෙනවා. එදා අවෛරයේ හෝරාවට ආපු ජනතාව මාතරින් ඒ පණිවුඩය රටටම දුන්නා. නමුත්, තවම ඒ අරගලය ඉවර නැහැ. ඒ අරගලය ජයග්‍රහණයෙන් අවසන් කළ හැක්කේ මේ රටේ අළුතින් හිතන පතන තරුණ තරුණියන්ටයි
ආකල්ප වගේම අපේ ක්‍රියාමාර්ගත් වැදගත්. යල්පැනගිය ආර්ථික මොඩලයන්ගෙන් අපි එලියට එන්න ඕන. සමාජවාදී රටවල් පවා අත්හැර දැමූ පැරණි සංකල්පවලින් එහාට අපි ගමන් කරන්න ඕන. අධ්‍යාපනයක් නැති වචන පෙළක් විතරක් පාඩම් කරගත්තු අවස්ථාවාදීන්ගේ ක්ෂණික රැළිවල වහලුන් නොවී, ජාත්‍යන්තරවාදී දේශප්‍රේමීන් හැටියට අපි ලෝකයට විවෘත වෙන්න ඕනේ.''

ඊළඟට, තරුණ තරුණියන්ට මට තවත් දෙයක් කියන්නට තියෙනවා. ඒ තමයි, මේ රට ශිෂ්ට රටක් කිරීමේ අරගලය කිසිමදාක අතහරින්නට එපා. පරාජයන්, පසුබැසීම් තිබුනත් ඒ අරගලය අතහරින්නට බෑ. අපට නිසැකවම ජයග්‍රහණය වෙත යන්නට පුළුවන්. දේශපාලනය කියන්නෙත් ඩිසයිනින් වැඩක්. ඒකත් කලාවක්. මිනිස් ජීවිත සැපවත් කිරීමේ කලාව දේශපාලනයයි. එය මිනිස් ජීවිත දුක්බර කරන එකක් නොවිය යුතුයි.
උත්සව සභාව ඇමතු ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසිය.
''මේ උත්සවය ඇත්තටම තියන්නට සැලසුම් කළේ පහුගිය අප්‍රේල් 21 වෙනිදා. නමුත් අවාසනාවට එදා සිදු වූ ත්‍රස්තවාදී ක්‍රියා නිසා අපි ඒ කටයුත්ත කල්දැමුවා. පළමුවෙන්ම ඒ විපතින් දුකට පත් සියලු මියගිය අයගේ පවුල්වලටත්, ආබාධිත වූ සියලු දෙනාටත් මාගේ ශෝකය නැවත ප්‍රකාශ කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.
මීට අවුරුදු තිහකට කලින් මාතර දිස්ත්‍රික්කයේ ජනතාව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මාව තෝරා පත් කරේ, රටක් හැටියට, සමාජයක් හැටියට ශ්‍රී ලංකාව හමුවේ අභියෝග රාශියක් තිබෙන වෙලාවක. ලංකාවේ වඩාත් භීෂණකාරී මැතිවරණයක් හැටියට සැළකෙන 89 මහමැතිවරණයේදී මා සමග ලැයිස්තුවේ සිටි අපේක්ෂකයන් දෙදෙනෙක් ඛේදනීය ලෙස ඝාතනයට ලක්වුණා. තවත් අතකින් ඡන්දය කඩාකප්පල් කිරීමේ, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ වැඩපිළිවෙලක් දියත් වුණා.
කෙසේ වෙතත් සියලු අභියෝගයන්ට නිර්භීතව මුහුණ දුන් ජනතාවක් මා කෙරෙහි විශ්වාසය තැබූ නිසා මා පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. එදා සිට අද දක්වා මාතර ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් මාගේ හෘදයාංගම කෘතවේදී බව පළමුවෙන් පුදකරන්නට කැමතියි. මේ දශක තුනක කාලය තුළ මාතර දිස්ත්‍රික්කයටත්, සමස්තයක් වශයෙන් රටටත්, කිසියම් සේවයක් මට කරන්නට හැකිවුණා කියල මා හිතනවා.
නමුත් මගේ හෘදය සාක්ෂියට එකඟව කතා කරොත්, වසර තිහක් තුළ රට ලබාගත් ප්‍රගතිය ගැන මට නම් සෑහීමකට පත්වෙන්න බැහැ. මොකද, අවුරුදු තිහක් කියන්නේ ලොකු කාලයක්. රටක ඉතිහාසය වෙනස් කළ හැකි කාලයක්. කොරියාව වියට්නාමය වැනි අපටත් වඩා දියුණුවෙන් පහළ සිටි රටවල්, දශක කීපයක් තුළ විශාල සංවර්ධනයක් අත්කරගෙන තියෙනවා. ඒත් ලංකාව තාමත් තියෙන්නේ කොතනද කියා අපේ හෘද සාක්ෂියෙන්ම විමසා බැලිය යුතුයි.
තව අතකින් බැලුවොත් වසර තිහකට කලින් අපි කියපු ඇතැම් සටන් පාඨ අදටත් වලංගු වීම කණගාටුවට කරුණක්. මට මතකයි, එදා මහින්ද රාජපක්ෂ මැතිතුමායි මමයි මව්වරුන්ගේ පෙරමුණේ සම කැඳවුම්කරුවන් විදිහට රැස්වීම් සංවිධානය කරනකොට, අපේ ප්‍රධාන සටන් පාඨ වුණේ, අතුරුදහන් වූවන්ට යුක්තිය ඉටුකරනු, දේශපාලන සිරකරුවන් නිදහස් කරනු, නිල නොවන ඝාතක කල්ලි විසිරුවා හරිනු, වැනි ඒවා.
ඒ සටන් පාඨ අවුරුදු තිහකට පසුවත් වරින්වර අපට නැවත කියන්නට සිදුවෙනවා නම්, රටේ ගමන් මග ගැන කණගාටුවක් ඇතිවෙනවා. ඒ විතරක් නෙමෙයි, එවැනි තත්ත්වයකට මේ රට පත්වීම සම්බන්ධයෙන් රට පාලනය කරපු සියලු රජයන් විතරක් නෙමෙයි ආණ්ඩු කරපු, නොකරපු සියලු දේශපාලනඥයන් පවා වගකිව යුතුයි.
ඒ විතරක් නෙමෙයි බෞද්ධ දර්ශනයේ නාමයෙන් ජාතිවාදය වපුරන චීවරධාරීන් මේ තත්ත්වයට වගකිව යුතුයි. ළිං මැඩියන්ගේ ආකල්ප ඇතුව කටයුතු කරන වාමාංශික ව්‍යාපාර පවා මේ තත්ත්වයට වගකිව යුතුයි.
රට ආපස්සට ගිහින් නම්, ඒ තත්ත්වයට මමත් කොටස්කාරයෙක් නේද කියන ප්‍රශ්නය මගේ හදවතේ නැවත නැවතත් නැගෙනවා.
පසුගිය යුගයන්වල ගත්තු යම් යම් ප්‍රගතිශීලී තීන්දු පවා ආපස්සට ගෙන යාමේ තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. උදාහරණයක් විදියට 1956 බුද්ධ ජයන්තිය වෙලාවේ පනතකින් අහෝසි කරපු මරණ දඩුවම නැවතත් ගෙන ඒමට තැත් කිරීම තුළින්ම අපි රටක් විදිහට ඉදිරියට ද ආපස්සට ද යන්නෙ පවා අහන්න වෙනවා. නිර්මල බුදුදහමේ කේන්ද්‍රස්ථානය ලෙස හැඳින් වූ රට අද බෞද්ධාගමේ නාමයෙන් තලේබාන්කරණයට තල්ලු කිරීම ගැන මම කම්පාවෙනවා.
මේ වසර තිහ තුළ ලැබූ විශාලම ආත්ම තෘප්තිය !
මේ වසර තිහ තුළ මා ලැබූ විශාලම ආත්ම තෘප්තිය තමයි, මාතර දිස්ත්‍රික්කය යම් දියුණුවකට ගෙන යන්නට හැකිවීම කියා මා විශ්වාස කරනවා. යටිතල පහසුකම් සංවර්ධනය විතරක් නෙමෙයි, අනාගතය අවිනිශ්චිතව හිටපු තරුණ තරුණියන් දහස් ගණනකට, සුදුසුකම් මත ලැබිය යුතු රැකියා ලබා දී ඔවුන්ගේ ජීවිත සාර්ථක කර දී, ඒ දෙස බලා සිටීම මගේ විශාලතම සතුටයි.
ඒ වගේම ජාතික වශයෙන් ද මේ රට තුළ විදුලි සංදේශ පද්ධතිය 21 වෙනි සියවසට ගැළපෙන ලෙස නවීකරණය කිරීමට හැකිවීම ගැනත් මා විශ්වාස කරන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වෙනුවෙන් නොකඩවා හඩ නැඟීමට හැකිවීම ගැනත් මං සතුටුවෙනවා.
එදා ලංකාවේ බස් නැවතුම්පළවල් මුලින්ම නවීකරණය පටන් ගත්තේ මාතරින්. නිකම්ම නිකං සෝබන ගොඩනැගිල්ලකින් නෙමෙයි, සුනාමිය ආ මොහොතේ මාතර බස් නැවතුම නිසා බේරුණු ජීවිත සිය ගණනක් තිබෙනවා. මේ අවුරුදු තිහේ පුද්ගලිකව හරිහම්බ කරගත් දෙයක් නැති මගේ සතුට තියෙන්නේ ඒ වගේ දේවල් මතයි.
ඡන්දය ඉල්ලන අවසන් මැතිවරණය :
ඇත්ත වශයෙන්ම, ඊළඟ මහමැතිවරණය, මම ඡන්දය ඉල්ලන අවසන් මැතිවරණය බව කියන්න කැමතියි. මොකද, 2015 රටට උදා කළ නව යුගයේ නිමා නොකළ කාර්යභාරයක් තාමත් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධනය, කියන කුළුණු තුන කුමන්ත්‍රණවලින් හොල්ලන්නට බැරි විදිහට රට තුළ ශක්තිමත් කළ යුතුයි. ඒ වෙනුවෙන් අපිට තාමත් කළ හැකි යමක් තිබෙනවා.
ලොව පිළිගත් ඒ මානවවාදී මූලධර්ම දැන් දැන් මේ රටේ මුල් බැහැගෙන යනවා. ඒ අත්තිවාරම තව ශක්තිමත් කිරීම කළ යුතුයි. ඊළඟ පරම්පරාවට මේ රට භාරදිය යුතුයි. හැමදාම දේශපාලනයේ එල්ලිලා ඉන්නවා වෙනුවට අළුත් පරම්පරාවකට රට භාරදිය යුතුයි. ඊළඟ අවුරුදු පහේ දී රටටත්, මාතරටත් තවතවත් වැඩ කළ යුතුයි කියා මා හිතන්නේ ඒ අරමුණෙන්.

මම වගකීම් දෙන කොට කවදාවත් භේද බැලුවේ නැහැ. වැදගත් ආයතනවල මුල් පුටුවලට කාන්තාවන් පත්කරා. අපි බලන්න ඕන දක්ෂකම. දක්ෂයාටයි තැන දෙන්න ඕන. ජ්‍යෙෂ්ඨත්වය කියන්නේ දක්ෂකම අභිබවා යන සුදුසුකමක් නෙමෙයි. දක්ෂයාට මුල් තැන දුන්නොත් මේ රට වෙනස් කරන එක අමාරු වැඩක් නෙමෙයි. ඒ වෙනුවෙන් හැමදාවත් මම පෙනී හිටිනවා.
අප දිනූ දෙය රැකගත යුතුයි. යළි වතාවක් රට තුළ ඒකාධිපති අවතාර හිස ඔසොවන්නට තැත් කරන මොහොතක දිනූ දෙය රැකගෙන තවතවත් ශක්තිමත්ව ඉදිරියට යාමේ අවස්ථාවක් නුදුරු අනාගතයේ දීම රටට ලැබෙනවා. එතන දී ශ්‍රී ලාංකිකයන්ගේ ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අප දිනූ දෙය ඉදිරියට ගෙන යමු.
අන්තවාදයට එරෙහිව පළමු වැනි අගමැති ඩී.එස්. සේනානායක කාලයේ ආරම්භ කළ මධ්‍යස්ථ බලවේගය රට තුළ පෙළ ගැස්වීම අවශ්‍ය වෙලා තියෙනවා. අළුත් මුහුණුවරකින් රට ඉදිරියට ගෙනයා හැකි සියලු බලවේග එක්කොට අප ජය ලැබිය යුතුය.''



