එහෙත් මෑතක සිට ඇතැම් දේශපාලනඥයන් සහ නව දේශපාලන පත්වීම් ලද නිලදරුවන් සිය නමට පෙර ඉංජිනේරු යන වෘත්තීය නාමය යොදන බව දැකීම මේ සම්බන්ධ මගේ කුතුහලය ඇවිලවීමට හේතු විය.
කිසියම් පුද්ගලයෙකු වෛද්‍යවරයෙකු බව ඔහුගේ නමින්ම දැන ගැනීම සමාජයට බෙහෙවින් වැඩදායක දෙයකි. මන්ද හෘදයාබාධයක් වැනි හදිසි ලෙඩ රෝග තත්වයක් උද්ගත වූවිට අප අතරම දොස්තරවරයෙකු සිටින බව දැනගැනීම ම සැනසීමකි. ඒ සඳහා වෘත්තීය සුදුසුකම ඇති පුද්ගලයෙකු තමා වෛද්‍යවරයෙකු බව ඇඟවෙන පරිදි නම යොදාගැනීම එම වෘත්තිකයාගේ සමාජ වගකීමේ ම කොටසක් ලෙස සැලකිය හැකිය.

ඒ අනුව යමින් අප කුඩාකාලයේ ගම්වල විසූ වෙදමහත්වරුන්ගේ නම අගට වෙදමහත්තයා යන අභිධානය යෙදීම අරුමයක් නොවීය. ඊට කිසියම් දුරකට සමානව නීතීඥයන් ද සාමාන්‍යයෙන් තම නමට පෙර නීතීඥ යන වෘත්තීය නාමය යොදා ගනී. මේ භාවිතය විශේෂයෙන්ම සමසමාජ පක්ෂයේ සිටි පුමුඛ නීතිඥයන්ගේ කාලයේ සිටම පැවත එන්නකි. බොහෝවිට පොලිසියෙන් අඩන්තේට්ටම් වලට පත්වන පුද්ගලයන් වෙනුවෙන් මැදිහත්වීමේදී තමන් නීතීඥයෙකු බව කල්තියාම තහවුරු කිරීමේ අවශ්‍යතාවය නිසා එකල එසේ වූවා විය හැකිය. අනෙක් අතට බොහෝ නීතීඥයන් ස්වයංරැකියා කරන්නන් වසයෙන් සැලකෙන බැවින් තම නමට පෙර වෘත්තීය යොදාගැනීම ආදායම උපදවා ගැනීමට අත්‍යවශ්‍ය වූවා විය හැකිය.
කෙසේ වෙතත් වැදගත් ම කාරණය අනෙක් බොහෝ වෘත්තීන්ට මෙන් නොව වෛද්‍ය හා නීතීඥ යන වෘත්තීන් දෙකම ඒ සඳහා නීත්‍යානුකූලව පිහිටුවා ඇති ආයතන මගින් නියාමනය වීමයි. එකී වෘත්තීන් දෙකටම සුදුසුකම් පමණක් නොව නියාමන ආයතන මගින් නියාමනය වනපිළිගත් ආචාරධර්ම පද්ධතියක් ද වෘත්තීයභාවය උල්ලංඝනය කිරීමේදී බලපත්‍රය අවලංගු කිරීම දක්වා වන දණ්ඩන ක්‍රමයක් ද ඇත. එනිසා එකී වෘත්තීන් දෙකම නිසික්‍රමවේදයකට අනුව සමාජය විසින් නියාමනය කරනු ලබන සහ ඒ නිසා වෘත්තීය අභිධානය නමට පෙර යොදා ගැනීම යුක්ති යුක්ත කළහැකි ඒවා ලෙස සැලකිය හැකිය.
එහෙත් මහන්තත්වය හැරෙන විට ඉංජිනේරුවෙකුට ඒ බව තම නමට මුලින් යොදා ගැනීම සඳහා වැදගත් සමාජමය හේතුවක් ඇති බවක් මට සිතාගත නොහැකි විය. ඒ අනුව යමින් ගණකාධිකාරී ජයසේකර, වාස්තු විද්‍යාඥ සිරිවීර ආදීවසයෙන් බොහෝවිට ව්‍යවස්ථාපිත වෘත්තීය නියාමන ආයතන ක්‍රමයක් හරහා නියාමනය නොවන වෘත්තීන් සම්බන්ධව ස්වයං අභිධාන යොදමින් කරන හඳුන්වා ගැනීම් ජන සමාජයක් ලෙස අප පිළිගත යුතුද?

තමන් ඉංජිනේරුවකු බව නමට පෙර හඳුන්වාදීමට කිසිවෙකුට ඇති අභිමතය ගැන මගේ ආරවුලක් නැති නමුත් පාර්ලිමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන වල නිලතල දරන විට එබඳු ස්වයං අභිධාන වලට ඉඩ සැලසිය යුතුද? එසේ වුව හොත් එවැනි නිලතල දැරීමේදී මාධ්‍යවේදී, ජ්‍යෝතිෂවේදී ආදී ස්වයං අභිධාන යොදාගැනීම ද එවැනි ආයතන පිළිගත යුතු ද?
(සටහන | විජයානන්ද ජයවීර)
w.jayaweera@gmail.com
Wijayananda Jayaweera ගේ ෆේස්බුක් පිටුවෙන්...



