කම්කරුවන්ගේ ගෙවතු වගා විනාශ කර දැමීමට සමාගම් පාලකයන් දී ඇති නියෝගයට එරෙහිව වෘත්තීය සටන් දියත් කිරීමට වතු වෘත්තීය සමිති තීරණය

කර තිබේ.


'' හොරණ වැවිලි සමාගමේ වතු වල වැඩ කරන කම්කරුවන්ගේ ගෙවතු වගා බැකෝ දාලා විනාශ කරන්න සමාගම තීන්දු කරලා. මේ ගැන කම්කරුවෝ ඉන්නේ ඉතාම කනස්සල්ලෙන්,'' යැයි ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමාන් පවසයි.


වතු කම්කරුවන් ඉදිරිපත් කරන චෝදනා සම්බන්ධයෙන් හොරණ වැවිලි සමාගමට අයත් මස්කෙළිය, සාමිමලේ හා ගෞරවිල වතු වල සති අන්තයේ කළ සංචාරයකින් අනතුරුව කොටගල සී.එල්.එෆ්. ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ වැවිලි කර්මාන්ත ඇමතිවරයා සමග කතා කොට සමාගමේ මෙම අත්තනෝමතික ක්‍රියාව නවත්වන්නට පියවර ගත් බවයි.


'' වතු සමාගම් පාලකයන් සමගත් අපි මේ ගැන කතා කළා. ඒත් හරි උත්තරයක් දෙන්නේ නැහැ. කම්කරුවන්ගේ ගෙවතු වගා ඉවත් කිරීම වැවිලි ඇමතිවරයා දැන් තහනම් කරලා තියෙන්නේ.''

 

හොරණ වැවිලි සමාගම පවසන්නේ වතුවල සිටින ජනයාගෙන් සියයට 20 ක් පමණක් කම්කරුවන් වන බවයි. ඉතිරිය වත්තට පිටතින් පැමිණි අය බවට සමාගම් බලධාරීයෝ පෙන්වා දෙති. වතු කිහිපයක තමන් කළ සංචාරයේදී හෙළිදරව් වූ කරුණු අනුව සියයට 20 ක ප්‍රමාණයක් සෘජුවම වත්තේ රැකියාවට සම්බන්ධ කම්කරුවන් වන අතර ඉතිරි සියයට 80 වත්තේ පදිංචි තරුණ තරුණියන් බව CWC ලේකම් තොණ්ඩමාන් සඳහන් කරයි.

 

පොලිසියට අපි බය නෑ


'' මේ තරුණ අය වතු වල ඉපදිලා වත්තේම ජීවත්වෙන අය. එයාලට පිටස්තරයෝ කියන්න බැහැ. තේ නැවත වගා කරනවා කියලා වතු පාලකයෝ වතු කැලෑවට ඇරලා. ඒ පැතිවල නැවත තේ වගා කරන්න පුළුවන්. ජනතාවගේ ගෙවතු වගා ඉඩම් වලට අත තියන්න අපි ඉඩ දෙන්නේ නැහැ. පොලිසිය දාලා බයකරන්න හැදුවට අපි බය නැහැ.''


CWC ලේකම්වරයා අවධාරණය කරන්නේ හොරණ වැවිලි සමාගමට අයත් අප්කොට් හා ලිඳුල ප්‍රදේශවල තේ වතු වල වෘත්තීය ක්‍රියා මාර්ග දියත් කරන බවයි.


හේලීස් සමාගමේ කළමනාකාරිත්වය යටතේ පවතින හොරණ වැවිලි සමාගමට අයත් ඉහල කඳුකරයේ පිහිටි  බඹරකැලේ, එල්ඩන් හෝල්, ට්‍රිලිකේට්‍රි, ගෞරවිලා, ෆෙයාර්ලෝන්, ස්ටොක්හෝම්, මහනිලූ වැනි තේ වතු රැසකි.


ආගරපතන වැවිලි සමාගමට එරෙහිව වැඩවර්ජන හා උද්ඝෝෂණය කරමින් කම්කරුවන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට සහාය ලබා දුන් අයුරින් අනෙකුත් වෘත්තීය සමිති මෙම සටනට ද එක් වන ලෙස ලංකා කම්කරු කොංග්‍රස් ලේකම්වරයා ඉල්ලීමක් කරයි.


'' කම්කරුවෝ හැමදාම වැඩට යනවා, ඒත් එක තේ දල්ලක්වත් වත්තෙන් එළියට ගෙනියන්න දෙන්නේ නැහැ. රෑට එළියට ගෙනියන්න වතු පාලකයෝ උත්සහා කළොත් ඒකට ඉඩ නොදී, වත්තේ තරුණයෝ ඒ ගැන බලා ගන්න ඕනෑ.''

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්