2023 මාර්තු 17 වැනිදා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කරන ලද 'ත්‍රස්ත විරෝධී' පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමීමට තීරණය කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසිය.



අමාත්‍යවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති ඉල්ලීම් සලකා බලා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමීමට තීරණය කළ බවයි.

මෙම පනත් කෙටුම්පත පසුගිය 4 වැනිදා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වුවත් අධිකරණ නිවාඩු කාලය (court vacation) හේතුවෙන් පනත සම්බන්ධයෙන් අධිකරණයට යෑමට බාධා මතුවන තත්වය සැලකිල්ලට ගෙන පනත ඉදිරිපත් කිරීම මෙසේ ප්‍රමාද කළ බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරුන්, නීතිඥ සංවිධාන සහ නොයෙකුත් සිවිල් සංවිධාන කළ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන රජයක් විදියට ඒ තීරණය ගත් බව පැවසූ විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා, පනත් කෙටුම්පත මේ මස අග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මේ අනුව බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

මේ අතර මෙම පනත් කෙටුම්පතට විපක්ෂයේ දේශපාලන පක්ෂ, නීතිඥ සංවිධාන සහ නොයෙකුත් සිවිල් සහ බහුජන සංවිධාන දැනටමත් විරෝධය පළ කර ඇත. පනතෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක් එල්ල වන බව එම සංවිධානවල අදහසයි.

පසුගිය සති අන්තයේ මහනුවර සංචාරයක නිරතවූ අගමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කරන ලද්දේ මෙම පනත් කෙටුම්පත මෙම මාස (අප්‍රේල්) ඇතුළත පාර්ලිමේන්තුවේදී නීතියක් ලෙස සම්මත කරගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරන බවය.


සබැඳි පුවත් :
නව ප්‍රතිත්‍රස්ත පනත ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් ද?


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්