2026 වසර ලංකා ඉතිහාසයේ දූෂිතයන්ට වංචනිකයන්ට, හොරුන්ට හිර ගෙවල් නියම කළ වසර බවට පත් වෙන බව පවසන ජනාධිපති අනුර කුමාර දිසානායක, මැයි මාසයේ දී තීරණාත්මක නඩු තීන්දුවක් ඒමට නියමිත බවද ඊයේ (01දා) පැවසීය.
ඒ, ඔහුගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) නුවරඑළියේ පැවති ජාතික ජන බලවේගයේ මැයි රැලිය අමතමිනි.
''මම සහතිකයක් දෙන්නම්. මේ 2026 වසර ලංකා ඉතිහාසයේ දූෂිතයන්ට වංචනිකයන්ට, හොරුන්ට හිර ගෙවල් නියම කළ වසර බවට පත් වෙනවා. මේ මැයි මාසේම 10 දෙනෙකුගේ නඩු තියෙනවා අධිකරණයේ. ඊයේ නඩු තීන්දුවක් ලබා දෙන්න දින නියම කළා. ඒ තීන්දුව මැයි මාසයේ එනවා.'' යයි ඔහු එහිදී අවධාරණය කළේය.
මෙහිදි නීතිය හා අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැකුවූ ජනාධිපති අනුරකුමාර දිසානායක,
“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශක්තිමත් කරලා තියෙනවා. පරීක්ෂණ විශාල ප්‍රමාණයක් දියත් කරලා තියෙනවා. ජනතාව කලබල නැහැ. ඒ ගොල්ලෝ කලබලයි.
අල්ලස් කොමිසම ශක්තිමත් කරලා තියෙනවා. අල්ලස් කොමිසමේ ඉඩ මදි කියලා කිව්වා. අපි හිටපු ඇමති කෙනෙකුගේ ගෙයක් අරන් දුන්නා. අල්ලස් කොමිසටම. දැන් පරීක්ෂණ ටික යනවා.
අපි ආයතන ශක්තිමත් කරලා දුන්නා. නීති හදලා දුන්නා. ජනතාව කලබල නැහැ. ඒ ගොල්ලෝ කලබලයි.
හිටපු ඇමතිවරුන්ගේ ගෙවල් අධිකරණ බවට පත් කළා නඩු අහන්න. එදා කාලා බීලා හිටපු ගෙවල්වලට දැන් එනවා සාක්ෂි දෙන්න. අධිකරණ හදලා, ශක්තිමත් කරලා තියෙනවා. ජනතාව කලබල නැහැ. ඒ ගොල්ලෝ කලබලයි.
මම සහතිකයක් දෙන්නම්. මේ 2026 වසර ලංකා ඉතිහාසයේ දූෂිතයන්ට වංචනිකයන්ට, හොරුන්ට හිර ගෙවල් නියම කළ වසර බවට පත් වෙනවා. මේ මැයි මාසේම 10 දෙනෙකුගේ නඩු තියෙනවා අධිකරණයේ. ඊයේ නඩු තීන්දුවක් ලබා දෙන්න දින නියම කළා. ඒ තීන්දුව මැයි මාසයේ එනවා.
මොකක්ද සිදුවෙමින් තිබෙන්නේ.? වේගයෙන් අපරාධකරුවන්, වංචනිකයන්, දූෂිතයන්, කුඩු ව්‍යාපාරිකයන්, පාතලයින්, හිරේට යමින් තිබෙනවා. නඩු අහමින් තිබෙනවා. ඒ ගොල්ලන් කලබල වෙනවා. කලබල වුණේ නැත්නම් තමයි පුදුමේ.
නීතිය දොරකඩට ඇවිත් තියෙනවා. මේ සෑම අපරාධකාරයෙක්ම නීතිය හමුවට ගෙන යාම සඳහා ඔබ අපිට ජන වරමක් ලබා දුන්නා. අපි ඒ ජනවරම අනුව කටයුතු කරනවා.
පරම්පරාවෙන් ජනාධිපතිවරුන් ද පරම්පරාවෙන් අගමැතිවරුන් ද අපි මනින්නේ නැහැ. හිටපු ජනාධිපති ද හිටපු අගමැති ද හිටපු ජනාධිපතිගේ බිරිඳ ද ජනාධිපතිගේ පුතා ද හිටපු ජනාධිපතිගේ බෑනා ද හිටපු ජනාධිපතිගේ මස්සිනා ද කියලා භේදයක් නැහැ. නීතිය සමානව ළඟට එනවා.”
''අනුර කොහොමද එන්න තියෙන නඩු තීන්දු ගැන මෙහෙම කියන්නෙ'' - උවිඳු කුරුකුලසූරිය
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය, ''අනුර කොහොමද එන්න තියෙන නඩු තීන්දු ගැන මෙහෙම කියන්නෙ'' යයි ප්‍රශ්න කර සිටියි.
'' මේක අධිකරණයට අපහාස කිරීමක් [contempt of court] , ඒ වගේම අධිකරණය ගැන අපිට තියෙන විශ්වාසය පලුදු කිරීමක්. අනුර ඔයාට අමතකද ඔයා දැන් රටේ ජනාධිපති කියල!! '' යයි ද උවිඳු කුරුකුලසූරිය පවසයි.







