සන්නද්ධ පිරිස් ප්‍රවාහනය සඳහා BTR 82A වර්ගයේ රුසියානු රෝද 08 APC 82A පාබල සටන් වාහන
(Wheeled Armoured Personnel Carrier) 60ක් ශ්‍රී ලංකා රජය විසින් අලුතින්ම මිලදී ගැනීමේ සුදානමක් පවතින බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
එවැනි පාබල සටන් වාහන (APC) ශ්‍රී ලංකාවට විකිණීම සඳහා රුසියානු රජය හා චීන රජය අතර දැඩි තරඟයක් හටගෙන ඇති බවත්, ශ්‍රී ලංකා බලධාරීන්ගේ වැඩි අවධානයක් යොමුව ඇත්තේ මිල අධික රුසියානු බෆල් රථ කෙරෙහි බවත් ඉහත ආරංචිමාර්ග කියා සිටියි.
ශ්‍රී ලංකා බලධාරීන් රුසියානු බෆල් රථ මිලදී ගැනීමට යන්නේ 'රෝස්බෝරෝන්එක්ස්පෝට්' (Rosoboronexport) නමැති රුසියානු රාජ්‍ය සමාගමෙනි.
යහපාලන ආණ්ඩුව සමයේදී මෙම Rosoboronexport සමාගමේ දේශීය නියෝජිතයා ලෙසට ප්‍රකාශයට පත්වුයේ මහාරාජා ආයතනයයි. ඇමරිකානු ඩොලර් කෝටි 2400 ක් ගෙවා 'රෝස්බෝරෝන්එක්ස්පෝට්' සමාගමෙන් පරණ රුසියානු නැවක් මිලදී ගැනීමේ රහස් ගනුදෙනුවක් ගැන එකල ඒකාබද්ධ විපක්ෂයෙන් යහපාලන ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ලවී තිබිණ.
කෙසේවුවද අපවෙත වාර්තා වන්නේ මේවනවිට එම රුසියානු සමාගමේ දේශීය නියෝජිතයා ලෙස රාජපක්ෂ පවුලේ හිතවතකු පත්ව ඇති බවයි.
චීන මිලට වඩා දෙගුණයකටත් වඩා ගණන් ? පොලියත් බරපතලයි :
රුසියාවෙන් ලබාදීමට යන 30mm Machine Gun සහිත රෝද අටේ BTR 82A බෆල් රථයක මිළ ඇමරිකානු ඩොලර් මිලියන 1.7 ක් බව සඳහන් වේ. එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 320කි. ඒ එක රථයක් සඳහාය.
රෝද 06ක් සහිත මෙවැනි ම VN 2C චීන බෆර් රථයක මිල රුසියානු මිළට වඩා අඩකට අඩු මිලකට ලබාදීමට චීන රජය එකඟතාවය පළකර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
VN2C: NORINCO (Mine protected carrier )
එසේම, රුසියානු බෆර් රථ මිලදී ගැනීමේදී සියයට 15 ක මුදලක් එකවර අත්තිකාරම් වශයෙන් ලබාදිය යුතු අතර ඉතිරි සියයට 85 ක ණය මුදල වසර 07 ක කාලයක් තුල දී රුසියානු බැංකුවක් වෙත ලබාදිය යුතුය.
රුසියානු බෆර් රථ මිලදී ගැනීමේදී ලබාදෙන ණය වෙනුවෙන් එකී රුසියානු බැංකුව සියයට 7කට ආසන්න පොලිමුදලක් අයකිරීමට නියමිත බවද පැවසේ.
කෙසේවුවද චීනයේ නිෂ්පාදිත බෆර් රථ මිලදී ගන්නේ නම්, එකවර සියයට 15ක් ලබාදී ඉතිරි මුදල වසර 10 කදී සියයට 1.5ක පොලියක් මත ගෙවීමට එකඟතාවය පළකර ඇතැයි ද පැවසේ.
APC රථ 60ක් ගන්න කුලප්පුවක් ඇයි ?
රට බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබියදී ඉහත සඳහන් කර ඇති පරිදි ඇති විශාල ඇමරිකානු ඩොලර් ප්‍රමාණයක් වැයකර Wheeled Armoured Personnel Carrier රථ 60ක් එකවර ගෙන්වීමට යන්නේ කාගේ සාක්කු පිරවීමට දැයි බරපතල සැකයක් මතුව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
උතුරේ යුධ මෙහෙයුම්වලින් පසුව යුධ හමුදාව සතුව පැවති මෙවැනි Wheeled Armoured Personnel Carrier රථ 11 ක් ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් සමග මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරිය සඳහා යොදවා තිබිණ.
ඒ, 2015 දී මෙවැනි බෆල් රථ 33ක් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරිය සඳහා ලබාදෙන ලෙස කළ ඉල්ලීමකට අනුවය
මෑතකදී ද එවැනි රථ 11ක් මාලි රාජ්‍යයේ රාජකාරි සඳහා යොදවා තිබුනද ඒ සියලු රථ මේවනවිට අබලන්වී ඇතැයි පැවසේ.
එහෙත් මේවනවිට මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරිවලින් ශ්‍රී ලංකා හමුදාවන් කෙමෙන් කෙමෙන් ඉවත්වෙමින් සිටින බැවින් එම රාජකාරි සඳහා අලුතින් රුසියානු බෆල් රථ 60ක් එකවර මිලදී ගැනීමේ අවශ්‍යතාවය සැක සහිතබව ආණ්ඩුවේ ප්‍රබලයකු පැවසිය.
අපේ රටේ හදන 'බඩු' හොඳ මදිද ? කොමිස් ප්‍රශ්නයක් ද?
මෙසේ රුසියාවෙන් හෝ චීනයෙන් Wheeled Armoured Personnel Carrier 60ක් මිලදී ගැනීමට යන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මෙරටදී එවැනි බෆර් රථ සාර්ථකව නිෂ්පාදනය කරමින් සිටින තත්වයක් තුලය.
'අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලයි - පිට රටට යන විශාල මුදලක් ඉතිරියි.'
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මේ වන විටත් යුද රථ නිර්මාණකරණයට එක්ව තිබේ. මෙය නවෝත්පාදන ලෙස ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ ඔසවා තැබීමට මෙන්ම යුද රථ වෙනුවෙන් රටින් පිටට ඇදී යන විදේශ විනිමය රට තුළම රඳවා ගැනීම සඳහා භාවිත කළ හැකි හොඳම ක්රමවේදයකි.
අපේ භාවිතයට අවශ්‍ය යුද රථ සහ උපකරණ පිටරටින් ආනයනය කරනවා වෙනුවට අපේ රට තුළම ඒවා නිෂ්පාදනය කර විදෙස් රටවල් සඳහා ද ඒවා නිෂ්පාදනය කරන්නට හැකියාව අපේ රටට ලැබීම සුබ අනාගතයක පෙරමඟ සලකුණක් බව යුධ හමුදාපතිවරයා පවසයි.
ඒ අනුව යුද්ධ හමුදාව නවෝත්පාදනයන්ට නව ප්‍රවේශයක් එක් කරමින්, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකා භට පිරිස් විසින් නිෂ්පාදනය කරන ලද යුනිකෝන්/ යුනිබෆල් රථ 9 ක්, බටහිර අප්‍රිකාවේ, මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යොදවා සිටින ශ්‍රී ලාංකික සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ (Combat Convoy Company) පරිහරණය සඳහා යැවීමට මේවනවිටත් කටයුතු කර තිබේ.
මෙලෙස නිර්මාණය කරන ලද යුනිකෝන්/යුනිබෆල් සහ උපකරණ එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව ආනයනික අමතර කොටස් භාවිත කරමින් නිෂ්පාදනය කර ඇත.
එසේම බිම් බෝම්බ ආදී උවදුරු සඳහා ඔරොත්තු දෙන පරිදි මෙම වාහන සහ උපකරණ මෙරටදීම නිෂ්පාදනය කර ඇති අතර, මීට පෙර ශ්‍රී ලංකාවේ අවශ්‍යතා වෙනුවෙන් විදෙස් රටවලින් ආනයනය කළ යුද රථවල තාක්ෂණයන් ඉක්මවා ගිය තාක්ෂණයක් සහිතව නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකාය සමත් ඇතැයි යුධ හමුදාව පවසයි.
එක්සත් ජාතින්ගේ සංවිධානය සමඟ එකඟ වී තිබෙන ආකාරයට මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යොදවා සිටින ශ්‍රී ලාංකික හමුදා කණ්ඩායමට ලබා දීමට WMAZ රථ විදේශවලින් මීට පෙර ආනයනය කර තිබුණේ අධික මිල ගණන් යටතේය.
එය සාමාන්‍යයෙන් එකක මිළ මිලියන 40 ක් පමණ වටිනාකමකින් යුතු වේ.
එම විශාල පිරිවැය ඉතිරි කර ගැනීම සඳහා ක්රමෝපායන් ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව මෙම රථ නිපදවා තිබේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙසේ පවසයි.
“මේක අර අනිකුත් WMAZ රථ හා සමානයි. ගම්‍ය කරන සංඛ්‍යාවේ වෙනසක් තියෙනවා. යුනිබෆල් රථ මීට පෙර සැදු විට තිබුණු ක්රමවේදයයි මේකයි අතර ලොකු වෙනසක් තියෙනවා. පිටරටින් ගෙන්වන යුනිබෆල් රථවල වායුසමිකරණය කරලා නැහැ. ඒත් එක්සත් ජාතින්ගේ සංවිධානයේ වාහනවල තිබිය යුතු දේවල් ගැන යම් කොන්දේසි තියෙනවා. ඒවාට අවශ්‍ය පරිදි තමයි මේ යුනිබෆල් රථ නිපදවලා තියෙන්නේ. මෙතෙක් කල් අපි පිටරටින් ගෙන්වපු වාහන එක්ක බැලුවම අපි නිෂ්පාදනය කරන රථවල හරි ලේසියෙන් ඉඳගෙන යා හැකියි. මාලි රාජ්‍යයේ සේවයේ යෙදී සිටිය දි කිලෝමීටර් දහස් ගණන් ධාවනයේ යෙදෙන්න වෙනවා. ඒ නිසා ලබාදීමට හැකි උපරිම පහසුකම් අපගේ රණවිරුවන්ට ලබා දිලා තියෙනවා.
අපි රටක් වශයෙන් පිටරටවලින් භාණ්ඩ ගේන්නේ නැතිව ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කළ හොත් අප රට තුළ මුදල් රැඳීම සිදු වෙනවා. අපි හිතනවා මේවා දැක්කම පිටරටවලින් මේවට ඉල්ලුමක් එයි කියලා. මේක පාබල ඒකකවලට ඉතාමත් වැදගත් රථයක්. ඉතින් මම හිතනවා ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාව තුළ උපරිම ආරක්ෂක ක්රමෝපායන් සහ ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කරලා ඒවා සාර්ථකව භාවිතයට ගන්න පුළුවන් බව ඔප්පු කළාම විදේශ හමුදාවන්ට මේවා විකිණීමට හැකියාවක් තියෙයි කියලා”. යුද හමුදාපතිවරයා පසුගිය වසරේ පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබුනේ, ශ්‍රී ලාංකීය හමුදා සෙබළුන්ගේ හැකියාව පිළිබඳව උදන් අනමිනි.
යුද හමුදාපති ප්‍රකාශ කරන පරිදි ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන මෙම යුද රථ අපනයන මට්ටම සපුරා ගෙන තිබේ. ඒ විදෙස් රටවල නිෂ්පාදනය කරන යුද රථවල තාක්ෂණය අභිබවා යමිනි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 243 දෙනෙකුගේ සමන්විත සන්නද්ධ රථ කණ්ඩායමක් මාලි රාජ්‍යය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාජකරීවල නිරතව සිටින බවත් ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම් වල රාජකාරී සම්බන්ධයෙන් ඔවුන් විශේෂ පැහැදීමකින් පසුවන බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා පසුගිය වසරේ (2020) ජුනි 27 දා පැවසිය.
මෙම කණ්ඩායම් වලට අවශ්‍ය සන්නද්ධ රථ 09 ක් මෙරට නිෂ්පාදනය කර මාලි රාජ්‍යයට යැවූ බවත් ඔහු කීය.
මාධ්‍යවේදීන් හමුවේ යුධ හමුදාපතිවරයා එබව කියා සිටියේ, එදින ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැකීමට පසුවය.
සන්නද්ධ රථයක් විදේශ රටවලින් ආනයනය කිරීමට රුපියල් මිලියන 40 ක පමණ මුදලක් වැයවන බවත් යුද හමුදාවේ විදුලි යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමත කළ ආකාරයට මෙම රථයක් රුපියල් මිලියන10 ක මුදලකින් නිර්මාණය කර තිබෙන බවත් යුධ හමුදාපතිවරයා එහිදී පැවසිය.
යුධ හමුදාපතිවරයා මෙරට නිෂ්පාදිත එවැනි බෆර් රථ ගැන සහතික පිට සහතික දෙමින් සිටිය දී ආරක්ෂා අමාත්‍යංශය දැවැන්ත මුදලක් යටකරමින් රුසියාවෙන් බෆර් රථ මිලදී ගැනීමට යන්නේ ඇයි ?
(විශේෂ වාර්තාකරුවකු විසිනි)
ලංකාවේ මූලික අයිතිවාසිකම් කියලා දෙයක් නෑ - රෝහාන් සමරජීව
සැකයක් තියාගන්න එපා! පාස්කු වැරදිකරුවන්ට එරෙහිව මේ ආණ්ඩුව කිසිම පියවරක් ගන්නෙ නෑ.