පසුගිය දින 10කට ආසන්න කාලයක් තුළ විවිධ චෝදනා එල්ල වූ විනිසුරුවරුන් 6 දෙනකුගේ වැඩ තහනම් කිරීමටද එම කොමිසම කටයුතු කර තිබිණි.
මොරටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ, මහියංගණය අතිරේක දිසා විනිසුරු රංගනී ගමගේ, මඩකලපුව හිටපු මහේස්ත්‍රාත් සහ අලුතින් මහේස්ත්‍රාත්වරුන් ලෙස පත් වූ පරිවාස කාලය අවසන් නැති විනිසුරුවරුන් තිදෙනෙක්ද මෙලෙස වැඩ තහනමට ලක් වූ පිරිසට අයත් වෙති.
තවත් විනිසුරුවරුන් 70කට අධික පිරිසක් සම්බන්ධයෙන් කොමිසමට පැමිණිලි ලැබී ඇති බවද වාර්තා වන අතර, ඒ සියලු පැමිණිලි පිළිබඳ විමර්ශන පැවැත්වීමට නියමිත බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම විනිසුරුවරුන්ගේ නිල නිවාස ඇතුළු ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන්ද කොමිසම දැඩි අවධානයක් යොමු කර ඇති අතර, ඒ පිළිබඳ විශේෂ උපදෙස් මාලාවක්ද නිකුත් කිරීමට කොමිසම සූදානම් වේ.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ වර්තමාන සභාපතිවරයා වන්නේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන එහි සාමාජිකයකු ලෙස කටයුතු කරන අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ කොමිසමේ සාමාජික අසුනට ව්‍යවස්ථාදායක සභාවෙන් මෙතෙක් කිසිවකු පත් කර නැත. එම කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් ය.
( silumina | ශාලික විමලසේන)




