කෙරවලපිටිය යුගදනවි LNG විදුලි බලාගාරයේ මෙහෙයුම් සහ එහි සැපයුම් හා ගබඩා පහසුකම් එක්සත් ජනපදයේ පිහිටි සමාගමකට භාරදීමට
උත්සාහයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.
 
ඔහු එබව කියා සිටියේ, ජවිපෙ මූලස්ථානයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක දීය.
 
පසුගිය සඳුදා (ජුලි 12) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මිට අදාල කැබිනට් පත්‍රීකාව ඉදිරිපත්කර කරනු ලැබුවේ විෂය බාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුමට ද වසන්කර දැයි ජවිපෙ නායකයා මෙහිදී සැකමතු කළේය.
 
''සාමාන්‍යයෙන් ඕනෑම කැබිනට් පත්‍රිකාවක් සඳුදා කැබිනට් මණ්ඩලය රැස්වන්නේ නම් අවම වශයෙන් සිකුරාදා වන විටවත් ඇමතිවරුන් අතට කැබිනට් පත්‍රිකා ලැබෙනවා. කෙසේ වුවත් මේ කැබිනට් පත්‍රිකාව එසේ ලැබුණේ නැහැ. ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයට යනවිට මේ පත්‍රිකාව අතිරේක පත්‍රිකාවක් ලෙස මේසය මත තබා තිබුණා. මෙය විදුලි බල විෂයට අයත්. 
 
  
මා දැනගන්න කැමතියි විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමාගෙන්, මෙවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වන බව ඔබ දැනසිටියාද? ඔබව ඒ පිළිබඳව දැනුවත් කර තිබුණාද? මා දන්නා පරිදි නම් ඔහු පවා මේ පත්‍රිකාව දකින්නේ ඊට වාඩි වූවාට පසුවයි. 
 
 
ඕනෑම කැබිනට් පත්‍රිකාවකට, විශේෂයෙන් ඒ විෂයට අදාළ අමාත්‍යවරුන්ට ඊට අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමේ අයිතියක් තිබෙනවා. මෙය බලශක්ති ක්ෂේත්‍රයට අදාළ කැබිනට් පත්‍රිකාවක් නිසා විදුලි බල අමාත්‍යවරයාටත්, ඛනිජ තෙල් අමාත්‍යවරයාටත් නිරීක්ෂණ ලබා දීම සඳහා කාලයක් ලබා දුන්නා. ඔවුන් කාලයක් ඉල්ලා තිබුණා. ඒ මොහොතේම ඔවුන්ට නිරීක්ෂණ ලබා දෙන ලෙස කියා තිබෙනවා. 
 
මේ කඩිමුඩිය කුමක් සඳහාද? කොළේ වසා ගැසීමේ තේරුම කුමක්ද? ඒ අනුව පැය 24ක කාලයක් ලබා දී තිබෙනවා. ඔවුන් නිරීක්ෂණ ඉදිරිපත් කරනු ලැබුවත් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවම අනුමත කරනු ලබනවා.
 
ඇතැම් කැබිනට් ඇමතිවරුන් නොමඟ යවා, ඇතැමුන් රවටා මුදල් ඇමතිවරයා විසින් එය ඉදිරිපත් කර තිබෙනවා. එම පත්‍රිකාව සකස් කරන අවස්ථාවේ මුදල් ඇමති මහින්ද රාජපක්ෂයි, දැන් ඉදිරිපත් කරන අවස්ථාවේ බැසිල් රාජපක්ෂයි. 
 
  
''රාජපක්ෂ පවුලට අයිති මැදමුලන දේපළක් විකුණනවා වගේ ජාතික ආර්ථිකයේ කොටස්, ජාතික ආරක්ෂාවට තීරණාත්මක ලෙස බලපානු ලබන කොටස් මෙම ඇමරිකානු සමාගමට ලබා දී තිබෙනවා.''
 
 
 
යුගදානවි බලාගාරයේ 40 %ක් ඇමරිකානු සමාගමකට 
 
  
Kerawalapitiya Power Plant to USA 
 
කෙරවලපිටිය යුගදනවි LNG බලාගාරයේ කොටස් 40%ක් ඇමෙරිකානු සමාගමකට පවරා දීමට පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය ලබාගෙන ඇති බව ජවිපෙ නායකයා මෙහිදී කියා සිටියේය.
 
ඒ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය.
 
 
'' පසුගිය සඳුදා අපේ රටේ ආරක්ෂාවටත් ආර්ථිකයටත් අතිශය අහිතකර ලෙස බලපානු ලබන කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ තිබෙනවා. එසේම එම කැබිනට් පත්‍රිකාවට අනුරූපී වන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල මහතාත් 'නිව් ෆෝට්ට්‍රස්' ඇමරිකානු සමාගම සමග ගිවිසුමක් අත්සන් කොට තිබෙනවා. ''
 
 
 
මේ ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තිය !
 
 
මේ ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තිය බවට පත් වී තිබෙන්නේ එක් එක් රාජ්‍යයන්ට, විටෙක චීනයට, තවත් අවස්ථාවක ඉන්දියාවට, තවත් විටෙක ඇමරිකාවට රටේ ජාතික සම්පත් අලෙවි කිරීමයි. 
 
පසුගියදා පොට් සිටි පනත මගින් විශාල බලයක් චීන සමාගම වෙත පවරා දුන්නා. 
 
එසේම දැන් ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඇතුළු වරාය ඉන්දියානු වුවමනාවන් සඳහා පවරා දීම පිළිබඳව සාකච්ඡාවක් සිදුවෙමින් තිබෙනවා.
 
මේ පැත්තෙන් කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයත් නල පද්ධතියත් එයට ගෑස් සැපයුමත් ගබඩා සංකීර්ණයත් මුළුමනින්ම ඇමරිකානු එක්සත් ජනපද සමාගමක් වෙත පවරා දීම සඳහා උත්සාහයක් තිබෙනවා. 
 
මුදල් අමාත්‍යවරයා විසින් මෙම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ තිබෙන්නේ ඒ අනුවයි. 
 
මුදල් අමාත්‍යාංහයේ ලේකම්වරයා, මෙම ෆෝට්ට්‍රස් එනර්ජි නම් ඇමරිකානු සමාගම සමග මේ ගිවිසුම අත්සන් කොට තිබෙන්නේ ඒ අනුවයි.
 
 
 අප වැනි රටක විශාල බලශක්ති වෙළඳපොළක් නැති බව අපි දන්නවා. ඒ නිසා අද බලශක්තිය අත්පත් කර ගන්නා තැනැත්තා හෙට අප රට පාලනය කිරීමේ බලය ලබා ගන්නවා. එහි වැදගත් ක්ෂේත්‍රයක් වන්නේ විදුලි බලයයි. 
 
 
කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය මෙගා වොට් 300ක බලාගාරයක්. එය ඉදිකර තිබෙන්නේ ස්වභාවික ගෑස් සඳහා පරිවර්තනය කළ හැකි ආකාරයටයි. එහි අයිතිය තිබෙන්නේ මුළුමනින්ම රාජ්‍ය සමාගම් සතුවයි. 50%කට අධික කොටස් ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරය සතු වනවා. තවත් කොටස් ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදලටත් තවත් ප්‍රමාණයක් රජය සතු ලෙකෝ සමාගමට තිබෙනවා. තවත් ප්‍රමාණයක් රජය සතු එල්ටීඑල් සමාගම සතුව තිබෙනවා.
 
භාණ්ඩාගාරය ඇතුළු රාජ්‍ය ආයතන 04කට අයිතිව තිබෙන මෙම යුගදනවි බලාගාරයේ භාණ්ඩාගාරය සතු කොටස්වලින් 40%ක ප්‍රමාණයක් මෙම ඇමරිකානු සමාගමට පැවරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබෙනවා. 
 
ඊට අදාළ ගිවිසුම ඇමරිකානු සමාගම සමග අත්සන් කොට තිබෙනවා. එම බලාගාරය අසන්නයේ එහිම දිගුවක් ලෙස තවත් මෙගා වොට් 300ක එල්එන්ජී බලාගාරයක් ඉදිකෙරෙමින් තිබෙනවා. එයත් යුගදනවි බලාගාරයටම අයත් කොටසක්. ඒ අනුව මුළු ධාරිතාව මෙ.වො. 600ක් වනවා. 
 
  
2025 වන විට මෙම බලාගාර පද්ධතිය මෙ.වො. 1000 දක්වා වැඩි කිරීමට සැලසුමක් තිබෙනවා. ඒ අනුව කෙරවලපිටිය යුගදනවි බලාගාරය ලංකාවේ විශාලතම බලාගාරය බවට පත් වීමට නියමිතයි. ඇමරිකානු සමාගමට පවරා දීමට උත්සාහ කරනු ලබන්නේ එම බලාගාරයෙන් 40%ක්. 
 
 
විදුලි බල මණ්ඩලය සමග ඇති ගිවිසුම් අනුව 2035 වර්ෂය වන විට රාජ්‍ය සමාගම්වලට අයිතිව තිබෙන යුගදනවි බලාගාරය මුළුමනින්ම විදුලි බල මණ්ඩලයට අයිති විය යුතුව තිබුණා. 
 
 
දේශප්‍රේමී සළුපිළි පටලවා ගෙන :
 
 
ded471fae9c4c3ac7a870c14bdce5200 
 
දේශප්‍රේමී සළු පොරවා ගනිමින්, දේශප්‍රේමය ගැන ගෝරනාඩුකරමින් බලයට පැමිණි ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුව මෙරට බලශක්ති ක්ෂේත්‍රය ඇමෙරිකාවට පවරන්නේ මැදමුලනේ බූදලයක් ලෙස සිතාගෙන දැයි ජවිපෙ නායක අනුර දිසානායක ප්‍රශ්න කළේය.
 
 
 
ඒ සම්බන්ධයෙන් ඔහු තව දුරටත් මෙසේද කරුණු පැහැදිලි කළේය.
 
''මේ දේශප්‍රේමී සළුපිළි පටලවා ගෙන පැමිණ, දේශප්‍රේමී ගොරනාඩුවක් කළ, ඇමරිකානු පුරවැසියන්ගෙන් ගහණ මේ ආණ්ඩුව-ඇමරිකානු පුරවැසි මුදල් ඇමතිවරුන් විසින් විශාලතම බලාගාරය ඇමරිකාවට පවරා දීමට කටයුතු කරමින් සිටින්නේ මෙවැනි තත්වයක් තිබිය දීයි.
 
එමෙන්ම මේ සඳහා ගෑස් නළ පද්ධතියක් ඉදිකිරීම සඳහා විදුලි බල අමාත්‍යංශය විසින් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් සිදුකරනු ලැබ තිබුණා. 
 
මේ සඳහා වන එස්එෆ්ආර් යුනිට් එකක් – පාවෙන ගෑස් ගබඩා සංකීර්ණයක් – වෙනුවෙන් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා තිබුණා. ඒ මේ වසරේ මුල් භාගයේදීයි. එම ටෙන්ඩරය අවසන් කළේ පසුගිය ජුනි 25වැනිදායි. ඒ ටෙන්ඩරය වෙනුවෙන් වෙනම කාර්ය මණ්ඩලයක් බඳවා ගනු ලැබුවා. වෙනම කාර්යාලයක් ආරම්භ කළා. මෙය ජාත්‍යන්තර ටෙන්ඩරයක් මෙන්ම අපේ රටේ වැදගත් ඉදිකිරීමක් වූවා. 
 
මෙයට කෙරවලපිටිය මෙන්ම අපේ රටේ සියලු ගෑස් බලාගාර වෙනුවෙන් ගෑස් සැපයීම භාරවනවා. ආණ්ඩුව සියලු ඩීසල් බලාගාර, එල්එන්ජී ස්වභාවික ගෑස් බලාගාර බවට පරිවර්තනය කිරීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණා. ඒ සඳහා අවශ්‍ය වන නල පද්ධතිය ඉදිකිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවා තිබුණා. 
 
නැවෙන් ගන්නා ගෑස් ගබඩා කිරීම සඳහා පාවෙන ගබඩා සංකීරණයකටද ටෙන්ඩර් කැඳවා තිබුණා. එම ටෙන්ඩරය අවසන් කර තිබියදී කෙරවලපිටිය ඉදිකිරීම් ලබා දෙන ඇමරිකානු ෆෝට්ට්‍රස් සමාගමටම එම ඉදිකිරීම් දෙකද ලබා දීමට මෙම කැබිනට් පත්‍රිකාව මගින් කටයුතු කර තිබෙනවා. 
 
මේ සඳහා අවශ්‍ය වන ගෑස් මාසිකව හෝ වාර්ෂිකව ටෙන්ඩර් මගින් ලබා ගත යුතු තිබුණත් එම ගෑස් සැපයීමේ අයිතිය වසර 05ක කාලයකට මෙම ඇමරිකානු සමාගමට ටෙන්ඩර් කැඳවීමකින් තොරවම ලබා දී තිබෙනවා. ටෙන්ඩර් කැඳවා තිබෙන පාවෙන ගෑස් ගබඩා සංකීර්ණය ඉදිකිරීමද, නල පද්ධති ඉදිකිරීමද මෙම සමාගමට ලබා දී තිබෙනවා. කෙරවලපිටිය බලාගාරයේ 40%ක කොටස්ද ඊට ලබාදී තිබෙනවා.''
 
 
 
'දේශප්‍රේමින්' කෝ ?
 
  
wimal gamanpila vasu 
 
මේ ආණ්ඩුව ගොඩනැගීමේදී ඇමරිකාව ගලේ ගැසිය යුතු බවට වහසි බස් දෙඩූ, දේශප්‍රේමී සළු පැළඳූ පුද්ගලයින් මේ ආණ්ඩුවේ ඉන්නවා. ඇතැමුන් කැබිනට් මණ්ඩලයත් නියෝජනය කරනු ලබනවා. අපේ රටේ බලශක්ති ක්ෂේත්‍රයට ඇමරිකානු සමාගම් වෙත පවරා දීම සඳහා ගන්නා මේ උත්සාහය පිළිබඳව ඔවුන්ගේ ස්ථාවරය කුමක්ද? 
 
එසේ නැත්නම් ඔවුන් රාජපක්ෂ පාලනයට හීලෑ වුණු සුවච කීකරු සත්වයින් බවට පත්වී තිබෙනවාද? 
 
 
දේශප්‍රේමිත්වය ගැන කථා කළ මේ ආණ්ඩුව විසින් අද අපේ රට විශාල අනතුරක හෙළා තිබෙනවා. අපේ රට ලෝක භූ දේශපාලන පොර පිටියේ ගැටුම්වලට මුහුණ දෙන මධ්‍යස්ථානයක් බවට පත් වී තිබෙනවා. එක් පසකින් චීනයට රටේ ජාතික සම්පත් අලෙවි කෙරෙමින් තිබෙනවා. අනෙක් පසින් ඉන්දියාවට ජාතික සම්පත් අලෙවි කරමින් සිටිනවා. අනෙක් පසින් අපේ රටේ අතිශය වැදගත් බලශක්ති ක්ෂේත්‍රය ඇමරිකාවට අලෙවි කරමින් සිටිනවා.
 
 
2025 වන විට විශාලතම බලාගාරය, වසර 05ක් යන තුරු ගෑස් සැපයුම, ගබඩා සංකීර්ණය හා නල පද්ධතිය ඇමරිකානු සමාගම සතුයි. රටේ මුළු බලශක්තිය මේ ඇමරිකානුවන් විසින් ඇමරිකාවට පාවා දී තිබෙනවා. 
 
 
WhatsApp Image 2021 07 08 at 10.22.23 AM 
 
මේ ඇමරිකානු පුරවැසියන් ජනාධිපති පුටුවල වාඩි වූයේත් දැන් කඩිමුඩියේ පැමිණ මුදල් අමාත්‍ය ධුර භාර ගන්නේත් රටේ ජාතික සම්පත් ඇමරිකානු සමාගම් වෙත පවරා දීමට තිබූ යටි සැලසුම් අනුවයි. 
 
 
රටක බලශක්ති ක්ෂේත්‍රය කවර හෝ වෙනත් රටකට හිමි වනවා යන්නේ තේරුම ඒ රටේ ආර්ථිකයත් ආරක්ෂාවත් බලශක්තිය අයත් රටට හිමි වන බවයි.
 
මේ එක ගිවිසුමක්වත් පාර්ලිමේන්තුවට ගෙනාවේ නැහැ. මේ ජාතික සම්පත් විකිණිම ගැන කිසිදු සාකච්ඡාවක් සිදු වූයේ නැහැ. කැබිනට් මණ්ඩලයෙන් පසුව පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මෙවැනි කැබිනට් පත්‍රිකාවක් අනුමත කරන ලද බව කිවුවේ නැහැ. එවැනි ගිවිසුමක් අත්සන් කරන ලද බව කිසිවෙකුටවත් කිවුවේ නැහැ. 
 
ඒ නිසා මේ රටේ අයිතිකරුවන් රාජපක්ෂ පවුලද? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මේ රටේ ජාතික සම්පත් තමන්ගේ බූදලයක් වගේ විකුණා දැමීම සඳහා සැලසුම් කරනවා.
 
 
මේ රටේ දේශප්‍රේමී පුරවැසියන් මේ පාලනය ගොඩනගා ගන්නා විට තිබූ බලපොරොත්තු මේ පාලකයින් විසින් සුණු විසුනු කොට තිබෙනවා. එවැනි ජනතාව මේ රටට සැබැවින්ම ආදරෙයි නම් ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය විදේශීය රාජ්‍යයන් පවරා දීමට විරුද්ධ නම් තවත් රාජපක්ෂවරුන් පසුපස යන්න එපා. ඔවුන් ඔබව පාවා දී හමාරයි. 
 
 
ත්‍රීකුණාමලය වරාය හා තෙල් ටැංකි සංකීර්ණය විදේශීය සමාගම් වෙත පැවරීම පිළිබඳව නැවතත් සාකච්ඡා වෙමින් තිබෙනවා. චීන පිරිපහදුවක් ඉදිකිරීම වෙනුවෙන්, තෙල් ගෙන්වීම, පිරිපහදුව, බෙදාහැරීම පිළිබඳ ඛනිජ තෙල් සංස්ථාව සතු ඒකාධිකාරය අහෝසි කිරීම සඳහා ඛනිජ තෙල් පනත සංශෝධනය කිරීමට යනවා. 
 
මුතුරාජවෙල අක්කර 109ක් ගොඩකර චීන ගෑස් විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කරමින් සිටිනවා.
 
මේ තත්වය තුළ මේ කැබිනට් පත්‍රිකාව වහා හකුළා ගන්නා ලෙස අපි ආණ්ඩුවට බල කර සිටිනවා.
 
 මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සමාගම සමග අත්සන් තබන ලද ගිවිසුම අවලංගු කළ යුතුයි. මේ බලශක්ති අයිතිය ඇමරිකානු සමාගමකට පැවරීම සඳහා දරන උත්සාහය නතර කරන ලෙසට අපි ආණ්ඩුවට බලකරනවා. 
 
තමන් මේ කැබිනට් පත්‍රිකාවට එකඟද නැද්ද යන්න රටට කියන ලෙස හෘදය සාක්ෂිය ඇති කැබිනට් අමාත්‍යවරුන් සිටීනම් අපි ඉල්ලා සිටිනවා.''
 
 
 
 
 
 
THE LEADER TV 
පොලිස් ඇමතිට වෙච්ච වැඩක් ! 
 
බැසිල් දැල එලයි - කැටගොඩ අවුලක |
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්