"මෘදුකාංග සහාය 2024 දී ඉවරයි; නමුත් වැඩේ ස්ථාවරයි": COPA කමිටුවට නිලධාරීන් දුන් පරස්පර ප්‍රකාශ හෙළිවෙයි
හිටපු කොමසාරිස් ජනරාල් ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත්වෙද්දී ඩිජිටල්කරණය හිතාමතාම පස්සට ගැසීමේ සැකයක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) දූෂණ සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා මීට දශකයකට පෙර සැලසුම් කළ, ජාතික මට්ටමේ වැදගත්කමකින් යුතු "e-Motoring" ඩිජිටල්කරණ ව්‍යාපෘතිය මෙතෙක් ක්‍රියාත්මක නොකර හිතාමතාම ප්‍රමාද කිරීම පිටුපස ඇති පද්ධතිමය වංචාවන් සහ නිලධාරීන්ගේ වගකීම් විරහිතභාවය පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු වී තිබේ.
මෙම ව්‍යාපෘතිය 2018 වසරේදීම නිල වශයෙන් බාහිර සමාගමකට පවරා තිබියදීත්, එය ක්‍රියාවට නැංවීම පැහැර හැරීම නිසා වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු වාහන ලියාපදිංචි කිරීමේ මහා පරිමාණ ජාවාරම්වලට සම්බන්ධ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු ඇතුළු උසස් නිලධාරීන් රැසක් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
රාජ්‍ය පරිපාලනයේ විනිවිදභාවය ඇති කිරීමට සහ මානව මැදිහත්වීම් අවම කර අල්ලස් වංචා නැති කිරීමට ඇති හොඳම මෙවලම ඩිජිටල්කරණයයි. එහෙත්, දැනටමත් නිම කළ හැකිව තිබූ ටෙන්ඩර් ක්‍රියාවලියක් සහ තාක්ෂණික විසඳුම් අතැඹුලක්ව තිබියදී, ශ්‍රී ලංකාව තවමත් දශක ගණනාවක් පැරණි, අතින් ලියන (Manual) ලිපින ලේඛන ක්‍රමවේදයක් භාවිත කරන්නේ කාගේ වුවමනාවකටද යන්න බරපතළ ගැටලුවකි. පද්ධතිය ඩිජිටල් නොකිරීම නිසා වංචාකරුවන්ට නීති විරෝධී ලෙස වාහන ලියාපදිංචි කිරීමට දිගින් දිගටම අවකාශය ලැබී ඇත.
රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී (COPA) හෙළිවූ පරස්පරතා
නිලධාරීන්ගේ වැරදි තොරතුරු:
2026 මාර්තු මාසයේ පැවැති COPA කමිටු වාරයේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ප්‍රකාශ කර තිබුණේ e-Motoring පද්ධතිය ස්ථාවර මට්ටමක පවතින බවත්, එහි සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදුවන බවත්ය.
තාක්ෂණික සහාය නතර වීම:
එහෙත්, සැබෑ තත්ත්වය නම් මෙම ව්‍යාපෘතියට අදාළ මෘදුකාංග සහ තාක්ෂණික සහාය (Software support) ලබාදීම 2024 අගභාගයේදීම සම්පූර්ණයෙන්ම නතර වී තිබීමයි. වගකිවයුතු පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවට සහ කැබිනට් මණ්ඩලයට නිලධාරීන් විසින් මෙලෙස අසත්‍ය සහ නොමඟ යවන සුලු තොරතුරු වාර්තා කිරීම ආයතනික වගවීම මුළුමනින්ම පැහැර හැරීමකි.
ප්‍රමාදයට හේතුව පරිපාලන අකාර්යක්ෂමතාවය විතරක්මද?
විමර්ශන අංශ සැක කරන්නේ මෙම ව්‍යාපෘතිය මෙතරම් කාලයක් කල්යාම පිටුපස හුදු පරිපාලනමය ප්‍රමාදයකට වඩා, සාම්ප්‍රදායික ලිපිගොනු ක්‍රමයෙන් අයුතු ප්‍රයෝජන ලබන නිලධාරී තන්ත්‍රයේ (Bureaucratic resistance) බලපෑමක් සහ දේශපාලන අතපෙවීම් පවතින බවයි. ඩිජිටල් පද්ධතියක් ආවොත් තමන්ගේ හොර මඟඩිඩි සියල්ල අසුවන නිසා, ඇතැම් පාර්ශ්ව හිතාමතාම මෙම ප්‍රතිසංස්කරණ වළක්වා ඇති බවට සැක කෙරේ.
පිළිතුරු නැති මූලික ප්‍රශ්න සහ ඉදිරි පියවර
රජයේ මුදල් නාස්ති කරමින් වසර ගණනාවක් පුරා ක්‍රියාවිරහිත කර තිබූ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රට හමුවේ ප්‍රශ්න කිහිපයක් ඉතිරිව ඇත.
* වසර ගණනාවක සූදානමකින් පසුවත් ජාතික වශයෙන් වැදගත් මෙවැනි ඩිජිටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූයේ ඇයි?
*වසර ගණනාවක් තිස්සේ සිදුවූ මෙම ප්‍රමාදයන් නිසා අපතේ ගිය මහජන මුදල්වලට වගකියන්නේ කවුද?
* මෙම ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන (Procurement) සහ ක්‍රියාත්මක කිරීමේ තීන්දු පිළිබඳව වහාම ස්වාධීන අධිකරණ වෛද්‍ය විගණනයක් (Forensic Audit) පැවැත්විය යුතුය.
* පද්ධතිය ස්ථාපිත කිරීම කඩාකප්පල් කිරීමට සම්බන්ධ වූ හෝ ඉන් දූෂිත ලෙස වත්කම් ඉපැයූ නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගනිමින්, e-Motoring පද්ධතිය කඩිනමින් රටට දායාද කරන නිශ්චිත කාලසටහනක් වහාම ප්‍රකාශයට පත් කළ යුතුය.
මුලාශ්‍රය :
Unanswered Questions Continue To Shadow Sri Lanka’s Digital Vehicle Reform




