The Leader News
BREAKING
Top Ad
Opinion

පෑඩ් අඳින ගැහැනියකගේ හෘදය සාක්ෂිය

T

The Leader Desk

May 16, 2019 • 11:02 AM

පෑඩ් අඳින ගැහැනියකගේ හෘදය සාක්ෂිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තිලක් සේනාසිංහ මහතාට ලියමි මට දැන් අවුරුදු 28 කී. මා දැන් මේ ලියන්නේ මාගේ 197 වන මාසික ඔසප් වීම අතරතුරය. සතියක් හෝ දින 4-5 හෝ දිග්ගැස්සෙන රුධිරය පිටවීම සමඟ ආසන්න වශයෙන් මා ගත කළ ජිවිතයෙන් දින 1000 ක් පමණ මා ගෙවා ඇතුවාට සැක නැත. ඒ නිසා මගේ මාසික වේතනයෙන් හැම මාසයකම මට මිලදී ගැනීමට අවශ්‍ය අනිවාර්ය බඩු ලැයිස්තුවට පෑඩ් පැකට් එකක් එකතුවේ.
  • එහෙත් මා සෑම මසකම මිලදී ගෙන ඇති ‘අමුතු වෙළඳ භාණ්ඩයක් වන පෑඩ් පැකට් එක’ දෙස තිලක් සේනාසිංහ මහතා වැනි ජේෂ්ඨ ගවේෂණශීලි මාධ්‍යවේදී මහතුන් බලාගෙන සිටි බව දන්නේ දැන් ය.
  • අවට සිටින සැමට පෙනෙන සේ අනික් භාණ්ඩ අතරම තබා මුදල් ගෙවීම  විමර්ශනශීලි, විචක්ෂණශීලි තියුණු ඇස් ඇති මේ මහතුන්ගේ බැල්මට හසු වී ඇති බව දන්නේ දැන්ය.
  • සති අන්ත පුවත් පතක පිටුවක් පුරා පළවෙන ලිපියකට එය ප්‍රස්තුත වී ඇති බව දන්නේ දැන්ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇතැම් මාස වල එකකුත් මදි වේ. ඒවා බොහෝ විට ගන්නේ පසුගිය සතියේ  තිලක් සේනාසිංහ මහත්මයා සති අග අරුණ පුවත් පතට (2019, මැයි 5 ඉරිදා )  ලියා තිබුණු පරිදි  සුපිරි වෙළඳ සැලකිනි.ඒ මට කැමති හා පහසු සනීපාරක්ෂක තුවා වර්ගයක්  තෝරාගැනීමට  එහිදී මට ලැබෙන පහසුව නිසාමය. මුදල් ගෙවීමට  පහසු නිසාම බොහෝ විට ඒවාට ගෙවන්නේ මගේ දෙබිඩ්  (Debit) කාඩ් පත ය.

ඒ වෙලාවට කවුන්ටර් පෝලිමේ සිටින අනික් මිනිසුන් ගන්නේ කොන්ඩම් ද , පොස්ටිනෝ ද, මදුරු කොයිල් ද, සිද්ධාලේපද, වට්ටක්කාද, දත් හාරන කූරුද, ටොයිලට්  ටුශු ද, අත  පිහින ටිශුද යන්න  මා නම් බලා සිට නැත.එහෙත් සුපිරි  වෙළද සැලක ඇත්තේ පාරිභෝජන වෙළඳ භාණ්ඩ මිස බණ පොත් නොවේ යන මුලික දැනුමක් මට තිබුණි. එහෙත් මා සෑම මසකම මිලදී ගෙන ඇති ‘අමුතු වෙළඳ භාණ්ඩයක් වන පෑඩ් පැකට් එක’ දෙස තිලක් සේනාසිංහ මහතා වැනි ජේෂ්ඨ ගවේෂණශීලි මාධ්‍යවේදී මහතුන් බලාගෙන සිටි බව දන්නේ දැන් ය. අවට සිටින සැමට පෙනෙන සේ අනික් භාණ්ඩ අතරම තබා මුදල් ගෙවීම  විමර්ශනශීලි, විචක්ෂණශීලි තියුණු ඇස් ඇති මේ මහතුන්ගේ බැල්මට හසු වී ඇති බව දන්නේ දැන්ය. සති අන්ත පුවත් පතක පිටුවක් පුරා පළවෙන ලිපියකට එය ප්‍රස්තුත වී ඇති බව දන්නේ දැන්ය.

තිලක් සේනසිංහ මහතා යෝජනා කරන්නේ පත්තර කොලෙකින් වසා  බ්‍රවුන් පේපර් කොලෙනුත් ඔතා  ග්‍රෑම් 500 බටර් කේක් ගෙඩියක් සේ සකසුරුවමට සකසා මල්ලක  දමා වටපිට බලා හෙමින් දෙන  පෑඩ් පැකට් මට මාසික වරදකරියෙකුගේ තත්වයට  පත්වෙමින්  මිලදී ගෙන බෑග් එකේ හංගා ගන්නටද? ඒ යෝජනාවටම කැමති සුපිරි වෙළඳ සැල් කීපයක් ද ඇති බව පසුගිය දින කීපය තුළ සමාජ මාධ්‍යය තුළ සංසරණය වූ පින්තූරයකින් ද පෙන්නුම් කරයි .

මාගේ පිරිමි මිතුරන් සමඟ මා ඕනෑ තරම් සනීපාරක්ෂක තුවා ගන්නට වෙළඳසැල් වෙත  ගොස් ඇත. මගේ පෙම්වතුන් මට අවශ්‍ය විට ඒවා මට ගෙනවිත් දී ඇත. කාර්යාල දුර ගමන්, කේෂ්ත්‍ර චාරිකා අතරතුර ඕනෑ තරම් මාසික ඔසප් වීම නිසා මා සගයින් සමඟ සනීපාරක්ෂක තුවා ගන්නට මා  කඩ ගානේ දුව ඇත. ඒ බහුතරයක් වූ කළි මා පිරිමි මිතුරන්ය.

ගැහැනු දරුවෙකුගේ  පළමු ඔසප් වීම සිදු වූ විට එය ලොකු ළමයෙක් වීම ලෙස හඳුන්වමින් “ඇස්ටෝන් මගුල”, “කොටහලු මගුල” හෝ “ බිග් ගර්ල් පාර්ටි” නමින් උත්සවාකාරයෙන් සැමරීමේදී එතැන් සිට  ඇයට මාසික ඔසප් වීමක්  සිදුවන බව ගමටම අමුතුවෙන් කිව යුතුව තිබේද?  ඔබේ ලිවිම අනුව රහසිගතව තබා ගත යුතු යයි ඔබ කියන “ඔසප් වීම” අප උත්සවාකාරයෙන්ම සමරණ සමාජයක් බව ඔබට අමතකව ඇත්තේ ඇයි දැයි නොදනිමි.

අප 6,7 ශ්‍රේණි වලදී විද්‍යාගාරයට ගිය අවස්ථා වල “උදා වූ යෞවනය” නම් පොතක් තිබුණා මට මතකය. තලත්තැනි වැඩිහිටියකු වන  ඔබට හැකි නම්  අවම වශයෙන්  ඒ පොත සොයාගෙන  කියවන්නට යෝජනා කරමි. සරල තේරුම් ගැනීමට හැකි බසින් පින්තූරද සහිතව ලියා ඇති ඒ පොත  ස්ත්‍රී පුරුෂ ශරීරයන්හී  ජීව විද්‍යාත්මක ස්වභාවයන් හා ඒ ආශ්‍රිතව සිදුවන හෝමෝන ක්‍රියාවලින් නිසා සිදුවන වෙනස්කම් සරල ලෙස කියා දෙයි.

අනෙක් අතට නොදෙවෙනිව “ අද නෝනලාගේ කාර් නිසා මහත්තුරුන්ගේ කාර්වලට ඉඩ නෑ”  යනුවෙන් ඔබේ  කියවීම පටන් ගන්නා “බටහිර විදී ඇඳුමෙන් මාර්කට් යන කුරුඳුවත්තේ අලුත් නෝනලා”  යන  මුළු ලියවිල්ලම හීනමානය (Inferiority Complex) පදනම් කරගත්තක් බව නොකියාම  බැරිය. ඒ මදිවාට ඔබේ මේ ලිංගික කුහකකම මුලික කොටගත් පසුගාමී අදහස් ඇති ලිපිය පුරා ප්‍රකාශ කරන්නේ ඔබට ඔබ දකින සමාජය දිරවා ගැනීමට ඇති නොහැකියාවය. ඔබේ නිරීක්ෂණ සමාජයේ ප්‍රගමණයට හෝ සමාජ දෘෂ්ටි කෝණය වෙනස් කිරීමට හෝ අවම වශයෙන් දායක වන්නේ කෙසේදැයි මා දන්නේ නැත.

ඇතැමුන් සති අන්ත පත්තර වල පිටුවක් පුරා පළවෙන මෙවන්  ඕපා දුප කතා සහිත අගක් මුලක් නැති ලිපි සමාජ විද්‍යාත්මක පර්යේෂණාත්මක ලිපි යයි සිතා සිටියි.ඔබත් එසේ සිතා සිටිනවාද යන්න මම නොදනිමි. ඔබට සමාජ විද්‍යාත්මක පරීක්ෂණය සම්බන්ධ ක්‍රමවේද පිලිබඳ දැනගන්නට අවශ්‍ය නම් අවම වශයෙන් මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලියා ඇති පොතක් පෙරළා බලන්නට යෝජනා කරමි.

ඔබේ මතය ප්‍රකාශ කිරීමට ඔබට පුර්ණ අයිතිය ඇත. එහෙත් දීර්ඝ කාලයක් පුරා ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කොට ඇති ඔබට ඇති සමාජ වගකීම මා අමුතුවෙන් මතක් කළ යුතු නැත. ඔබ මේ ලියා ඇත්තේ ඔබේ ඩයරියේ නොවේ. මෙය ඔබ සමස්ත සමාජයක් වෙත මුදා හරින ලියවිල්ලකි. 2019 අවුරුද්දේ සිට යම් සමාජයක් ප්‍රතිගාමී තැනකට තල්ලු කරනවා වෙනුවට මේ  සමාජ වෙනස් වීම සම්බන්ධව ඔබට ඉතා ප්‍රගතිගාමී ඇසකින් පර්යේෂණාත්මක ලිපියක් ලිවීමට හැකිව තිබුණි.

ලෝකය පුරා ඇතැම් රටවල කාන්තාවන්ට තමන්ගේ මුලිකම අවශ්‍යතාවක් වන සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට වත් හැකියාවක් නැත. හොඳම උදාහරණය නම් අපේම අසල්වැසි ඉන්දියාවය. සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් වන “ බදු” ඉවත් කිරීමේ “ Zero Tax”‘  වෙනුවෙන් වන  ක්‍රියාකාරී සමාජ ව්‍යාපාර ලෝකය පුරා මේවන විට  බිහිවෙමින් තිබේ. ලංකාවේද මෑතකදී  ඒ වෙනුවෙන් වන ඇතැම් සහන ලබා දීමට කටයුතු කොට තිබුණි. එවන් මොහොතක තමන්ගේ රටේ කාන්තාවන් සමස්තයටම අවම වශයෙන් තම මුලික සනිපාරක්ෂාව සඳහා වත් අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව  “Purchasing Power” වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය මතු කරනු වෙනුවට මට ඔබේ ලියවිල්ල ලබා දුන්නේ එවන් හැකියාව ඇත්තවුන්ද ගෙට දමා දොරා වසා දමන්නට හඳන හැඩ් පිරිමි සිතුවිල්ලකි.

තවමත් සනීපාරක්ෂක තුවා වෙනුවට සෝදා නැවත රෙදි කැබලි  අදින ගැහැනුන් මම ඕනෑ තරම් දනිමි. ඒවා අනෙකුන් දකියි සිතා තද අව්වේ දමා වෙලා නොගෙන ඉර එළිය නොවැටෙන  ගෙයි මුල්ලක ඇතැමුන් වෙලා ගන්නා බව දනිමි. බැක්ටීරියා වර්ධනයට හේතු විය හැකි ඒවා කාන්තා මුලික සනිපාරක්ෂාවට කෙතරම් හානි දායකද යන්න ඔබේ නිරීක්ෂණයෙන් හසුවුවා  නම් මා සතුටු  වෙමි. ඔබ නොදන්නා වුවද සනීපාරක්ෂක තුවා වෙනුවට අද වන විට  විවිධ ආදේශන ලොව පුරා අත්හදා බලමින් තිබෙනවා  සේම ඒ වෙනුවෙන් වන පරිසර හිතකාමී විවිධ   නිෂ්පාදන වෙළඳ පොලට නිකුත් වෙමින් තිබේ. ඒ නිසාම ජනමාධ්‍යවේදියකු තම සමස්ත සමාජය කෙරෙහි වන වගකීම ගැහැනුන් විෂයෙහි හණමිටි අදහස් දරමින් ඉටු කරන්නේ කෙසේද යන්න මා නොදනිමි.

ඒ මදිවාට ප්‍රධාන මාධ්‍ය ජාලයක අයිතිය සතු සති අන්ත පුවත්පතක පිටුවක් පුරා මෙවන් ලියවිලි පළ වී තිබේ. ‘සතිඅග අරුණ’ පුවත් පතේ සංස්කාරක මණ්ඩලයක් සිටීදැයි  මා පෞද්ගලිකව දන්නේ නැත. සිටිනවාද යන්න දැන් නම් සැක සහිතය. ඇත්නම් එයින් අනුමතව  මේ ලිපිය පළ ව ඇතැයි මම සිතමි. එසේ නම් මේ ලිපිය පිලිබඳ පුවත්පත වගකීම භාර ගත යුතුව තිබේ. ඕනෑම කුණු ගොඩක් පළ කරන එකක් කැලෑ පත්තරයක් මිස ජාතික පුවත්පතක් විය නොහැකිය.

මේ ලිපිය අරභයා  සමාජ මාධ්‍යය වේදිකා හරහා බොහෝ දෙනෙකු තම මත ප්‍රකාශ කොට තිබුණි. ඒ වෙනුවෙන් වන තම අප්‍රසාදය ප්‍රසිදියේම පළ කොට තිබුණි. තිලක් සේනාසිංහ මහතාද තම මුහුණු පොතේ ඒ වෙනුවෙන් කර තිබු කරුණු පැහැදිලි කිරිම කියෙව්වෙමි. ඒ ඇඟ බේරා ගැනීමට ලියු පොඩි අනුකම්පාව ඉල්ලීමේ සටහනකි.

ඔබ කෙරෙහි වන පෞද්ගලික තරහක් මට ඇත්තේ නැත. මා ඔබව පෞද්ගලිකව හඳුනන්නේද නැත. එසේම  ඔබේ දීර්ඝ කාලින වෘත්තීය ජිවිතය තුළ ඔබ ලියා ඇති අනෙකුත් දේවල් කෙරෙහි මේ සටහන වලංගු වන්නේ ද  නැත. ඒත් ප්‍රස්තුත කාරණයට භාජනය වී ඇති ඔබේ සටහන ඔබේ පසුගාමී අදහස් කෙරෙන් පෝෂණයක් ලබා ඇති බවට සාක්ෂි සපයයි. අනෙක් අතට ඔසප් වීම “කිල්ලක” ට හසු වීමක්  යැයි සිතා සිටින සමාජයකට ඔබ තවත් ඉන්ධන සපයමින් සිටියි.

වීදී ඇදුම් ගැනද, අවු කණ්ණාඩි ගැනද, රුපලාවන්‍ය ගැනද ඉංග්‍රීසි කතා බහ ගැනද ලියා තුබූ ඒවා ගැන දීර්ඝව සාකච්ජා කළ යුතුව තිබේ. ඒ සැම කරුණකටම ඔහු පොදු සාම්ම්‍ය කොට තිබුණේ ගැහැනුන්ය. අපේ අත්තම්මා නම් මේවාගේ කතා කියන ඈයන්ට  කියන්නේ “ගම්මැදි හෑලි කියවන එකාලා” කියාය. පාරිභෝජන රටාවන්හි වෙනස් වීම හෝ සමාජ ආර්ථික රටාවන්ගේ වෙනස් වීම කියන්නට නම් පර්යේෂණාත්මක අධ්‍යනයක් තිබිය යුතුය, එසේ නම් ලිපිය ලබා ගත යුතුව තිබුණේ වෙනත් ප්‍රවේශයකි.

එක සති අන්තයක සුපිරි වෙළඳ සැලකට ගොස් පරියේෂණාත්මක ලිපි ලිවිමට යාමෙන් වෙන්නේ තමන්ට නොදැනීම  තමන්ගේ නියම පැටිකිරිය එළියට පැමිණීමකි.මාසික ඔසප් වීම අමුතු එකක් යයි සිතා අනිකුන්ගේ බඩු මලුවලට ඔලුව දැමීමෙන් හොට පටලව ගෙන ඇති ඔබට මාගේ  ටුවිටර් ගිණුමේ කමෙන්ටුවක්  පළකොට තිබු මහත්මයෙකුගේ සටහනක් මෙහිලා ලියා තබමි.

“දියුණු සමාජයක පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය රැකෙන්නේ ෂොපින් කරන අනෙක් අයගේ සොපින් කාට් වලට එබිලා නොබලන “discipline” එකෙන් කියලා ඔය මහත්තයට කියලා දෙන්න”.

කම්මැලිකම යන්නටත් එක්ක ඉන්න ගමන්  ඉන්දියාවේ  ආර්.බල්කි අධ්‍යක්ෂණය කළ අක්ශේ කුමාර් රඟන  “ Pad Man” චිත්‍රපටිය බලන්න. නැත්නම් ඔවැනි පත්තර පිටු ඇඳ ඉවත් කරන පෑඩ් එතීමට කාන්තාවන් පාචිචිචි කරන්නට ඉඩ නැතුවාම නොවේ.

ඉෂාරා ධනසේකර | Ishara Danasekara

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...