The Leader News
BREAKING
Top Ad
Opinion

භික්ෂු ඉල්ලීමට ජනපති සමාව දිය හැකි ද? | සුනිල් කන්නන්ගර

Awara

Awara

October 19, 2026 • 2:28 PM

භික්ෂු ඉල්ලීමට ජනපති සමාව දිය හැකි ද? | සුනිල් කන්නන්ගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දිනවල “ජනාධිපති සමාව” යන කරුණ පිළිබඳව බොහෝ දෙනා කතා කරති.
  • මේ බලයන් දෙක එකම බලයක පැතිකඩ දෙකක් ලෙස ක්‍රියාත්මක වන්නකි.
  • අතීතයේ යටත් විජිත ලෙස රටවල් පාලනය කරද්දී අධිරාජයා සතුව තිබූ එම බලය අධිරාජයා වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමේ බලතල යටත් විජිතය පාලනය කළ අධිරාජයාගේ නියෝජිතයාට ලබාදී තිබුණි.
  • ඒ අනුව බ්‍රිතාන්‍ය යටත් විජිත වූ ඉන්දියාව, ලංකාව, කැනඩාව ආදී යටත් විජිතවල වරදකරුවන්ට සමාව දීමේ රාජකීය බලය හා අධිකරණය පනවන මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ දිනය නියම කිරීම ආණ්ඩුකාරවරුන් හෝ ප්‍රතිරාජයන් ලෙස ඒ රටවල් පාලනය කළ අය වෙත පවරා තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ දිනවල “ජනාධිපති සමාව” යන කරුණ පිළිබඳව බොහෝ දෙනා කතා කරති. ඒ නිසාම මේ ජනාධිපති සමාව යන කාරණය පිළිබඳව මඳක් සොයා බැලිය යුතු යැයි මටද සිතුණි.

ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය නායකයා සතු සුවිශේෂී බලයන් වන්නේ වරදකරුවන්ට සමාව දීමේ බලය හා අධිකරණය විසින් මරණ දඬුවම නියම කරන වරදකරුවන්ගේ එම දඬුවම ක්‍රියාත්මක කළ යුතු දිනය නියම කිරීමේ බලයයි. මේ බලයන් දෙක එකම බලයක පැතිකඩ දෙකක් ලෙස ක්‍රියාත්මක වන්නකි.

අතීතයේ යටත් විජිත ලෙස රටවල් පාලනය කරද්දී අධිරාජයා සතුව තිබූ එම බලය අධිරාජයා වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමේ බලතල යටත් විජිතය පාලනය කළ අධිරාජයාගේ නියෝජිතයාට ලබාදී තිබුණි. ඒ අනුව බ්‍රිතාන්‍ය යටත් විජිත වූ ඉන්දියාව, ලංකාව, කැනඩාව ආදී යටත් විජිතවල වරදකරුවන්ට සමාව දීමේ රාජකීය බලය හා අධිකරණය පනවන මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ දිනය නියම කිරීම ආණ්ඩුකාරවරුන් හෝ ප්‍රතිරාජයන් ලෙස ඒ රටවල් පාලනය කළ අය වෙත පවරා තිබුණි.

ඒ අනුව බ්‍රිතාන්‍යයන් යටතේ වූ ඉන්දියාවේ රාජකීය සමාව දීමේ බලය තිබුණේ එහි ප්‍රතිරාජයාට ය. 1947 මාර්තු 27 වන දින බ්‍රිතාන්‍ය යටතේ ඉන්දියාවේ අවසාන ප්‍රතිරාජයා ලෙස වගකීම් භාරගත් අද්මිරාල් ලුවී මවුන්ට්බැටන් නම් වූ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයාට සිය පළමු රාජකාරිය ලෙස කරන්නට තිබුණේ මරණ දඬුවම නියම වූ අයෙකුට රාජකීය සමාව ප්‍රදානය කිරීම පිළිබඳව තීරණයක් ගැනීමයි.


ඉන්දියානු රාෂ්ට්‍රපති භවන් ප්‍රතිරාජ මාලිගයේ ප්‍රතිරාජ කාර්යාලයේ අසුන්ගෙන සිටි ප්‍රතාපවත් මවුන්ට්බැටන් ප්‍රතිරාජයාගේ මේසය මතට රන්කම් කළ ජටාවකින් සැරසුණු කාර්යාල සේවකයා ගෙන ආ කොළ පැහැති සම් කොපුවෙන් එළියට ගත් ලියවිල්ල කුතුහලයෙන් යුතුව ප්‍රතිරාජයා කියවා බැලුවේ මරණ දඬුවම නියම වී සියලු අභියාචනා ප්‍රතික්ෂේපව මරණය අත ළඟට ඇවිත් තිබුණු සිරකරුගේ පෙත්සමයි. මේ රාජකාරිය ප්‍රථම රාජකාරිය ලෙස ඉදිරිපත් කිරීමෙන්ම ප්‍රතිරාජයා සතු බලයේ ප්‍රමාණය පිළිඹිමු වේ.

ඒ සමග වූ විස්තරය අනුව සිරකරු බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියේ සිය බිරිඳට පහරදී ඇය මරා දමා තිබිණි. මේ සියල්ල කියවා බැලූ ප්‍රතිරාජයා සැනෙන් සිය නියෝගය ගොනුවේ සටහන් කළේය. නියෝගය වූයේ “රාජකීය සමාව ක්‍රියාත්මක කරන්නට තරම් කරුණු නැත” යන්නයි. මේ බ්‍රිතාන්‍යයන් යටතේ අසල්වැසි ඉන්දියාවේ වරදකරුවන්ට සමාව දීමේ බලය තිබුණේ ඉන්දියාව පාලනය සඳහා අධිරාජයා විසින් පත් කළ ප්‍රතිරාජයාට බව සනාථ කරන කතාවකි.

ලංකාවේදී බ්‍රිතාන්‍යයන් යටතේ පැවති කාලයේ මේ රාජකීය සමාව පිළිබඳ බලය පවරා තිබුණේ මෙරට ආණ්ඩුකාරවරයාට ය. යටත් විජිත රෙගුලාසිවල ආණ්ඩුකාරවරයාගේ බලතල යටතේ මේ බලය සටහන්ව ඇත්තේ මෙසේ ය:

“He is empowered to grant a pardon or respite to any criminal convicted in the colonial court of justice and remit any fines, penalties, or forfeitures which may accrue to the King.”

(විකුම් සහිත අධිකරණ බල ප්‍රදේශයක් තුළ පිහිටි යටත් විජිත අධිකරණයකින් වරදකරු කරනු ලැබූ ඕනෑම අපරාධකරුවෙකුට සමාව දීමට හෝ දඬුවම් කල් තැබීමටත්, රජු වෙත හිමිවිය යුතු ඕනෑම දඩයක්, දඬුවමක් හෝ රාජසන්තක කිරීමක් අහෝසි කිරීමට හෝ ලිහිල් කිරීමටත් ඔහුට බලතල පවරා ඇත)

එම සටහන අනුව ආණ්ඩුකාරවරයාට මෙරට අධිකරණයකදී නියම කරන ඕනෑම අපරාධ වරදකට සමාව දීම හෝ එම දඬුවමේ කාලය අඩු කිරීමටත්, රජයට අය විය යුතු ඕනෑම දඩයක් අතහැර දැමීමටත් බලය තිබුණි. බ්‍රිතාන්‍යයන් යටතේ ඉන්දියාවේත්, අප රටේත්, තවත් බ්‍රිතාන්‍ය යටත් විජිතවලත් ක්‍රියාත්මක කෙරුණු මේ වරදකරුවන්ට සමාව දීම බටහිර රාජ්‍ය සංකල්පයෙන් රාජ්‍ය නායකයාට ලැබුණු අයිතියකි. බටහිරදී රාජ්‍යයේ නායකයා යනු දෙවියන්ගේ නියෝජිතයා ය. ඒ අනුව දෙවියන් සතුවූ සමාව දීමේ බලය දෙවියන් විසින් තෝරාගත් රාජ්‍ය පාලකයාට ඇතැයි විශ්වාස කෙරේ.

දේශීය ඉතිහාසය සහ පනාකඩු තඹ සන්නස


බ්‍රිතාන්‍යයන් යටතට මේ රට පත්වන්නට පෙර තිබුණු රාජධානිය සෙංකඩගල නුවර කේන්ද්‍ර කරගත් සිංහලේ රාජධානියයි. එහි පැවති අධිකරණ ක්‍රමය ගැන ලියන ශ්‍රීමත් ජෝන් ඩොයිලි සඳහන් කර ඇත්තේ ශ්‍රී වික්‍රම රාජසිංහ සිහසුනට පත්ව දින පහකින් පැවැත්වූ රාජාධිරාජසිංහ රජුගේ සත් දින මතක දාන පින්කම අවස්ථාවේදී රටපුරා සිරකරනු ලැබ සිටි හා පිටුවහල් කරනු ලැබ සිටි සිරකරුවන් රැසක් නිදහස් කළ බව දෙහිගම නිලමේ ප්‍රකාශ කළ බවයි.

එහිදී මිනීමැරීම මෙන්ම සොරකම් නිසා වන්දි ගෙවන තුරු සිරගතව සිටි අයද නිදහස් වූ බවත්, එසේ වන්දි ගෙවිය යුතු අය නිදහස් කිරීමේදී වන්දි ලැබිය යුත්තන්ට වන්දි ගෙවීමේ වගකීම රජුට නොපැවරෙන බවද සඳහන් කර ඇත. මේ දඬුවම් ලැබූවන් නිදහස් කිරීම නිසා ඔවුන්ගෙන් අගතියට පත්වූවන්ට වන්දි ගෙවීමේ වගකීමක් රජුට නොපැවතීම නීතිමය වශයෙන් අතිශය වැදගත් කරුණකි.

මීට පෙර කාලයට අදාළ රාජ්‍ය සමාව පිළිබඳව සඳහන් වන අපූරුම හා වටිනාම ලියවිල්ලක් වනුයේ පොළොන්නරු යුගයේ නිකුත් කළ පනාකඩුව තඹ සන්නසයි.

පොළොන්නරුවේ කීර්තිමත් පළමුවන විජයබාහු මහරජු විසින් නිකුත් කර ඇති මේ සන්නසේ සඳහන් වන්නේ වරදක් කළ අයෙකුට සමාවක් දීමක් ගැන නොවේ. එහෙත් රජුගේ බලතල යටතේ එක්තරා පුද්ගලයෙකුට හා ඔහුගේ පරපුරේ අයට අනාගතයේදී දණ්ඩනයෙන් වැළකීමට හැකිවන පරිදි අනාගත සමාවක් ප්‍රදානය කිරීම ගැන වන නීතියක් මේ සන්නසෙන් පනවා ඇත.

රුහුණේ දණ්ඩනායක සිත්තරු බිම්බුදල්නාවන්ට හා ඔහුගේ දරු මුනුබුරන්ට හා ඔවුන්ගෙන් පැවත එන්නන්ට අයිතිවාසිකමක් ලෙස මේ අනාගත සමාව මහා විජයබාහු රජු විසින් පිරිනමා ඇත. විජයබාහු මහරජු විසින් මෙසේ වූ අනාගත සමාව ලබාදීමේ හේතු පාඨය ලෙස සොළී ආක්‍රමණිකයන් විසින් ආයුධ බලයෙන් තම පියාණන් වූ මුගලන් රජු ඇතුළු රජ පවුල නෙරපා දැමූ කල්හි වනගතව සැඟව සිටියදී මෙම තැනැත්තා සිත්තරු බිම්බුදල්නාවන් විසින් ඔහුගේ පිරිස් බලයෙන් ආරක්ෂා කරමින්, තමාව කුඩා කාලයේ හදා වඩාගෙන, වනයේ ආහාරවලින් පෝෂණය කොට, තමාව සොයා එන සතුරන්ගෙන් ආරක්ෂා කරමින්, රුහුණ එක්සත් කොට තමාව රුහුණු රාජ්‍යයේ පිහිටුවීම සඳහා දුක් විඳිමින් කළ මහ මෙහෙවර උදෙසා පුදන තිලිණයක් ලෙස බව සටහන් කර ඇත.

එසේ දී ඇති සමාවට සිත්තරු බිම්බුදල්නා හෝ දරු මුනුබුරන් හෝ ඔවුන්ගෙන් පැවත එන අයෙකු දඩ ගැසීම ආදියෙන් දඬුවම් කළ හැකි වරදක් කළත් දඩ නොගැනීමද, මරණ දඬුවම හිමිවිය යුතු වරදකට වුණත් තුන්වරක් සමාව ලැබීමටද, ඉඩම් හෝ වෙනත් දේ අත්පත් කර නොගැනීමටද, දේශද්‍රෝහී වරදකට වුණත් පිටුවහල් කිරීම මිස නිග්‍රහ නොකිරීමද ඇතුළත් කර ඇත.

වරදක් කළ අයෙකුට පමණක් නොව අනාගතයේ වරදකට පවා සමාව දීමේ බලයක් මෙරට රාජ්‍ය නායකයන් සතුව පැවතුණු බවට හොඳම උදාහරණය පනාකඩු තඹ සන්නසයි. අනුරාධපුර යුගයේ රජවරුන් මඝාත ආඥාව එනම් කිසිදු සත්වයෙක් ඝාතනය නොකරනු යන ආඥාව පැනවීමෙන් කර ඇත්තේ සියලුම සත්ත්වයන්ට අභයදානය දීම ය. මේ සියල්ලෙන් පෙනෙන්නේ වසර දහස් ගණනක් පැරණි ශ්‍රී ලංකා ශිෂ්ටාචාරයේ රාජ්‍ය නායකයා සතු අනන්‍ය බලයක් ලෙස සමාව ප්‍රදානය කිරීමේ බලය තිබුණු බව හා එය ප්‍රායෝගිකව රාජ්‍ය පාලනයේදී යොදාගත් බවයි.

මෙසේ අතීත ශ්‍රී ලංකාවේ රජු සතුවූ සමාව දීමේ බලය පෙරදිග මෙන්ම අපරදිග රාජ්‍ය සංකල්පයන්ගෙන්ද උරුම වූවකි. ඒ අනුව පෙර අපර දෙදිගම රාජ්‍යයන්හි රාජ්‍ය නායකයා සතුව වරදකරුවන්ට සමාව දීමේ බලය පවතින බවත් එය දිගු කලක සිට ක්‍රියාත්මක කෙරෙන, වර්තමානයේද බලපැවැත්වෙන බලයක් බව පැහැදිලිය.

නිදහසින් පසු ව්‍යවස්ථාමය විකාශනය


අප රට නිදහසින් පසුව සෝල්බරි ව්‍යවස්ථාවේ මේ වරදකරුවන්ට සමාව දීමේ බලය අග්‍රාණ්ඩුකාරවරයා සතුව තිබුණි. සෝල්බරි සාමි, ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක, විලියම් ගොපල්ලව යන අග්‍රාණ්ඩුකාරවරු යටතේ යම් යම් විශේෂ අවස්ථාවන්හි මේ වරදකරුවන්ට සමාව දීමේ බලය ක්‍රියාත්මක කරන ලදී.

විශේෂයෙන්ම නිදහස් උත්සවය, වෙසක් උත්සවය වැනි සුවිශේෂී ජාතික ආගමික දිනයන්හිදී එකල සිරකරුවන් නිදහස් කිරීම සිදු කළේ අග්‍රාණ්ඩුකාරවරයා සතුව තිබූ සමාව දීමේ බලය ක්‍රියාත්මක කරමිනි. අග්‍රාණ්ඩුකාරවරයා සතුවූ මෙම බලය අධිකරණය ඉදිරියේ කවර අන්දමකින්වත් ප්‍රශ්න කිරීමේ හැකියාවක් තිබුණේ නැත.

1972දී ශ්‍රී ලංකාව සියලු යටත් විජිත බැඳීම්වලින් නිදහස්ව ස්වාධීන ජනරජයක් බවට පත් කෙරුණේ නව ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ක්‍රියාත්මක කිරීමෙනි. මේ ජනරජ ව්‍යවස්ථාව යටතේ රාජ්‍යයේ නායකයා බවට පත්වූයේ ජනාධිපතිවරයාය. රාජ්‍ය නායකයා ලෙස වරදකරුවන්ට සමාව දීමේ බලය නව ජනරජ ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පවරා තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා වූ විලියම් ගොපල්ලව මහතා සිය ජනපති කාලය තුළ මේ බලය මත සිරකරුවන්ට සමාව ලබාදීම සිදු කරන ලදී.

මෙරට අවසාන වරට මරණ දඬුවමක් ක්‍රියාත්මක කර ඇත්තේ 1976දී ය. එදා මරණ දඬුවම ක්‍රියාත්මක කළේ ජනාධිපතිවරයා විසින් නියම කළ දිනයක වුවද, ඕනෑම අවස්ථාවක මරණ දඬුවමට නියම වූවන්ට සමාව දීමේ බලය ජනාධිපතිවරයා සතුව තිබුණු නිසා මරණ දඬුවම ක්‍රියාත්මක කරන අවස්ථාවේ බන්ධනාගාරයේ ඒ සියලු දොරවල් ඇර තබන්නේ අවසාන මොහොතේ හෝ සමාව ප්‍රදානය කළොත් ඒ පිළිබඳ පණිවුඩය බාධාවකින් තොරව ලබා ගැනීමට ය.

මරණ දඬුවම සහ නීතිමය ක්‍රියා පටිපාටිය


මේ සමාව දීමේ බලයට අමතරව මරණීය දණ්ඩනයට නියම වූ වරදකරුවන් සඳහා එම මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු දිනය හා වෙලාව නියම කිරීමේ බලයද ඇත්තේ ජනාධිපතිවරයාට ය. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන් යටතේ පාලනය වුණු කාලයේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ දිනය හා වෙලාව නියම කිරීම අග්‍රාණ්ඩුකාරයාට පැවරී තිබුණි.

ඒ අනුව මහාධිකරණය විසින් මරණ දඬුවමක් නියම කළ පසු එය ක්‍රියාත්මක කිරීම දක්වා වන සුවිශේෂ ක්‍රියා පටිපාටියක් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 286 වගන්තියේ දක්වා ඇත. ඒ අනුව මරණ දඬුවම නියම කළ විනිසුරුවරයා බන්ධනාගාර අධිකාරිවරයාට වොරන්ට් පත්‍රයක් සිය අත්සනින් දිය යුතු ය.

ඊට අතිරේකව මරණ දඬුවම නියම කිරීමට පදනම් වූ සාක්ෂි සම්පිණ්ඩනයක් සමග මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුද නැද්ද යන්න පිළිබඳව තම අදහස ඇතුළත් විශේෂ වාර්තාවක්ද විනිසුරුවරයා විසින් ජනාධිපතිවරයා වෙත ලබා දිය යුතුවේ. මේ වාර්තාවට අනුව තමා ගන්නා තීරණය ගැන අදාළ මහාධිකරණ විනිසුරුවරයාට දැනුම් දීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතු වේ. මෙහිදී අදාළ මරණ දඬුවම නතර කිරීම හෝ ක්‍රියාත්මක කිරීමට දිනයක්, වෙලාවක් හා ස්ථානයක් නියම කිරීම ජනාධිපතිවරයාට කළ හැකි ය. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ අධිකරණය නියම කළ මරණ දඬුවමක් ක්‍රියාත්මක කිරීම හෝ අත්හිටුවීම යන දෙකෙන් ඕනෑම තීරණයක් ගැනීමට ජනාධිපතිවරයාට ඉඩකඩ ලබාදී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ජනාධිපතිවරයාගේ බලතලවල මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා දිනය, ස්ථානය හා වෙලාව නියම කිරීමේ බලය ගැන සඳහන් නොවේ. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාවේ කවර හෝ අධිකරණයක වරදකරු කරන කවර හෝ වරදකරුවෙකුට සම්පූර්ණ සමාවක් හෝ නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් දීම, නියම කරන ලද දඬුවමක් ක්‍රියාත්මක කිරීම කාල සීමාවක් නොමැතිව කල් තැබීම, සුදුසු යැයි ජනාධිපතිවරයා අදහස් කරන කාලයක් කල් තැබීම, නියම කළ දඬුවම වෙනුවට ලිහිල් වෙනත් දඬුවමක් නියම කිරීම, නියම කරන ලද දඬුවමක් නිශ්ප්‍රභ කිරීම, දඩ මුදලක් වේ නම් අතහැර දැමීම ආදිය සඳහා ජනාධිපතිවරයාට බලය ඇති බව දැක්වේ.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 286 වගන්තියෙන් මරණ දඬුවමක් නියම කළ විනිසුරුවරයා විසින් ජනාධිපතිවරයාට ඒ පිළිබඳව වාර්තාවක් එවිය යුතු බවට නියම කර ඇත. එමෙන්ම ජනාධිපතිවරයා විසින් මරණ දඬුවමක් නියම කළ විනිසුරුවරයාගෙන් වාර්තාවක් ලබාගෙන, නීතිපතිවරයාට එය යවා, ඒ පිළිබඳව ඔහුගේ අදහස් අධිකරණ විෂය භාර ඇමතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙස දන්වන ලෙසත්, අධිකරණ ඇමතිවරයා නීතිපතිවරයාගේ වාර්තාව පිළිබඳව සිය අදහස් ජනාධිපතිවරයා වෙත යැවිය යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(2) ව්‍යවස්ථාවේ දැක්වේ.

මේ අනුව මරණ දඬුවම නියම වූ සෑම වරදකරුවෙකු පිළිබඳවම:

* දඬුවම නියම කළ විනිසුරුගේ වාර්තාවක්,
* ඒ පිළිබඳව නීතිපතිවරයාගේ වාර්තාවක්,
* ඒ පිළිබඳව අධිකරණ ඇමතිවරයාගේ වාර්තාවක්,
ජනාධිපතිවරයා සතුව තිබීම නීතිමය මෙන්ම ව්‍යවස්ථාමය අවශ්‍යතාවකි. මේ අවශ්‍යතාව සම්පූර්ණ කර නොගෙන ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම නියම වූ වරදකරුවෙකුට සමාව දීම ව්‍යවස්ථානුකූල නොවන බවට අවස්ථා දෙකකදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවලින් සනාථ වේ.

මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමේ වක්‍ර ක්‍රමවේදය


කෙසේ වුවද අධිකරණයකින් මරණ දඬුවම නියම වූ වරදකරුවන්ට වෙනත් අන්දමකින් සමාවක් ලබා දෙන අපූරු ක්‍රමවේදයක් 1977 සිට ජනාධිපතිවරු පවත්වාගෙන යයි. ඒ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 286 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් තීරණය කළ යුතු මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා දිනයක්, වෙලාවක් හා ස්ථානයක් පිළිබඳව වූ තීරණය නොකර සිටීමෙනි.

ඒ හේතුව නිසා මෙරට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මරණ දඬුවම ක්‍රියාත්මක කළ නොහැකි වී ඇත. මෙරට පාලනය කළ සියලුම විධායක ජනාධිපතිවරු මරණීය දණ්ඩනයට නියම වූවන්ට මේ අපූරු ජීවිත සමාව වක්‍ර ක්‍රමයට ලබාගැනීමට ඉඩ හැර නිහඬව සිටියහ. වත්මන් ජනාධිපතිවරයාද මෙතෙක් ඒ ක්‍රමයම අනුගමනය කරමින් සිටියි.

මරණ දඬුවම නියම වී සිටි වරදකරුවෙකුට ව්‍යවස්ථානුකූල සමාවක් ප්‍රදානය කළ පසු එයින් තමාගේ මූලික අයිතිය උල්ලංඝනය වූ බව පවසමින් පුරවැසියන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීම කළත්, විධායක ජනාධිපතිවරු සියල්ලෝම වසර පනහක් තිස්සේ සිදු කරමින් එන මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ දිනය, වෙලාව හා ස්ථානය නියම නොකිරීමේ කාර්යයට එරෙහිව කිසිවෙකුත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට නඩු නොපැවරීමද පුදුම සහගතය.

ජනාධිපතිවරයාගේ භූමිකා සහ අධිකරණමය සමාලෝචනය

සෑම රටකම පාහේ වරදකරුවන්ට දඬුවම් දීම ඒ රටේ අධිකරණය සතු කාර්යයකි. විවිධ මට්ටම්වල අධිකරණ මගින් ඒ ඒ මට්ටමට අදාළ දඬුවම් නියම කිරීම සිදුවේ. රටක දඬුවම් නියම කිරීම සඳහා අධිකරණ පද්ධතියක්ම තිබුණත් සෑම රටකම පාහේ සමාව දීමේ බලය ඇත්තේ එක් පුද්ගලයෙකුට පමණි; ඒ රාජ්‍ය නායකයාටයි.

ඒ අනුව මෙරට රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව පැනවූ නීතිවලින් වරදකරුවන් වූ වරදකරුවන්ට සමාව දිය හැකි එකම පුද්ගලයායි. අප රටේ ජනතාව සිය ඡන්දයෙන් ජනාධිපතිවරයෙකු පත් කිරීමෙන් කරන්නේ නිශ්චිත වසර පහක් සඳහා රාජ්‍ය නායකයෙක් පත් කිරීමයි.

රාජ්‍ය නායකයා ලෙස පත්වන ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය නායක ධුරයට අතිරේකව තවත් භූමිකා හතරක් පැවරේ. ඒ:

* රජයේ ප්‍රධානියා (රජය යනු ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන කොටස් අඩංගු රාජ්‍ය පාලන තන්ත්‍රයයි)
* ආණ්ඩුවේ ප්‍රධානියා (ආණ්ඩුව යනු අමාත්‍ය මණ්ඩලයයි)
* විධායකයේ ප්‍රධානියා (විධායකය යනු රටේ නීති ක්‍රියාත්මක කිරීමේ ව්‍යුහයයි)
* සන්නද්ධ හමුදා සේනාධිනායකයා යන භූමිකා හතරයි.

මේ එක් එක් භූමිකාවට අදාළව නීතියෙන් හා ව්‍යවස්ථාවෙන් පැවරුණු කාර්ය හා කර්තව්‍යයන් ජනාධිපතිවරයා විසින් ඉටු කරනු ලැබේ. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා නිල හෝ පුද්ගලික මට්ටමින් කරන හෝ නොකරහරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව අධිකරණය ඉදිරියේ නඩු පැවරිය නොහැකි බවට මුක්තියක් ලබාදී තිබේ.

එසේ වුවද දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයා විසින් සිදුකරන යම් විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් යමෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව නීතිපතිවරයාට එරෙහිව නඩු පැවරිය හැකි බවට එම විධිවිධානය සංශෝධනය විය.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් සිදු කරන විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් මූලික අයිතීන් උල්ලංඝනය වීමක් ගැන නඩු පැවරීමේ හැකියාව දැන් පුරවැසියන් සතුය. විධායකයේ හා ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා විසින් සිදු කරන කටයුතු හා සන්නද්ධ හමුදා සේනාධිනායකයා ලෙස සිදු කරන කටයුතු විධායක හෝ පරිපාලන ක්‍රියා බව පැහැදිලිය. එහෙත් රාජ්‍යයේ නායකයා ලෙස ජනාධිපතිවරයා කරනු ලබන ක්‍රියා විධායක හෝ පරිපාලන ක්‍රියාවන් ලෙස අර්ථ දැක්විය හැකිද යන්න ප්‍රශ්නගතය.

කෙසේ වුවද රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාට පැවරී ඇති වරදකරුවන්ට සමාව දීමේ කාර්යය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය යටතේ අධිකරණය ඉදිරියේ අභියෝග කිරීමේ හැකියාව පවතින බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. රාජ්‍ය නායකයා සතුව පමණක් පවතින සමාව දීමේ බලය ක්‍රියාත්මක කිරීම දඬුවම් කිරීමේ බලය සහිත අධිකරණයක් ඉදිරියේ අභියෝග කිරීමට ඉඩ සලසා තිබීම කොතරම් දුරට රාජ්‍යයකට උචිතද යන්න ව්‍යවස්ථා සම්පාදකයින් විසින් අනාගතයේ සලකා බැලිය යුත්තකි.

වත්මන් අර්බුදය සහ විසඳුම් මාවත



මේ වන විට අධිකරණය විසින් නියම කළ දඬුවමක් විඳිමින් සිට ජනාධිපති සමාව මත නිදහස් වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අරභයා යම් අර්බුදයක් රටේ මතුවී ඇත. ඒ හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාව දීමේ ක්‍රියා පටිපාටියේ දෝෂසහගත බව පෙන්වා දෙමින් එම සමාව ශූන්‍ය බව අධිකරණය විසින් තීන්දු කරන ලද බව කියවේ. මේ වසර හයක සිරදඬුවමක් විඳිමින් සිටියදී නිදහස් වූ ඒ හිමියන් එසේ නිදහස් වී වසර හතකට පසු ඒ වසර හයේ දඬුවමේ ඉතිරි කොටස සඳහා යළි බන්ධනාගාරගත කර ඇත.

මේ හේතු මත බෞද්ධ භික්ෂූන් වහන්සේලා හා බෞද්ධ ජනතාව යම් කැලඹිල්ලකට පත්ව ඇත. ඔවුන් ඉල්ලා සිටින්නේ ඥානසාර හිමියන්ට යළි නිවැරදි ක්‍රමවේදයට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙසටයි. ඒ වෙනුවෙන් වන භික්ෂූන්ගේ හා බෞද්ධ ජනතාවගේ අරගලයක්ද ඇරඹී ඇත.

එසේ වුවද ආණ්ඩුව පැත්තෙන් අමාත්‍ය ලාල් කාන්ත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ නීතියේ ආධිපත්‍යය සුරැකීම සඳහා ලබාගත් ජන වරමක් ඇති මේ ආණ්ඩුව ඥානසාර හිමියන්ට සමාව දුන්නොත් එය එම ජනවරමට පටහැනි ක්‍රියාවක් වනු ඇති බැවින් ආණ්ඩුවට එය ඉටු කළ නොහැකි බවයි.

එසේ වුවද මේ රටේ ආණ්ඩුව හා බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර යම් අර්බුදයක් ඇති වූ විට දෙපාර්ශවයේම ගෞරවය සුරැකෙන පරිදි වන විසඳුමක් සොයා ගැනීම අත්‍යාවශ්‍ය ය. පවතින නීතිමය විධිවිධාන වලටත් අධිකරණ ක්‍රියාවලියටත් අගතියක් නොවන පරිදි වන විසඳුමක් සඳහා සාකච්ඡාවෙන්, සම්මුතියෙන් එළඹීමට උත්සාහ දැරීම දෙපාර්ශවයේම වගකීමකි.

දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන විසඳුමකට එළඹීමේ මගක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා සම්මත නීතියෙන් සොයා ගත හැකි බව පෙන්වා දිය හැකි ය:

1- දඬුවම ක්‍රියාත්මක කිරීම කල් තැබීම: ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාවේ සඳහන් අධිකරණය නියම කළ දඬුවමක් ක්‍රියාත්මක කිරීම කල් තැබීමේ බලය භාවිත කර නිශ්චිත කාලයකට ඥානසාර හිමියන්ගේ දඬුවම කල් තැබිය හැකිය.

2- විශේෂ විමර්ශන කොමිසමක් පත් කිරීම: ඉන්පසු විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා පනත ප්‍රකාරව ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික අගවිනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පත් කර, තවත් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකු එහි සාමාජිකයින් ලෙස පත් කළ හැකිය.

3- අගතිය විමර්ශනය කිරීම: එම කොමිෂන් සභාවේ කාර්යය ලෙස වසර හයක සිරදඬුවමක් ගත කරමින් සිටි ඥානසාර හිමියන් ජනාධිපති සමාවකින් නිදහස් කර වසර හතක් ගත වූ පසු හෙළි කෙරුණු සමාව දීමේ ක්‍රියාවලියේ අඩුපාඩු නිසා යළි සිරගත කිරීමෙන් උන්වහන්සේට අගතියක්, අයුක්තියක් සිදුව ඇද්ද යන්න පරීක්ෂා කර බලා, එසේ අයුක්තියක් අගතියක් සිදුව ඇත්නම් ඒ සඳහා කළ යුතු ප්‍රතිකර්ම නිර්දේශ කරන ලෙස නියම කළ යුතු ය.

4- සම්මුතිවාදී එකඟතාව: එම කොමිෂන් සභාවේ නිර්දේශ මත ක්‍රියා කිරීමට දෙපාර්ශවයම එකඟ වීමෙන් මේ අර්බුදය විසඳාගත හැකි වනු ඇත.

ඒ මගින් ජනාධිපතිවරයා පිළිගත් නීතිමය රාමුව මත රැඳී සිටීම මගින් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සිදු කරන බව පැහැදිලිය. බෞද්ධ භික්ෂූන් වහන්සේලාට හා ජනතාවටත් මෙබඳු විසඳුමක් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නැත. සෑම අර්බුදයක් සඳහාම විධිමත් විසඳුමක් පවතින බවත් දක්ෂ පාලකයින් වන්නේ ඒ විධිමත් විසඳුම සොයාගෙන එය ක්‍රියාත්මක කිරීමට තරම් නිර්භීත වන පාලකයින් බවත් ආණ්ඩුව තේරුම් ගත යුතුය.

අනික් අතට මැද පෙරදිග සෞදි අරාබියේ රජතුමාගෙන් ශ්‍රී ලංකා පුරවැසියෙකුට එහිදී පැනවූ මරණීය දණ්ඩනයට සමාව දෙන ලෙස අයැද සිටින ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාට මේ රට තුළදී තම රටේ පුරවැසි භික්ෂූන් වහන්සේ නමකට සිර දඬුවමකින් සමාව දීමට නොහැකි වන්නේ නීතියේ ආධිපත්‍යයට හානිවන නිසා යැයි ප්‍රකාශ කිරීම නොම්මර එකේ විහිළු සහගත ප්‍රකාශයක් ලෙස පෙනෙන බවද ආණ්ඩුව තේරුම්ගත යුතුව ඇත.

(උපුටා ගැනීම: vinivida.lk)

සුනිල් කන්නන්ගර

කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති

skannangara1959@gmail.com

View all stories by සුනිල් කන්නන්ගර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...