මේ සංවාදය ඇත්තටම සිනමා නිෂ්පාදනය, බෙදාහැරීම ආදී දේවල් ගැන උනන්දු අයට විතරක් අදාළ වෙන එකක්. අනෙක් අයට මේ බොහෝ දේවල් පැටලිලි සහගත වන්නට වගේම වැදගත් නොවන්නට ඉඩ තියෙනවා.
සිනමා ප්රදර්ශකයන්ගේ මාධ්ය සාකච්ඡාව ගැන මම දක්වපු අදහස් තරමක් වැරදියට තේරුම් ගත් ශාලා හිමියන් කීපදෙනෙක් මට කතා කළා. මගේ පළමු විරෝධය පැවතුනේ ඒවාට යන ආදරවන්තයින් ගැන සහ ඒවා ඇතුළෙ සදාචාරය පරීක්ෂා කිරීමට මේ මාධ්ය සාකච්ඡාවේදී මතුවුණු අදහස් ගැනයි. මේ සදාචාරය ගැන ප්රශ්නය සිනමා ප්රදර්ශකයන්ට අදාළ විය හැකි දෙයක් නොවන බවත්, සිනමාව යනුම අතීතයේ පටන්ම අනුරාගී පෙම්වතුන්ගේ අඩවියක් බවත් ඒ අයට මතක් කර දීම යුතුකමක්.
දෙවෙනුව මේ පවතින ප්රධාන ධාරාවේ සිනමා මොඩලයට පරිබාහිර ප්රදර්ශන මාදිලීන් පැවැතීමේ අවශ්යතාවය මතු කිරීමයි. ස්ට්රීමින් ප්ලැට්ෆෝම් කියන පුද්ගලික සිනමා නැරඹීම වෙනුවට සිනමා ශාලා ආකෘතියෙන් බැහැරව විකල්ප පොදු නැරඹුම් මාදිලි (මොඩල්ස්) අත්යාවශ්ය බව මගේ පිළිගැනීමයි. එක පැත්තකින් ඒක ව්යාපාරිකයෙකුගේ ආර්ථික නිදහස ගැන කාරණයක්. අනෙක් පැත්තෙන් සිනමාකරුවන්ගේ ප්රකාශන නිදහස ගැන කාරණයක්.
අර්බුදයට ගිය ප්රධාන ධාරාව

ලංකාවෙ මේ ප්රධාන ධාරාවෙ සිනමා මොඩලය අසාර්ථක වෙමින් යන එකක්. ඇත්තටම නිසි පරිදි නිෂ්පාදකයන්ට මුදල් ගෙවීමට හැකියාවක් ඇති මණ්ඩල තියෙන්නෙ කීයද? සිනමාකරුවන් තමන්ගේ මුදල් ඉල්ලලා අරගල කරන්න පටන් අරන් තියෙනවා. මේ විකල්ප සිනමාකරුවන් නෙමෙයි. හොඳට දුවපු චිත්රපටි හදපු සිනමාකරුවන්.
අනෙක් අතට මේ සිනමාශාලාවලට දරාගත හැකි පමණට වඩා චිත්රපටි හැදෙමින් තියෙනවා. සමහර ඒවා දුවන ඒවා. සමහර ඒවා නොදුවන ඒවා. නමුත් සාධාරණ සිනමා අවකාශයක් ලබාගැනීමේ අයිතිය මේ හැම චිත්රපටියකටම තියෙනවා.
සිනමාව කියන්නෙ අතිශය නිර්මාණශීලී කළමනාකරණයක් ඕන කරන විෂයක්. ඇත්තටම ප්රධාන ධාරාවෙ සිනමාශාලා ෂොපින්මෝල් ඇතුලට රිංගලා, පොප්කෝර්න් විකුණලා ජීවත් වෙන්න පටන් ගත්තෙ වෙන විදිහකින් තමන්ගේ ව්යාපාරය පවත්වාගෙන යන්න බැරි හින්ද. මතුවෙන හැම වෙනස් ප්රදර්ශන මාදිලියක්ම මේ දුර්වල කර්මාන්තයට අභියෝගයක් වෙන්න නියමිතයි.
මගේ යෝජනාව තිබුණෙ සිනමාකරුවන්ගෙ පැත්තෙන්. ඒ වගේම රටේ බහුතරයක් සඳහා චිත්රපටි නිර්මාණය නොකරන සුළුතර සිනමාව පැත්තෙන්. වෙනස් මාතෘකා, වෙනස් ජීවිත හැඩයන්, නිර්මාණ හැඩයන් පර්යේෂණ කරන නිර්මාණකරුවන්ගෙ පැත්තෙන්.
ඒ වගේ නිර්මාණවලට මේ ප්රධාන ධාරාවෙ පවුලේ පොප්කෝර්න් ආකෘතියෙ පවතින්න ඉඩක් නෑ. දැනට ඉතුරු වෙලා තියෙන එකම අවකාශය වෙන්නෙ ස්ට්රීමින් ප්ලැට්ෆෝම් විතරයි. ලංකාවෙ මනුස්සයෙක් සිනමාව කියන ආර්ට් එකට ආදරය කරනවා නම් slvlog, රූපහල, තිනා කියන ප්ලැට්ෆෝම් එකක්වත් සබ්ස්ක්රයිබ් කරන්න ඕනි කියල මං විශ්වාස කරනවා. ඒක පුංචි වියදමක්. හෝල් එකකට යනවට වඩා ලාබයි.
කාමර සිනමාවේ ආරම්භය

දැන් අපි හැරෙමු රූම් සිනමා සංස්කෘතිය පැත්තට. මේ තමයි අපි දන්නෙවත් නැතුව ලංකාවෙ අතිශයින් ජනප්රිය වෙමින් යන නව සිනමා ප්රදර්ශන මණ්ඩලය. වරකට දහදෙනෙකුට වගේ නරඹන්න පුළුවන්. සරවුන්ඩ් සවුන්ඩ් එක්ක ලොකු ස්මාර්ට් ස්ක්රීන් එකක් ලැබෙනවා. කැමති චිත්රපටියක් තෝරගෙන බලන්න පුළුවන්.
මේ කර්මාන්තය තාම පවතින්නෙ මූලික අවධියෙ. ඒ අය අනවසරයෙන් ටොරන්ට් බාගෙන, රජයට බද්දක් නොගෙවා, නිර්මාණකරුවන්ට කීයක්වත් නොලැබෙන ආකාරයෙන් මේ සිනමා ප්රදර්ශනය කරගෙන යාමේ අර්බුදයක් තියෙනවා.
නමුත් අපි මූලිකව සංස්කෘතික අවශ්යතාවය දිහා බලන්න ඕන. මේක ඉස්සර පුංචි සිනමා මඩු විදිහට හන්දිවල තිබුණා. අනවසරයෙන් විවිධාකාරයේ චිත්රපටි වීඩියෝ ඩෙක් එකකින්, ටීවී එකක දාලා පෙන්නුවා. අපි බංකුවල ඉඳන් ඒවා බැලුවා.
සමහර ඒවා වැඩිහිටියන්ට පමණයි. ඒවට තමයි වැඩිම ඉල්ලුමක් තිබුණෙ. ගොඩක් වීඩියෝ කැසට් කඩවල පිටිපස්සෙ මෙහෙම නැරඹුම් කාමරයක් තිබුණා. කැසට් එක අරගෙන, අමතර ගානක් ගෙවීමෙන් සිගරට් එකක් බිබී චිත්රපටිය බලන්න තැනක් ලැබුණා. හැමෝටම වීඩියෝ ඩෙක්, ටීවී තිබුණෙ නැති කාලයක්.
මේ ප්රදර්ශන මඩුවලට පොලිසිය පැන්නා. එතකොට ඩෙක් එකයි, ටීවී එකයි උස්සගෙන කෙනෙක් දුවනවා. අපිත් සීසීකඩ යනවා. සිනමාව කියන්නෙ එහෙම එකක්. සිනමාව කියන්නෙ ෂොපින් මෝල් ඇතුළෙ, පවුල පිටින්, පොප්කෝර්න් කකා නරඹන එකක් විතරක් නෙමෙයි.
වාරණය වෙනුවට නියාමනය
ඉතින් මේ ප්රධාන ධාරාවෙ ව්යාපාර මොඩලය වෙනුවට එයින් පිට බිහිවෙන නව ප්රදර්ශන මොඩලයන් ශක්තිමත් කළ යුතුයි කියන එකයි මගේ පෙනී සිටීම. මෙතනදි අපි රූම් සිනමාව වාරණය කරනවා වෙනුවට එය නියාමනයකට ලක් කරන ආකාරය ගැනයි කල්පනා කරන්න ඕන.

ඊට සාධාරණ විනෝද බද්දක් එකතු කරන්න පුළුවන්. රූම් සිනමා විශේෂ පැකේජයක් වශයෙන් ලියාපදිංචි වී රූපහල, slvlog, තිනා ආදී ස්ට්රීමින් ප්ලැට්ෆෝම් ලබා දෙන ආකාරයක් කල්පනා කරන්න පුළුවන්. වැදගත්ම දේ සෑහෙන පිරිසක් මේ ආකාරයෙන් චිත්රපටි නැරඹීමට උනන්දු වෙමින් සිටින එකයි. ඊට අවශ්ය ප්රේක්ෂාගාරයක් නිර්මාණය කරගැනීමේ අමාරු කාර්යය ඒ ව්යාපාරය විසින් සිදුකරගෙන තියෙනවා.
ඉතින් මේ ප්රදර්ශන මොඩලය අපි වගේ විකල්ප සිනමාකරුවන්ට යොදාගත හැකි ක්රමයක් හැටියට මම දකිනවා. ස්ට්රීමින් ප්ලැට්ෆෝම්වල චිත්රපටි ලැබෙන්නෙ පැකේජයක් විදිහට. අපිට මේ වගේ අලුත් ප්රදර්ශන ජාලයක ප්රචාරණය යොදාගනිමින් මේ ප්ලැට්ෆෝම්වල මිනිසිනමා පැකේජ් ජනප්රිය කරන්න පුළුවන්.
නෙට්ෆ්ලික්ස් වගේ ඒවා යොදාගෙන ඒ තැන්වල චිත්රපටි නැරඹීම ගැන අපි කරදර වීමට උවමනා නෑ කියලයි මම හිතන්නෙ. අපිට විවෘත වී ඇති අලුත් දොරටුව විකල්ප ප්රකාශන වෙනුවෙන් යොදාගැනීමත්, නව නැරඹුම් අවකාශයක් හැටියෙන් බෙදාගැනීමත් තමයි අපේ උනන්දු කලාපය වෙන්න ඕන.
අහිමි වූ සාමූහික අත්දැකීම
තාම ඇරඹෙමින් යන මේ රැල්ලට (startups) වැඩෙන්නට නිදහස දෙන්න ඕන. එය ක්රමයෙන් නියාමනයට ලක් කරන්න ඕන. මෙතනදි ප්රධාන ධාරාවේ සිනමා ශාලා හිමියන්ගේ පැත්තෙන් මේක දිහා බලන්නෙ නැති වීමයි වැදගත්ම කාරණය.
අපිට සමූහ චිත්රපට නැරඹුම් අවකාශ නෑ. ඉස්සර වගේ ෆිල්ම් එකක් බලන්න ගිහින්, හෝල් එකේ බාර් එකෙන් ෂොට් එකක් දාලා, ටිකක් (මේ කාලෙ හැටියට නං) 'වල්' චිත්රපටියක් බලලා එන සංස්කෘතියක් අපිට නෑ. අපිට තියෙන්නෙ පඩියෙන් හතරෙන් එකක් විතර එක නැරඹුම් වාරයකට වියදම් කරලා, ස්පයිඩර් මෑන් හරි මියුසිකල් ෂෝ එකක් හරි බලලා එන බෝරින් ප්රධාන ධාරාවක්. ලංකාවෙ අපිට තිබුණු පස්වෙනි මණ්ඩලයේ සිනමාව අපිට අහිමියි.
මේ හින්දා රජයක් වශයෙන් උනන්දු වෙන්න ඕන සාමූහික නැරඹුම් අවකාශ නිර්මාණය කිරීමටයි. ඒවාට අවශ්ය යටිතල පහසුකම් ලබාදීමටයි. අවශ්ය නියාමනය සැලසීමටයි.

ලංකාවෙ සිනමා ශාලාවලින් පිටත පොදු සිනමා ප්රදර්ශන මුදල් අය කොට පැවැත්විය නොහැකි යැයි පැනවුණු නීති තියෙනවා. මේවා අන්තිම අසාධාරණ නීති. අපේ මුල්ම චිත්රපටිය, how i wonder අපි එහෙම නිල නොවන ශාලාවල, රටපුරා ප්රදර්ශනය කළා. අපිට ඒ ක්රමය ඉතාම ලාබදායී වුණා වගේම ප්රේක්ෂකයන් එක්ක ඉතා කිට්ටු සම්බන්ධයක් අත්විඳින්න ලැබුණා. ඒක වේදිකා නාට්යය සහ සිනමාව අතර අතරමැද තැනක් වගේ.
අපිට එවක චිත්රපට සංස්ථාවෙන් ලිපියක් එවමින් දන්වා තිබුණේ අප විසින් කරගෙන යන චිත්රපට ප්රදර්ශනය නතර නොකළහොත් නීතිමය ක්රියාමාර්ග ගන්නා බවයි. නමුත් සිනමා ශාලාවක ප්රදර්ශන අවකාශයක් නොලබන චිත්රපටියක් සිය ප්රදර්ශනය වීමේ අයිතිය ලබන්නේ කොහොමද? ඒක ප්රකාශන නිදහස සම්බන්ධ කාරණයක්.
ඉතින් මේ සාකච්ඡාව විවෘත කිරීමත්, මේ නව සිනමා ප්රදර්ශන මොඩලයට අවශ්ය සාධාරණත්වයේ සහ නියාමනයේ කොන්දේසි ළඟා කිරීමත් තමයි මගේ ලිවීම්වල පරමාර්ථය වුණේ. එයින් සිත් රිදීමක් ඇති වුණා නම් සමාවෙන්න. මේක පරිධියේ විකල්ප සිනමාකරුවෙක් තමන්ගේ ප්රකාශනයේ අයිතිය සම්බන්ධයෙන් කරන පෙනී සිටීමක් හැටියට සලකන්න.
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)




