The Leader News
BREAKING
Top Ad
Opinion

මීමුරේ ගල්ගුහා ප්‍රේමය: නීතිය, සදාචාරය සහ මනුෂ්‍යත්වය | චින්තන ධර්මදාස

Awara

Awara

November 15, 2026 • 4:43 PM

මීමුරේ ගල්ගුහා ප්‍රේමය: නීතිය, සදාචාරය සහ මනුෂ්‍යත්වය | චින්තන ධර්මදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "මහ වන පියසක අඳුරු ගුහාවක යම් දිනයක ඔබ සඟවා තබනෙමි" වික්ටර් රත්නායක මෙහෙම ප්‍රේම ගීතයක් ගායනා කරනවා.
  • අවුරුදු 23ක තරුණයෙක් විසින් අවුරුදු 15ක දැරියක් (ලංකාවේ සම්මත නීතිය අනුව අවුරුදු 16ක් වන තුරු කෙනෙකුට ලිංගික අයිතිවාසිකම් නොමැත) වනාන්තරයක ගල්ගුහාවක තබා ගෙන සිටීම සහ එහිදී ඇයට දරුවෙක් ලැබීමේ ප්‍රවෘත්තිය මේ වෙද්දි සමාජ මාධ්‍යවල කරවල කෑල්ලක් බවට පත්වෙලා තියෙනවා.
  • මේ අපේ සංස්කෘතියේ ඇති අර්බුදයක් ගැන කියවෙන කතාවක්.
  • තරුණයා මේ යුවතිය සමඟ ප්‍රේම සම්බන්ධයක් පැවතෙන්නට ඇති බවත් එහිදී ගැබ් ගැනීමක් සිදුවෙන්නට ඇති බවත් මගේ අනුමාන කිරීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

"මහ වන පියසක අඳුරු ගුහාවක
යම් දිනයක ඔබ සඟවා තබනෙමි"


වික්ටර් රත්නායක මෙහෙම ප්‍රේම ගීතයක් ගායනා කරනවා. ඒක ලියලා තියෙන්නෙ බණ්ඩාර කේ. විජේතුංග.

අවුරුදු 23ක තරුණයෙක් විසින් අවුරුදු 15ක දැරියක් (ලංකාවේ සම්මත නීතිය අනුව අවුරුදු 16ක් වන තුරු කෙනෙකුට ලිංගික අයිතිවාසිකම් නොමැත) වනාන්තරයක ගල්ගුහාවක තබා ගෙන සිටීම සහ එහිදී ඇයට දරුවෙක් ලැබීමේ ප්‍රවෘත්තිය මේ වෙද්දි සමාජ මාධ්‍යවල කරවල කෑල්ලක් බවට පත්වෙලා තියෙනවා.

දරු ප්‍රසූතිය ගල්ගුහාවක සිදුවීම සහ පෙකණිවැල කිතුල් කපන පිහියකින් සිඳ බිළිඳා බිහිකිරීමත්, පැණි උණු කරන සැලියක දරුවා නැහැවීමේ කතාවත් තරමක් බිය දනවන ස්වරූපයකින් වාර්තා වෙලා තිබුණා.

ඒ ප්‍රවෘත්තිය අහපු ගමන් මට හිතුණේ අපි ජීවත්වෙන රටක තවත් කෙළවරක මිනිස්සු ජීවත් වෙන්නේ මේ විදිහටද කියලයි.


වීරයෙක්ද? දුෂ්ටයෙක්ද? නැත්නම් සංස්කෘතික අර්බුදයක්ද?

නමුත් මේ කතාව තරුණයා වීරයෙකු හෝ දුෂ්ටයෙකු කළ යුතු කතාවක් නම් නෙමෙයි. මේ අපේ සංස්කෘතියේ ඇති අර්බුදයක් ගැන කියවෙන කතාවක්.

තරුණයා මේ යුවතිය සමඟ ප්‍රේම සම්බන්ධයක් පැවතෙන්නට ඇති බවත් එහිදී ගැබ් ගැනීමක් සිදුවෙන්නට ඇති බවත් මගේ අනුමාන කිරීමයි. එය නීතියට අනුව බලහත්කාරයක් ලෙස අර්ථගැන්විය හැකි වුවත් මම පුද්ගලිකව පිළිගන්නේ වැඩිවිය පත්වුණු පසුව ලිංගිකව හැසිරීමේ අයිතිය පිරිමි ගැහැනු දෙපාර්ශ්වයටම තිබිය යුතු බවයි.

නමුත් මෙය එම තරුණියගේ අකමැත්තෙන් සිදුවූ ක්‍රියාවක් නම් එය ස්ත්‍රී දූෂණයක් ලෙස ගත යුතු අතර එහිදී මෙම තරුණයා අනිවාර්ය ලෙසම අපරාධකරුවෙක් වෙනවා.

ඔවුන්ව වනගත කළ සමාජය සහ සදාචාරය

මා කියවූ දෙයින් මට හැඟුණු දේ වන්නේ ඔවුන්ගේ පැවැති යම් සබඳතාවයක් කෙළවර යුවතිය ගර්භණී වීමේ අර්බුදයට මේ තරුණ දෙපළ මුහුණ දෙන්නට ඇති බවයි. පවතින සංස්කෘතික රාමුවෙන් ඔවුන් භාර නොගන්නා තැනදී ඔවුන් සංස්කෘතිය අතහැර වනගත වන්නට තීරණය කර ඇති බවයි.

කරුණු එසේ වී නම් බලහත්කාරය සිදු කර ඇත්තේ පවතින සංස්කෘතික සදාචාරය විසිනුයි. ඔවුන්ට වෙනත් විකල්ප අහිමි කළ සමාජ ආර්ථිකය විසිනුයි. ඔවුන්ට උපත් පාලන ක්‍රමවල හෝ අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගැනීමට හෝ පිළිසරණක් නොවූ ලිංගික අධ්‍යාපනය සහ ඊට අදාළ පහසුකම් ළඟා නොවීම තුළිනුයි. එම සාපරාධී වරද සමාජය විසින් භාරගත යුතු වෙනවා.

සදාචාරවාදී සෞඛ්‍ය සේවයේ යථාර්ථය

ඔවුන් ආදර කතාවක කෙළවර ගැබ්ගැනීමක් නිසා වනගත ජීවිතයක් තෝරාගැනීමට සිදුවී ඇත්නම් ඒ සමඟම ඔවුන්ට සියලු සෞඛ්‍ය, රෝහල් ආදී පහසුකම් පවා අහිමි වී යනවා. රෝහලට මෙම ගර්භණී යුවතිය රැගෙන ආවොත් එහිදී පෙම්වතා වූ තරුණයා වරදකරුවෙක් ලෙස අත්අඩංගුවට පත්වෙනවා.

යුවතියට තමන්ගේ සැමියාත් අහිමිව දරුවෙක් සමඟ හුදකලා වන්නටත්, සමාජ අපවාදයට ලක්වෙන්නටත් සිද්ධ වෙනවා. මේක තමයි අපේ සදාචාරවාදී සෞඛ්‍ය සේවයේ යථාර්ථය වෙන්නෙත්.

තමන්ගේ හැකි ප්‍රමාණයෙන් දරුවාත් මවත් ආරක්ෂා කරගන්නට මේ තරුණයා පෙළඹී ඇති බව පේනවා. ඔවුන්ගේ සියලු සමාජ ජීවිතයත්, ඒ හා බැඳුණු පහසුකම් සියල්ලත් අතහැර පවුලක් ලෙස වනයේ ජීවත් වෙන්නට තෝරාගෙන ඇති බව පේනවා. එය පෙම්වතෙකු, සැමියෙකු ලෙස තමන් දන්නා පමණින් තමන්ගේ ආදරය සහ රැකවරණය ලබාදීමක් හැටියට භාරගන්න සිද්ධ වෙනවා.


නමුත් මෙවන් තත්ත්වයකදී බොහෝ නරක දේ සිදුවීමට ඉඩ තියෙනවා. දරුවාගේත් මවගේත් දෙන්නාගේම ජීවිත බරපතල අවදානමකට වැටෙනවා. අවුරුදු 23ක තරුණයෙක් දරු ප්‍රසූතියක් ගැන දන්නේ මොනවාද? කෙසේ නමුත් වාසනාවකට සියල්ල යහපත් ලෙස සිදුවී තියෙනවා.

නීතිපොත්වලට වඩා මනුෂ්‍යත්වය

දැන් නීතිය එතැනට කඩාවදිනවා. ගමෙන් පිටමංව කැලේ වැදුණු ඔවුන් සොයාගෙන සදාචාරය එළවාගෙන එනවා. හුදු නීතියේ ඇති වගන්ති ප්‍රකාරව මෙය එම යුවතියගේ කැමැත්ත ඇතිව සිදුවූ දෙයක් වුවත් දූෂණයක් ලෙස අර්ථගැන්වෙනවා. තරුණයාගේත්, තරුණියගේත්, දරුවාගේත් ජීවිත අපවාදයට සහ අවදානමට ලක්වෙනවා.

සමාජයක් වඩා මානුෂීයව බැලිය යුතු තැන එළඹෙන්නේ මෙතනදීයි. නීතිපොත් අනුව යනවාට වඩා මනුස්ස ජීවිත සහ ඔවුන්ගේ තෝරාගැනීම්වලට ඇහුම්කන් දිය යුතු වෙන්නේ මෙතැනදීයි.

අප විසින් නගරයේ සුවපහසු ගොඩනැගිලි තුළ ඉංග්‍රීසියෙන් වාද විවාද කරමින් සම්මත කරන නීති මේ රටේ අනෙක් කෙළවරක කැලෑබද ගම්මානවල යථාර්ථයන්ට බොහෝ දුරස්ථ බව අපි තේරුම් ගන්න ඕන. ඒ නීති මගින් ඇත්තටම සිද්ධ වෙන්නේ ඒ දුෂ්කර, දුක්ඛිත ජීවිත තවත් අපහසුතාවයන්ට පත්කිරීම නම් එය නීතියේ බලහත්කාරයක් හැටියෙන් කියවා ගන්න ඕන. නීතියට වඩා මනුෂ්‍යත්වය සහ මැදිහත්බවෙන් මෙවන් ප්‍රශ්නවලට විසඳුම් හොයන්න ඕන.

ප්‍රමුඛ විය යුත්තේ කුමක්ද?

මේක ආදර කතාවක්ද, නැත්නම් යුවතියගේ අකමැත්තෙන් සිදුවූ බලහත්කාරයක්ද යන්න ගැන මට නිශ්චිත අදහසක් නෑ. නමුත් මෙය ඔවුන් දෙදෙනාගේම කැමැත්තෙන් සිදුවූ දෙයක් නම් එය විනිශ්චය කිරීමට නාගරික සදාචාරවාදී නීතිය ඉදිරිපත් වීම ගැන මා තුළ පවතින්නේ විරෝධයක්.

මෙතැනදි ප්‍රමුඛ විය යුත්තේ දරුවා, යුවතිය සහ තරුණයාගේ කැමැත්ත, සුබසිද්ධිය මිස අපේ පොත්වල ඇති නීති හෝ අපේ සදාචාරය නෙමෙයි.


වැඩිදුර තොරතුරු ඇතුළත් විශ්වාසනීය මූලාශ්‍ර සබැඳි

උපුටා ගැනීම (Chinthana Dharmadasa ෆේස්බුක් පිටුව):

සබැඳි පුවත් මූලාශ්‍රය (The Leader):


චින්තන ධර්මදාස

දේශපාලන හා සමාජ විශ්ලේෂක

අධ්‍යක්ෂ - facultyofsex, vyadhadeva@gmail.com

View all stories by චින්තන ධර්මදාස
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...