BREAKING
Top Ad
Opinion

සියලුම ජනාධිපතිවරුන් හිරේ යැවිය හැකි නෛතික උගුලක් | කෙෂාල් ජයසිංහ

T

The Leader

February 23, 2026 • 11:52 PM

සියලුම ජනාධිපතිවරුන් හිරේ යැවිය හැකි නෛතික උගුලක් | කෙෂාල් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල්ගේ ලන්ඩන් ගමන අපරාධයක්ද? රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායක්ද?
  • මෙම නඩුව හුදෙක් එක් හිටපු ජනාධිපතිවරයෙකුට පමණක් නොව, අතීතයේ සිටි, වර්තමානයේ සිටින සහ අනාගතයේ පත්වන සියලුම රාජ්‍ය නායකයින්ට දැවැන්ත බලපෑමක් එල්ල කළ හැකි බරපතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදයක පෙරනිමිත්තක් බව ඔබ දන්නවාද?
  • ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(h) වගන්තිය මගින් ජනාධිපතිවරයාට සුවිශේෂී බලතල (Residual powers) පවරා ඇත.
  • එනම්, ව්‍යවස්ථාවේ වෙනත් තැනක පැහැදිලිව අර්ථ දක්වා නොමැති වුවද, "ජාත්‍යන්තර නීතිය, චාරිත්‍ර හෝ භාවිතය මගින් අනුමත කරන ලද ක්‍රියා සිදු කිරීමට" ජනාධිපතිවරයාට බලය ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ලන්ඩන් 'වුල්වර්හැම්ටන්' සංචාරය මුල්කරගෙන මේ දිනවල මෙරට දේශපාලන සහ නීති ක්ෂේත්‍රය තුළ විශාල උණුසුමක් නිර්මාණය වී තිබේ. මෙය රජයේ මුදල් අවභාවිත කිරීමක් යැයි කියමින් විමර්ශන ආයතන කරුණු දක්වද්දී, ඊට එරෙහිව ගොඩනැගෙන නෛතික තර්කය මුළුමනින්ම වෙනස් මානයක් ගනී. මෙම නඩුව හුදෙක් එක් හිටපු ජනාධිපතිවරයෙකුට පමණක් නොව, අතීතයේ සිටි, වර්තමානයේ සිටින සහ අනාගතයේ පත්වන සියලුම රාජ්‍ය නායකයින්ට දැවැන්ත බලපෑමක් එල්ල කළ හැකි බරපතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදයක පෙරනිමිත්තක් බව ඔබ දන්නවාද?

අපරාධ නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජාතික විගණන පනත සහ මුදල් අමාත්‍යාංශයේ චක්‍රලේඛ ගැඹුරින් ස්පර්ශ කරමින් සිදුකරන මෙම ගවේෂණාත්මක වාර්තාවෙන් හෙළිවන්නේ, බැලූ බැල්මට (Ex facie) අපරාධයක් සේ පෙන්වීමට උත්සාහ කරන මෙම සිදුවීම, සැබවින්ම පෞරාණික රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායක් සහ පරිපාලනමය ක්‍රියාවලියක් බවයි.

අපරාධයක් නොව, ව්‍යවස්ථාමය සහ පරිපාලනමය භාවිතාවක්!

Swaraj paul Ranil
නීතියේ මූලික සිද්ධාන්තයන්ට අනුව, ජනාධිපතිවරයෙකුගේ නිල සංචාරයක්, ඒ ආශ්‍රිත ක්‍රියාමාර්ග සහ වියදම් තක්සේරු කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ පරිපාලන නීති රාමුව (Constitutional and Administrative Law) තුළිනි. එය කිසිසේත්ම මහේස්ත්‍රාත් අධිකරණයක විභාග කළ යුතු 'අපරාධමය' (Criminality) ප්‍රශ්නයක් නොවේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(h) වගන්තිය මගින් ජනාධිපතිවරයාට සුවිශේෂී බලතල (Residual powers) පවරා ඇත. එනම්, ව්‍යවස්ථාවේ වෙනත් තැනක පැහැදිලිව අර්ථ දක්වා නොමැති වුවද, "ජාත්‍යන්තර නීතිය, චාරිත්‍ර හෝ භාවිතය මගින් අනුමත කරන ලද ක්‍රියා සිදු කිරීමට" ජනාධිපතිවරයාට බලය ඇත. රාජ්‍ය නායකයෙකු විදෙස් සංචාරයක නිරත වන විට ඒ ආශ්‍රිත ප්‍රොටෝකෝල, සම්භාවනීය උත්සව සඳහා සහභාගී වීම වැනි දෑ අන්තර්ජාතික රාජ්‍යතාන්ත්‍රික භාවිතාවන්‍ ය. එය පොදු දේපළ පනත යටතේ ගැනෙන සාපරාධී සාවද්‍ය පරිහරණයක් නොව, නීත්‍යානුකූල ජනාධිපති බලයක් ක්‍රියාත්මක කිරීමකි.

එසේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 සහ 43 වගන්තිවලට අනුව විධායකයේ තීරණ සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගකියනු ලබන්නේ, රාජ්‍ය මූල්‍ය පිළිබඳ පූර්ණ බලය හිමි පාර්ලිමේන්තුවට මිස මහේස්ත්‍රාත් අධිකරණයකට නොවේ.

මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛ ජනාධිපතිට අදාළද? දිලීප පීරිස් ට පැටලුන නෛතික සත්‍යය මෙන්න!

Ministry Of Finance
මෙම සිදුවීමේදී විමර්ශකයන් විසින් නිතර ඉස්මතු කරන කරුණක් වන්නේ රජයේ නිලධාරීන්ගේ විදෙස් ගමන් සඳහා වන මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛ උල්ලංඝනය වී ඇති බවයි. නමුත් මෙහි ඇති නෛතික යථාර්ථය කුමක්ද?

රජයේ නිලධාරීන්ගේ සහ අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර සඳහා අනුමැතිය සහ ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් විවිධ චක්‍රලේඛ නිකුත් කරනු ලබයි (උදාහරණ: විදේශ ගමන් වියදම් පාලනය කිරීමේ චක්‍රලේඛ). එහෙත්, රාජ්‍ය පරිපාලන හා මූල්‍ය නීතියේ මූලික හරය වන්නේ, මෙම සාමාන්‍ය මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛ රටේ ප්‍රධාන පුරවැසියන් සිව්දෙනාට, එනම් ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට, කථානායකවරයාට සහ අගවිනිසුරුවරයාට සෘජුවම අදාළ නොවීමයි.

විධායකයේ ප්‍රධානියාගේ රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද සහ ආරක්ෂක අවශ්‍යතා (Close Protection Security), සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුගේ විදෙස් ගමනක් පාලනය කරන චක්‍රලේඛයකින් සීමා කළ නොහැක. ඔවුන්ගේ සංචාර සඳහා අවශ්‍ය පහසුකම් සලසනු ලබන්නේ රාජ්‍ය යන්ත්‍රණය සහ අදාළ විදේශීය මහකොමසාරිස් කාර්යාල හරහා වන අන්තර්ජාතික ප්‍රොටෝකෝල මගිනි.

වියදම් වැඩි වුණා නම් එය අපරාධයක්ද? විගණන පනත පවසන්නේ කුමක්ද?

348s
මෙම සිදුවීම සම්බන්ධයෙන් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා "Sky Wings Ltd." නැමති නියෝජිත සමාගමකට රුපියල් මිලියන 16ක පමණ මුදලක් ගෙවා ඇති බවට චෝදනාවක් පවතී. ජනාධිපතිවරයාගේ ප්‍රවාහනය සඳහා බ්‍රිතාන්‍ය රජයෙන් වාහන පවා ලබා දී තිබියදී මෙතරම් මුදලක් වැය වූයේ කෙසේද? මෙහිදී බිල්පත් ඉහළ දමා ඇත්නම් එය සෙවිය යුත්තේ කෙසේද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වගන්තිය මගින් ජනාධිපති කාර්යාලයේ ඇතුළු සියලුම රාජ්‍ය ආයතනවල මූල්‍ය විගණනය කිරීමේ බලය පවරා ඇත්තේ විගණකාධිපතිවරයාටය. යම් හෙයකින් මෙම වියදම අසාධාරණ එකක් නම් හෝ මූල්‍ය නීති උල්ලංඝනය වී ඇත්නම්, ක්‍රියාත්මක විය යුත්තේ 2018 අංක 19 දරන ජාතික විගණන පනතයි (National Audit Act). මෙම පනතට අනුව, රජයේ මුදල් අසාධාරණ ලෙස වැය කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට එරෙහිව 'අධිභාරයක්' (Surcharge) නියම කිරීමේ බලය විගණකාධිපතිවරයාට ඇත.

පුදුමයට කරුණ නම්, අද වනතුරුත් ශ්‍රී ලංකාවේ විගණකාධිපතිවරයා විසින් මෙම සිදුවීමට අදාළව ජනාධිපති කාර්යාලයෙන් කිසිදු විගණන විමසුමක් (Audit Query) සිදුකර නොමැති වීමයි! විගණන පනත යටතේ අධිභාරයක් මගින් විසඳිය යුතු, පරිපාලනමය මූල්‍ය ගණනය කිරීමේ ගැටළුවක් (එයද මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් සකස් කරන ලද්දක්), හදිසියේම සාපරාධී වරදක් ලෙස අර්ථ දක්වා ජනාධිපතිවරයෙකුට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කරන්නේ කෙසේද?

අපරාධයක් ඔප්පු කිරීමට නම් නීතියට අනුව 'සාපරාධී චේතනාවක්' (Mens rea) තිබිය යුතුය. විදේශ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාවේද නිල වශයෙන් සටහන් කර ඇති, මහකොමසාරිස්වරුන් පිරිවරාගෙන සිදුකළ විවෘත ගමනක ඇති අපරාධමය චේතනාව කුමක්ද?

වියනා සම්මුතිය සහ 'ට්‍රාන්සිට්' අයිතිය


ජාත්‍යන්තර ගිවිසුම් නීතිය පිළිබඳ වියනා සම්මුතියේ (Vienna Convention on the Law of Treaties) 40 වන වගන්තිය පැහැදිලිවම රාජ්‍ය නායකයෙකුට වෙනත් රටක් හරහා ගමන් කිරීමේදී 'සංක්‍රමණික' (Transit) අයිතීන් ලබා දී ඇත.

2023 සැප්තැම්බර් මාසයේ නිව්යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ සමුළුව නිමවා පෙරළා දිවයිනට එන ගමනේදී, වෛද්‍ය උපදෙස් මතද ඇතුළුව, හිටපු ජනාධිපතිවරයා එක්සත් රාජධානියේ පැය කිහිපයක සංක්‍රමණයක් ලබා ගත්තේය. එම කාලය තුළ ලෝඩ් ස්වරාජ් පෝල් වැනි ශ්‍රී ලංකාවට හිතවත් ප්‍රබල චරිතයකගේ නිල උත්සවයකට සහභාගී වීම, ජාත්‍යන්තර දේශපාලනයේ 'ද්විපාර්ශ්වික සංක්‍රමණික සංචාර' (Bi-Lateral Transit Visits) නම් වන අතිශය සාමාන්‍ය ඵලදායී භාවිතාවකි. ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් සහ දකුණු අප්‍රිකානු ජනාධිපති රමෆෝසා ශ්‍රී ලංකාවේ ට්‍රාන්සිට් වන අතරතුර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූයේද මෙම සම්ප්‍රදාය යටතේමය.

චන්ද්‍රිකා, මහින්ද, ගෝඨාභය සිට අනුර සහ හරිනි දක්වා දිවෙන පූර්වාදර්ශ

presidentsw8
විදේශ රජයකින් ලැබෙන ආරාධනාවකට පමණක් රාජ්‍ය මුදල් වැය කරමින් සහභාගී විය යුතු යැයි නීතියක් නැත. ලෝකයේ මෙන්ම ලංකාවේද රාජ්‍ය නායකයින්, විශ්වවිද්‍යාල සහ රාජ්‍ය නොවන සංවිධානවල ආරාධනා මත රජයේ මුදලින් විදෙස්ගත වීම සාමාන්‍ය සම්ප්‍රදායකි. ඉතිහාසය දෙස හැරී බලන්න:

*  2001 දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ (විශ්වවිද්‍යාලයේ පවා නොවේ) ආරාධනයකට එක්සත් රාජධානියට ගියේ රජයේ මුදලිනි.

*  2008 සහ 2010 දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔක්ස්ෆර්ඩ් සංගමය ඇමතීමට ගියේද එලෙසිනි.

* 2021 දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ COP26 සමුළුවට සහ ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයට සහභාගී විය.

* වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 වසරේදී ජපානයේ ඔසාකා එක්ස්පෝ කමිටුවේ ආරාධනයකට සහභාගී වූ අතර, වත්මන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පසුගියදා ඩාවෝස් නුවරට ගියේ 'ලෝක ආර්ථික සංසදය' නම් පෞද්ගලික සංවිධානයක ආරාධනයකටය.

මීට අමතරව තිරුපති, බුද්ධගයාව වැනි සිද්ධස්ථාන වන්දනා කිරීමට යන රාජ්‍ය නායකයින්ගේ ගමන් සඳහාද අතීතයේ සිටම මුදල් ගෙවා ඇත්තේ රජයෙනි.

මේවා අපරාධද? මේ කිසිවකට අපරාධ නීතිය ක්‍රියාත්මක නොවී, රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් ට්‍රාන්සිට් එක පමණක් හදිසියේ අපරාධයක් වූයේ කෙසේද?

අවසාන නිගමනය: දේශපාලන දඩයමක්ද? නෛතික අර්බුදයක්ද?

IMG 20260128 WA0042
මෙම සියලු නෛතික සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය කරුණු සම්පිණ්ඩනය කර බැලූ කල පෙනී යන්නේ, හිටපු ජනාධිපතිවරයාගේ වුල්වර්හැම්ටන් සංචාරය තුළ කිසිදු අපරාධමය ස්වභාවයක් (Criminality) හෝ සාපරාධී චේතනාවක් පැහැදිලිවම නොමැති බවයි. එය හුදෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල, වියනා සම්මුතියේ ප්‍රතිපාදන, සහ ජාතික විගණන පනතේ ක්‍රියාවලියට යටත් වන පරිපාලනමය කාරණයක් පමණි.

මෙම නෛතික රාමුව නොසලකා හැර, සාමාන්‍ය රාජ්‍යතාන්ත්‍රික භාවිතාවන් අපරාධ ලෙස හංවඩු ගසා රාජ්‍ය නායකයින්ට එරෙහිව අපරාධ නඩු පැවරීමට යම් පූර්වාදර්ශයක් සැපයුවහොත්, ඉන් සිදුවන්නේ වත්මන් සහ අනාගත ජනාධිපතිවරුන්ට මෙන්ම අගමැතිවරුන්ටද සිය ජාත්‍යන්තර සබඳතා සහ නිල රාජකාරි නිදහසේ ඉටුකිරීමට නොහැකි වන සේ ඔවුන්ගේ අත් පා ගැට ගැසීමකි. මෙය රනිල් වික්‍රමසිංහ නැමති පුද්ගලයාගේ ප්‍රශ්නයක් පමණක් නොව, අනාගතයේදී ඕනෑම ජනාධිපතිවරයෙකු හිරේ යැවිය හැකි අතිශය භයානක නෛතික උගුලකි!


keshal jayasinghe(සටහන | කෙෂාල් ජයසිංහ )
දේශපාලන වාර්තාකරු
theleader. lk

leadernews.lk@gmail.com

(කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ (San Francisco State University, California) හි ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකු වන කෙෂාල් ජයසිංහ, හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර ගේ සම්බන්ධිකරණ නිලධාරියකු ලෙසත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පාලන සමයේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ඩිජිටල් මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කළ පුළුල් අත්දැකීම් සහිත වෘත්තිකයෙකි.)

සබැඳි ලිපි :

හිටපු ජනාධිපති රනිල් ගේ බ්‍රිතාන්‍ය සංචාරය: අපරාධයක්ද? නැතහොත් රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායක්ද? | කෙෂාල් ජයසිංහ

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...