The Leader News
BREAKING
Top Ad
Opinion

සිවුරක සිටිය යුත්තේ කවුද? | කුසල් පෙරේරා

ඥාණසාර හිමි සිවිල් ඇඳුමින් උසාවි ගෙන ඒමෙන් ඇවිලුණු සිවුරේ අර්බුදය, නීතිය හා භික්ෂු විනය අතර ඇති ගැටුම විවරණය කරන ආන්දෝලනාත්මක විග්‍රහයකි.

Pasan

Pasan

October 8, 2026 • 9:10 PM

සිවුරක සිටිය යුත්තේ කවුද? | කුසල් පෙරේරා
ISHARA S. KODIKARA/AFP via Getty Images

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් ඥාණසාර හිමිගේ නීතිඥයින් අධිකරණයේදී මතු කළ කාරණාව වූයේ භික්ෂුවක් උපැවිදි කිරීමේ බලය ඇත්තේ මහනායක හිමිවරුන්ට පමණක් බව ය.
  • ශ්‍යාමෝපාලි සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමින් වහන්ස පසුදින ප්‍රකාශකර තිබූයේ ඥාණසාර හිමි උපැවිදි කිරීම සම්බන්ධ අස්ගිරි පාර්ශවයට බරපතල ප්‍රශ්න ඇති බවය.
  • අධිකරණයට හා අධිකරණ ක්‍රියාවලියට ඔවුන් ගෞරව කරන අතර, බන්ධනාගාර බලධාරීන් මෙම කාර්යයේදී නිසි පිළිවෙතක් අනුගමනය කළේදැයි ඔවුන්ට ප්‍රශ්න ඇති බවය.
  • බන්ධනාගාර පනතට අනුව, ඥාණසාර හිමි අධිකරණයට ඉදිරිපත් කළ යුතුව තිබූයේ උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා විට පැළඳ සිටි ඇඳුම වූ සිවුරෙන් යැයි පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමින් වහන්ස ප්‍රකාශ කර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් ඥාණසාර හිමිගේ නීතිඥයින් අධිකරණයේදී මතු කළ කාරණාව වූයේ භික්ෂුවක් උපැවිදි කිරීමේ බලය ඇත්තේ මහනායක හිමිවරුන්ට පමණක් බව ය. බන්ධනාගාර බලධාරීන්ට භික්ෂුවක් උපැවිදි කිරීමේ බලයක් නැති හෙයින් උන්වහන්සේට සිවුර පැළඳීමේ අවසරය දෙන මෙන් ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
 
ශ්‍යාමෝපාලි සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමින් වහන්ස පසුදින ප්‍රකාශකර තිබූයේ ඥාණසාර හිමි උපැවිදි කිරීම සම්බන්ධ අස්ගිරි පාර්ශවයට බරපතල ප්‍රශ්න ඇති බවය. අධිකරණයට හා අධිකරණ ක්‍රියාවලියට ඔවුන් ගෞරව කරන අතර, බන්ධනාගාර බලධාරීන් මෙම කාර්යයේදී නිසි පිළිවෙතක් අනුගමනය කළේදැයි ඔවුන්ට ප්‍රශ්න ඇති බවය. බන්ධනාගාර පනතට අනුව, ඥාණසාර හිමි අධිකරණයට ඉදිරිපත් කළ යුතුව තිබූයේ උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා විට පැළඳ සිටි ඇඳුම වූ සිවුරෙන් යැයි පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමින් වහන්ස ප්‍රකාශ කර තිබිණ. අස්ගිරි පාර්ශවයට අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට ලබාදී ඇති පිළිගැනුම මත භික්ෂුන් සම්බන්ධව කටයුතු කිරීමේදී සාම්ප්‍රදායික සම්මතයන් හා පෞරාණික නීති රීති සළකා බැලීමක්ද විය යුතුය. මෙය නිරවුල් නොවුනහොත් අනාගතය සඳහා මෙය වැරදි පූර්වාදර්ශයක් විය හැකි යැයිද ධම්මානන්ද ස්වාමින් වහන්ස ප්‍රකාශ කර තිබිණ.

Buddhist monks participate in the Bodu Bala Sena or Buddhist Force convention in Colombo on September 28, 2014. A controversial Buddhist cleric from...

LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images

උන්වහන්සේගෙ විස්තර ප්‍රකාශය සම්බන්ධව කිසිවෙකුට ප්‍රශ්න තිබිය නොහැක. උන්වහන්සේ කතා කරන්නේ භික්ෂුන් සම්බන්ධයෙන් වන නිසා වෙනි. මේ සංවාදයේදී එනමුත් සැවොම මග හැර යන ප්‍රශ්නයක් ඇත. ලංකාවේ අපරාධ හා සිවිල් නීති උල්ලංඝණය කිරීමේ වරදකට භික්ෂුවක් පූජකයෙක් අධිකරණය හමුවේ චෝදනා ලබන විට, නීතිය ක්‍රියාත්මක කිරීමේ රාජ්‍ය ආයතන පමණක් නොව, සාමාන්‍ය සමාජයද එවැන්නෙකුට සැළකිය යුත්තේ කෙසේදැයි යන්න සාකච්ඡා නොකරන්නකි.


එවැනි විට අමතක නොකළ යුතු කාරණාවක් වන්නේ, මෙරට බෞද්ධයින් පමණක් නොව සමස්ථ ලාංකීය සමාජයම භික්ෂුවකගෙන් අපේක්ෂා කරන්නේ සාමාන්‍ය පුරවැසියනට වඩා යහපත් හීක්මීමක් විනයක් හා සංයමයක් ඇති ආචාර ධාර්මික පැවැත්මකි. එවැනි පැවැත්මක් නොමැත්තේ නම් එවැන්නෙකු නීති උල්ලංඝණය කිරීමේ චෝදනා වෙනුවෙන් උසාවියකට ඉදිරිපත් කෙරෙන විට, ඉන් බෞද්ධ චීවරයත් බෞද්ධාගමත් අපහාසයට, බාල්දුවට ලක් නොවන්නේද යන්න මේ සංවාදයේදී නොඇසෙන  ප්‍රශ්නයකි. 


සංඝ සමාජයේද නොඅසන ඒ ප්‍රශ්නයට උත්තර දීමේදී නියැඳියක් ලෙස ගලගොඩඅත්තේ ඥාණසාර හිමි තබා ගතහොත් උන්වහන්සේ තවදුරටත් භික්ෂුවක් ලෙස සැළකීම් ලැබිය යුත්තෙක් දැයි තෝරා බේරා ගැනීම වැදගත් වන්නකි.   
 

උන්වහන්සේගේ පැටිකිරිය සළකතොත්, වසර 2000 අප්‍රේල් 14 වන දින අංක 06 ශ්‍රී 5444 වාහනය බීමතින්, අධිවේගයෙන්, වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කර, මොහමඩ් රිෆායි සහ රවින්ද්‍ර කුමාර යන දෙදෙන හප්පා, ඒ අනතුරු පොලිසියට වාර්තා නොකිරීම ඇතුළු චෝදනා 09 ක් තොටළඟ පොලීසියෙන් කොළඹ රථවාහන උසාවියෙහි ගොනු කරනු ලැබිණ. ඒ වසරේ සැප්තැම්බර 20 වන දින උන්වහන්සේ ඒ සියලු චෝනා වලට විවෘත උසාවියෙහි වරද පිළිගනු ලැබ රුපියල් 12,000 ක දඩයකටද යටත් වූහ. 


එවැනි නොයෙකුත් අපරාධ වලට අධිකරණයකින් වරදකරුවකු වන භික්ෂූන්ට එරෙහිව සංඝාධිකරණයක් විසින් විනය පියවර නොගැනීම නිසා සංඝ සමාජය පිරිහෙමින් යන්නේ යැයි එදා මා කියූ කතාව ඇතැමුන් නොරිස්සූ නමුත් අද එයට ඊටත් වැඩි වලංගු බවක් ලැබී ඇත. අතීතයේ ඇතැම් භික්ෂූන් දායකයින්ට නොකියා, රහසේ කළ බොහෝ දේ අද දායකයින් සමග හවුලේ කෙරෙන තැනට පත්ව ඇත. “සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය” (අනු ව්‍යවස්ථා අංක 09) යනුවෙන් රාජ්‍ය වගකීම ව්‍යවස්ථාපිත කර තිබියදී සංඝ සමාජයෙහි විනය සුරැකීමක් නොවන්නේ නම්, “බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම” යනු කුමක්ද?  


ආණ්ඩු සහ සමාජය විසින් ඒ වගකීම් වෙත අවධානයක් නොදැක්වීම, ඥාණසාර භික්ෂුවගේ පමණක් නොව තවත් භික්ෂුන්ගේද විනයක්, සංවරයක්, හික්මීමක් නැති වර්ගවාදී ආගම්වාදී හැසිරීමට ප්‍රධාන හේතුවක් වී ඇත. උතුරේ සිවිල් යුද්ධය දිග ඇදුණු සමයේ වාර්ගික ආගමික සුහදත්වය, සමාජ එකමුතුව හා සාමය වෙනුවෙන් විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ උප කුලපති ධූරයද දැරූ මා හිතවත් ආචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි ක්‍රියාකාරීව හවුල් වූ “අන්තර් ආගමික සන්සධය”, 2009 යුද්ධය අවසන් වීමත් සමග සෙමෙන් නිහඬවූ පසුබිමක, ඥාණසාර හිමි හදා ගත් “බොදු බල සේනා” යැයි නම් කෙරුණු බෞද්ධ අන්තවාදී සංවිධානයේ නාමයෙන් 2013-2014 වන විට මුස්ලිම් ආගමික සිද්ධස්ථාන හා පල්ලිද, ව්‍යාපාරික ස්ථානද ඉලක්ක කරමින් “මුස්ලිම් විරෝධයකට” උන්වහන්සේ මුල පිරූහ. 2014 ජුනි මාසයේ බේරුවල, ධර්ගා නගරය හා අලුත්ගම දියත් වූ දහසක් පමණ අවතැන් වූ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයට මුල පුරනු ලැබුවේද ඥාණසාර හිමිගේ බොදු බලය විසින් ය. 

Muslims, made homeless after two days of anti-Muslim riots in Sri Lankas tourist region of Alutgama, demonstrate against radical Buddhist group Bodu...

Ishara S.KODIKARA/AFP via Getty Images

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග සෘජු සම්බන්ධකම් පැවැත්වූ උන්වහන්සේ ගේ බොදු බලයෙන් සිංහල ඡන්ද එක ගොන්නකට ගන්නට නොහැකි වූයෙන් 2015 ජනවාරියේ සිදුවූ ආණ්ඩු පෙරැළිය උන්වහන්සේ ගේ අවාසියට විය. යළි ක්‍රියාකාරිත්වයක් පෙන්වීමේදී 2016 ජනවාරියේ දී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්වීම සම්බන්ධ නඩුකරයේදී හෝමාගම මහේස්ත්‍රාත් උසාවි පරිශ්‍රයේදී උන්වහන්සේ හැසිරුණු ආකාරයෙන් උන්වහන්සේ සිවුරට, භික්ෂුත්වයට නොගැලපෙන බව නැවත ඔප්පු කළහ. එදින උන්වහන්සේගේ ගෝසාකාරී හැසිරීම අධිකරණයට කෙරුණු අපහාසයක් යැයි 2018 දී අභියාචනාධිකරණය විසින් චෝදනා 04 ට උන්වහන්සේ වැරදිකරු කර, 06 අවුරුදු සිර දඬුවමකට යටත් කළේය.


ඒ නඩු තීන්දුව අනුව සිරගතව සිටි ඥාණසාර භික්ෂුව 2019 මැයි මාසයේදී ජනාධිපති සිරිසේන විසින් ඔහුගේ විශේෂ සමාව යටතේ නිදහස් කරනු ලැබිණ. එහෙත් එය නීතියට පටහැනි යැයි ප්‍රගීත් ගේ බිරිඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ගොනු කළ පෙත්සමක් අනුව ජනාධිපති සමාව අහෝසිකර 06 වසරක සිර දඬුවමෙහි ඉතිරි කාලය සම්පූර්ණ කළ යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය 2026 සැප්තැම්බර 10 වන දින දුන් තීන්දුව මත ඥාණසාර භික්ෂුව නැවත සිරගත කළ යුතු විය. එහෙත් උන්වහන්සේ උසාවියට ඉදිරිපත් නොවූයෙන් කොළඹ මහේස්ත්‍රාත් උසාවිය විසින් රටින් බැහැරවීම තහනම් කරමින් විවෘත වරෙන්තුවක් නිකුත් කළේය. වරෙන්තුවට අනුව කළුතර තීන්‍යාවල සේනාසනයේ සිටියදී ඉකුත් ඔක්තෝම්බර 03 වන දින කොළඹ අපරාධ පරීක්ෂණ අංශය විසින් ඥාණසාර හිමි අත්අඩංගුවට ගනු ලැබ උසාවියට ඉදිරිපත් කරනු ලැබිණ.    


ඒ වන විට 2016 දී කිරුළපන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කළ මුස්ලිම් විරෝධී ප්‍රකාශ සම්බන්ධව අධිකරණ ක්‍රියාවලියක් ආරම්භවී තිබිණ. උන්වහන්සේ මාධ්‍ය හමුවෙහි කළ මුස්ලිම් විරෝධී ප්‍රකාශ වර්ගවාදී ගැටුම් ප්‍රවර්ධනයට හේතු විය හැකි යැයි කොළඹ මහේස්ත්‍රාත් උසාවිය විසින් 2025 ජනවාරියේදී උන්වහන්සේට එරෙහිව 09 මාසයක වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය. කොළඹ ඉහළ උසාවියෙන්ද ඒ සම්බන්ධව බරපතල වැඩ ඇතිව අවුරුදු 04 ක සිර දඬුවමක් උන්වහන්සේට නියම කළේය. 


දැන් නැවත ඉහතින් මතු කළ ප්‍රශ්නය වූ, “ලංකාවේ වලංගු නීති උල්ලංඝණය කිරීමේ අපරාධ සම්බන්ධයෙන් භික්ෂුවක් උසාවියකට ඉදිරිපත් කෙරෙන විට, ඉන් බෞද්ධ චීවරයත් බෞද්ධාගමත් අපහාසයට, බාල්දුවට ලක් නොවන්නේද?” යන්නට දිය යුතු උත්තරය වන්නේ කුමක්ද?  

Sri Lankan monks arrive to appear before a court after their arrest in Negombo on April 26, 2026.

ISHARA S. KODIKARA/AFP via Getty Images

නිසැකවම එය සිවුරට, සංඝයාට, බෞද්ධාගමට හෑල්ලුවකි. එනිසා අපරාධ සම්බන්ධයෙන් භික්ෂුවක් අධිකරණයට ඉදිරිපත් කෙරෙන විට, බෞද්ධාගමට හා ශාසනයට අවැඩක් අගෞරවයක් නොවන්නට අදාල භික්ෂුව උපැවිදි කිරීම වැදගත්ය. එහෙත් බෞද්ධ විනය පිටකයට අනුව හෝ සාමාන්‍ය නීතිය යටතේ මෙය ගැටළුවකි. සාමාන්‍ය නීතිය යටතේ භික්ෂුවක් උපැවිදි කිරීමේ ප්‍රතිපාදන නැත. විනය පිටකයට අනුව අදාල නිකායේ ප්‍රධානීන්ට භික්ෂුවක් උපැවිදි කිරීමට තීන්දු කළ හැක. අස්ගිරි ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමින් වහන්ස මාධ්‍යයට කියූ අයුරු, උපැවිදි කෙරුණු භික්ෂුවක් චීවරය පැළඳීම වළකාලීමේ බලයක් “විහාර දේවාලගම් පනත” යටතේ නායක ස්වාමීන් වහන්සේලාට නැත.


එවැනි පසුබිමක රට පුරා උසාවිවල චෝදනා ලබන්නාවූ භික්ෂුන් සංඛ්‍යාව වසරක් පාසා ඉහළ යමින් ඇත. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අනුව 2023 මැයි 01 දා සිට 2026 මැයි 01 දා තෙක් අවුරුදු 03 ක කාලයේ ළමා හිංසන සම්බන්ධයෙන් භික්ෂුන් 285 ට එරෙහි පැමිණිලි අධිකාරියට ලැබී ඇත. අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මියට අනුව ඔවුන්ට ලැබෙන පැමිණිලි අතරින් සියයට 70 ට වැඩි සංඛ්‍යාවක් ලිංගික අතවර සම්බන්ධව වන්නේය. පූජ්‍ය පක්ෂයට අයත් පුද්ගලයින්ට එරෙහි චෝදනා බොහෝමයක් වාර්තා කෙරෙන්නේ නැතැයිද ඇය කීවාය.


චෝදනා ලබන්නාවූ භික්ෂුන් චීවරයෙන් උසාවියට ඉදිරිපත් කිරීම සම්බන්ධ මෙම ගැටළුව ගැන නීතිපති දෙපාර්තමේන්තුව සමග නායක ස්වාමීන් වහන්සේලා සාකච්ඡාකර ඇති නමුත්, “විහාර දේවාලගම් පනත” සංශෝධනය කෙරෙන තෙක් ඊට විසදුම් නැතැයි කියති. යෝජිත සංශෝධන ක්‍රියාත්මක වන විට, සංඝ සභාව විසින් උපැවිදි කෙරෙන භික්ෂුව පිළිබඳ තොරතුරු බෞද්ධ කටයුතු අධ්‍යක්ෂ ජනරාල් වෙත දැනුම් දුන් විගස ඔහු අදාල භික්ෂු නාමය ලියාපදිංචි ලේඛනයෙන් ඉවත් කළ යුතු අතර, අධිකරණයෙහි පවතින නඩුවකට සම්බන්ධ භික්ෂුවක් නම්, ඒ විස්තර අදාල අධිකරණයට දනුම් දිය යුතුය. පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමින් වහන්සේට අනුව, අවශ්‍ය සංශෝධන නොපමාව සම්මත කිරීමට පියවර ගන්නා මෙන් නීතිපති දෙපාර්තමේන්තුවට වගකීම් පවරා ඇත. 


ඒ සම්බන්ධව මෙයද කිව යුතුය. මේ කතා සියල්ල සිවුරට, සංඝයාට, බෞද්ධාගමට අධිකරණ වලදී සිදුවන හෑල්ලුව, අපහාස වළකා ලීමේ උත්සාහයක් පමණි. යහපත් පැවැත්මක් ඇති සංඝ සමාජයක් තහවුරු කර ගැනීම සම්බන්ධ සාකච්ඡාවක් උත්සාහයක් නොවේ. යහපත් විනය ගරුක සංඝ සමාජයක් හැදීම වෙනත්ම මාතෘකාවකි. එය ප්‍රියානන්ද විජේසුන්දර ලියා සනත් නන්දසිරි ගායනා කරන, “....චුට්ටක් සෙල්ලම් කරලා එන්නද, පුරුදු යහළුවන් හා සැණිනේ....එහෙම ගියත් ඒ අය, පොඩි සාදු කියා කියන විට, වැඳ වැටිලා......” යැයි වන අති සංවේදී ගීත ගායනාවෙහි ගැඹුරු හරය, මානුෂීය පැහැය අදාල කරගත යුතු සංවාදයකි. සංඝ සමාජය යනු ඒ ළමා විය හරියාකාරව විඳින්ට නොලැබුණ වුන්ගෙන් යහපත් විනයක් අපේක්ෂා කෙරෙන, ගිහි පැවැත්මෙන් මඳක් දුරස්ථව පැවතිය යුතු සමාජයක් වන හෙයිනි.


-2026 ඔක්තෝම්බර 08 වන දින

කුසල් පෙරේරා

ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

kusal.perera@gmail.com

View all stories by කුසල් පෙරේරා
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...