BREAKING
Top Ad
පුවත්

අට මාසයක් තිස්සේ TID අත් අඩංගුවේ ඉන්නා දෙමළ තරුණයන් වෙනුවෙන් අම්මලා මහපාරේ

T

The Leader

February 17, 2021 • 6:12 AM

අට මාසයක් තිස්සේ TID අත් අඩංගුවේ ඉන්නා දෙමළ තරුණයන් වෙනුවෙන් අම්මලා මහපාරේ   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාස අටකට පමණ පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද, දෙමළ තරුණයන් අවම වශයෙන් 16 දෙනකුගේ පවුල්වල ඥාතීහු, තමන්ගේ එම ආදරණීයයන් ගැන කිසිදුතොරතුරක් සොයාගත නොහැකි වීමෙන් දැඩි
  •       මේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමත් සමඟම, පුපුරණ ද්‍රව්‍යද අල්ලා ගත් බවට පොලිසිය ප්‍රකාශ කරයි.
  •   ‘එල්ටීටීඊයට උදව් කිරීමට උත්සාහ කිරීම’ නිසා රඳවාගෙන සිටින බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් එක් අයකුට නිකුත් කරන ලද කුවිතාන්සියක සඳහන්ව තිබේ.
  • අත්අඩංගුවට ගත පුද්ගලයන් සම්බන්ධ ලදුපතෙහි ‘අධිකරණ බල ප්‍රදේශය’ ලෙස දක්වා ඇත්තේ කොළඹයි.
අකුරු ප්‍රමාණය (Font Size):
ලෙස කම්පාවට පත්ව සිටිති.
 
යුද්ධයෙන් පීඩාවට පත් එම දෙමළ තරුණයන් ‘කොටි සංවිධානයට නැවත පණ දීමට උත්සාහ කරන’ බවට චෝදනා එල්ල කරමින්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) විසින්, උතුරේ විවිධ ස්ථාන වලින් තරුණයින් තිස්දෙනකු අත්අඩංගුවට ගෙන, ඔවුන් ජීවත් වූ ප්‍රදේශ වලින් පිටතට ගෙන ගොස් තිබේ.
 
 
 
 
පසුගිය වසරේ ජුනි සහ ජූලි මාසවලදී විමර්ශන සඳහා යයි ප්‍රාදේශීය පොලිස් ස්ථාන විසින් කැඳවනු ලැබූ යාපනය, කිලිනොච්චි සහ මුලතිව් යන ප්‍රදේශ වලට අයත් මේ තරුණයන්, පසුව කොළඹ පිහිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ මුලස්ථානයට රැගෙන ගොස් ඇත. 
 
 
ඒ අතරින් 16 දෙනකු, සම්බන්ධ කර ගැනීමට අවස්ථාවක් ලැබී නැති ඥාතීහු ඔවුන්ගේ ආරක්ෂාව, යහපැවැත්ම හා සිටිනා තැන ගැන කිසිදු ආරංචියක් නැතිව බියපත්ව සිටිති.
 
 
 

sasikaran

 
2019 නොවැම්බරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව, අත්අඩංගුවට ගෙන මෙතරම් දිගු කලක් පුරා අතුරුදහන් ව සිටින විශාලතම දෙමළ ජාතිකයන් කණ්ඩායම මෙයයි.
 
 
 
මේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමත් සමඟම, පුපුරණ ද්‍රව්‍යද අල්ලා ගත් බවට පොලිසිය ප්‍රකාශ කරයි.
 
අයහපත් කාලගුණික තත්වයට මුහුණ දෙමින්, තමා සමීපතමයන්ගේ නිදහස ඉල්ලා ඥාතීහු කිලිනොච්චියේ  කන්දසාමි කෝවිල ඉදිරිපිට විරෝධතාවක යෙදී සිටිති. 
 
අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් සහ ඉඩම් කොල්ලයට ගොදුරු වූවන්ගේ පවුල්වලට අමතරව, අලුතෙන්ම අඛණ්ඩ වීදි විරෝධතාවයක් පටන් ගත් දෙමළ ජන කණ්ඩායම ඔවුන් ය. 
 
ඔවුන්ගේ විරෝධතා හා ඉල්ලීම් පළමුවෙන්ම අවධානයට ලක් වූයේ දින පහක් පුරා නැගෙනහිර සිට උතුරට ගමන් කළ P2P දෙමළ-මුස්ලිම් පාගමන වාර්තා කළ මාධ්‍යවේදීන්ටය.
 
‘එල්ටීටීඊයට උදව් කිරීමට උත්සාහ කිරීම’ නිසා රඳවාගෙන සිටින බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් එක් අයකුට නිකුත් කරන ලද කුවිතාන්සියක සඳහන්ව තිබේ. ඔහු කිලිනොච්චි පොලිසියට කැඳවීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. අත්අඩංගුවට ගත පුද්ගලයන් සම්බන්ධ ලදුපතෙහි ‘අධිකරණ බල ප්‍රදේශය’ ලෙස දක්වා ඇත්තේ කොළඹයි.
 
පැලක් අටවාගෙන විරෝධය පළ කරමින් සිටින පවුලේ සාමාජිකයන් පවසන්නේ, තරුණයන්ට එරෙහිව නගා ඇති චෝදනා අසත්‍ය සහ පදනම් විරහිත ඒවා බවයි. අත්අඩංගුවේ සිටින තම ඥාතීන් හා සම්බන්ධ වීමට තමන්ට ඉඩ නොදුන් බව එම ඔවුහු ප්‍රකාශ කරති. මාස 8 ක කාලයක් ගත වුවද, මෙසේ රඳවාගෙන සිටිනවුන්ට එරෙහිව තවමත් නඩු පවරා නොමැත.
 
 
විරෝධතා භූමියේ ප්‍රදර්ශනය කළ එක් බැනරයකින් කියැවුනේ “නැති එල්ටීටීඊයකට උදව් කරන්නේ කෙසේද?” කියායි.
 
බන්ධනාගාර හරහා පැතිරී යන මාරාන්තික වසංගතයට තම පුතාද හසු වේවි යැයි, සෙල්වනායගම් සසිකරන් ගේ මව වන කෝසලාදේවි සෙල්වනායකී බියෙන් පසුවන්නීය.
 
“ආණ්ඩුව කියනවා LTTE එක විනාශ කරලා දැම්මා කියලා. එහෙමනම් කොහොමද මගේ පුතා ඒකට පන දෙන්නේ? මේ ළමයි අහිංසකයි. මට ආරංචි හැටියට මගේ පුටාට කොරෝනා. අපිට එයාට කතා කරන්න වත් දෙන්නේ නෑ.”
 
 P2P රැලිය වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන්ට කෝසලාදේවි පවසා සිටියේ, තම පුතාට හුදෙක් ප්‍රශ්න කිරීමක් සඳහා පැමිණෙන ලෙස පොලීසිය විසින් කැඳවා සිටි බවයි.
 
“ පුංචි පරීක්ෂණයක් තියෙනවා කියලා එන්න කිව්වම එයා හා ප්‍රශ්නයක් නෑ කියලා ගියා. ඊට පස්සේ ළමයාව අත් අඩංගුවට අරගෙන TID ඔෆිස් එකේ තියාගෙන හිටියා. පුතා මොන වැරද්දක්ද කළේ කියලා ඇහුවාම කිව්වේ, නෑ අම්මා ඔයාගේ ළමයා මුකුත් වරදක් කරලා නෑ අපි දවසකින් නිදහස් කරනවා කියලා.”
 
 
 
 
පොලිසිය එසේ කීවත්, ඇය පවසන ආකාරයට, ඇයගේ පුත්‍රයා දින 27 ක් කිලිනොච්චියෙහි රඳවා තබාගෙන, පසුව වවුනියාවට ගෙන ගොස් තිබේ. පරීක්ෂණය පැවැත්වෙන්නේ කොළඹ යැයි පවසමින්, කොළඹට මාරු කිරීමට පෙර ඔහු තවත් දින 30 ක් වවුනියාවේ රඳවාගෙන තිබේ.
 
 
 
“මං ඒ පාර කිව්වා, සර් මට විනාඩි දෙකක් විතරක් කතා කරන්න දෙන්න මොකද, කොරෝනා ප්‍රශ්නේ හින්දා කොහොමද කියල අහන්නෙයි කියලා.. එතකොට කිව්වා ඒක පුළුවන් වෙන්නේ මාසෙකට පස්සේ කියලා. ඒ පාර රෑ තිස්සේ අඬලා විලාප දුන්නට පස්සේ පාන්දර පහට පහමාරට විතර නොම්මර දෙකක් දුන්නා. ඒක අරං ගිහින් කතා කරපුවාම ළමයට දුන්නේ නෑ.”
 
විරෝධතාවයට එක්ව සිටි සසිකරන් ගේ බිරිඳ පවසන්නේ, ඇගේ අලුත උපන් දරුවා තවමත් සිය පියා දැක නැති බවයි.
 
බුද්ධි අංශ නිලධාරීන්ගේ තර්ජන හේතුවෙන් බියට පත්වී, විරෝධතා දැක්වූවන්ගෙන් බොහෝ දෙනකු මේ වන විට ඉවත් වී ඇති බව පවුලේ සාමාජිකයෝ පවසති.
 
සසිකරන් ට අමතරව අත් අඩංගුවට ගන්නා ලද ලින්ගේස්වරන් ඉන්බරාජ්, කන්දසාමි යුවන්, ගුණලිංගම් වසන්තන්,  රමේෂ් සුජාන්තන්, ඇන්ටන් චාල්ස් පවිත්‍රන්, සබාරත්නම් තූයවන්, උදයසොරූබන් උමාසුදන්, දේවරංජන් මදිවදන්, බාලසුබ්‍රමනියම් ගජිතරූබන්, රත්නසිංහම් කමලාකරන්, රත්නබාලසිංහම් ඊලවේන්දන්, ශ්‍රීවාසක ශර්මා හා ගජෙන්ද්‍රරාජා ඉන්ද්‍රරාසා, යන අයගේ ඥාතීහු කොරෝනා වෛරස් වසංගතය හමුවේ, ඔවුන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂිව ගැන බියෙන් පසුවෙති.
 
මේ අතර ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින්, විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කර තිබේ.
 
“කිලිනොච්චියේ විරෝධතා දක්වන මව්වරුන් සහ දරුවන් විසින් රජයට එරෙහිව කැරැල්ලක් ගැසුවහොත් හෝ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කළහොත්, ඔවුන් අත්අඩංගුවට ගන්නවා,” යැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ උපුටා දක්වමින් කොළඹ පුවත්පත් වාර්තා කළේය.
 
“එල්ටීටීඊය නැවත නගා සිටුවීමට උත්සාහ කරමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් අතර ඔවුන් සතුව තිබී පුපුරණ ද්‍රව්‍ය සහ ඩෙටනේටර් ද අත්අඩංගුවට ගෙන තිබේ. හේතුවක් නොමැතිව ඔවුන් අත්අඩංගුවට ගත් බවට වන චෝදනාව මුළුමනින්ම අසත්‍යයක්.”
 
 
 
රැඳවියන්ට වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් TID ගැන බියක් පවතින අතර, ඔවුන්ගේ අපකීර්තිමත් කාර්යභාරය පිළිබඳව, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රජයට යොමු කරන ලද ප්‍රශ්න වලට තවමත් පිළිතුරු ලැබී නොමැත.
 
 
 
 
තමන් යටතේ පැවති ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින්, යුද්ධයට ගොදුරු වූ දෙමළ ජාතිකයින් හට වධහිංසා පැමිණවීම පිළිබඳව, 2016 දී පවත්වන ලද එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි කමිටු (UNCAT) පරීක්ෂණයක දී බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් ගෙන් අසන ලද තීරණාත්මක ප්‍රශ්න මාලාවකට පිළිතුරු නොදීම හේතුවෙන් පෙර නොවී විරූ නින්දාවකට ශ්‍රී ලංකාව භාජනය විය.
 
මීට වසර 12 කට පමණ පෙර කෲර නිමාවකට ගෙන ආ සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී හෝ ආරක්ෂක හමුදාවන්ට යටත් වීමත් සමඟ රජය විසින් සිය ජයග්‍රහණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව දහස් ගණනක් දෙමළ ජනයා අතුරුදහන් වී තිබේ.
 
“අතුරුදහන් වූවන් ඇත්තටම මිය ගොසිනි,” යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මීට වසරකට පෙර කොළඹ දී, එක්සත් ජාතීන්ගේ ප්‍රධාන නියෝජිතයා හට පැවසීය.
 
2016 දී පාර්ලිමේන්තුවේ පනතක් මගින් පිහිටුවන ලද අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට (OMP) තවමත් අතුරුදහන් වූවන් ගෙන් එක් අයකු හෝ සොයා ගැනීමට හැකි වී නැත.
 
දේශීය යාන්ත්‍රණයේ නොහැකියාව සම්බන්ධයෙන් කලකිරී සිටින, අතුරුදහන් වූවන්ගේ පවුල් වල ඥාතීහු කිලිනොච්චි විරෝධතා භූමියේ සිට, යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් විය යුතු යැයි ඉල්ලා සිටිති.
 
 
 

 

 

 

 

ජොන්ස්ටන් කෙනෙකු නොවී කැරලි ගහන විමල්ගේ ඉරණම?

 

සාරා..! පාස්කු කොමිසමේදීවත් නොවිසඳුණු අබිරහස සාරා..!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...