The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රිකට් සමග එල්ලේ ගසන ක්‍රීඩා ඇමති!

T

The Leader Desk

January 30, 2023 • 8:06 AM

ක්‍රිකට් සමග එල්ලේ ගසන ක්‍රීඩා ඇමති!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසියානු කුසලානය ජයග්‍රහණය කර මාස හතරක් ගත වෙමින් පවතින අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ වෙනස්කම් සිදුකිරීමට නියමිතව ඇති බවත් එහිදී වත්මන් සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කෙරෙනු ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
  • ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ඇත්තේ ඉහළ පිලිගැනීමක්.
  • එමෙන්ම ක්‍රිකට් පිටියේ පෙරළිකාර කණ්ඩායමක් ලෙසද ශ්‍රී ලංකාව නම් දරා සිටිනවා.
  • කෙසේ වෙතත් 2015 වසරෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් වල කඩාවැටීමක් ඇතිවූ බව නොරහසක්.
අකුරු ප්‍රමාණය (Font Size):



ප්‍රමෝදය වික්‍රමසිංහ 2021 අප්‍රේල් මාසයේ සිට තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනවා.

ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ඇත්තේ ඉහළ පිලිගැනීමක්.

ඊට ප්‍රධාන හේතුවක් වන්නේ ලෝක ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කළ ක්‍රීඩකයින් රැසක් ශ්‍රී ලංකාවෙන් බිහිවීමයි.

එමෙන්ම ක්‍රිකට් පිටියේ පෙරළිකාර කණ්ඩායමක් ලෙසද ශ්‍රී ලංකාව නම් දරා සිටිනවා.

කෙසේ වෙතත් 2015 වසරෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් වල කඩාවැටීමක් ඇතිවූ බව නොරහසක්.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් එක්වරම ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ඇතුළු හේතු රැසක් මෙම කඩාවැටීමට බලපෑවා.

 

Pramodaya
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

 

2015 වසරේ සිට දැඩි පසුබෑමකට ලක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානියා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පත්වන්නේ 2021 වසරේ අප්‍රේල් මාසයේදීයි.

ප්‍රමෝද්‍ය ඇතුළු නව තේරීම් කමිටුව, කඩාවැටී තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් යළි ගොඩ නැගීම සඳහා කෙටි කාලීන විසඳුමකට නොගොස් දීර්ඝ කාලීන විසඳුමක් සෙවීම සඳහා පිඹුරුපත් සකස් කළා.

ඒ අනුව නව තේරීම් කමිටුව නවක ක්‍රීඩකයින්ට වැඩි අවස්ථාවක් ලබාදෙන්නේ එම දීර්ඝ කාලීන සැලසුමේ එක් පියවරක් ලෙසයි.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඇතුළු තේරීම් කමිටුව පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර සංචිත සඳහා නවක ක්‍රීඩකයින් රැසකට අවස්ථාව ලබාදෙමින් ඔවුන්ව අනාගතයට සූදානම් කිරීමට කටයුතු කළා.

එහිදී ජනප්‍රිය නොවන තීරණ කිහිපයක් ගැනීමටද එම තේරීම් කමිටුවට සිදුවුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් සැදූ සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වීම හේතුවෙන්.

ඒ අතරින් ජ්‍යෙෂ්ඨ  ක්‍රීඩකයින්ව විවේක ගැන්වීම ප්‍රධාන තීරණයක් වුණා.

 

anji dimuth chandi

ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් එක්දින සංචිතයෙන් විවේක ගන්වා ඔවුන්ගේ ස්ථාන සඳහා නවකයින්ට අවස්ථාව ලබාදුන්නා.

එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය දැරූ මිකී ආතර්ද නවක ක්‍රීඩකයින් සමග ඉදිරියට යාමට කැමැත්ත පළකර තිබුණේ නව තේරීම් කමිටුවේ සැලසුම් වලට එකහෙළා සහය දක්වමින්.

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයින්ට අත්‍යවශ්‍යම ශාරීරික යෝග්‍යතාව මැන බැලීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නව තලයකට රැගෙන ඒම සඳහාද නව තේරීම් කමිටුව සැලසුම් සකස් කළා.

කෙසේ වෙතත් එම කාලයේ බොහෝ දෙනෙක් නව ශාරීරික යෝග්‍යතා මැනබැලීමේ ක්‍රමවේද විවේචනය කළද කලක් ගතවීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව වර්ධනය වීමත් සමග ඔවුන්ගේ දක්ෂතා වැඩිදියුණු වන ආකාරයත් දැකගැනීමට හැකිවුණා.

කෙමෙන් කෙමෙන් දියුණු වූ දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් 2021 වසරේ සිට ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් අත්කර දීමට සමත්වුණා.

දසුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම වසර 8කට පසුව අඛණ්ඩව එක්දින තරගාවලි 3ක් ජයගත්තේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් තුළ ශ්‍රි ලංකා ක්‍රිකට් පිලිබඳ නව බලාපොරොත්තුවක් දල්වමින්.

එමෙන්ම වසර 30කට පසුව ප්‍රබල ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලියක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම පැහැබර අනාගතයක් ඇති කණ්ඩායමක් වනු ඇති බවට පෙරමං සලකුණු පෙන්නුම් කළා.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම පමණක් නොව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමත් ඉහළ දස්කම් දක්වමින් තරග රැසක් ජයගත් අතර මේ වනවිට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මාස 18ක් පුරා ශ්‍රී ලංකාව තුළ පැවති එකඳු ටෙස්ට් තරගාවලියක්වත් පරාජයට පත්ව නැහැ.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ එම දක්ෂතා හේතුවෙන් වත්මන් ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ රැඳී සිටීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිව තිබෙනවා.

 

FcZaFSBagAY3xZF

පසුගිය වසර එක හමාරක කාලය තුළ ක්‍රමයෙන් දියුණුවූ ශ්‍රී ලංකා කණ්ඩායම එම දියුණුවේ එක් කූඨප්‍රාප්තියක් සනිටුහන් කරමින් 2022 සැප්තැම්බර් මාසයේදී ආසියානු ශූරයින් බවට පත්වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එලෙස ප්‍රමුඛ ක්‍රිකට් ශූරතාවක් හිමිකර ගත්තේ වසර 8කට පසුවයි.

ඒ අයුරින් ඉතා දිගු ගමනකට මුලපිරූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ අර්බුදකාරී වාතාවරණයක් ඇතිවූයේ නව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රිකට් ක්‍රීඩාවට අතපෙවීමත් සමගයි.

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා ලෙස හිටපු නායකයෙක් වන අර්ජුණ රණතුංග පත්කළ රොෂාන් රණසිංහ ක්‍රිකට් ක්‍රීඩාවට විවිධ පැතිකඩ ඔස්සේ අතපෙවීම් සිදුකළා.

එමෙන්ම ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමගත් විවිධ ගැටළු ඇතිකර ගත්තා.

වර්තමානයේ නවතම ගැටළුව නිර්මාණය කර තිබෙන්නේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රමුඛ තේරීම් කමිටුව ඉවත් කිරීමට තීරණය කිරීමත් සමගයි.

මේ වසර මුලදී ඉන්දියා කණ්ඩායම හමුවේ ලැබූ දැවැන්ත පරාජය පාදක කරගනිමින් ප්‍රමෝද්‍ය ඇතුළු තේරීම් කමිටුව ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා පිඹුරුපත් සකස් කරමින් සිටිනවා.

ඒ අනුව නව තේරීම් කමිටුවක් සඳහා නාමයෝජනා ඉදිරිපත් කරන ලෙස ක්‍රිකට් ආයතනයට දන්වා තිබූ අතර ක්‍රිකට් ආයතනය ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඇතුළු දසදෙනෙකුගේ නම් ජාතික ක්‍රීඩා සභාවට ඉදිරිපත් කළද ඔවුන් එම නාම යෝජනා පිලිගැනීමට කැමැත්තක් නොදක්වන බව වාර්තා වනවා.

එමෙන්ම ඒ පිලිබඳ අවසන් තීරණයක් ජනවාරි මස 30වැනිදා ගැනීමට නියමිත බවද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත් වසර එක හමාරක් තිස්සේ යොවුන් ක්‍රීඩකයින් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩනැගූ ප්‍රමෝද්‍ය ඇතුළු තේරීම් කමිටුව හදීසියේම මාරු කිරීම එතරම් නුවණට හුරු කටයුත්තක් නොවන බව අපගේ මතයයි.

ඊට හේතුව දීර්ඝ කාලීන සැලසුමකට අනුව යොවුන් ක්‍රීඩකයින් සමග ඉදිරියට යාමේදී තරග පරාජය වීම පමණක් පදනම් කරමින් තේරීම් කමිටුව මාරුකිරීම හිසේ ඇම්මට කොට්ටය මාරු කිරීම වැනි කටයුත්තක් ලෙසයි අප දකින්නේ.

කාලයක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් ගොඩනගමින් තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දේශපාලන අතපෙවීම් සිදුකිරීම හේතුවෙන් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තිබූ තත්ත්වයටම ඇද වැටීමේ අවධානමකට ලක්ව තිබෙනවා.

විවිධ පුද්ගලයින්ගේ පුද්ගලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා යොදා ගනිමින් ක්‍රිකට් ක්‍රීඩාව බිල්ලට දීම අප දැඩිලෙස හෙලාදකිනවා.

ක්‍රිකට් ක්‍රීඩකයින්ට නිදහසේ ක්‍රීඩා කිරීමට සුදුසු පරිසරයක් සකස් කරදීම බලධාරීන්ගේ වගකීමක් වුවද අනවශ්‍ය ලෙස ක්‍රිකට් ක්‍රීඩාව තුළ අර්බුද ඇති කරමින් ඔවුන් සිදුකරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව වලපල්ලට ඇද දැමීමයි.

මෙරට ප්‍රේක්ෂකයින්ට ආගමක් බඳුවූ ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටීමට නොදී රැකගැනීම කාගේත් වගකීමක්.

එම නිසා ක්‍රීඩකයින්ට ක්‍රීඩකයින්ගේ කාර්ය කිරීමට ඉඩලබාදී, ක්‍රිකට් දන්නා අයට ක්‍රිකට් පරිපාලනය සිදුකිරීමට ඉඩලබාදුනහොත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අනාගතයේදීවත් දියුණු වනු ඇතැයි අප විශ්වාස කරනවා.

 
(තර්ඩ් අම්පයර්)
 

JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...