ඊශ්රායල ප්රිමියර් ලීග් පාපන්දු කණ්ඩායමක නිලධාරීන් සිවු දෙනෙක් සාපරාධි වංචාව හා දූෂණ ක්රියාවන් සම්බන්ධයෙන් ඊයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ක්රමානුකූලව ව්යාජ ලියවිලි සකස් කිරීම, මුදල් විශුද්ධිකරණය, වංචාව හා ක්රීඩා වාර හතරක ක්රීඩකයින්ගේ වැටුප් බදු බලධාරීන්ට වාර්තා කිරීමට අසමත් වීම පිළිබඳව මේ සිවු දෙනා සැක කෙරෙනවා.
නිලධාරීන්ගේ දේපළ රජයේ භාරයට
මේ සැකකරුවන් ඊශ්රායල ප්රිමියර් ලීගයේ දැනට අන්තිම 14 වැනි ස්ථානයේ පසුවන Ironi Tiberias පාපන්දු සමාජයේ වර්තමාන හා හිටපු නිලධාරීන් බව යුදෙව් මාධ්ය වාර්තා කරනවා.
පරීක්ෂණයේ කොටසක් ලෙස ඉඩම්කඩම් දේපළ හා සුඛෝපභෝගී කාර් නීති බලධාරීන්ගේ භාරයට ගෙන තිබෙන අතර අපරාධවල ප්රමාණය ෂෙකල් (ඊශ්රායලයේ මුදල් ඒකකය) මිලියන දහස් ගණනක් බව පැවසෙනවා.
මේ අත්අඩංගුවට ගැනීම් හා දේපළ රජයේ භාරයට ගැනීම් සිදුවන්නේ ඊශ්රායල පාපන්දු සංගමයේ සහයෝගය ඇතිව මාසයක කාලයක් තිස්සේ කෙරුණු රහස් පරීක්ෂණයකින් පසුව බව වාර්තා වනවා.
ආර්ථික අපරාධ මැඩලීමේ ජාතික ඒකකයේ පරීක්ෂණ යටතේ ප්රශ්න කිරීම් සඳහා මේ පාපන්දු කණ්ඩායමේ වත්මන් හා හිටපු ක්රීඩකයින් දුසිම් ගණනින් ඉදිරි දිනවලදී කැඳවනු ඇතැයි ඊශ්රායල පොලිසිය ප්රකාශ කරනවා.
ඊශ්රායල පාපන්දු අපකීර්තිමත්ම සිදුවීමක්

මෙය මෑත වසරවල ඊශ්රායල පාපන්දු ලෝකය කැළඹූ අපකීර්තිමත් සිදුවීම් මාලාවක අලුත්ම සිද්ධිය වනවා.
පසුගිය මාසයේදී, ඔට්ටු ඇල්ලීමේ මෙහෙයුමකින් මුදල් උපයා ගැනීම පිණිස තරග පාවාදීමේ සැලැස්මක් පිටුපස සිටියේ යැයි සැකපිට හිටපු ක්රීඩකයින් දෙදෙනෙකු හා ක්රීඩිකාවක් අත්අඩංගුවට ගැණුනා.
උතුරු ඊශ්රායලයේ අපරාධ කල්ලියක් සමග තිබෙනවා යැයි කියන සිය සම්බන්ධකම් මත ඔට්ටු ඇල්ලීම, තරග පාවාදීම හා අනෙකුත් මූල්යමය අපරාධ සිදු කිරීමේ සැකපිට වෘත්තීය පාපන්දු ක්රීඩකයෙකු ජූනි මාසයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
කෙළවරක් නැති තරඟ පාවාදීම්
ජනවාරි මාසයේ සිදුකළ තරග පාවාදීම හා මුදල් විශුද්ධිකරණ පරීක්ෂණයකදී, ඊශ්රායල දෙවැනි ස්තර ලීගයේ ක්රීඩා කරන Kiryat Yam පාපන්දු සමාජය සමග සම්බන්ධ පුද්ගලයින් 17 දෙනෙක් අත්අඩංගුවට ගැණුනා.
පසුගිය ක්රීඩා වාරයේ ඇතිවූ තරග පාවාදීමේ මහා අපකීර්තියක් හේතුවෙන් ලීග් ‘ඒ’ උතුර (League A North) තරගාවලිය විසුරුවා හැරීමේදී Kiryat Yam පාපන්දු සමාජය ජාතික ලීගයට උසස් කෙරුණා.
එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ වුණේ 2023-2024 තරග වාරය අතරතුර ලීග් ‘ඒ’ උතුර තරගාවලියේ තරග 13ක් පාවාදුන් බවට Umm al-Fahm නමැති යොවුන් කණ්ඩායමේ අධ්යක්ෂ Fadi Mahamid පිළිගැනීමෙන් පසුවයි.




