බ්‍රසීලයේ පැවති වයස අවුරුදු 20න් පහළ පාපන්දු තරගයකදී ලෝක වාර්තාවක් සටහන් වෙමින් රතු කාඩ්පත් 53ක් නිකුත් කෙරුණා.
උබෙයාලාජියා (Uberlandia) සහ මාමොරේ (Mamore) කණ්ඩායම් අතර පැවති මීනස් ජරයිස් (Minas Gerais) අවුරුදු 20න් පහළ ශූරතාවලියේ අවසන් පූර්ව පළමු අදියර තරගයේ හටගත් ගැටුම්වලදී ක්‍රීඩකයින් 43 දෙනෙකු හා පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් අට දෙනෙකු පිටියෙන් නෙරපා හැරුණා. උබෙයාලාජියා පාලක මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකු ද පිටියෙන් ඉවත් කෙරුණේ රතු කාඩ්පත් මුළු ගණන 53 දක්වා ඉහළ නංවමින්.
මීට පෙර තිබූ රතු කාඩ්පත් වාර්තාව වූයේ 36ක්. ඒවා නිකුත් කර තිබෙන්නේ Club Atletico Claypole සහ Victoriano Arenas යන කණ්ඩායම් අතර 2011 වසරේ ආජන්ටිනාවේ පැවති පස්වැනි කොටසේ තරගයේදීයි.
යුද හමුදා පොලිසිය කැඳවූ මහා ගාලගෝට්ටිය
ගැටුම්වලදී බ්‍රසීලයේ Parque do Sabia ක්‍රීඩාංගණයට විශාල හානියක් සිදුවූ නිසා යුද හමුදා පොලිසිය කැඳවූ බව වාර්තා වනවා.
තරග විනිසුරුගේ වාර්තාවට අනුව, තරගයේ දෙවැනි භාගයේදී මාමොරේ ක්‍රීඩකයෙක් ඔහුගේ කණ්ඩායම ගෝල 3-1කින් ඉදිරියට පිවිසීමේ සතුට සමරන අතරතුර බංකුවේ සිටි ප්‍රතිවාදී ක්‍රීඩකයින්ට ඇනුම් පද කියා තිබෙනවා. එම අවස්ථාවේදී උබෙයාලාජියා කණ්ඩායමේ ගෝල් රකින පුහුණුකරුවා පිටියට දුව ගොස් එම ක්‍රීඩකයාට මුහුණලා සිට ඔහුට අභියෝග කිරීමත් සමග ආරම්භ වූ ගැටුම් අවසානයේදී රතු කාඩ්පත් පෙන්වීම දක්වා දුර දිග ගියා. ඒ වන විටත් ක්‍රීඩකයින් තිදෙනෙකු පිටියෙන් නෙරපා හැර තිබුණා.
ගැටුම්වලින් දොරවල් 14ක්, නාන කාමර පහසුකම් හා ජනේල බිඳී තිබෙන බවත් බංකු, මේස හා පුටු විනාශ වී ඇති බවත් පොලිස් වාර්තාවේ සඳහන් වනවා.
තරගය අත්හැර දැමීම සහ අවසන් තීරණය
තරගය මිනිත්තු 40කට ආසන්න කාලයක් නතරව තිබීමෙන් පසුව එය සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට තරග විනිසුරු තීරණය කළා.
තරගයේ 54 වැනි මිනිත්තුවේදී මහා ගැටුමක් හටගත්තේ තමාට රතු කාඩ්පත් පෙන්වීම හා තරගය නතර කිරීමේ ක්‍රියාපටිපාටියේ නිරත වීම අපහසු කරමින් බව තරග විනිසුරු ඔහුගේ වාර්තාවෙන් කියා තිබෙනවා.
සිද්ධියෙන් පසුව උබෙයාලාජියා ප්‍රකාශයක් කරමින්, නිකුත් කෙරුණු රතු කාඩ්පත් ප්‍රමාණයට අනුව මාමොරේ කණ්ඩායමට ඉතිරිව සිටින්නේ ක්‍රීඩකයින් හත් දෙනෙකු පමණක් බැවින් තමන් අවසන් පූර්ව දෙවැනි අදියරේ ජය ඔවුන්ට ලබා දෙන බව දන්වා සිටියා.
මාමොරේට අවසාන තරගයට පිවිසීමට අවස්ථාව ලබා දෙමින් තමන් මේ පියවර ගත්තේ සාධාරණ ක්‍රීඩාවක චේතනාවෙන් බව පවසන උබෙයාලාජියා පාලනාධිකාරිය, තම කණ්ඩායම දැන් තෙවැනි ස්ථාන තරගය කෙරෙහි අවධානය යොමු කරන බව ප්‍රකාශ කර තිබෙනවා.
“අපේ ක්‍රීඩා සමාජය මේ සිද්ධිය ගැන නිශ්ශබ්දව ඉන්නේත් නැහැ. සිද්ධියට සම්බන්ධ වූවන් පිළිබඳ අදාළ විනයානුකූල පියවර අපි දැනටමත් අභ්‍යන්තර වශයෙන් අරගෙන තියෙනවා. මොකද, ක්‍රීඩා සංවර්ධනය යනු පෞද්ගලික සංවර්ධනය ද වන නිසා” යනුවෙන් උබෙයාලාජියා අවධාරණය කරනවා.




