ඉන්දියාව හා පාකිස්තානය අතර ලබන වසරේ ඔක්තෝබර් මස 10 වැනි දින පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් මූලික වට තරගයේ ප්‍රවේශ පත්‍ර සඳහා මිලියන 8.4කට ආසන්න ඉල්ලීම් ප්‍රමාණයක් ලැබී තිබෙනවා. එහෙත් මේ තරගය පැවැත්වෙන ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරර්ස් ක්‍රීඩාංගණයේ රඳවාගත හැක්කේ නරඹන්නන් 34,000ක් පමණයි.
මිලියන 8ට වැඩි ඉල්ලුමක් : ඒකපාක්ෂික තරගයක්
නොවැම්බර් 21 වැනිදා අවසාන තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය ද මෙය වන අතර එහි ප්‍රවේශ පත් සඳහා මිලියන අටකට ආසන්න අයැදුම්පත් ලැබී තිබෙනවා.
ඉන්දියාව හා පාකිස්තානය අතර තරගයක් ක්‍රිකට් කැලැන්ඩරයකින් වඩාත්ම බලාපොරොත්තු වන තරගය මෙන්ම මුදල්මය වශයෙන් වැඩියෙන්ම ලාභදායී තරගය ද වී තිබුණත් ඔවුන්ගේ පසුගිය තරග නවය ම ඉන්දියාව ජය ගෙන තිබෙන බැවින් මෑත කාලයේදී එය ඒකපාක්ෂික තරගයක් බවට පත්ව තිබෙනවා.
පාකිස්තානය අවසන් වරට ඉන්දියාව ට එරෙහිව ජයග්‍රහණයක් වාර්තා කළේ 2022 ආසියානු කුසලාන තරගාවලියේ.
ලෝක කුසලාන තරඟ රටාව
මෙවර තරගාවලියේ මේ කණ්ඩායම් දෙක ඔස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්තානය, සිම්බාබ්වේ සහ තරගාවලියට සුදුසුකම් ලබන කණ්ඩායමක් සමග එක කොටසකට ඇතුළත්ව සිටින අතර ශ්‍රී ලංකාව අනෙක් කොටසේ එංගලන්තය, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නවසිලන්තය සහ සුදුසුකම් ලබන තවත් කණ්ඩායමක් සමග එක්ව සිටිනවා.
මේ කොටස් දෙකෙන් ඉහළටම පිවිසෙන කණ්ඩායම් තුන සහ කොටස් දෙකෙන්ම හොඳම සිවු වැනි කණ්ඩායම ‘සුපර් 7’ අදියරට පිවිසෙන අතර එතැනින් ඔබ්බට අවසන් පූර්ව වටයට යන්නේ ඉහළම කණ්ඩායම් හතර යි.




